Wednesday, June 18, 2025

කිසලොව්ස්කිගේ දසපණත හෙවත් Dekalog

 1980 දශකයේ දවසක පෝලන්තයේ එක්තරා නගරයක වීදියක් දිගේ ගමන්ගනිමින් උන්නේ එරටේ කීර්මත් සිනමාකරු ක්‍රිසිස්ටොෆ් කිසලොව්ස්කි (Krzysztof Kieślowski). ටික දුරක් යද්දී ඔහුට අහම්බෙන් වගේ මුණගැහෙන්නේ දන්නා හඳුනන කෙනෙකුව. ඒ තමන්ගේ සහායක තිර පිටපත් රචකයා විදිහට වැඩ කළ නීතීඥ ක්‍රිසිස්ටොෆ් පියෙසිවිච් (Krzysztof Piesiewicz). කිසලොව්ස්කිට පියෙසිවිච් මුලින්ම මුණගැහෙන්නේ ඔහුගේ මිත්‍රයෙකුගේ මාර්ගයෙන්, ඔහුගේ පෙර චිත්‍රපටියකට පෝලන්තයේ පවතින නීති පද්ධතිය ගැන තොරතුරු ලබාගැනීමේ උවමනාවකට. පසුව කිසලොව්ස්කිගේ චිත්‍රපටි ගණනාවකම සහායක පිටපත් රචකයා පියෙසිවිච් බවට පත්වීම දක්වා මේ දැන හැඳුනුම්කම දුරදිග යනවා. ඔහු ගැන සඳහන් කරද්දී, පියෙසිවිච් කියන්නේ ලේඛනයට වඩා කතාවේ දක්ෂයෙක් බවයි කිසලොව්ස්කි කියන්නෙ. පියෙසිවිච් ගේ අදහස් බොහෝවෙලාවට කිසලොව්ස්කිගේ සිනමා නිර්මාණ පෝෂණය කළා. ඇමරිකානු ජාතික මහා සිනමාකරු ස්ටැන්ලි කුබ්රික් මේ දෙදෙනාගෙ සිනමාත්මක සුසංයෝගය ගැන සඳහන් කරමින් කියන්නෙ මේ දෙදෙනාට "සරලවම යමක් ප්‍රකාශ කරනවට වඩා තමන්ගේ අදහසක් නාටකීය ස්වභාවයෙන් ප්‍රතිනිර්මාණය කිරීමෙ දුලබ කුසලතාව" ඇති බව.


පෝලන්තයේ පැවතුණු කොමියුනිස්ට් පාලනය 1980 දශකයේ ආරම්භයේ රටේ පනවා තිබුණ යුධ නීතිය ඉවත් කළ සමයි මේ වෙනකොට ගතවෙමින් තිබුණේ. රට පුරාම විශේෂයෙන් දේශපාලනිකව විරුද්ධ අදහස් දැරූ කණ්ඩායම්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක වුණු අතර එදිනෙදා ජන ජීවිතය ඇද වැටෙමින් තිබුණේ පීඩාකාරී ස්වභාවයකට. යුධ නීතිය පැවතුණු යුගය නීතිවේදීන්ට වඩාත් වැඩ අධික කාල සීමාවක් බවට පත්වී තිබුණත් යුධ නීතිය ඉවත් කළ පසුව ඔවුන්ට වෘත්තිය වශයන් සෑහෙන ලිහිලක් ලැබුණ කාලසීමාවක් වුණා. සිනමාකරු කිසලොව්ස්කිට පියෙසිවිච් මුණ ගැහෙන්නෙ ඔන්න ඔය නීතිමය රාජකාරි අවම නිදහස් කාලසීමාවේ දි. පියෙසිවිච් සෑහෙන කල්පනාවක ගිලී උන්නු බව තමන්ට පෙනුණා යැයි පසුව ඒ ගැන සඳහන් කරද්දී කිසලොව්ස්කි කියනවා. මේ දෙදෙනාගෙ කතාබහ ඇදී යන අතරේ පියෙසිවිච්  එකවරම කිසලොව්ස්කිට මෙහෙම කතාවක් කියනවා. "කවුරු හරි දසපණත ගැන චිත්‍රපටියක් හදන්නම ඕන, මං හිතන්නෙ ඔයා තමා ඒකට සුදුසුම කෙනා." දසපණත නමින් හැඳින්වෙන්නේ බයිබලයේ පුරාණ ගිවිසුමට අනුව දෙවියන්වහන්සේ තමන් තෝරාගත්තු ජනතාව වුණු ඊශ්‍රායෙල් සෙනගට ලබා දුන්නු විනය නීති මාලාවකට.  


(බයිබලයේ සඳහන් ඊශ්‍රායලය සහ අද ඒ නමින් හැඳින්වෙන රට අතරේ වෙනසක් තියනව. බයිබලයේ ඊශ්‍රායෙල් කියන නම මුලින් භාවිත වෙන්නෙ ආබ්‍රහම් ගේ මුනුබුරෙකු වන ජාකොබ් වෙනුවෙන්. බයිබලයේ පැරණි ගිවිසුමට අනුව දෙවියන් ගැන දැඩි විශ්වාසයකින් ජීවත් ආබ්‍රහම් නම් පුද්ගලයාගේ පරම්පරාවෙන් තමන්ගේ පුත්‍රයා ලෝකයට ගැලවුම් කාරයෙකු විදිහට එවන බවට දෙවියන් වහන්සේ පොරොන්දු වෙනවා. ආබ්‍රහම්ගේ මුණුබුරු ජාකොබ් දවසක් දේවදූතයන් සමග සටන් කර ජය ලැබූ නිසා "දෙවියන් සමග පොරබදා දිනූ තැනැත්තා" කියන අර්ථය ඇති ඊශ්‍රායල් යන නාමය ඔහු ලබනවා. ජාකොබ්ට පුත්‍රයන් 12 ක් ඉන්නවා. මේ අය ගෙන් හට ගන්න ගෝත්‍ර 12  ක සෙනග ඒ අනුව ඊශ්‍රයෙල් සෙනග විදිහට නම් ලබනවා. මිසරයේ පාරාවෝ රජුගෙ වහලුන් බවට පත් වෙන්නෙ මේ අය. පසුව මිසරයෙන් නිදහස ලබලා එන මේ සෙනග මැදපෙරදිග කලාපයේ කානාන් නම් දේශයෙදි සාවුල් නම් රජ කෙනෙක් යටතේ ඊශ්‍රායල් දේශය පිහිටුවනවා. පසුව පර්සියන්, රෝම, තුර්කි ආක්‍රමණ එක්ක මේ දේශයේ සීමාමායිම් බොඳවෙලා යනව. නූතන ඊශ්‍රායලය කියන්නෙ ලෝක යුද්ධ තත්ත්වයන් එක්ක අවතැන් වුණු ලොව පුරා සිටිනා යුදෙව් ජාතිකයන් ඒක රාශි කරමින් 1948 දි එක්සත් ජාතින් ගේ සංවිධානය පිහිටුවපු රාජ්‍යය.)


