Tuesday, January 23, 2024

The Color Purple (2023)

1985 අවුරුද්දේ දි, ඒ වෙනකොට චිත්‍රපටි හතක් පමණක් නිර්මාණය කර සිටි අධ්‍යක්ෂවරයෙක් වුණ ස්ටීවන් ස්පීල්බර්ග්ට, තමන්ගේ අටවෙනි සිනමා නිර්මාණය විදිහට The Color Purple නම් චිත්‍රපටය නිර්මාණය කරන්න අවස්ථාව හිමිවෙනවා. The Color Purple නමින් මුලින්ම ලෝකය හමුවට ආවේ 1982 අවුරුද්දේ ඇලිස් වෝකර් නම් ඇමරිකානු ලේඛිකාව එනමින්ම ලියා පළ කල නවකතාව. මේ නවකතාව ලබපු සාර්ථකත්වයත් එක්ක ඇලිස් වෝකර්ට එයින් චිත්‍රපටියක් නිර්මාණය කරන්න උවමනා වෙනවා. මේ කටයුත්තට ස්පීල්බර්ග් තෝරාගන්නෙ ඇයමයි. The Color Purple ඇමරිකාවේ දකුණු පෙදෙසේ ප්‍රාන්තවල වැඩිවශයෙන් ඉන්නා කළු ජාතිකයින්ගේ සමාජය මුල්කරගෙන ලියවුණ ප්‍රබන්ධයක්. තමන්ට මේ ජන කොටසත්, ඔවුන්ගේ සංස්කෘතියත් ගැන තියන දැනුම ප්‍රමාණවත් නැතැයි කියමින් ස්පීල්බර්ග් ඒ අවස්ථාව ප්‍රතික්ෂ්ප කරන්න උත්සාහ කරනව. නමුත් ඇලිස් වෝකර් ඔහුගේ E.T the Extra Terrestrial චිත්‍රපටය නරඹලා තිබුණා. තමන්ගේ කතාව සිනමාවට ගේනන එකම සුදුස්සා ඔහු බව ඈ තීරණය කරලා අවසානයි. කොහොම හරි ස්පීල්බර්ග් මේ කටයුත්ත බාරගන්නව. අවසානෙ ඇමරිකානු ඩොලර් මිලියන 15ක වියදමෙන් නිමවුණු The Color Purple ඩොලර් මිලියන 98ක ආදායම් වාර්තාවත් තබමින් ප්‍රේක්ෂක විචාරක පැසසුම් මැද තිරගත වෙනවා. The Color Purple ලැබුව සාර්ථකත්වය ස්ටීවන් ස්පීල්බර්ග්ගේ සිනමා දිවියටත් ලොකු බලපෑමක් කළා. ඉන් අවුරුදු හතලිහකට ආසන්න කාලයක් ගතවෙලා ගිහින් තියෙන වෙලාවේ, දැන් ස්පීල්බර්ග් කියන මහා සිනමාකරුවා The Color Purple නවකතාව අශ්‍රයෙන්ම වෙනස් ආකෘතියක සිනමාපටයක් ලෝකය හමුවට අරගෙන එන්න නිෂ්පාදකවරයෙක් විදිහට දායක වෙලා තියනවා. නමුත් මේ අලුත් චිත්‍රපටිය වැඩි වශයෙන් පාදක කරගන්නෙ ඔය නමින්ම 2005 අවුරුද්දේ ආව බ්‍රෝඩ්වේ නාට්‍යය. ඒවගේම මේක නැටුම් ගැයුම් පිරුණු සංගීතමය චිත්‍රපටයක්! 

ඇලිස් වෝකර්ගේ The Color Purple සැලකෙන්නේ නූතන සම්භාව්‍ය (modern classic) කෘතියක් විදිහට. හරියට අරුන්දතී රෝයි ගේ The God of Small Things වගේ Color Purple නිකුත් වුණු කාලයේ සමාජෙ සෑහෙන ආන්දෝලනයක් ඇති කරලා තියනවා. එක් අතකින් Pulitzer වගේ ලැබිය හැකි ඉහළම ගරු සම්මානවලින් පිදුම් ලබන අතරේ අනික් පැත්තෙන් අන්තර්ගතය නිසාම මේ කතාව නොයෙක් වාරණවලට පවා ලක්වුණා. වාග් විලාසය, ප්‍රචණ්ඩත්වය, ලිංගික කරුණු සහ සමලිංගිකත්වය වගේ හේතු මුල්කරගෙන ආගමික සංස්ථාවලින් පොතට විශාල විරෝධයක් එල්ල වුණා. ඊශ්‍රායෙලයෙදී මේ පොත මුළුමණින්ම තහනම් වුණා. අරුන්දතී ඉන්දියානු සමාජෙ ගතානුගතිකත්වයෙන් සහ කුල බෙදීම් වලින් පීඩිත ස්ත්‍රිය තම ප්‍රබන්ධය හරහා නිරූපිත කරද්දී, ඇලිස් වෝකර් 1900 මුල් යුගයේ ඇමරිකාවේ පැවති වර්ගවාදය වගේම තමන්ගේ වර්ගයා අතින්ම අතවරයන්ට ලක්වෙන, ගැහැනියක් වීම නිසාම අප්‍රමාණ හිරිහැරයන්ට ලක්වෙන සහ නිවස ඇතුළේම හිංසනයන්ට සහ හිතාගන්න බැරි තරම් නොයෙක් ආකාරවලින් අසීමිත වදබන්ධනයන්‍ට ලක්වුණ කළු ජාතික ස්ත්‍රීයක් පෙරබිමට අරගෙන ආවා. (The Color Purple සිංහල පරිවර්තනය - "දම් පාට කතාව", අමාලි බොරළුගොඩ, විදර්ශන ප්‍රකාශනයක්)

පීඩනය, හිංසනය වගේ දුකම වේදනාවම තේමා කරගත්තු කතාවක් නටමින් ගයමින් කියන්නේ කොහොමද කියල ඔබට හිතෙන්න පුළුවන්. මුල් පොත කියවා නැතත් Musical Drama එකකට ගැළපෙන විදිහට කතාවෙ සැර අවම කරලා ද කියල හිතුණා චිත්‍රපටයේ සමහර තැන් වලදී. නමුත් කලාව කියන්නෙ මනුස්ස හැඟීම් නිරූපණයට. සතුට, ප්‍රහර්ෂය ඇතුළු නොයෙක් මිහිරි හැඟුම් වගේම දුක්, දොම්නස්, වේදනා ආවේගයන් වගේ කර්කෂ හැඟීම් පවා ගයමින් වයමින් අසන්නෙකුට නරඹන්නෙකුට දනවන්න ඊට හැකියි. The Color Purple කියන්නෙ එහෙම දුක්වේදනාවත්, සතුටත් උත්කර්ශවත් බවත් මේ සියළු ප්‍රකාශනයන් ගෙන් වර්ණවත් වුණු චිත්‍රපටියක්. වසරේ හොඳම ලයිස්තුවට නිසැකවම ඇතුළත් කළහැකි, හදවත පුරවාලන වැඩක්. 2023 අවුරුද්දේ චිත්‍රපට නාමාවලියට අඩුවෙලා තිබ්බේ මං හිතන්නේ හොඳ Musical Drama එකක්. The Color Purple එක්ක ඒ අඩුවත් සම්පූර්ණ වෙනව.




Friday, January 19, 2024

Fallen Leaves (2023)

ආදරය කියන දෙය ජීවිතේ ඇතුළේ හටගන්න නිශ්චිත මොහොතක් නැහැ. සමහර විට, නොහිතනම වෙලාවකදි එකවරම ඒක ඇති වෙන්න පුළුවන්. නැත්නම්, සෑහෙන දිගු කාලයක් ඇතුළත, හෙමින් සැරේ ඇති වෙන්නත් පුළුවන්. නමුත් කොහොම වුණත් ඒවා සැලසුම් කරලා ලබාගන්න පුළුවන් දේවල් නෙමේ. අපි කැමති අකමැතිකම් සහ කෙනෙකුගෙන් අපි බලාපොරොත්තු වෙන දේවල් ගැන අදහසක් තිබුණාට, මෙන්න මේ වයස වෙනකොට මෙන්න මේ විදිහේ කෙනෙක් මට මුණගැහිලා තියේවි කියලා සැලසුම් ඇඳලා තියාගන්න කිසි කෙනෙකුට පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ හින්දා වැඩි දුරක් නොගිහින්, වැඩි වෙහෙස මහන්සියක් නොදරාම ආදරය මුණගැහුණු අය වගේම, කාලයක් තිස්සේ ජීවිතේ ඇතුළේ බොහොම දුරක් අමාරුවෙන් අමාරුවෙන් ඇවිදලා, අවසානෙ හතිවැටිලා දැන් ඇති කියලා හිතෙන්න තරම් හෙම්බත් වෙලා ඉන්න තැනකට ආවම ආදරේ මුණ ගැහුණු අයත් කියන දෙකොට්ඨාසයම අපි දකිනව. හැබැයි නව යව්වන වයසට වඩා ජීවිතේ පහු වෙන්න පහුවෙන්න අපිට ආදරේ මුණ ගැහෙන්නෙ දුෂකරතාවන් ගොඩක් මැද්දේ. මොකද වයසත් එක්ක හැමදෙයක්ම සංකීර්ණ බවට පත්වෙනව වැඩියි, ජීවිතේ ටිකෙන් ටික පත්වෙන්නෙ අරගලයක ස්වරෑපයකටයි, ඇතිවෙන හැලහැප්පිලි බහුලයි, ලබන්න සිද්ද වෙන අත්දැකීම් කටුකයි. එහෙම තැනක ඉන්න කෙනෙකුට ප්‍රේමණීය හමුවීමක් සිද්දවෙනකොට ඒක කොයි වගේ තියෙයි ද? ඒක අර රුවන් බන්දුජීවගේ සුප්‍රසිද්ධ කවි පේළියෙන් කියන්නා වගේ කියලයි මට හිතෙන්නේ.

වියළී ඇදවැටීමෙන් පසුවයි
ඇවිදින්න පටන් ගන්නේ තුරුපත්..