දෙවියන් ඊශ්‍රායල් සෙනගට දුන් නීති මාලාව කාරණා 10 කින් සමන්විත වෙනවා. දසපණත කියන යෙදුම එන්නේ ඒ අනුව. පියෙසිවිච්ගේ අදහස අපූරු එකක් බව කිසලොව්ස්කි ට දැනුණා. නමුත් දසපණත කිව්වාම බොහෝ දෙනා දන්න සහ ඒ වනවිටත් සිනමාවට නැගී තිබුණ ආගමික, ඓතිහාසික කතා පුවතක් ප්‍රතිනිර්මාණය කරනවා වෙනුවට ඔහුගේ මනස යොමු වුණේ වෙනත් මානයකට. 


80 දශකය කියන්නේ කලිනුත් සඳහන් කළා වගේ පෝලන්ත රාජ්‍යට සෑහෙන පීඩාකාරී කාල පරිච්ඡේදයක් බවට පත් වී තිබුණා. එරටේ පැවතුණු ඒකාධිපති වාමාංශික කොමියුනිස්ට් පාලනය සහ ආර්ථික අස්ථාවරභාවය නිසා පොලන්ත ජන ජීවිතය පත්වී තිබුණේ ව්‍යාකූල තත්ත්වයකට. බොහෝ දෙනා මේ රට අතහැර යමින් හිටියා, ආතතිය සහ බලාපොරොත්තු සුන්වුණු භාවය එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය අත්දැකීම බවට පත්වී තිබුණා. මෙන්න මෙවැනි පසුබිමක දී, දසපණතේ එක් එක් පණත ගැන වෙන වෙනම කෙටි චිත්‍රපටි 10ක් නිර්මාණය කළ යුතු බව කිසලොව්ස්කි කල්පනා කරනවා. (ජීවිතය සම්බන්ධයෙන් තමන්ට තිබෙන්නේ එය දුක්මුසු වේදනාකාරී යමක් ය කියන අසුබවාදී දැක්මක් බව කිසලොව්ස්කි කියා තිබෙනවා. තිත්ත කටුක ජීවිත යථාර්ථයන් බොහෝ විට ඔහුගේ සිනමා නිර්මාණවලින් පිළිබිඹු වෙන ආකාරයක් දැකගන්න ලැබෙනවා) නමුත් මුල පටන් ඔහු අදහස් කළේ කාලීන දේශපාලන හෙවණැල්ලෙන් මිදිලා ජීවිතය සම්බන්ධ ආත්මික පසුබිමක මේ චිත්‍රපටි 10 නිමවිය යුතු බව. එය පෝලන්තයට පමණක් නොවෙයි. සර්ව ලෝකවාසීන්ට තම ජීවිත අත්දැකීම සමග ඒකාත්මික විය හැකි ආකාරයෙන් නිර්මාණයවෙන විශ්වීය නිමැවුමක් බවට පත් විය යුතු වුණා. පසුව කිසලොව්ස්කි සහ පියෙසිවිච් අතර ඇතිවුණු දීර්ඝ සංවාද මාලාවක ප්‍රතිඵලයක් විදිහට දසපණතේ එක් එක් පණතට අදාළව පැයක ධාවන කාලයක් සහිත කෙටි චිත්‍රපටි දහයක පිටපත් ලියැවෙනවා. 1988 සහ 89 අවුරුදුවල පෝලන්ත රූපවාහිනියේ විකාශය වුණ, කොටස් 10 කින් සමන්විත Dekalog නම් කෙටි චිත්‍රපට මාලාව නිර්මාණය වෙන්නේ ඒ අනුව. Dekalog සිනමා ඉතිහාසයේ සම්භාවනීයම කලා කෘතියක් විදිහට අදටත් සැලකුම් ලබනවා.


දෙවියන්වහන්සේ ඊශ්‍රායෙල් ජනතාවට දසපණත දෙන සිද්ධිය අරගත්තාම මෙන්න මේ සිද්ධිය වෙන්නේ ඊශ්‍රායෙල් ජනතාවට අතිශය තීරණාත්මක වුණු කාලසීමාවක. කාලායන්තරයක් තිස්සේ මේ ඊශ්‍රායෙල්වරු ජීවත් වුණේ මිසරයේ, පාරාවෝ රජවරුන්ගේ වහලුන් විදිහට. දෙවියන් මෝසෙස් නම් පුද්ගලයා තෝරාගෙන ඔහුගේ නායකත්වය යටතේ ඊශ්‍රායෙල් වරුන්ව වහල් බවින් මුදාගෙන රතු මුහුදෙන් එතෙර කරවලා මිසර දේශයෙන් පිටමං වෙන්න අවස්ථාවක් හදලා දීලා ඔවුන්ට නිදහස ලබා දෙනවා. නිදහස ලබන ඊශ්‍රායෙල් සෙනග ඉන්පස්සෙදි පත්වෙන්නේ අයාලේ යන තත්ත්වෙකට. වහල් ජීවිතයක් ගතකිරීම එක්තරා ආකාරයකට පහසුයි. උදේ අවදි වුණ වෙලාවේ පටන් රෑ නින්දට යනකම්ම නියමිතව තිබෙන්නේ වහල් හිමියා නියම කරන වැඩ කොටස ඉටුකිරීම පමණයි. ඉන් එහාට අලුතෙන් හිතන්න යමක් නෑ. නමුත් නිදහස් මනුෂ්‍යයෙකුගේ ජීවිතය එහෙම නැහැ. තමන් ගැන වගේම අනුන් ගැනත් වගකීමක් ඔහුට තියනවා. තමන් ගේ ජීවිතය ස්වෝත්සාහයෙන්ම ඔහු ගොඩ නගා ගත යුතු වෙනවා. "මිනිසා නිදහස් අයෙකු වීමේ දණ්ඩනය ලබා ඇත" කියලා දාර්ශනික ෂෝන් පෝල් සාත්‍රේ කියන්නේ ඒ නිසා. වහල් බවින් නිදහස ලැබූ ඊශ්‍රායෙල් සෙනග සාදාචාරයෙන් පිරිහුණු පාපිෂ්ඨ ජන කොට්ඨාශයක් බවට පත්වෙනවා. මේ බව දකින දෙවියන්වහන්සේ ඔවුන් යම් විනය නීති මාලායක් යටතේ නැවත ගොඩනංවන අදහසිනුයි තම අතැඟල්ලෙන්ම ලියන පණත් දහයක් සීනයි කන්ද මුදුනේදි මෝසෙස්ට ලබා දෙන්නේ. වහල් බවින් නිදහස ලැබූ මේ ඊශ්‍රායෙල් සෙනග කියන්නේ වර්තමානයේදි ලෝක යුද්ධ දෙකක් පසු කරලා, රජුන් සහ රදළ සමාජ පංතියක් මුල්කරගත් වැඩවසම් සමාජ ආකෘතිය ඉක්මවලා, නූතනවාදය සහ පශ්චාත් නූතනවාදයෙනු ඉදිරියට ඇවිත් ඉපැරණි සම්ප්‍රදායන් බිද දමලා සෑම කෙනෙකුටම සම අයිතිය සහ නිදහස සහතික වන ප්‍රජාතාන්ත්‍රික සමාජයක ජීවත් වන ඔබ සහ මම විදිහට උපකල්පනය කරන්න පුළුවන්. එහෙනම් මේ නිදහස් නූතනත්වයත් එක්ක වඩාත් විපරීත වගේම සංකීර්ණ සමාජ පැවැත්මක් ඇතුළෙ අපි විසින් ගොඩනගාගත යුතු අර්ථාන්විත සහ සාරවත් ජීවිත පැවැත්ම තියෙන්නේ යම් ශික්ෂාවක් සහ විනයකට අනුගත ජීවන ක්‍රමයක් ඇතුළේ ද කියන පැනයට පිළිතුරු අපි වෙනම සොයා ගත යුතු යමක් වෙනවා. 


Dekalog කතා මාලාවේ හැම කතාවක්ම නිර්මාණය වෙන්නේ එකම මහල් නිවාස සංකීර්ණයක් මුල් කරගෙන. එක් එක් කතාවල අපි දකින්නේ වෙනස් චරිත. සමහර එකම චරිත කොටස් කිහිපයක නැවතත් අපි දකිනවා. (පොඩි කාලේ ආසාවෙන් "මායාබන්ධන" බැලුවානම් ඔබට මතක ඇති, ඒ කතාවේ "කොරියන්" ගේ චරිතය රගපෑ Krzysztof Kumor මේ Dekalog වල සුළු චරිතයකට පෙනී සිටිනවා.) තවත් එක චරිතයක් මේ කතා මාලාවේ කතා අටක පමණ ඔබට දැකගන්න ලැබෙනවා. ඔහු කිසිදෙයක් කියන්නේ නැහැ. ඔහු කරන එකම දේ බලාසිටීම පමණයි. නමුත් ඔහු බලා සිටින්නේ තරමක් දුක්මුසුව. ඔහු කවුදැයි කිසලොව්ස්කි ගෙන් කිහිප වතාවකම බොහෝ අය විමසා තිබෙනවා. නමුත් ඒ හැම විටම කිසලොව්ස්කි පිලිතුරු දෙන්නේ ඔහු කව්දැයි තමන් නොදන්නා බව. ඔහු මිනිස් සමාජය දිහා කලකිරීමෙන් බලා ඉන්නා එක්තරා ආකාරයක දේව දූතයෙක් වන්නට පුළුවන්. ඔහු සාතන්ගේ සහායකයෙක් වෙන්නත් පුළුවන්, නැතිනම් මිනිස් සමාජය දිහා හිස් බැල්මකින් බලා ඉන්නා තවත් එක මනුෂ්‍යයෙක් වන්නටත් පුළුවන්. සමහර විචාරකයින් පවසන්නේ ඔහුගෙන් නිරූපිත වෙන්නේ හුදු බැල්මක් පමණක් බව. එනම් අපේ ක්‍රියාවන් බොහෝ වෙලාවට තවත් කෙනෙකුගේ ඇසට අසුවෙනවා, නැත්නම් අපේම හෘද සාක්ෂිය අපි දිහා බලා ඉන්නවා. තමන් කරන කියන දේ ගැන අවසානේදි කාටත් ගැලවීමක් ලබන්න බෑ. මේ නමක් නැති චරිතයෙන් පිළිබිඹු වෙන්නේ එවැනි දෙයක් වෙන්න බොහෝ දුරට ඉඩ තිබෙනවා. Dekalog කතාමාලාවේ 5 සහ 6 වන කතාංගයන් චිත්‍රපට විදිහට නැවත සංස්කරණය කරලා සිනමා ශාලාවල තිරගත කරන්න කිසලොව්ස්කි කටයුතු කළා. ඒ පිළිවෙලින් A Short Film About Killing සහ A Short Film About Love නම්වලින්. අලුතෙන් ක්ෂේත්‍රයට පිවිසුණු නවක අධ්‍යක්ෂකවරුන් දහ දෙනෙකු යොදවලා Dekalog කතා දහය නිර්මාණය කරන්න මුලින් සැලසුම් කෙරුණත් පිටපත් දහය දුටුවාම ඒවා දහයම තමන්ට අධ්‍යක්ෂණය කරන්න ඇතිවුණු ආශාව වළක්වාගන්න බැරිවුණු බව කිසලොව්ස්කි කියා තිබෙනවා. නමුත් කැමරා ශිල්පීන් දහ දෙනෙක් කොටස් දහය වෙනුවෙන් යොදාගෙන ඔවුන්ට අභිමත ආකාරයට මේ රෑප මාලාව ගොඩනගන්න තමා නිදහස දුන් බව ඔහු කියනවා. 


(Mild spoilers ahead... මින් ඉදිරියට තියෙන්නේ එකින් එක Dekalog කෙටි චිත්‍රපට දහය ගැන සාරාංශයක්. නොබැලූ කෙනෙකුට හැකි තරම් spoil නොවෙන ආකාරයට කෙටියෙන් සහ සංක්ශිප්තව එක් එක් කතාව සටහන් කර තැබීම පමණයි අරමුණ.)

.

.

.

.


බයිබලයේ සඳහන් දස පණතට අනුව කිසලොව්ස්කිගේ Dekalog කෙටි චිත්‍රපට මාලාවේ සංයුතිය සකස් වෙන්නේ මේ ආකාරයට. 


1. කොටස

බයිබලයට අනුව පණත - සැබෑවූ එකම දෙවියන්ට පමණක් වන්දනා කරව.


කිසලොව්ස්කිගේ අර්ථ නිරෑපණය - විද්‍යාව සහ ආගම අතර නොනිමි අරගලය.


කතා සාරාංශය - විද්‍යාඥයෙක් සහ ඉතාම ඉහළ බුද්ධියක් හිමි ඔහුගේ කුඩා පුත්‍රයා වටායි මේ පළමු කතාව නිර්මාණය වෙන්නේ. පියා තම පුත්‍රයාට පරිගණකයක් ලබා දෙනවා. පුතා තම හැකියාව මෙහෙයවලා කෘත්‍රීම බුද්ධියකින් ඕනෑම ගැටළුවකට විසඳුම් ලබා දෙන පරිඝණක වැඩසටහනක් නිර්මාණය කරනවා. නමුත් ජීවිතය සම්බන්ධයෙන් තීරණාත්මක ගැටළුවකට පරිගණක බුද්ධිය ආශ්‍රයෙන් විසඳුම් සොයන්නට යාමෙන් විශාල ඛේදවාචකයක් සිද්ධවෙනවා. ආගමක් විශ්වාස නොකළ විද්‍යාඥවර පියා අවසානේ පල්ලියේ අල්තාරය පාමුළ වැටිලා සිදුවුණු දේ ගැන දෙවියන්ට දොස් පවරනවා. දෙව් මැදුරේ තිබෙන මරියතුමියගේ පින්තූරය මතට ඉටිපන්දම් දියර වැටිලා ඈ හඬා වැළපෙන ආකාරයක් දිස්වෙනවා. මෙය ඉතාම විශිෂ්ඨ ආකාරයෙන් රූපගත කළ දර්ශනයක්. 