අව්, වැසි, සුළං විඳලා, වියළිලා ගිහින් මහපොළොවට ඇද වැටුණායින් පස්සෙයි තුරුපතකට වුණත් ඇවිදින්න පුළුවන් වෙන්නේ. විසකුරු තැන් පැටලිලා, මනසින් පීඩාවන් ගොඩක් දරා ඉඳලා, අමාරු කාලයක් ගත කරලා ඉද්දී ආදරයක් ජීවිතේට ආවමත් එහෙම තමයි. මේවගේ ඇදවැටුණු තුරුපත් දෙකක්ම එකට මුණගැහුණොත් ඒක කොහොම වේවිද? 2023 අවුරුද්දේ කාන්ස් සිනමා උළලේ Palme d'Or සම්මානයට නිර්දේශවුණු සහ ජූරියේ විශේෂ ත්‍යාගයකින් පිදුම් ලද වගේම ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විදෙස් භාෂා අංශයට ෆින්ලන්තයෙන් ඉදිරිපත් කරන Fallen Leaves චිත්‍රපටයෙත් තියෙන්නෙ එහෙම කතාවක්. හැබැයි මේක රොමාන්තික ප්‍රේම වෘතාන්තයක් විදිහට අපිට දැනෙන ආකාරයකට නෙමෙයි නිර්මාණය කරලා තියෙන්නේ. ප්‍රධාන චරිත දෙකට සහ අමතර චරිත කීපයකට කතාව සීමාකරලා, ඉතාම කෙටි ධාවන කාලයකින් සහ අවමවාදී ස්වභාවයකිනුයි මේ චිත්‍රපටිය ගොඩනැගෙන්නේ. වෙලාවකට ටිකක් හිනා යන සහ මුන් දෙන්නා මේ මොනව කරනවද කියලා හිතන තරම් අඩුවෙන් ප්‍රේමය දකින්න ලැබෙන කතාවක්. මේ කතාවේ ප්‍රධාන චරිත දෙකම අර කලිනුත් කිව්වා වගේ ජීවිතේ ගැටගහගෙන යන අරගලයෙන් පීඩිත, වියළි, නීරස, ඒකාකාරී ජීවිත ගතකරන චරිත. ඒ වගේම දෙන්නම පිටස්තර සමාජයේ කවුරුත් තේරුම් නොගත්ත, සමාජෙන් ටිකක් ඈත් වුණු චරිත. නමුත් එක තැනක ඔහුගේත් ඇයගේත් දෑස එකිනෙක මුණගැහෙනවා. එතැන ඉඳලා ඔවුන් දෙන්නා මුණගස්වමින්, යළි වෙන්කරමින් දෛවය ලිියවෙන්න පටන්ගන්නවා. 

Fallen Leaves කියන්නේ ෆින්ලන්තයේ මහා සිනමාකරුවෙක් විදිහට සලකන Aki Kaurismäki ගේ නිර්මාණයක්. ෆිල්ම් එකට පසුබිම්වෙන්නෙ අපි ජීවත් වෙන මේ යුගයම බව අපිට වටහගන්න පුළුවන් වෙන්නේ පසුබිමේ ඇහෙන රුසියන් යුක්‍රේන යුද්ධයේ ප්‍රවෘත්තිවලින් පමණයි. නමුත් ඒ හැර, අඳින ඇඳුම් පැළඳුම්, කොණ්ඩ විලාසිතාවල් වගේ බොහෝ දේ වලින්  ෆිල්ම් එකේ අනෙක් හැම දෙකයක්ම සමාන වෙන්නෙ හැට හැත්තෑව කාලෙට. ඔහුත් ඇයත් දෙන්නාම ස්මාර්ට් ෆෝන් පාවිච්චියක් නැති, ඉන්ටර්නෙට් යුගයට අයිති නැති අය වගේයි පෙනෙන්නෙ. ෆිල්ම් එකට පාවිච්චි කරලා තියන පරණ සින්දු වලිනුත් මේ පරණ වයිබ් එක හොඳින්ම දැනෙන්න සලස්වනවා. දෙන්නාම මේ තාක්ෂණය මුල්කරගත්ත නූතන සමාජෙට අකමැති, ඒවාට අනුගත නොවෙන, පිටස්තර චරිත බව දනවන්න වෙන්න ඕනා අධ්‍යක්ෂවරයා මේ විදිහට චිත්‍රපටිය නිර්මාණය කර තියෙන්නෙ.

ෆිල්ම් එකට ඇතුළත් වෙන සිද්ධිදාමය මේ අපි ජීවත් වෙන වර්තමාන යුගයට අයිති එකක් බව දනවන එකම ක්‍රමය පසුබිමෙන් ඇහෙන යුක්‍රේන-රුසියා යුද්ධය ගැන ප්‍රවෘත්ති බව කලිනුත් කිව්වා. ඇයි ඇත්තටම යුද්ධයක් මේ කතාවට පසුබියෙමන් තියලා තියෙන්නෙ? ඒ ගැන එන්න පුළුවන් මෙහෙම නිගමනයකට. ලෝක සිතියමක් අරගෙන බැලුවොත්, ෆින්ලන්තය පිහිටා තියෙන්නේ රැසියානු මායිමේ බව දැකගන්න පුළුවන්. ඒ නිසා ඍජුවම සම්බන්ධ නොවුණත්, යුද්ධයේ කළු වළාකුළු ෆින්ලන්ත අහසේත් ඈතින් ඇඳී තිබුණා. ඒ වගේම, යුද්ධයට අමතරව, මේ කතාවේ ප්‍රධාන චරිත දෙක වුණු ඔහුටත් ඇයටත්, ජීවත් වෙන්න කරන්න සිද්දවෙලා තියෙන්න යකඩ, සිමෙන්ති, ගල්, වැලි එක්ක පොර බදන කම්කරු රැකියාවන්. දෙදෙනාටම ආදරය වගා කර රැකබලාගන්න සිදුවෙන්නෙ මේ වගේ දුෂකරකම් පිරුණු පොළවක කියන දෙයයි මම හිතන්නෙ නිර්මාණ කරුවන් අපට දනවන්න උත්සාහ කර තියෙන්නෙ. මතක විදිහට නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ Fallen Leaves ගැන පළවෙලා තිබුණු විචාරයේ සඳහන් කරලා තිබුණා මේක අපායෙන් පටන් අරගෙන ස්වර්ගයෙන් ඉවර වෙන, ඒ අතර හුදෙකලා රාත්‍රීන්, වෙහෙස වී වැඩ කිරීම්, අවමානයන්, සතුටු මොහොතවල්, මත්පැන්, සිගරැට් වලින් පිරුණු ෆිල්ම් එකක් කියලා. ආරම්භක දර්ශනයත්, අවසාන දර්ශනයත්, ඒ අතර වෙන සිදුවීම් ටිකත් එක පෙළට තියලා බැලුවොත් මේ කතාව අපිට තේරුම් ගන්න පුළුවන්. මට හිතෙනව Fallen Leaves කියන්නෙ ජීවිතයත් ආදරයත් එක ළඟ තියලා බොහොම යථාර්ථවාදීව විවරණය කරන සරල සුන්දර චිත්‍රපටයක් කියලා.



Wednesday, January 17, 2024

Four Daughters (2023)

2016 අවුරුද්දේ IS (Islamic State) ත්‍රස්ත සංවිධානයට සම්බන්ධව කටයුතු කිරීමේ වරදට Gofrane සහ Rahma කියන තරුණ ගැහැනු ළමයින් දෙන්නා ලිබියාවෙදි අතඩංගුවට පත් වෙනවා. මොවුන් දෙන්නාම ටියුනීසියානු ජාතිකයින් (ටියුනීසියාව පිහිටා තියෙන්නේ අප්‍රිකානු මහාද්වීපයේ උතුරින් ඊජිප්තුවට සහ ලිබියාවට යාබදව). මේ ගැහැනු ලමයින්ගේ විශේෂත්වය තමා මේ දෙන්නා සහෝදරියන් වීම. අනෙක් විශේෂත්වය මේ දෙන්නාට තවත් සහෝදරියන් දෙදෙනෙක් සිටීම. ටියුනීසියාවේ ගැහැනු ලමයින්ම හතර දෙනෙක් ඉන්නා පවුලක වැඩිමල් සහෝදරියන් දෙන්නා තමා මේ ත්‍රස්ත කටයුතුවලට චෝදනා ලබන Gofrane සහ Rahma කියන්නෙ. බාල සහෝදරියන් දෙන්නා Eya සහ Tayssir. මේ හතර දෙනාගෙම අම්මා Olfa. Olfa ට සෑහෙන ලොකු අවධානයක් ඒ කලයෙදි රට ඇතුළෙ ලැබෙනවා. ඇය තමන්ගෙ දියණියන්  දෙන්නා බේරගන්න නොබියව ඉදිරියට ගිහින් කතා කරනව. මේ අය බැතිමත් ඉස්ලාම් ආගමිකයින් වුණත් කොයිම විදිහකින් වත් අන්තවාදී අදහස් නොදරන බොහෝම සාම්ප්‍රදායික ටියුනීසියානු පවුලක්. එහෙනම් ඒ පවුලේම සහෝදරියන් දෙන්නෙක් සාමාන්‍ය විදිහට හැදී වැඩෙද්දී තවත් දෙන්නෙක් විතරක් ආගමික අන්තවාදයෙ ගොදුරු බවට පත්වෙන්නෙ කොහොමද? Four Daughters කියන්නෙ ඒ ගැන කතාවට. 

අරාබි භාෂාවෙන් නිමවී ඇති Four Daughters චිත්‍රපටයෙ විශේෂත්වය තමා මේ කතාව කියන්න ඉදිරිපත් වෙන්නේ ඒ අත්දැකීම්වලට මුහුණ දුන්න හැබෑම චරිත වීම. සිරගතව ඉන්න දියණියන් දෙන්නා වෙනුවට පෙනුමෙන් ඒ සමාන වෙනත් දෙන්නෙක් යොදාගෙන තියනවා. සමහර තැන්වල පමණක්, අම්මාගෙ චරිතය වෙනත් නිළියක් නිරූපණය කරනවා. පිරිමි චරිත හැම එකටම එකම නළුවෙක් ඉන්නවා. චිත්‍රපටිය ඇතුළෙදි Olfa තමන් ගෙ කුඩාකාලෙ ගැන කෙටියෙන් විස්තර කරමින්, ඈ විවාහ වුණු හැටි ඉන්පස්සෙ දරුවන් ලැබිලා ඔවුන් හදා වඩා ගත්තු හැටි සහ වෙනත් පිරිමින් එක්ක තිබුණ සම්බන්ධකම් විවෘතව කතා කරනවා. Eya සහ Tayssir ඔවුන් ගෙ ළමා කාලෙ ගැන සහෝදරියන් එක්ක තිබුණු මතකයන් ගැන විස්තර කරනවා. සමහර තැන්වල ඔවුන් රඟපාලා පෙන්වනවා. Four Daughters කියන්නෙ ප්‍රබන්ධමය කතාවකට එහා සත්‍ය ඒ අයුරින්ම වාර්තා කරන වාර්තාමය ගණයට ඇතුළත් කළ හැකි චිත්‍රපටයක්.