2. කොටස

බයිබලයට අනුව පණත - දෙවියන්ගේ ශ්‍රී නාමය ගැන බොරුවටවත් නිරන්තරයටවත් නොදිව්රව


කිසලොව්ස්කිගේ අර්ථ නිරෑපණය - යමෙකුගේ වචනයට සිදුකළ හැකි බලපෑම


Dekalog කතාමාලාවට පසුබිම් වෙන නිවාස සංකීර්ණයේ ඉන්නා එක කන්තාවක් මේ දෙවනි කතාවට මුල්වෙන්නේ. ඇගේ සැමියා බරපතළ විදිහට රෝගාතුර වෙලා රෝහල්ගතවයි ඉන්නේ. ඇය තවත් පෙම්වතෙක් ඇසුරු කරනවා. ඔහුගෙන් ඇයට දරුවෙක් ලැබෙන්න යනවා. රෝහලේදි ඇගේ සැමියාට ප්‍රතිකාර කරනා වෛද්‍යවරයා ඉන්නෙත් මේ නිවාස සංකීර්ණයේ ඇගේ නිවාසය කිට්ටුව. වෛද්‍යවරයා මුණගැහෙන්න යන කාන්තාව රෝගාතුරව ඉන්නා තමන්ගේ සැමියා එයින් මරණයට පත්වෙයිද නැත්නම් සහතිකවම ඔහුට ජීවත් වෙන්න හැකියාවක් තිබෙනවද කියන දේ වෛද්‍යවරයාගෙන් විමසනවා. සැමියා මියයනවා නම් දරුවාව හදාවඩා ගන්නත් ඔහු ජීවත් වෙනවා නම් දරුගැබ විනාශ කරදමන්නත් ඇයට අවශ්‍යයි. නමුත් අවංකවම වෛද්‍යවරයාට මේ ප්‍රශ්නයට ස්ථිර පිළිතුරක් දෙන්න බැහැ. කාන්තාවගේ සැමියා මියයන්න වගේම ජීවත් වෙන්නත් එක වගේම හැකියාව තිබෙනවා. වෛද්‍ය වරයාගෙන් ඉක්මණ් පිළිතුරක් ඇය බලාපොරොත්තු වෙනවා. මේ සංකීර්ණ තත්වය ඔහු විසඳාගන්න ආකාරය මේ කතාවෙන් පෙන්නුම් කෙරෙනවා.


3. කොටස

බයිබලයට අනුව පණත - ඉරුදිනත් ණය මංගල්‍ය දිනත් නිවාඩු වලංගු කරව.


කිසලොව්ස්කිගේ අර්ථ නිරෑපණය - සමහර විශේෂ කාලසීමාවන් (උදාහරණ - නත්තල..) විශ්ෂාකාරයෙන් අරුත්ගැන්වීම.


නත්තල්දා රාත්‍රිය කියන්නේ කොයි කවුරුත් තමන්ගේ පවුල එක්ක ගත කරන වෙලාවකට. පවුලේ හැම කෙනෙකුම එකතුවෙලා ප්‍රීතිමත්ව සමරන උත්සවාකාර මොහොතකට. නමුත් එක්තරා ටැක්සි රියදුරෙක්ට නම් එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඔහුගේ පැරණි පෙම්වතිය නත්තල් දා රෑ ඔහුව අමතන්නේ හදිස්සි කාරණාවකට ඔහුගෙන් උදව් ලබා ගන්න. ඉක්මණින් එන්න හිතලා ගෙදරට බොරුවක් කියලා එළියට එන ටැක්සි රියදුරාට මුහුණ දෙන්න සිද්ද වෙන්නේ අමුතු අත්දැකීමකට. නත්තල පසුබිමේ තියන් මිනිස් බැඳීම්වල වටිනාකම ගැන සහ අපි එකිනෙකාට එකිනෙකා කොයි තරම් අවශ්‍යද කියන කාරණේ ගැන මේ කොටසින් විස්තර කෙරෙනවා.


4. කොටස

බයිබලයට අනුව පණත - මව්පියන්ට සංග්‍ර්‍රහ කරව.


කිසලොව්ස්කිගේ අර්ථ නිරෑපණය - පවුල තුළ මානව සම්බන්ධතා


තමන්ගේ පියා එක්ක ජීවත් වන එක් තරුණ ගැහැනු ළමයෙක් මුල් කරගෙන මේ කොටස නිර්මාණය වෙන්නේ. ගැහැණු ළමයාගේ අම්මා එයා කුඩා කාලෙම මිය ගිහින්. රාජකාරි කටයුත්තකට තාත්තා දින කිහිපයකට රටින් බැහැරව යනවා. ඒ අතරේ තාත්තාගේ කාමරයේ තිබිලා මේ දියණියට හමුවෙනවා තමන්ගේ අම්මා මිය යන්න කලින් තමන්ට ලියූ ලියුමක්. නමුත් මේ ලියුම විවෘත කරන්න ඉල්ලා තිබෙන්නේ දවසක තාත්තාගේ මරණය සිදු වුණායින් පසුවයි. ගැහැණු ළමයා ලියුම විවෘත කරලා කියවා බලනවා. මේ ලියුම ඔවුන්ගේ ජීවිතවලට ලොකු බලපෑමක් කරන්න සමත්වෙනවා. 


5. කොටස - A Short Film About Killing

බයිබලයට අනුව පණත - ජීවිත විනාශ නොකරව.


කිසලොව්ස්කිගේ අර්ථ නිරෑපණය - අපරාධය සහ ඊට ලැබෙන දඩුවම.


අහේතුක ආකාරයෙන් දුෂ්ඨකම් කරන්න පෙළඹුණු තරුණයෙක්වයි මේ කතාවෙදි දැකගන්න ලැබෙන්නේ. එක් තැනකදී ඔහු අතින් තවත් මනුෂ්‍යයෙක් මිය යනවා. නීතිය ඉදිරියේ වරදකරු බවට පත්වන ඔහුට මරණීය දණ්ඩනය නියම වෙනවා. මේ නඩුවේදි ඔහු වෙනුවෙන් පෙනී ඉන්නේ ආධුනික නීතීඥවරයෙක්. මේ ඔහුගේත් පළමුවෙනි නඩුව. පළමු නඩුව පරාජය වීම සහ මනුශ්‍යයෙක්ට මරණ දණ්ඩනය දෙන ආකාරය බලාසිටින්න සිදුවීම ඔහුව දැඩිව පීඩාවට ලක්කරනවා. මේ කොටසේ මරණ දඬුවම දෙන අවස්ථාව රූපගත කරද්දී අදාළ නළුවන් සහ කාර්මික ශිල්පීන් පවා සෑහෙන අපහසුතාවට පත්වුණු බව කිසලොව්ස්කි කියනවා. මේ කොටස ඔහු නිර්මාණය කරන්නේ එක්තරා ආකාරයට එවකට පෝලන්තයේ ක්‍රියාත්මක වුණු මරණ දඬුවමට විරුද්ධව. දෛවෝපගත විදිහට මේ කොටස රූපවාහිනියෙන් විකාශය වෙන්නේ මරණ දඬුවම ලබා දීම කොයි තරම් සාධාරණද කියන කාරණය ගැන ප්‍රබල සංවාදයක් සමාජය තුළ ඇතිව තිබුණු මොහොතක. ඒ වසරේම පත්වන පෝලන්ත නව රජය මරණ දඬුවම ලබා දීම වසර 5 කට අත්හිටුවන්න තීරණය කරනවා. 