චිත්‍රපටයෙ ආත්මය තියෙන්නෙ මේ සහෝදරියන් හතර දෙනාත් අම්මාත් අතර පවුලක් විදිහට තියෙන අවියෝජනීය බැඳීම ඇතුළෙ. මොකද එකම කුසක ඉපදිලා, එකටම හැදිල වැඩිලා  එකටම ජීවිතේ බෙදාහදාගෙන එකම පවුලක් විදිහට ජීවිතේ ඇතුළේ  ගොඩනැගෙන බැඳීම වෙන කිසිම දෙයකට සමාන කරන්න බැරි නිසා. මග හැරුණු ඔවුන්ගෙම සහෝදරියන් දෙන්නා සිහිපත් කරන හැම තැනකදිම ඔවුන්ගේ ඇස්වලින් කඩා හැලෙන උණු කඳුළු ඊට සාක්ෂියි. Four Daughters කියන්නෙ පැහැදිලිවම ස්ත්‍රීත්වය ආත්මය කරගත්ත, ඔවුන්ගේ සැබෑම සිනහවන්, දුක්, කඳුළු, සුසුම් වලින් ඇඳුණු සිනමා සිත්තමක් බව කිව්වොත් නිවැරැදියි.

Four Daughters, 2023 වසරේ කාන්ස් සිනමා සම්මාන උළලේ Palme d'Or සම්මානය වෙනුවෙන් තරඟවදින්න තෝරාගෙන තිබුණා වගේම මෙ වසරේ පවත්වන්න නියමිත 96 වන ඔස්කාර් සම්මාන උළලේ හොඳම විදෙස් භාෂා චිත්‍රපටය වෙනුවෙන් ටියුනීසියාව නියෝජනය කරමින් තෝරාගෙන තිබෙනවා. 



Thursday, January 11, 2024

Dream Scenario (2023)

ඒ කාලේ ඩෙක් පීස් වලින්, වීසීඩීවලින්, නැත්නම් අයිටීඑන් සටර්ඩේ නයිට් මූවීස්වලින් චිත්‍රපටි බලපු අපේ ලෝකේ හිටි වීරයෙක් තමා නිකලස් කේජ් කියන්නේ. කොන් එයාර් වල ගුවන්යානාවක් මංකොල්ලකාර කණ්ඩායමකින් බේරාගන්න තනිව සටන් වැදුණු, ෆේස් ඕෆ් වල තමන්ගේ ස්වරූපය ගත්තු ජෝන් ට්‍රැවල්ටා එක්ක පොරබදපු, ද රොක් වගේ මිලිටරි ඇක්ෂන් මූවි එකක ෂෝන් කොනරි එක්ක රඟපාපු, ගෝස්ට් රයිඩර්වල යක්ෂාවේෂවන යතුරුපැදි ධාවකයා වුණු නිකලස් කේජ් ගේ තරුණ රෑපකාය 90 දශකය සහ 2000 මුල් කාලේ යුගවල නොස්ටැල්ජික මතක ආයෙ අවදිකරවනවා. ස්ටැලෝන් ලා, ආනෝල්ඩ්ලා ලොකු ප්‍රමාණයේ පෝස්ටර්වලින් රෙකෝඩ්බාර්වල, සීඩී කඩ ඇතුළේ අරක්ගනිද්දී, පොත් පත්තර සඟරා පිටුවල අවි ආයුධ අතේ දරාගෙන ඉඳිද්දී , නිකලස් කේජ් ලා, ජෝන් ට්‍රවල්ටා ලා, වෙස්ලි ස්නයිප්ස් ලා, බෘස් විලිස් ලා ත් ඒ අහළපහළම උන්නු බව මතකයි. කාලයත් එක්ක ටිකෙන් ටික මේ ඇක්ෂන් හීරෝ ලා සහ එයාලා පෙන්නපු වැඩ අපේ මතක පොත්වලටම සීමා වුණා, නැත්නම් වෙනත් අය ඒ තැන්වලට ආවා. ඒත් මේ ෆේස්බුක් යුගයේ නිකලස් කේජ් නම් ආයෙ අපි අතරෙ සැරිසරන්න පටන් ගන්නවා ආධාත්මික සුවය මීම් එකෙන්. (ඒක කොන් එයා ෆිල්ම් එකේ සීන් එකක්). 

කේජ් නම් ඇක්ෂන් හීරෝ පමණක් නොවෙයි මූන්ස්ට්‍රක්, ලීවින් ලාස් වේගාස්, සිටි ඔෆ් ඒන්ජල්ස් වගේ ෆිල්ම්වලින් රොමාන්තික ප්‍රේමවන්තයෙකුත් වුණා. හැබැයි කේජ් දිගටම රඟපෑමේ යෙදුණත් ඒ තරමේ කැපී පෙනෙන චිත්‍රපටයකින් ඉන්පස්සේ එළියට ආවේ නැති තරම්. විශේෂයෙන් 2010න් පස්සේ කාලය කේජ්ට ඒ තරම් සුබදායක වුණේ නෑ. නිකලස් කේජ් මේ කාලයේ නීතිමය ගැටළු ගණනාවකටම මුහුණ දුන්නා. වතාවක් පොලිස් අත්අඩංගුවටත් පත්වුණා. ඒව කොහොම වුණත්, රඟපාන චිත්‍රපටි එක දිගට අසාර්ථක වුණත්, වර්තමානය වෙද්දි නම් නළුවෙක් විදිහට තමන්ගේම අනන්‍ය ක්‍රමවේදයක් ගොඩනගාගෙන ඔහු සෑහෙන දියුණු මට්ටමකට පැමිණ ඉන්නා බවට විචාරක පැසසුම් ලබන්න නම් කේජ් සමත් වෙලා තියනව. (2021 ආව Pig ෆිල්ම් එකට සෑහෙන හොඳ ප්‍රතිචාර තිබුණා) තවමත් ඉහළම ගෙවීමක් ලබන නළුවන් අතරින් ඉහළින්ම ඉන්නා කෙනෙක් නිකලස් කේජ්. කලා පවුලකින් පැවත ආවත් (ගෝඩ්ෆාදර්, ඇපොකැලිප්ස් නව් වගේ අග්‍රගණයේ චිත්‍රපට හදපු ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපොලා කියන්නෙ නිකලස් ගේ මමා) තමන්ගෙම අනන්‍යතාවයකින් ඉදිරියට ආ කෙනෙක් ඔහු.

2023 දී ආව, A24 ප්‍රඩක්ෂන් එකක් වුණු Dream Scenario ෆිල්ම් එකෙන් නිකලස් කේජ් කම්බැක් එකක් කියන්න බැරි වුණත් එක්තරා විදිහක කම්බැක් එකක් දීලා තියනවා. A24 වැඩක් නම් වියර්ඩ් මාස්ටර්පීස් එකක් බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මේකත් එහෙම තමා. නමුත් මේ ෆිල්ම් එකේ වියර්ඩ් ගතිය ඇතුළේ යටි පෙළක් විදහට යම් අනතර්ගතය් තියන බව ෆිල්ම් එක බලද්දී දැනුණා. ඒ වගේම මේ ෆිල්ම් එක අපි ජීවත් වෙන මේ සෝෂල් මීඩියා යුගය සහ ඒ ඇතුළේ දේවල් ට්‍රෙන්ඩින් වෙන හැටි  කෑන්සල් කල්චර් හැදෙන හැටි වගේ නූතන සංසිද්ධීන් ගැන පොඩි විවේචනයක් ඇතුළත් වෙන බව හිතුණා. ඒ ගැන තමයි මේ බොහෝම කෙටියෙන් කියන්න උත්සාහ කරන්නේ.

මේ සෝෂල් මීඩියා වැඩකරන්නෙ තනිකර අවධානය උඩ දුවන ක්‍රමයක් අනුව නේ. සමහර පුද්ගලයෝ නැත්නම් සිද්ධි හිටි ගමන් හැමෝම කතා කරන, හැමෝගෙම අවධානය ගන්න මාතෘකා බවට පත්වෙනව මේක ඇතුළේ. ඔහොම මොකක් හරි දෙයක් ට්‍රෙන්ඩින් උනාම හැමෝම ඒ ගැන තමන්ගෙ අදහස් ෂෙයා කරන්න පටන්ගන්නව. එතකොට නිව්ස් ෆීඩ් එකේ දකින්න ලැබෙන්නෙ ඒ සම්බන්ධ දේවල් විතරයි. උපරිම සතියක් දෙකක් එක දෙයක් ගැන කියන්න ඕන දේවල් ඔක්කොම කියලා ඉවරවුණාම ඒව අවුට්ඩේට් වෙලා තව අලුත් මාතෘකාවක් කරළියට එනව. ඊටපස්සෙ කාලෙකින් ඒකත් ඉවර වෙනව. ඕක තමා සෝෂල් මීඩියා සංසාර චක්කරේ. මේ ට්‍රෙන්ඩින් වෙන දේවල්වලින් පිට දෙයක් ගැන නොදන්න සමාජයක් හැදෙන එක ඕකෙන් සිද්ද වෙන අහිතකර බලපෑමක්. නිව්ස් ෆීඩ් එකේ ඇහැට ඇනලා බලෙන් පෙන්නන දේ විතරයි දකින්නේ, ඉන් එහාට සොයායෑමක් නෑ, කොයිවෙලාවෙත් ෆෝන් එක තියෙන්නෙ අතේ, ලෝකෙ තියන ඕනම දැනුම් පද්ධතියක් ඇක්සෙස් කරන්න පුළුවන් ඒ මොහොතෙම. ඒ වුණත්, මේ අළුත් පරම්පරාවල් එක්ක වැඩකරනකොට දකින්න ලැබෙන දෙයක් තමා එයාලගෙ අදහස්, ආකල්ප, රසඥතාව මේ හැමෝම කතා කරන, ට්‍රෙන්ඩින් වෙන දේවල් වලින් එහාට ගිහින් නැහැ කියන දෙය. උදාහරණ විදිහට සින්දුවක් ඇහුවත් එයාල දන්නෙ යූටියුබ් එකේ ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ පෙන්නන ටික. මෙහෙම කෙනෙකුගෙන් කේමදාස මාස්ටර්ව දන්නවද කියල ඇහුවොත් ඒ කවුද කියලා උඩබිම බලන්න පුළුවන්. ලෝකෙ විවිධාකාර මියුසික් අහන, නොයෙක් අදහස් වලට විවෘත වෙලා තියන, ඒව ගැන සෙන්ස් එකක් තියන බොහොම ටික දෙනයි මට මුණගැහිලා තියෙන්නෙ ඔය පරම්පරාවල. 