6. කොටස - A Short Film About Love

බයිබලයට අනුව පණත - කාමමිත්‍යාචාරය නොකරව.


කිසලොව්ස්කිගේ අර්ථ නිරෑපණය - ආදරය සහ ආශාව.


Dekalog මහල් නිවාස සංකීර්ණයේ ජීවත්වන තරුණයෙක් සහ මේ නිවාස පෙළට යාබදව ජීවත් වෙන තනිකඩ ගැහැනියක් මේ කතාවට මුල් වෙන්නේ. තරුණයා වැඩ කරන්නේ තැපැල් කන්තෝරුවක. දවසක් අහම්බෙන් දැකගන්න ලැබෙන මේ ගැහැනිය පිළිබද ආශාවක් තරුණයා ඇති කරගන්නවා. ඇයගේ නිවාසය තියෙන තැන දැනගන්න ඔහු දිනපතාම තමන්ගේ කාමරයේ ඉඳන් දුරදක්නයකින් ඇය දිහා බලා ඉන්න පටන් ගන්නවා. ඇයව දැකගැනීමේ ආශාවෙන්ම උපක්‍රමිකව ඇයව තැපැල් කන්තෝරුවට ගෙන්වා ගන්නවා. නමුත් දවසක් මේ තරුණයා තමන්ව ලුහුබඳින බව ගැහැනිය දැනගන්නවා. ඉන්පස්සේ ඔවුන්ගේ ජීවිතවලට මොකක් වේවිද... තරුණයා තුළ තිබුණේ ආශාවද? නැත්නම් ආදරය ද? ආදරය කියන්නේ ආශාවේම ස්වරූපයක් ද? හයවන Dekalog කතාපුවතින් මතුකරන්නේ මෙන්න මේ ප්‍රශ්න.


7. කොටස - 

බයිබලයට අනුව පණත - සොරකම් නොකරව.


කිසලොව්ස්කිගේ අර්ථ නිරෑපණය - තමන් ආශා කරන යමක් අයිති කරගන්න ඇති මිනිස් පෙළඹවීම.


පාසල් වයසෙදිම දුරදිග නොබලා කරගන්නා වරදක් නිසා මහල් නිවාසයේ ගැහැනු ලමයෙකුට දරුවෙක් ලබනවා. ගැහැනු ලමයා ගේ අම්මා විදුහල්පති කෙනෙක්. මේ සිද්ධියෙන් වෙන අවමානය වළක්වා ගන්න අම්මා මේ දරුවා තමන්ගේ බවට මවාපෑමක් කරලා තමන්ගේ දරුවෙක් විදිහට ලියාපදිංචි කරනවා. කාලයත් එක්ක දරුවා ලොකුමහත් වෙන්නේ තමන්ගේ ඇත්ත අම්මා තමන්ගේ සහෝදරිය බව සිතමිනුයි. නමුත් එක තැනකදී දරුවාගේ ඇත්ත අම්මාට දරුවාගේ අයිතිය මුළුමණින්ම තමන්ට ලබාගන්න උවමනා වෙනවා. ඇය දරුවා පැහැරගෙන යනවා. ඇත්තටම දරුවාගේ අම්මා වෙන්නේ කවුද?


8 කොටස -

බයිබලයට අනුව පණත - බොරු සාක්ෂි නොකියව.


කිසලොව්ස්කිගේ අර්ථ නිරෑපණය - සමහර වාතාවරණයන් වලදී ඇත්ත ප්‍රකාශ කරන්න ඇති දුෂ්කර බව.


දෙවන ලෝක යුද්ධය පෝලන්තයටත් දැඩිව බලපෑම් කළ බව අපි දන්නවා. නාසිවාදීන් පෝලන්තයේ යුදෙව්වන් හොය හොයා මරා දැමුව යුගයක් තිබුණා. ඒ කාලයේදී අම්මා තාත්තා අහිමි වුණ යුදෙව් දැරියකට පිහිට වෙන්නෙ එක්තරා කතෝලික යුවළකට අවස්ථාව ලැබෙනවා. ඔවුන්ට කරන්න තිබෙන්නේ මේ දරුවා යුදෙව් නොවෙයි කතෝලික බව ප්‍රකාශ කරන්න පමණයි. මුලින් ඔවුන් ඊට කැමති වුණත් අවසාන මොහොතේදි ආගමට බොරු කරන්න බැරි බව කියමින් මේ යුවළ මේ දැරිය ප්‍රතික්ෂේප කරනවා. නමුත් වෙනත් කෙනෙක් ඇගේ ජීවිතය ගලවා ගන්නවා. මේ සිද්ධියෙන් අවුරුදු පණහක් පමණ ගතවෙලා මේ දැරිය දැන් වැඩිමහල් ගැහැනියක් විදිහට තමන් ප්‍රතික්ෂේප කළ යුවළගෙන් දැනට ජීවතුන් අතර ඉන්නා ගැහැනිය මුණගැහෙනවා. 


9 කොටස -

බයිබලයට අනුව පණත - පරදාර ආලය නොකරව.


කිසලොව්ස්කිගේ අර්ථ නිරෑපණය - ලිංගික ඊර්ෂ්‍යාව සහ විශ්වාසවන්ත බව.


විවාහ වෙලා වසර ගණනක් ගතවුණු යුවළක් ගැනයි මේ කතාව නිර්මාණය වෙන්නේ. මේ ස්වාමි පුරුෂයා ලිංගික බෙලහීනතාවයෙන් පෙළෙන්නෙක්. ඔහු මේ බව කියමින් තමන්ට අහිමි සතුට වෙනත් පුරුෂයෙකුගෙන් හෝ සොයාගන්නැයි තම බිරිඳට ප්‍රකාශ කරනවා. ඇය කියන්නේ තමන්ට එවැනි දෙයක් අනවශ්‍ය බවත් ඔහුගේ ආදරය පමණක් සෑහෙන බවත්. නමුත් ඔහු දැඩිව ඇය ගැන සැකයකින් පෙළෙනවා. ඇය ගැන රහසින් හොයාබලනවා. ඇය යම් තරුණයෙක් සමග මොකක් හෝ සම්බන්ධයක් රහසින් පවත්වන බව ඔහු සොයාගන්නවා. 


10 කොටස -

බයිබලයට අනුව පණත - අන්වස්තු ආශා නොකරව.


කිසලොව්ස්කිගේ අර්ථ නිරෑපණය - අධික තෘෂ්ණාව නිසා ඇතිවන විපත.


එක් මනුශ්‍යයෙක් තමන්ගේ වටිනාම වස්තුව තම පුතුන් දෙදෙනාට පවරලා මරණයට පත්වෙනවා. මේ වස්තුව මොකක්දැයි හොයාබලන පුත්‍ර දෙපළට දැනගන්න ලැබෙන්නේ මේ වස්තුව මුද්දර එකතුවක් බව. මුද්දර ගැන කිසි දැනුමක් නැතත් මේ ගැන වැඩි දුර විමසන පුත්‍ර දෙපළ දැනගන්නේ මේ මුද්දර ඉතාම දුර්ලභ ඒවා බවත් මේ මුද්දර එකතුවේ වටිනාකම හිතාගන්න බැරි තරම් විශාල මුදලක් වෙන බවත්. එතන පටන් මේ දෙන්නාගේ ජීවිත වල තියන සාමකාමී කම නැතිවෙලා යනවා. දෙන්නාගේ ලොකුම වැඩේ එතැන් පටන් මුද්දර ආරක්ෂා කරන එක. නමුත් අනවශ්‍ය තරම් තණ්හාව හැම තිස්සේම අරගෙන එන්නේ විනාසයක්ම තමයි.

.

.

.


ක්‍රිරිසිස්ටොෆ් කිසලොව්ස්කි කියන්නෙ බොහෝ කාලයක් ජීවත් විය යුතුව තිබුණු නිර්මාණකරුවෙක් වුණත් 1996 දී වයස 54 ක් වෙද්දී දිගුකලක් තිස්සෙ පෙළෙමින් සිටිය ස්වසන රෝගී තත්වය නිසා අකාලයේ ජීවිතයෙන් සමුගන්න ඔහුට සිද්ද වෙනවා. කිසලොව්ස්කි කියන්නෙ හරියට කොහේ හෝ දුර ඈත තරුවක ඉඳන් මේ පොළව දිහා බලා ඉඳලා ආව කෙනෙක් වගේ. පොළොවේ ජීවිතේ හැබෑම සත්‍යතාවන් කාව්‍යමය රූප මාලාවක සිතුවම් කරලා නැවතත් ඉක්මණින්ම ඒ තරු ලෝකය බලා නික්මී ගිය මුනිවරයෙක් වගෙයි ඔහු. Dekalog මේ මුනිවර සිනමාවේ අග්‍රතම ඵලයක් බව කිව්වොත් වරදක් නෑ.

.

.

මූලාශ්‍ර - Danusia Stok විසින් සංස්කරණය කළ Kieslowski on Kieslowski නම් කිසලොව්ස්කි චරිතාපදානයේ සිංහල පරිවර්තනය, "විශිෂ්ටය ක්‍රිෂිෂ්‍ටොෆ්" - පරිවර්තනය, දිලීප ජයකොඩි.




Wednesday, May 28, 2025

Three Colours - Blue (1993)

 ප්‍රංශ විප්ලවය කියන්නෙ ප්‍රංශයේ පමණක් නොවෙයි ඉන්පස්සෙ මුළු ලෝකයේම දේශපාලන සිතියම වෙනස් කරන්න බලපෑමක් කළ තීරණාත්මක සිදුවීමක්. ප්‍රංශ විප්ලවය සිද්ධවෙන්න බලපෑම් කළ කාරණා අතරේ ප්‍රධාන වශයෙන් එය තේමාවන් 3ක් මුල් කරගෙන සිදුවුණ බවට සලකනව. නූතන ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමයේ පදනම සකස්වෙන්නෙ මේ කාරණා තුන මුල් කරගෙන. ඒ තමා නිදහස, සමානාත්මතාව සහ සහෝදරත්වය. ප්‍රංශ කොඩියේ නිල්, සුදු, රතු පාට තුනේ තීරු තුනෙන් නිරූපිත වෙන්නෙ අනුපිළිවෙලින් මෙන්න මේ විප්ලවීය තේමාවන් තුන. සුප්‍රකට පෝලන්ත සිනමාකරු ක්‍රිසිස්ටොෆ් කිසලොව්ස්කි (Krzysztof Kieślowski) මේ තේමාවන් ඊට අදාළ සමාජ දේශපාලනික සන්දර්භයෙන් එලියට අරන් ජීවිතයට සම්බන්ධ ආත්මික පසුබිමක තියලා ප්‍රංශ භාෂාවෙන් චිත්‍රපටි තුනක් නිර්මාණය කරනවා. Three Colours Trialogy නමින් ලෝක සිනමාව ඇතුළෙ හැඳින්වෙන්නෙ කිසලොව්ස්කි ගෙ මේ තුන් ඈඳුනු චිත්‍රපටි පෙළ. මේ මහා නිර්මාණකරුවා ඉන්පසු සිනමා කලාවෙන් විශ්‍රාම යනවා. ඉක්මණින්ම ඔහුගෙ මරණයත් සිද්ධවෙනවා. ඒ අනුව Three Colours කියන්නෙ කිස්ලොව්ස්කි ගෙ අවසාන නිර්මාණාත්මක ප්‍රයත්නය විදිහට හැඳින්විය හැකියි. Three Colours - Blue නමින් 1993 අවුරුද්දෙ තිරගත වෙන්නෙ මේ චිත්‍රපටි මාලාවෙ පළමුවැන්න. නමෙන්ම කියවෙනවා වගේ මේ චිත්‍රපටියට මුල්වෙන්නේ නිල් පාට. චිත්‍රපටියෙ තේමාව "නිදහස".


Three Colours - Blue කතාව ගොඩ නැගෙන්නෙ Julie නම් ගැහැනියක් වටා. ඇගේ සැමියා Patrice යුරෝපයේ සුප්‍රසිද්ධ සංගීතඥයෙක්. ඔවුන් දෙදෙනාට අවුරුදු හතරක කුඩා දියණියක් ඉන්නව. දවසක් මේ තුන්දෙනා ගමන් ගනිමින් උන්නු මෝටර් රථය අනතුරට ලක්වෙලා Patrice සහ කුඩා දියණිය මිය යනවා. යන්තම් පණ බේරා ගන්න Julie පමණක් සමත් වෙනවා. නමුත් දැන් ඇයට තමන්ගෙ කියන්න කිසි කෙනෙක් නැහැ. මොන දේ කළත් ජීවිතේ තමන් වැඩියෙන්ම ආදරය කල දෙදෙනාම අහිමි වුණායින් පස්සෙ ඇතිවෙන හිස්කම සහ ඒ දුකෙන් ගොඩ එන්න ඇයට හැකිවෙන්නෙ නෑ. උදාහරණ විදිහට ඇගෙ සැමියාගෙ කැමතිම පාට වුණු නිල්පාට හැම දෙයක්ම නිවසෙන් අයින් කර දාන්න Julie උත්සාහ කරනව. ඔහු අවසාන වශයෙන් කරමින් වුන් රාජකාරිය වුණු යුරෝපා සංගමය වෙනුවෙන් නිමැවුණ සංගීත නිර්මාණයේ ස්වර ප්‍රස්ථාර ඈ විසි කර දමනවා. සැමියාගෙ හිතවතෙක් වුණු සහ ඇයට යම් කැමැත්තක් ඇති බව පෙනුණ Olivier නම් පුද්ගලයාගෙ පහස ඇය පතනවා. නමුත් තමන්ට පීඩා කරනා දැඩි ශෝකාකූල බවෙන් ගොඩ එන්න ඒ කිසිම දෙයකින් ඇයට පිහිටක් ලැබෙන්නේ නෑ. අවසානෙදි Julie තීරණය කරනවා හැම දෙයකින්ම මිදිලා ඈට සමීපව උන්නු හැම කෙනෙකුගෙන්ම ඈතට පළාගිහින් පැරිස් නගරේ නවාතැනක හුදෙකලාව ජීවිතය ගතකරන්න. පැරීසියේ උස් ගොඩනැගිලි පිරුණු පටු වීදි පුරා දෙනෝදහසක මනුස්ස ගංගාවක් මැද්දේ නන්නාඳුනන කෙනෙකු වගේ හුදෙකලාව සැරිසරන Julie ට ඇගේ සිත් පීඩාවෙන් මිදිලා සහනයක් ලබාගන්න හැකිවේවිද.....