කවදත් අමුතු අමුතු ජාතියෙ වැඩ එළියට දාන A24 ලාගේ Dream Scenario (2023) ෆිල්ම් එකත් ඔය ට්‍රෙන්ඩිං මාතෘකා උඩ දුවන නූතන සමාජෙ ගැන විවේචනයක් බවයි මට දැනුණේ. ෆිල්ම් එකේ ඉන්න පොල් මැතිව්ස් නම් මහාචාර්වරයාව රටේ බාගයකටත් වඩා දෙනෙකුට අහේතුකව හීනෙන් පේන්න පටන් ගන්නව. මේ නිසා පෝල් රටේ ජනප්‍රිය චරිතයක් බවට පත්වෙනව. හැමෝටම ඕන පෝල් එක්ක සෙල්ෆි ගන්න. පෝල් යන එන කන බොන හැටි වීඩියෝ කරන්න. පොල් මැතිව්ස් කියන්නේ පරිණාමික ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්. නමුත් පොල් තමන්ගේ විෂය ක්ෂේත්‍රය ගැන කතා කරද්දී කිසි කෙනෙකුට ඒ ගැන ඇහුම්කන් දෙන්න උවමනාවක් ඇති බවක් පෙනෙන්නේ නැහැ. පෝල් විසින් රචනා කරන ග්‍රන්ථයට වැඩි දෙනෙකුගේ අවධානයක් ලැබෙන්නෙ නෑ. පරිණාමික ජීව විද්‍යාව කියන්නේ අපි හැමකෙනෙකුම යම් තරමකින් හෝ දැනුමක් තිබිය යුතු විෂයයක්. මොකද අපේ බොහෝමයක් හැසිරීම්, ගතිගුණ, සිතුම් පැතුම්වලට හේතු සාධක වෙන කාරණා මේ විෂය හරහා අනාවරණය කරගන්න පුළුවන් නිසා. ආදි මානවයින්ගෙන් පැවත එන මිනිස් ගති ස්වභාවයන් ගැන නිවැරදි දැනුමක් තිබීම ජීවතයේ බොහෝ ගැටලුසහගත තැන් විසඳාගන්න උදව්වක් වෙනවා. නමුත් පෝල්ව සුපිරි තරුවක් බවට පත්කරලා තවත් සමාජ මාධ්‍ය රසකාරකයක් බවට පත්කරගැනීමත්, ඔහුව වෙළඳ ප්‍රචාරකයෙක් බවට පත්කරලා තමන්ගේ භාණ්ඩ විකුණාගන්න උත්සාහ කිරීමත් මිස සමාජය ඔහුගෙන් වෙන කිසි වැඩක් ගන්න බවක් අපිට දැකගන්න ලැබෙන්නෙ නෑ.  Dream Scenario ෆිල්ම් එකෙන් පෙන්වා දෙන්නෙ නූතන ලෝකයෙ මෙන්න මේ හැසිරීම.

කලින් කිව්වා වගේ නිකලස් කේජ් ගේ මෙතෙක් දකින්න නොලැබුණු විදිහෙ රංගනයක් එක්ක, වෙලාවකට හිනා යන, වෙලාවකට පොඩි බයක් ඇඟට දැනෙන අමුතු කතාවක් අරගෙන එන, වසරේ වෙනස්ම චිත්‍රපටයක් Dream Scenario කියන්නෙ.



Sunday, December 31, 2023

Dogtooth (2009)

කවද හරි දවසක මං මේ ලෝකෙට ආවෙ කොහොමද කියලා අම්මගෙන් හරි තාත්තාගෙන් හරි අහන පොඩි එකෙකුට බොහෝම වෙලාවට "කපුටා ගෙනත් දැම්මා" නැත්තං "රෝස කැලෙන් ඇහින්දා" වගේ උත්තරයක් ලැබෙන්න තියන්නේ ලොකු ඉඩකඩක්. සමහර විට අපෙන් වැඩි දෙනෙකුට එහෙම අත්දැකීම් ඇති. ඕකට බොහොම ප්‍රසිද්ධ ඇම්ඩන්ගෙ කතාවකුත් තියනව. තමන් සහ පවුලේ අය ඉපදුණේ කොහොමද කියලා ඇම්ඩා අම්මගෙන් ඇහුවම "රෝස කැලෙන් ගෙනාවා" කියලා පස්සෙ ඇම්ඩා ඉස්කෝලෙදි වයසින් වැඩිමල් කොල්ලෙකුගෙන් ඇත්ත විස්තරේ දැනගෙන "එතකොට අම්මෙ අපේ පරම්පරාවෙ එකෙක් වත් අහවල් වැඩේ කරල නැද්ද" කියලා ගෙදර ඇවිත් අහනව. මේක කිව්වම හිනායන කතාවක් වුණාට මේකෙ හිතන්න වෙනත් පැත්තක් තියනවා. දරුවන්ට සමහර දේවල් කියලා දෙද්දී දෙමව්පියෝ ඇත්ත වසන් කරනව නම්, දෙමව්පියෝ තමන්ට බොරු කළ බව කවදහරි දවසක දරුවෝ දැනගන්නව. නැත්නම් සමහර වෙලාවට දෙමව්පියෝ දරුවන්ව සමාජයට ලෝකයට හුරු කරවන්නෙ තමන්ට ඔවුන්ව දකින්න උවමනා ආකාරයට, තමන්ගේ අරමුණු වෙනුවෙන් මිස ඔවුන්ව එහෙම කළ යුතු ආකාරයට නොවෙයි.

සමහර දේවල් එකවරම දරුවන්ට කියාදෙන්න අපහසු වුණාට ජීවිතේ ගැන, රටේ ලෝකේ දේවල් ගැන ඇත්ත කරුණු කාරණා කියා දීමේ වගකීමක් දෙමාපියන්ට තියනව. මොකද එහෙම නූණොත් කවද හරි දරුවො සමාජෙට යන්නෙ නොදැනුවත්කම කරපින්නාගෙන. සමාජෙ කියන්නේ නොයෙක් දුර්මත, වැරදි අදහස් පිරැණු තැනක්. එතකොට දරුවනුත් නිවැරැදි දේ තෝරාබේරා ගන්න බැරිව මේ වැරදි අදහස්වලින් ඔලුගෙඩි පුරවාගෙන ඒ අදහස්ම නැවත සමාජෙ පතුරුවාහරින වැඩිහිටියන් බවට පත්වෙන්න තියන ඉඩකඩ වැඩියි. එතකොට, ඇත්ත කරුණු කාරණා සොයාබලලා තමන් දැනුවත් වෙන ගමන්ම තවත් පරම්පරාවකට ඒ නිවැරදි අවබෝධය උරුම කර දීම දෙමව්පියන් සතු යුතුකමක් බවට පත්වෙන්නෙ නිතැතින් ම යි. මෙතනදි මතක් වෙන්නෙ 2016 ආව Captain Fantastic ෆිල්ම් එක. දරුවො කිහිප දෙනෙකු ලොකුමහත් කර හදා වඩා ගන්න, ටිකක් විප්ලවකාරී අදහස් තියන තාත්තා කෙනෙකුගේ කතාවක් ඒක. දවසක් එයාගෙ පුංචිම දුව අහනව තාත්තේ මං ඉපදුණේ කොහොමද කියලා. එතනදි තාත්තා ඊට අදාල හැම කරුණක්ම හංගන්නේ නැතුව සහ පොඩි එකාට තේරුම්ගත හැකි මට්ටමෙන් කියා දෙනවා. දරුවත් තමන්ගේ බුද්ධිමට්ටම අනුව ඒ දේ තේරුම් ගන්නව. මේ චිත්‍රපටියේ තාත්තා කෑමෙන් බීමෙන් විතරක් නෙවෙයි අදහස් වලින් පවා දරුවන් පෝෂණය කරන පෙරළිකාර චරිතයක් ඇති තාත්තා කෙනෙක්. තවම බලා නැත්නම් අනිවාර්යයෙන් බලන්න. 

2009 ආව Dogtooth කියන්නෙත් මේ වගේ දෙමාපිය දූදරු සම්බන්ධකමක් ගැන කියවෙන, නමුත් සෑහෙන අසම්මත සහ බොහොම දෙනෙකුට නම් බලන්න ප්‍රියතාවක් ඇති නොවෙයි කියල හිතන්න පුළුවන් මට්ටමේ ෆිල්ම් එකක්. මේක ග්‍රීක් ජාතික සිනමාකරුවෙක් වුණු Yorgos Lanthimos මුල්කාලීනව කළ වැඩක්. මේ අවුරුද්දේ ආව Poor Things චිත්‍රපටයත් ඒක්ක Yorgos Lanthimos ගැන ආයෙමත් සිනමාව ගැන උනන්දු ජනතාව අතරේ කතාබහට ලක්වෙන්න පටන් අරන් තියනවා. කොහොම වුණත් Lanthimos මුල්ම වරට සිනමාකරුවෙකු විදිහට සැලකිය යුතු ජාත්‍යන්තර අවධානයක් දිනගත්තෙ Dogtooth ෆිල්ම් එකෙන්. තමන්ටම අන්‍ය සිනමා භාෂාවක් සමග වැඩි දෙනා හිතන්නෙවත් නැති මට්ටමේ වැඩවලට අතගහන පෙරළිකාර සිනමාකාරයෙක් ලෝකෙට ඇවිත් ඉන්නා බව Dogtooth වලින් ඉඟිකළා. (අද වෙද්දී Lanthimos මේ සිනමා මාවතේ සෑහෙන දුරක් ඇවිත් ඉන්නව). 