නිව් යෝර්ක් නගරය මැද රොබට් ඩී නීරෝ ගේ රූපකාය සිනමා ඉතිහාසයේ කොයිතරම් සුවිශේෂ විදිහට සටහන් වෙලා තියනවද පැරිස් නගරය පසුබිම්ව ජුලියට් බිනෝෂේ ගේ රුවත් සටහන් වෙන්නෙ එහෙමයි. සිනමා විචාරකයන් Julie ගේ චරිතය රඟදක්වන ජුලියට් බිනෝෂේ රඟපෑම ගැන සඳහන් කරන්නෙ එහෙම. ඩි නීරෝ නිව් යෝර්ක් නගරයේ මාෆියා කල්ලි ගැවසෙන පසුබිමක හැදී වැඩිලා පසුව එවැනිම චරිත රඟපාලා ජනප්‍රියත්වයට පත් වුණා. ජුලියට් බිනෝෂේත් උපන්නේ ප්‍රංශයේ පැරිස් නගරයේමයි. බොහොම චිත්‍රපටි වල ඈ පැරිසියේ නාගරික ගැහැනියගේ චරිතය නිරූපණය කර තිබෙනවා. Three Colours Blue වලට ආවොත් මෙතනදි ඇය රඟදක්වන්නේ දුක් විඳීමම ජීවිතය කරගත්ත ගැහැනියකගේ චරිතයක්. (Julie ගේ මුහුණ තිරය මත නිරාවරණය වෙන්නේ අනතුරෙන් පසුව. ඒ නිසා ඊට කලින් Julie කෙනෙකු ගැන ප්‍රේක්ෂකයා දන්නේ නැහැ) ඇය චිත්‍රපටිය පුරා ජීවමාන වෙන්නෙ මේ ගැහැනිය තුළ. මුහුණෙන් ප්‍රකාශ වෙන හැඟීම්වලින් විශේෂයෙන් දෑසින් බලන හැම සියුම් බැල්මකින්ම ඇය Julie ම මැනවින් නිරූපිත කරනවා. සංකේත භාවිතාව වගේම වර්ණවලටත් චිත්‍රපටිය ඇතුලෙ ලොකු තැනක් තියනව. නිල් වර්ණය අවස්ථාවන්ට ගැලපෙන අරුත් මතුකරන්න අධ්‍යක්ෂවරයා යොදා ගන්නවා. උදාහරණ විදිහට Julie පුරුද්දක් විදිහට පිහිනන්නට යන නිල්පාට පිහිනුම් තටාකය අරගන්න පුලුවන්. නිල් පාට වතුරේ ගිලෙමින් ඈ පිහිනන ආකාරය එක්තරා විදිහකට ඇගේ ශෝකාකූල ජීවිතයේම පිළිබිඹුවක්. මේ චිත්‍රපටියෙ සංගීතයත් කතා නොකර බැරි තරම් ප්‍රබලයි. ඇය පැරිස් අවනහල්වල කල්ගෙවද්දී නැගෙන හුදෙකලා බටනලා හඬ, ඒ තනුවටම සමාන ඇගෙ සැමියාගේ අවසන් සංගීත සංධ්වනිය සහ සමූහ ගායනා චිත්‍රපටියේ තේමාව තවත් තීව්‍රව මතුකරනවා.

චිත්‍රපටියෙ තේමාව "නිදහස" බව මුලින්ම සඳහන් කළා. නිදහස, හුදෙකලාව, තනිකම.. මේවා එකම නොවුණත් ළඟ යන අරුත් දෙන සහ බොහෝ විට එකට භාවිතවෙන වචන. ඇමරිකානු ලේඛක චාල්ස් බුකොව්ස්කි ඒ ගැන මේ වගෙ කතාවක් කියල තියනවා.

"මම රෑට ගෙදර එනතුරු මගබලාගෙන ඉන්න කෙනෙක් නැත්නම්, මාව උදේම අවදි කරවන්න කෙනෙකුත් නැත්නම්, මට ඕනැම මොහොතක ඕනැම දෙයක් කරන්න පුලුවන් නම් ඒක නිදහසද නැත්නම් තනිකම ද?"

චිත්‍රපටිය විවරණය කරන ස්ලොවේනියානු දාර්ශනික ජිජැක් (ශිෂාක්? ශිෂැක්?) කියනව නිල් වර්ණය නිදහස වගේම ආදරයත් නිරූපිත කරන බව. කිස්ලොව්ස්කිගෙ චිත්‍රපටි ත්‍රිත්වය නිර්මාණය වෙන තේමාවන් වුණ "නිදහස, සමානාත්මතාව සහ සහෝදරත්වය" කියන කාරණාවන් ක්‍රිස්තියානි දේවධර්මයේ මූලික වටිනාකම් තුන විදිහට සලකන "විශ්වාසය, බලාපොරොත්තුව සහ ප්‍රේමය" කියන ධර්මතාවන් එක්ක ඒකාබද්ධ වෙන බව ජිජැක් කියනව. (කිස්ලොව්ස්කි මීට කලින් බයිබලයේ එන දස පණතේ එක් එක් පණත තේමා කරගෙන Dekalog නමින් කතාංග 10ක කතා මාලාවක් නිර්මාණය කරනව සහ Three Colours Blue චිත්‍රපටියේ අවසානයේත් යම් බයිබලීය සඳහනක් දකින්න ලැබෙනව. කිස්ලොව්ස්කිගේ සිනමා භාවිතාව ඇතුළෙත් ජීවිතයේ සාරය සොයා යන යම් ආත්මික නැඹුරුවක් දැකගත හැකියි. ඒ නිසා මේ දේවධාර්මික නිර්වචනය සෑහෙන වැදගත්කමක් ගන්නව කියල මම හිතනව) "නිදහස සැබෑ විමුක්තියක් බවට පත්වෙන්නෙ එය ආදරය මත පදනම් වූවොත් පමණයි", චිත්‍රපටිය ගැන ජිජැක් ගේ මේ අදහස එක්තරා ආකාරයකට සනාථ කරවන සාක්ශි ඔබට අවශ්‍ය නම් චිත්‍රපටිය අවසානය සමීපයෙදි සොයාගන්න පුලුවන්. නිල්වර්ණය සාමාන්‍යයෙන් සිතුවම් කලාව ඇතුලෙදි සලකන්නෙ ශීත වර්ණයක් විදිහට. නිල් වර්ණයෙන් පාළුවටගිය, ශෝකාකූල, මන්දෝත්සාහී, ජීවයෙන් තොර බවක් හැඟවෙන බවයි සාමාන්‍ය පිළිගැනීම. Julie ඇය අත්විඳින ඛේදවාචකය හරහා ලබන අඳුරු මනෝභාවයන් එක්ක සැනසීම පතා පසුබසින ළතෙත් බවකින් සහ උණුහුමකින් තොර සීතල හුදෙකලා ජීවිතය මේ නිල්පාටින් නිරූපිත වෙන බව අපිට නිර්වචනය කර ගන්න පුලුවන්. නමුත් ඇගෙ ඇතුළාන්තයට එබී බැලුවොත් ඇය ඇත්තටම එහෙම කෙනෙක් නොවෙයි. Julie කියන්නෙ එහෙම සීතල දරදඬු චරිතයක් නොවෙයි. තමන්ගෙ පවුල අහිමිවීමේ දුක මේ තරම් ඇයට දැනෙන්නෙ ඈ තුළ ඉන්න මේ "සිනිඳු" චරිතය නිසා වෙන්නත් පුලුවන්. ජීවිතේ සැබෑ නිදහස නම් බුකොව්ස්කි කිව්ව වගේ මනුස්ස බැඳීම් වලින් ඈත් වුණු සීතල යමක් නොවෙයි ආදරණීය මනුස්ස සම්බන්ධතාවක් ඇතුළේ පැවතීම බව යෝජනා කරනව කියලයි මට මේ සිනමාපටය ඇතුළේ දැනෙන්නෙ.