Dogtooth ෆිල්ම් එකේ තියෙන්නෙ දරුවන් තුන්දෙනෙක්ව බාහිර ලෝකයෙන් සහමුලින්ම ඈත් කරලා හදාවඩා ගන්නා මව් පිය යුවළක් ගැන කතාවක්. කෙටියෙන්ම කිව්වොත් ගෙදර තාප්පෙන් එහාට ලෝකයක් නැති බවයි මේ දරුවන්ට කියා දීලා තියෙන්නෙ. ඉන් එහාට අඩියක් වත් තියන්න තහනම්. අම්මාත් යොවුන් වියේ දූ වරු දෙදෙනාත් පුතාත් ගෙදර ජීවත් වෙන්නේ හිරකාරයින්ට සමානව. ගෙදර ගේට්ටුවෙන් එළියට යන්න කිසි කෙනෙකුට අවසර නෑ. කර්මාන්තශාලාවක් හිමි තාත්තා පමණයි දිනපතා එළියට ගිහින් අවශ්‍ය හැම දේම අරගෙන එන්නේ. (කර්මාන්ත ශාලාව ඉතා ප්‍රබල රූපකයක් මෙතනදි. කම්හලක භාණ්ඩයක් නිශ්පාදනය කරන ආකාරයට දරුවන් හදන පියෙක්) දරුවන්ට හැමදේම කියා දෙන්නේ දෙමව්පියන්ට උවමනා ආකාරයට. උදාහරණ විදිහට "මුහුද" කියන්නෙ ගෙදර තියන ලොකු පුටුවක්, "සොම්බී" කියන්නේ මිදුලේ හැදෙන කහ මලක්, "පූසා" කියන්නේ මිනිස්සුන්ව පණපිටින් කා දමන නපුරු සත්ත්වයෙක්, ඔය වගේ තවත් දේවල්. ලෝකය සම්පූර්ණයෙන්ම දෙමව්පියන්ට උවමනා විදිහට අර්ථකථනය කරලා ඒවයින් ළමයින්ගේ ඔළු පුරවනවා. කිසිම දෙයක් නොදන්න දරුවෝ ඒවා පිළිගන්නවා. මේ තාත්තා ළමයින්ට බුරන්න පුරුදු කරනවා, බල්ලන් වගේ හතරගාතෙන් ඇවිදින්න හුරු කරනවා, පුතා තරුණ වයසේ ඉන්න නිසා පුතාට අවශ්‍ය ලිංගික කටයුතු කරගන්න ගැහැණු ළමයෙක්ව නිතර නිතර ගෙදරට ගෙනත් දෙනවා. දැන් ඔබට හිතෙන්න පුළුවන් මේ මොන විකාරයක්ද කියලා. ඇත්තටම Dogtooth කියන්නේ බලන් ඉන්න අපහසු සහ ඔබටත් මටත් පුරුදු ලෝක ධර්මතාවන් ගෙන් ඈත්ව නිර්මාණය කර තිබෙන චිත්‍රපටයක්. වඩාත් නිවැරදිව කියනවානම් Lanthimos විශ්වය ඇතුළේ ගොඩනැගුණු වෙනත් ම ලෝකයක්. නමුත් මේ අභූතරූපී වෙනස් ලෝකය ඇතුළේ නිරූපිත වෙන්නෙ ඔබෙත් මගෙත් ලෝකයම තමයි.

වර්තමානයේ තරමක් කතාබහට ලක්වෙන හෝම්ස්කූලිං කියන මාතෘකාව එක්ක අපිට Dogtooth වෙනත් දෘෂ්ටි කෝණයකින් කියවාගන්න පුළුවන්. දරුවන් පාසලකට නොයවා නිවසේ තබාගෙනම, දෙමාපියන් විසින්, තෝරාගත් ගුරුවරයෙක් නැත්නම් ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලබා දෙන හෝම්ස්කූලිං කියන්නේ අධ්‍යාපනයේ වඩාත් නූතනම පියවර බවයි සමහර තැන්වල සඳහන් වෙන්නේ. විශේෂයෙන් පහුගිය කාලයේ තිබුණ කොවිඩ් තත්ත්වය එක්ක මේ මාතෘකාව කරළියට පැමිණුනා. එක් අතකින් Dogtooth චිත්‍රපටයෙන් හෝම්ස්කූලිංවල එක්තරා භයානක පැත්තක් පෙන්වා දෙනවා. දරුවන් නිසි ආකාරයෙන් සමාජගත නොවීම තමයි හෝම්ස්කූලිංවලට එල්ල වෙන ප්‍රබලම චෝදනාව. මොකද පාසලක් කියන්නේ හුදු විෂය කරුණු උගන්වන තැනක් නොවෙයි. පාසලක් කියන්නේ විවිධ ආගම් අදහන, වෙනස් සමාජ මට්ටම්වල, විවිධාකාර හැකියාවන් දරන සහ වෙනස් ආකාරයේ සිතුම් පැතුම් සහිත දරුපිරිසක් ඒකරාශී වුණු තැනකට. දරුවෙක් පාසල් යනව කියන්නේ සමාජයේ මේ විවිධත්වයට, මේ වෙනස්කම්වලට හුරුවෙනවා කියන දෙය. වෙනස් ආගම්වලට, වෙනස් අදහස්වලට ගරුකරන්න එතනදි දරුවෙක් ඉගෙන ගන්නවා. අනෙකා සමග සුහදව වැඩකටයුතු කරන්න හුරුවෙනවා. පොදු ස්ථානවලදී පවත්වාගන්න ඕන විනය ගැන අත්දැකීම් ලබනව. නමුත් ගෙදරම ඉදන් අධ්‍යාපනය ලබන දරුවෙක්ට ඒ දේවල් ලබාගන්න අවස්ථාවක් හිමි වෙන්නේ ඉතාම අවම වශයෙන්. ඒ වගේම හෝම්ස්කූලිං කියන්නේ මූලිකවම දෙමව්පියන් මතම රදා පවතින ක්‍රමයක් නිසා දරුවන්ට තමන් විසින්ම අධ්‍යාපනය දෙන්න තරම් දෙමව්පියන් කොයිතරම් සුදුසුයිද කියන දේ ගැටළුවක්. සමහර වෙලාවට ගුරුවරයෙක්ට පුලුවන් දෙමව්පියෙකුට වඩා හොදින් දරුවෙක් තේරුම් ගන්න. මොකද දෙමව්පියෝ දරුවන් ගැන හිතන්නේ තමා එක්ක සම්බන්ධ කරල. තමාගේම කොටසක් විදිහට හිතල. මේ නිසා සමහර වෙලාවට දරුවන් කියන්නේ තමන්ගේම ජීවිතයක් ඇති ස්වාධීන පැවැත්මක් ඇති අය විදිහට දකින්න දෙමාපියන් අසමත් වෙනව. නමුත් ගුරුවරයෙක්ට ඔය පූර්ව අගතීන් ගෙන් තොරව දරුවෙක් දිහා බලන්න පුළුවන්. ඒ වගේම දරුවන් බොහෝ ගණනක් එක්ක වැඩ කර අත්දැකීම් ඔවුන්ට තියෙනව. ඒ නිසා ගෙදරට සීමාකරන මේ වගේ අධ්‍යාපන ක්‍රමයක් කොයි තරම් සාර්ථක වෙන්න පුළුවන්ද කියන කරුණ ගැන ලොකු ප්‍රශ්ණාර්ථයක් ඉතිරි වෙනව. මේ ෆිල්ම් එක හරහා අපිට කරුණත් මතුකරගන්න පුළුවන්. ඒ වගේම Lanthimos කියා තියෙනව අනාගතයේදී පවුල කියන ඒකකය කොයි වගේ යමක් වේවිද කියන දේ මේ චිත්‍රපටයෙන් තමන් නිරූපණය කරන්න උත්සාහ කළ බව. ඒ ප්‍රකාශයෙන් ගම්‍ය වෙන්නේ නූතනවාදී ප්‍රවණතාවන් එක්ක ආදරය, ප්‍රේමය, පවුල, අඹු සැමියන් දරුවන්, අධ්‍යාපනය හැම දෙයක්ම ගමන් කරන්නේ අවසානේ සියළු දේ හැඟීම් දැනීම් නැතිව යාන්ත්‍රික කරණය වීම වෙතද යන ගැටළුවයි. 

Lanthimos ගේ සිනමා භාවිතය කියන්නේ වෙනම පෝස්ට් එකකින් කතා කළ යුතු යමක්. ඒ තරම් කතා කරන්න දේවල් තියන මාතෘකාවක්. Lanthimos කියන්නේ බොහෝවිට තමන්ගේ තිර පිටපත තමන්ම ලියල තමා විසින්ම අධ්‍යක්ෂණය කරන සිනමාකරුවෙක්. ඔහුගේ චිත්‍රපට ඔහුටම අනන්‍යයි සහ සුවිශේෂයි. Lanthimos ගේ චිත්‍රපටි ඇතුළේ හැම දෙයක්ම සිද්ද වෙන්නෙ ඔහුගේම විශ්වයක මිස අපි දන්න ලෝකයේ නෙමෙයි. මිනිස්සුන්ගේ හැසිරීම් සහ ඒවා මෙහෙයවෙන තාර්කික පසුබිම චිත්‍රපටියටම පමණක් අදාළ ඒවා. උදාහරණ විදිහට, මේ චිත්‍රපටයේ තාත්තා වාහනේ නවත්වලා වැඩට යන්නේ පාරේ හිතෙන තැනකින් මිස වාහන නවත්වන්න නියමිත තැනකින් නොවෙයි. ඔහුගේම The Killing of a Sacred Deer චිත්‍රපටයේ ඉන්නා කිසිම කෙනෙක් හිනා වෙන්නේ නෑ. ඔවුන් කනව, බොනව, විනෝද වෙනව, සින්දු කියනව, නටනව නමුත් ඒ දේවල් කරන්න ඕන නිසා මිස ඒ ගැන හැඟීමකින් නොවෙයි. ඔහුගේ චිත්‍රපටවල චරිත ගොඩක් වෙලාවට දක්වන්නේ යාන්ත්‍රික හැසිරීම්. ඒ චිත්‍රපටයෙම අපරාධමය සිදුවීම් කිහිපයක් අපි දැක්කත් පොලීසිය ලොකුවට සම්බන්ධ වෙන්නෙ නෑ. කෙනෙක් කරන දෙයට සමානව විපාක දෙන කර්මය වැනි ක්‍රමයකින් සියලු දේ සිදුවෙන්නේ. බලා ඉන්න අපහසු දර්ශන, අත්භූත ගුප්තමය සිදුවීම් ඔහුගේ චිත්‍රපටවලට බහුලයි. ඔහුගේ රූප රාමු වල හිස් අවකාශය වැඩියි. ඔහුගේ පසුතල ඉතා පිළිවෙළයි, පැහැදිලියි. ඒ වගේම ඔහු සුදු වර්ණය තරමක් වැඩියෙන් භාවිත කරනවා (ඔහුගේ නිල වෙබ් අඩවියට ගිහින් බලන්න). ඒ වගේම, වර්ණ, හැඩතල, අවකාශය අවමයෙන් භාවිත කරන යම් අවමවාදී (Minimalist) බලපෑමක් Lanthimos ගේ චිත්‍රපටිවලින් දැකගන්න පුළුවන්. පසුතලයක වුණත් හිස් ඉඩකඩ වැඩිපුර තියලා අවශ්‍ය වස්තූන් පමණක් ස්ථානගත කර තැබීම, අතුරු කතාවලින් තොර මූලිකම ආඛ්‍යානය සහ ඊට අදාළ සිදුවීම් පමණක් ඇතුළත් වීම ඔහුගේ අනන්‍ය සිනමාකරණයේ මූලික ලක්ෂණ. දෛනික ජීවිතේ මතුපිට අවකාශයෙන් සැඟවී පවතින් ජීවිතේ අප්‍රසන්න අඳුරු යථාර්ථයන් වෙනස්ම කතා තේමාවන් හරහා තිරයට ගෙන ඒමයි ඔහුගෙ ක්‍රමය. ග්‍රීසියේ ඇතනස් නුවර ඉපදිලා සිනමාවෙන් උසස් අධ්‍යාපනය ලබලා අද වෙද්දි ඇමරිකානු හොලිවුඩ් පුරවරයේ සුප්‍රකට රංගවේදීන් සමග වැඩකරන තැනට දුර ගමනක් ඔහු ඇවිත් තියෙනවා. (Dogtooth නැරඹීමෙන් පස්සෙ සුප්‍රකට හොළිවුඩ් නළු Colin Farrell මේ අධ්‍යක්ෂවරයා යටතේ තමන් වැඩකරන්න ඉතා කැමැත්තෙන් සිටිනා බව කියා තිබෙනවා. The Lobster චිත්‍රපටයට ඔහුගේ ආගමනය සිද්ද වෙන්නෙ එහෙම)

වර්ණ ගැලපීම් සහ රූප රාමු ගොඩනැංවීම අතින් තමන්ගේම සිනමා භාෂාවක් වැඩි දියුණු කරගැනීමයි ඔහුට මේ තරම් විශාල සාර්ථකත්වයක් ලබන්න හේතු වෙලා තියෙන්නෙ කියල මං හිතන්නෙ. Lanthimos ගේ අලුත්ම චිත්‍රපටිය තමා Poor Things. මීට කලින් ආව Lanthimos ගේ අවසන් චිත්‍රපටිය The Favourite වල ප්‍රධාන චරිතයක් කළ Emma Stone මේකේ ප්‍රධානම චරිතය රඟ දක්වනව. දැනගන්න ලැබුණ විදිහට 2024 අවුරුදේ එළිදකින්න නියමිත Lanthimos ගේ මීළග සිනමාපටය Kind of Kindness වලත් ප්‍රධාන චරිතෙ කරන්නේ Emma Stone මයි. Lanthimos ගේ ඕනෑම චිත්‍රපටයකට තමන් ඉතා කැමැත්තෙන් දායක වෙන බව Emma කියා තිබුණ බවක් දැක්කා. Emma සහ Lanthimos සුසංයෝගය එක්ක තව හොඳ වැඩ ටිකක් ඉදිරියට වේවි කියල හිතෙනව. Poor Things සිනමා ශාලාවල බලන්න අපේ රටේ අවස්ථාව නැති හින්දා ඉක්මණනින්ම වෙබ් පිටපතක් වත් ඒවි කියා බලා ඉන්නව.



Thursday, December 21, 2023

රහස් කියන කඳු (2023)

මේ දවස් ටිකේ නිව්ස් ෆීඩ් එක පුරා වැඩියෙන් දැකගන්න ලැබුණ ට්‍රැවල් වීඩියෝ එකකට අනුව නම් ලංකාව කියන්නෙ ලෝකෙ තියෙන ලස්සනම සංචාරක ගමනාත්ත අතර තියෙන රටක් (ඒකෙ තිබ්බ වැඩිහරියක් අතිශ්‍යෝක්ති ඉතින්. ඒක වෙනම කතාවක්). ඒ වගේම ලංකාව ලෝකෙ තියන ඉහළම ජෛව විවිධත්ව කලාප අතරට අයිති වෙන බවත් සඳහන් වෙලා තියනව දැක්කා. ඒක නම් ඇත්තක් වෙන්න පුළුවන්. අපට ලොකුවට නොදැනුණාට මේක සොබාව සෞන්දර්ය පිරුණු රටක් තමයි. කොයි අතක බැලුවත් කොළ පාට තැවරුණු ගස් ගොමු, තැනිතලා, මීදුම් දැවටුණු කඳු වැටිවලින් මෙහේ අඩුවක් නෑ. (හැබැයි දැන් තියන විනයක් නැති සමාජයත්, ව්‍යාපාරිකයිනුත්, දූෂිත දේශපාලනයත් එක්ක ඔය සොබාවික සම්පත් ටිකත් තව කොච්චර කාලයක් යනකම් ඔහොම තියේවිද කියන්න බෑ). ඒ වුණත් ඔය ලස්සන රටේ ඉතිහාසය ඇතුළෙ හැංගිලා තියෙන රහස් ටික නම් එච්චර ලස්සන නෑ. විශේෂයෙන්ම ඔය හැත්තෑව අසූව කාල වකවානුවල කැරළි කෝලහාල ඇස්දෙකෙන් දැකපු, අනූව දශකෙ සහ ඉන්පස්සෙ තිස් අවුරුදු යුද්ධෙ එක්ක උතුරෙත් (විශේෂයෙන්ම) දකුණෙත් සමාජවල පැතිරිලා තිබුණ බිය අත්විඳපු, අඩුගාණෙ ඒව ගැන කියවලාවත් තියෙන කෙනෙකුට නම් මේ කාරණේ හොඳාකාරවම වැටහෙන්න ඕන. මෑත පරම්පරාවල් ගොඩක් වෙලාවට මේ දේවල් දන්නෙ නැහැ, අපේ රටේ මෑත ඉතිහාසය ගැන දැනුමක් අපිට ලැබෙන්නෙ නෑ, මේක අපි අනිවාර්යයනේ හොයා බැලිය යුතු කලාපයක්. (ඒ සිදුවීම් එකතු කරල වර්ගීකරණය කරොත් ලෝකෙ තියෙන අවලස්සනම, සාහසිකම, නින්දාසහගතම ලයිස්තුවට දාන්න පුළුවන් වේවි ඕන නම්). ඒව හොයල බැලුවොත් පෙනෙන දේ තමා ලංකාව කියන්න යක්කු වසන පාරාදීසයකට කියන කාරණය. රාජ්‍යය (බලය) කියන සන්දර්භය ඇතුළේ මේ යක්කුන්ගෙ (මර්ධකයින්ගේ) පැත්තෙන් හිටගත්තාම පේන්න තියන දර්ශනයයි ජගත් මනුවර්ණගේ රහස් කියන කඳු චිත්‍රපටියෙන් අපිට නිරාවරණය කරන්නෙ.

මේ යක්කු, නැත්නම් රජයේ අවශ්‍යතාව වෙනුවෙන් පැහැරගැනීම්, පහරදීම්, ඝාතන සිද්ධ කරන මිනිස්සු කියන්නෙත් කන, බොන, අඩි ගහන, කුණුහරුප කියන, මළමිනි ගෙනියන වාහනේම ගෙදරට ෆ්‍රිජ් එකක්, වොෂින් මැෂින් එකක් දාගෙන යන සාමාන්‍ය මිනිස්සුම තමයි. (යක්ෂ රෑන්ක් එක අනුව විසඳගන්න තියෙන ප්‍රශ්න වෙනස් වෙනවා හැබැයි) නමුත් මේ පීඩකයින් අතින් සිද්ධ කෙරෙන ප්‍රචණ්ඩත්වය ආපහු තිරය ඉස්සරහ මවල පෙන්නනවට වඩා මේ චිත්‍රපටයෙන් මේ මර්ධකයින් දෘෂ්ටිවාදීව, එනම් අදහස්මය වශයෙන්, ස්ථානගත වෙන ආකාරය කල්පිත සිදුවීම් මාලාවක් හරහා ප්‍රතිනිර්මාණය කර පෙන්වනවා. (ප්‍රචණ්ඩත්වය ආපහු මවල පෙන්වන්න ගියොත් මේ ෆිල්ම් එක අපිට බලනන් ඉන්න බැරි මට්ටමේ එකක් බවට පත්වෙන්න තියන ඉඩකඩ වැඩියි, අනිත් එක, ප්‍රචණ්ඩත්වය කියන්නේ ලෝකයේ නම් ඉතිහාසයට අයිති කාරණාවක්ම නෙවෙයි, උදාහරණ විදිහට ගාසා තීරයේ අත දරුවාගෙ පටන් වැඩිමහල්ලා පවා පණපිටින් බාබෙකිව් කරමින්, ඊශ්‍රායල‍ය, ඇමරිකානු රාජ්‍ය අනුග්‍රහය ඇතිව බෝම්බ අතහරින වර්තමානයකයි ඔබත් මමත් ජීවත් වෙන්නේ).

දෘෂ්ටිවාදය කියන යෙදුම ව්‍යවහාර වෙන්නෙ යම් ජනසමාජයක් පදනම් කරගෙන ගොඩනැගී විශාල ලෙස පැතිරුණු අදහස් පද්ධතියක් හඳුන්වන්න. අපේ රට ඇතුළේ, අපේ රටට අනන්‍ය වුණු අපේකම, දේශීයත්වය, ආගම වගේ දේවල් මත මේ වගේ දෘෂ්ටිවාද ගොඩනැංවී තියෙනවා. හෙළ වෙදකම වර්ණනා කෙරෙන්නේ, රාවණා යළි නැගිටින්නේ, බිලි පූජා, ශාන්තිකර්ම වගේ දේවල් කෙරෙන්නේ මේ දෘෂ්ටිවාදී බලපෑමෙන්. (වෙදකම වගේ දෙයක තිබිය හැකි සැබෑ ගුණ අගුණ වෙනම කාරණයක්. නමුත් සමාජය ඇතුළෙ, මාධ්‍ය හරහා දෘෂ්ටිවාද වෙනුවෙන් මේවා පාවිච්චි වීම වෙනම දෙයක්)

මේ ගැන වැඩිදුරටත් සරල වටහාගැනීමකට ගියොත්, සමාජ විචාරක ටෙරී ඊගල්ටන්ට අනුව දෘෂ්ටිවාදය යනු, //

1. සමාජ ජීවිතයේ අර්ථ සංඥා හා වටිනාකම් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියක්

2. විශේෂ වූ සමාජ කණ්ඩායමක් හෝ පන්තියකට ආවේණික වූ අදහස් පද්ධතියක්

3. අධිපති දේශපාලන බලය සුජාත කිරීමට උපකාරී කරනු ලබන අදහස්

4. අධිපති දේශපාලන බලය සුජාත කිරීමට උපකාරී කරනු ලබන ව්‍යාජ අදහස්

5. විෂයයට (subject) තත්ත්වයක් සපයන යමක්

6. සමාජමය වශයෙන් අවශ්‍ය මායාවක්

7. කතිකාව හා බලය සම්බන්ධ වීමක්

8. සමාජ ජීවිතය ස්වාභාවික යථාර්ථය බවට පත් කරන ක්‍රියාවලියක් //

(උපුටා ගැන්ම ත්‍රිමාණ වෙබ් අඩවිය)

රාජ්‍ය ඇතුළේ බලය ක්‍රියාත්මක වෙද්දී, පාලකයින්ට තම බලපැවැත්ම වෙනුවෙන් මේ දෘෂ්ටිවාද, එනම් ගතානුගතික අදහස් පද්ධතීන්, අනිවාර්ය උපකරණයක් විදිහට භාවිතයට ගන්න සිද්ධ වෙනවා. මාධ්‍ය, සහ ආගමික සංස්ථාවන් කියන්නෙ මෙතනදි ලොකු දායකත්වයක් දෙන ආයතන දෙකක්. යක්ෂයින්ට සිල්රෙදි අන්දලා වොයිස්කට් ගැනීම හරහා මාධ්‍යයත්, මිනීමරන අත්වලට පිරිත් නූල් ගැටගැසීම සහ රජයේ අනුහසින් ගොඩ ගැසුණු මළමිනීවලට පාංශුකූලය දීම හරහා ආගමත් දෘෂ්ටිවාදීව රාජ්‍යය වෙනුවෙන් අනුග්‍රහකත්වය දරන බව චිත්‍රපටයෙන් පෙන්නුම් කරනව. මේ දෘෂ්ටිවාදී කවුළුව හරහා අපිට ෆිල්ම් එකේ ඇතුළුවෙන්න පුළුවන්. 

ඝාතකයින්ගේ කතාවට අමතරව තව අතුරු වියමන් කීපයක් අපි ෆිල්ම් එක ඇතුළෙ අපි දකිනව. මේව මූළිකම ආඛ්‍යානය සමග පෑහෙන්නේ ඉතා සියුම්ව. මේ අතුරු වියුම් චිත්‍රපටයට අවශ්‍ය වෙන්නෙ ඇයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් යම් ආඛ්‍යානයක මූලික තේමාවන් අර්ථගැන්වීමෙදි මේ කුඩා අතුරු කතාවලට හිමි වෙන්නේ වැදගත් තැනක්. රහස් කියන කඳු චිත්‍රපටියෙදී නම් හාමුදුරුවන්ගේ සිද්ධිදාමය එක පැත්තකින් ෆිල්ම් එකට ආධ්‍යාත්මික හරයක් එකතු කරනව. විශේෂයෙන්ම ගිනි තියන දර්ශනය, එතනදි නම් දෙබස් අවශ්‍ය නැහැ කියලා හිතෙන තරමට රෑපමය ගොඩනැංවීම ඉතා ප්‍රබලයි. (තවත් එවැනි තැන් කිහිපයක් තිබුණා, සිංහල චිත්‍රපටියක දැක්ක ප්‍රබලම රෑපරාමු ටිකක් මේකෙන් දැක්කා) අනෙක් අතින් පුතා අහිමි තාත්තාත්, අම්මාත් පීඩිතයන්ගේ පැත්තේ කතාව තිරය මත පිළිබිඹු කරනව. (හරකෙක් ඇතිදැඩි කරනා, අසාර්ථක කැරැල්ලකින් පසුව අතුරුදහන් පුතෙක් ඉන්නා තාත්තා) යම් තිගැස්මක් එක්ක ආත්මික වශයෙන් කම්පනයක් ඇති කරන්න මේ අතුරු කතා ටික සමත් වෙනව. ඒ හින්දා මං හිතනව ඒව ෆිල්ම් එකට අවශ්‍ය බව.

සිනමාත්මක වශයෙන් හොඳම නිර්මාණයක් විදිහට, ලාංකික සිනමාව ඇතුළේ මේක සුවිශේෂ සංධිස්ථානයක් විදිහට සළකුණු කරන බවට සැකයක් නෑ (රඟපෑම්, කැමරාව, පසුතළ ඉස්තරම් මට්ටමක තිබුණා, රඟපෑම ගැන කිව්වොත් ඉතින් අපිට ඉන්න නියම බුලට් ටිකක් තමා මේ ඉන්නෙ, මේ අයට වැඩ පෙන්විය හැකි නිර්මාණ හැදෙන්නේ ඉතාම අඩුවෙන් වීමයි ගැටළුව) මුල මැද අග සහිත සම්පූර්ණ කතාවක් නොකියා, රෑපය සහ ශබ්දය සිනමාත්මක භාෂාවක් විදිහට සංකේතාත්මකව යොදාගෙන, නරඹන්නාට යමක් දනවන්නත්, ඒ දැනෙන දේ ඔස්සේ හිතන්න පෙළඹවීමත් කියන කාරණා එක්කයි මේ ෆිල්ම් එකේ විශේෂත්වය අපිට හඳුනා ගන්න හැකි වෙන්නෙ. ප්‍රෙක්ෂකයින්ට ෆිල්ම් එක මගහැරෙන්න පුළුවන් ලොකුම තැනත් එතන. මොකද වැඩි දෙනා චිත්‍රපටියක් බලන්න වාඩිවෙන්නෙම යම් සම්පූර්ණ කතාවක් බැලීමේ අරමුණෙන්මයි. එහෙම අරමුණකින් බලන්න ආව කෙනෙකුට නම් බලාපොරොත්තු කඩවුණා වෙන්න පුළුවන් බොහෝ දුරට. මොකද සමහරු කියා තිබුණා කතාවක් විදිහට මේකෙ අඩුවක් ඇති බවක් දැනුණා කියලා. නමුත් සිනමාපටයක් නිමාවක් සහිත කලාකෘතියක් බවට පත්වෙන්න නම් ඒකට සම්පූර්ණ කතාවක් ඇතුළත් විය යුතු යැයි පිළිගැනෙන්නේ නෑ. (නූතනවාදී කලා ප්‍රවණතාවන් ඇතුළෙ හඳුනාගත හැකි මූලිකම ලක්ෂණයක් මේ පරිපූර්ණ ආඛ්‍යානයකින් තොර වීම. නැත්නම් ප්‍රධාන ආඛ්‍යානය බිඳ දමා ඉදිරිපත් කිරීම, ජීවිතය නම් අපරිපූර්ණ ප්‍රපංචය පරිපූර්ණව කලාවට නැගිය හැකි වෙන්නෙ කොහොම ද? මෙතනදි නූතනවාදින් නහන ප්‍රශ්නයයි ඒ. එහෙනම් ඕනෑම දෙයක් කලා කෘතියක් බවට පත්විය හැකි ද? කලාත්මය වශයෙන් නිමාවක් යම් නිර්මාණයක් විසින් අත්පත් කරගන්නෙ කොහොමද? මේක නොයෙක් සංවාද විවාද ඇතුළේ ගොඩනැගුණු සෑහෙන විවාදාපන්න තත්ත්වයක්) චිත්‍රපටය ඇතුළේ සිදුකරන රූපමය ගොඩනැංවීමයි (ශබ්දයත් ඇතුළත්ව) අවසානයෙදි වැදගත් වෙන්නෙ. සිනමාවෙ සෞන්දර්ය තියෙන්නෙ එතන. හරියට කවිය වගේ තමා. කවියකින් දැනෙන දෙයක් අපිට වෙනත් ක්‍රමයකට කියන්න බෑ. සාමාන්‍ය ව්‍යවහාර භාෂාවෙන් කියන්න බැරි දෙයකුයි කවියක් බවට පත්වෙන්නෙ. කලා මාධ්‍යක් විදිහට සිනමාව වැඩ කරන්නේත් එහෙමයි. ප්‍රේක්ෂකයා තමන්ගේ හදවතින් චිත්‍රපටයේ රෑප සෞන්දර්ය විඳ ගැනීමත් ඒ එක්කම කතිකාමව වශයෙන් ඒ රෑප මාධ්‍යන්ගෙන් මතු කරන තේමාවන්ට සංවේදී වෙමින්, තම බුද්ධිය මෙහෙයවා පරිකල්පනය ඔස්සේ කතාව සමග අනන්‍ය වීමත් තමයි සිදුවිය යුතු වෙන්නේ. එතනදි රහස් කියන කඳු කියන්නේ සාර්ථකත්වය අත්පත් කරගත්ත නිර්මාණයක් බව කිවහැකියි.

සංකේත භාවිතය ගැන කිව්වම ෆිල්ම් එක බලපු ඕන කෙනෙකුට මුලින්ම මතක් වෙන්නෙ සැටලිම. සැටලිම ෆිල්ම් එකට එන්නේ අතුරු කතාවක් හරහා වුණත් ඒක වෙනම කතාවක් ලියන්න පුළුවන් තරම් ප්‍රබල රෑපකයක් විදිහට මෙතනදි වැඩකරනව. සැටලිමක් කියන්නේ ප්‍රධන ගොඩනැංවීමක, සිමෙන්ති ඝන වෙනකම් බර දරා ඉන්න යොදන තාවකාලික ඉදිකිරීමක්. මෙතන ප්‍රධාන ගොඩනැගිල්ල තමයි යම් දේශපාලකයෙක් සහ ඔහු සතු බලය, ඔහු බලයට පත්වෙන්නෙ අපේකම, දේශීයත්වය වගේ දෘෂ්ටිවාදයන් හරහා රට ජාතිය ආගම ඉස්සරහට දමාගෙන. (ගොඩක් වෙලාවට අපේ රටේ සිද්ධ වෙන්නෙ ඕක තමා). මේ බලය ස්ථාවර කරගන්න ආගමික සංස්ථා, ආරක්ෂක අංශ වගේ දේවල් තාවකාලික ටූල් එකක් විදිහට මේ දේශපාලකයා විසින් පාවිච්චියට ගන්නව. හැබැයි හැමදේම බලය ආරක්ෂා කර ගන්න පමණයි. ඉන්පස්සෙ මේ කාගෙන්වත් වැඩක් නෑ. (සැටලිමෙන් ගලවල විසි කරපු උණ බම්බුවක්, මැරිලා ඉන්න ආරක්ෂක නිලධාරියෙක්, අමුතු විදිහට හිතන සහ මාධ්‍ය ඉස්සරහට වැද්ද නොගන්න හාමුදුරුනමක්, අපිට ඕන නම් මේ ටික එක පෙළට තියන්න පුළුවන්). රටේ උසස් තනතුරුවල කඳු වගේ වැජඹෙන බොහෝ දෙනාගෙ ඇතුළාන්තයේ හැංගිලා තියෙන්නෙ ඔය වගේ රහස් තමයි.

ඒ වගේම අනෙක් පැත්තෙන් නිහතමානී ගණිකාව කියන්නෙ කලා නිර්මාණ ඇතුළෙ අපිට බහුල වශයෙන් හමු වී තියෙන චරිතයක්. එහෙම චරිතයක් මේ කතාව ඇතුළෙත් දකින්න ලැබීම අපිට ලොකු විස්මයක් අරගෙන එන්නෙ නැති වුණත් පීඩිතයෙකුගේ රැකවරණය තවත් පීඩිතයෙකුම (ඇය තමන් තෝරා නොගෙන මේ වෘත්තීයට බලෙන් ඇද දැමූ කෙනෙක් බව උපකල්පනය කරොත්, එහෙම හිතන්න සාධක ෆිල්ම් එකේ තිබුණා) බවට මතුකරණ කාරණාව වැදගත්, (ගණිකාවගේ චරිතය රගපාන නිළිය ගැන විශේෂයෙන් කියන්න ඕන, ලොකු අභියෝගාත්මක රංගනයක් නමුත් ඈ ඉතාම විශ්ෂ්ඨ ආකාරයෙන් ඇගෙ කොටස කර තිබුණා), ඇය ඇඳුම් අඩුවෙන් ඇඳගෙන සිටීමෙන් කියවෙන්නෙ ඈ බාහිර සමාජ ආටෝපයෙන් මිදුණු අවංක හැඟීමෙන්ම ඒ අවස්ථාවෙ ඔහු වෙනුවෙන් ඉස්සරහට ආව බව වෙන්න පුළුවන්. (ඒත් ඒ මොහොතේ මාත් එක්ක චිත්‍රපටිය බැලූ ප්‍රේක්ෂකාගාරයේ සමහරු නම් ඒ දිහා බැලුවෙ මහ අප්‍රසන්න දෙයක් විදිහට, ඒ ගැන සෑහෙන කණගාටුයි)

කතන්දර කීම ඉක්මවා යන මේ වගේ චිත්‍රපට අපේ රටේ නිර්මාණය වීම සෑහෙන සතුට දනවන දෙයක්. බහුතර ප්‍රේක්ෂකාගාරයට අනුව හැඩ නොගැසී, තමන්ගේ නිර්මාණයට අවංකවෙමින්, ඒ වෙනුවෙන් පෙනී සිටිය හැකි කලා පෞරුෂයන් තවත් මේ පොළවේ බිහිවීම අවශ්‍යයි. ජගත් මනුවර්ණ ගේ රහස් කියන කඳු කියන්නෙ එතනදි හොඳ පූර්වාදර්ශයක් සපයන පුරෝගාමී වැඩක් බව කියන්න කැමතියි. ඉන්දියාවේ, ඉරානයේ, යුරෝපයේ මේ වගේ උසස් කලාත්මක චිත්‍රපට දැකල පුරුදු අපිට අපේම සිනමාව ඇතුළේ ඒ වැනි හොඳ නිර්මාණ බිහිවෙන ප්‍රවණතාවක් හැදේවි කියන බලාපොරොත්තුව දැනට ඉතිරියි.




Wednesday, December 13, 2023

The Holdovers (2023)

නත්තල් කිට්ටු වෙන දවස් කියන්නෙ ඉස්සර නම් දින ගැන ගැන මග බලා උන්නු කාලයක්. විශේෂයෙන්ම නත්තල සහ අලුත් අවුරුද්දක උදාව සමරන අපි විතරක් නෙමේ, වැඩි දෙනෙක් සතුටින් ප්‍රීතියෙන් උත්සවාකාරයෙන් ගත කරන කාල සීමාවක් මේ. නමුත් ගොඩක් දෙනා කියලා තියනව දැක්කා අපි පොඩි කාලෙ තිබුණා වගේ දැන් නත්තල වුණත් වැඩියෙ දැනෙන්නෙ නෑ කියල. ඒ කතාවත් වැරදි නෑ. ඉස්සර නම් ඔක්තෝබර්, නොවැම්බර් වෙනකොට පරිසරේ ඇතිවෙන සීතල ගතිය එක්ක දැනුන ඒ නත්තල් ගතිය දැන් එහෙම දැනෙන්නෙ නෑ. එක්කො අපි වයසට ගිහින් ද, නැත්නම් තරඟකාරී මේ සමාජ ක්‍රමය ඇතුළෙ නත්තල කියන්නෙත් දහසක් වැඩ මැද්දෙ පොඩි හුස්මක් අරන් ආයෙත් වැඩ රාජකාරි වලට දුවන්න තියන්න පොඩි ඉඩකඩක් විතරක් වෙලාද, නැත්නම් රටේ තියන දුෂ්කර ආර්ථික තත්ත්වය එක්ක සතුටු වෙන්න බැරි තරම් අපි පීඩාවට පත්වෙලාද කියලා වෙනම හිතල බලන්න ඕන..  මේව ගැන කියන්න ගියොත් මේක දිග හෑල්ලක් වෙනව. කොහොම හරි කියන්න ඕන වුණේ මේ අවුරුද්දේ ආව, නත්තල කියන හැඟීම ඇඟටම දනවපු චිත්‍රපටියක් ගැන. The Holdovers මේකෙ නම. මේක 1970 අවුරුද්ද පසුබිම් කරගෙන හැදුණ ෆිල්ම් එකක්. මේ 70 වයිබ් එක නිසාද මන්දා ඉස්සර අපි බලපු Home alone, Fluke, Harry potter වගේ ඒවා මතක් වෙන ලොකු නොස්ටැල්ජියාවක් අවදි කරවන්න සමත් ගතියක් මේකෙ තියනවා. ඒ වගේ ලස්සන සුන්දර චිත්‍රපටි දැන් හැදෙනව අඩු ඇති සමහර විට, නැත්නම් එහෙම ඒව අපිට දැන් මඟහැරෙනව වෙන්නත් පුලුවන්. ඒත් මට නම් මේක බලල ඉවර වුණාම, නිර්මාණය කළ අයට මේ නත්තල් කාලේ සිනමාත්මකව මතක හිටින වැඩක් කළාට ස්තූතියි කියන්න තරම් හිතුණා.

චිත්‍රපටියට පසුබිම් වෙන්නේ Barton නම් පිරිමි ළමුන්ගේ නේවාසික පාසල. මේ ඉස්කෝලෙ ඉන්නව මැදි වයසේ පසුවෙන Paul Hunham නම් තනිකඩ ගුරුවරයෙක්. Paul කියන්නේ අර සුනිල් පෙරේරා මහත්තයගෙ තාත්තා වගේ දරුණු නීති රීති දමලා ළමයිව පාලනය කරන්න උත්සාහ කරන, ළමයින්ට හතුරෙක් වගේ පේන කෙනෙක්. දෙසැම්බර් නිවාඩුව එක්ක ළමයින්ට ආපහු ගෙවල් බලා ගිහින් නිවාඩුව ගතකරන්න අවස්ථාව ලැබුණත් කීපදෙනෙකුට විතරක් ගෙවල්වලට යන්න වෙන්නෙ නෑ. ඒ නිසා ඒ අයට සිද්ධ වෙනවා නිවාඩු කාලෙත් ඉස්කෝලෙම නතර වෙන්න. කරපු යම් හිතුවක්කාර වැඩක් නිසා මේ ළමයින්ව බලා කියා ගන්න පැවරෙන්නේ අපේ Paul මහත්මයට. නාහෙට නාහන නව යෞවන වයසේ විසේකාර කොලු ගැටව් ටික රේගුලාසි කාර Paul මහත්තයා එක්ක හිම වැටෙන සීත කාලේ ඉස්කෝලෙක කොටු වෙලා කොහොම මේ නිවාඩුකාලේ ගත කරාවිද. විශේෂයෙන් නත්තලත් ළඟ ළඟම එනකොට?

Dead Poets Society, Good Will Hunting, Blind Side වගේ ගුරුවරයා සහ ශිෂ්‍යයා ගැන කියවෙන චිත්‍රපටි ගණනාවක් මේකත් එක්ක සිහියට නැගුණාත් මේකෙ තියෙන සනීපදායක නත්තල් වයිබ් එක, 70 දශකෙ පසුබිම සහ සරල සුන්දර ගතිය එක්ක වෙනස් විදිහට හිතට දැනෙන කතාවක් මේක. දැනටම Awards බර ගාණකට නොමිනේට් වෙලා සහ දිනාගෙන තියනව සහ ඉස්සරහට ඔස්කාර් සීසන් එකේදිත් The Holdovers වැඩිපුර ඇහෙන නමක් බවට පත්වෙන්න හොඳටම ඉඩ තියෙනව. 

මේ අවුරුද්දේ මෙතෙක් බැලූ ඒවයින් මං වැඩිපුරම කැමති චිත්‍රපටිය බවට පත්වෙන්න The Holdovers සමත් වුණා. (බොහෝ විට ඒක ඉදිරියටත් එහෙම වේවි). මීට වඩා සිනමාත්මකව ඉහළින් තියන්න පුලුවන් චිත්‍රපටි මේ අවුරුදේදේ තව දුටුවත්, ඒ කිසිම එකකට වඩා හිතට වැදුණේ මේක තමයි. ෆිල්ම් එකට භාවිත කරල තිබුණ වින්ටේජ් කලර්ස්, කනට ප්‍රිය එකෝස්ටික් බැක්ග්‍රවුන්ඩ් මියුසික්, නත්තල මුල් කරගත්ත කතා තේමාව වගේ දේවල් එක්ක, කොච්චර උසස් සිනමා නිර්මාණ දැක්කට (මේකත් උසස් නිර්මාණයක් තමා) මේ කතාව හදවතට ළඟ තැනක නතර වුණ එක අරුමයක් නෙමේ. වැඩිදුර විස්තර කියන්නෙ නෑ. මේ අවුරුද්දේ බැලුව ලස්සනම ෆිල්ම් එක. මේක අනිවාර්යයෙන් මිස් නොකර බලන්න!