Friday, March 28, 2025

Adolescence (2025)

 "මං එයාගෙ වයසෙදි මගෙ තාත්තා මට හොඳටම ගහන්න පුරුදු වෙලා හිටියා. සමහර වෙලාවට එයා කලිසමේ පටිය අරගෙන ඒකෙනුත් මට ගැහුවා. මං ඒ වෙලේ හිතාගත්තා කවදහරි මට දරුවෙක් ඉන්න කාලෙක කවදාවත් මේ වගේ දෙයක් නං කරන්නෙ නෑ කියලා. මං කවදාවත් ඒ දේ කළේ නෑ. ඒත් මට ඊට වඩා හොඳ තාත්ත කෙනෙක් වෙන්න පුළුවන් වුණා ද?..... ජේමි මුළු දවසම කාමරේ ඇතුළට වෙලා නෙ හිටියේ.. එහෙම ඉන්න එකෙන් එයාට හානියක් වෙන්නෙ නෑ නෙ? එයා එහෙම ඉන්න එක ආරක්ෂිතයි කියලයි අපි හිතුවේ.... ඒත් ඇයි එහෙම නොවුණේ? "

.
.
මැදි වයස් පියෙකු වුණු එඩී මිලර් එහෙම කියන්නෙ එයාගේ පුතා ජේමි මිලර් ගැන. ජේමි කියන්නෙ දවසම කම්පියුටරයත් එක්ක ඉන්න, බොහොම අහිංසක පෙනුමක් තියන, කණට ඇහෙන්න කතා නොකරන, වයස 13ක් වෙච්චි දරුවෙක්. බැලු බැල්මට එයා බොහොම සමාන්‍යයි. නමුත් දවසක් එයා අතින් සිද්ද වෙන්නේ ඒ වගේ ළමයෙක් කවදාවත් කරයි කියලා හිතන්නවත් බැරි අසාමාන්‍ය මට්ටමේ වැඩක්. ජේමි කළ දේ තමා එයාගේ ඉස්කෝලෙ ඉන්න එයාගෙ වයසේ ගෑනු ළමයෙක්ව පිහියෙන් ඇනලා මරා දැමීම!!
වයස 13ක් කියන්නෙ ජීවිතේ ලොකු වෙනස්කම් ගොඩක් සිද්ද වෙන්න පටන් ගන්න කාලයකට. යෞවනත්වයට පත්වීම, එහෙම නැත්නම් කෙනෙක් ළමා වයසට සමු දීලා ජීවිතේ ඊළග අදියර වුණ තරුණ වියට පත්වීම කියන සංසිද්ධිය වෙන්නේ ඔයා කාලෙ හින්දා තමයි මේ වයස ඔය තරම් විශේෂ වෙන්නේ. ශාරීරිකව වගේම මානසිකවත් උද්වේගකාරී වෙනස්කම් ගොඩකට ඔය කාලෙදි කෙනෙක් මුහුණ දෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම විරුද්ධ ලිංගකයින් ගැන ඇති වෙන ආකර්ශණය එක්ක ඒ ගැන වැඩි පුර අවධානය දෙමින් තමන්ගේ බාහිර පෙනුම සහ ආකර්ශණීය බව අනුව තමන්ව නිතරම අනෙක් අය සමග සංසන්දනය කරමින් අනවශ්‍ය තරම් වදවෙනවා. ඒ වගේම නොයෙක් අදහස් මතවාද දුරදිග නොබලා ඉක්මණින්ම වැළඳ ගන්නවා. දැන් සමාජ මාධ්‍යවල දියුණුව එක්ක විශේෂයෙන් නව යොවුන් වයසේ දරුවෝ ටික් ටොක්, ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් වගේ මාධ්‍ය තමන්ගේ ජීවිත ආදර්ශ ලබා ගන්න තැන් බවට පත් කරගැනීම නම් ලොකු ඛේදවාචකයක්. 2025 අවුරුද්දේ netflix හරහා විකාශය වෙලා ලෝකය පුරා සෑහෙන ලොකු ජනප්‍රියත්වයක් ලබාගත්තු Adolescence කියන්නේ මෙන්න මේ මාතෘකාව මුල කරගෙන නිර්මාණය වුණු කොටස් 4කින් සමන්විත බ්‍රිතාන්‍ය රූපවාහිනී නාටකයක්. මුලින්ම තිබුණ දෙබස ඒ නාටකයෙන් උපුටා ගත්ත එකක්. ජේමිව අපිට මුණ ගැහෙන්නෙ එතනදී.
තාක්ෂණික පැත්තෙන් ගත්තොත් Adolescence කියන්නෙ සෑහෙන විශේෂත්වයක් තියන නිර්මාණයක්. ඒකට හේතුව මේ නාට්‍යයේ කොටස් 4ම නිර්මාණය වෙන්නේ පැයක කාලයක් ධාවනය වෙන අඛණ්ඩ රෑප රාමු 4කින් වීම. පැයක් දිග මේ තනි කොටසකිදි අතර මැදින් ඒ දර්ශණය කැපෙන්නේ නෑ. චරිත සහ අවස්ථාවන් එක්ක කැමරාව එහා මෙහා ගමන් කරනවා පමණයි. තනි කැමරාවකින් මෙහෙම වැඩක් කරන්න ලොකු පුහුණුවක් වගේම හොදම මට්ටමේ ඉවසීමක් අවශ්‍යයි. කියවන්න තිබුණ විදිහට නාට්‍ය කණ්ඩායම එක කොටසක් වෙනුවෙන් සති හතරක් පුහුණුවීම් කරලා පස්වෙනි සතියෙදියි රෑපගත කිරීම කරන්නෙ. එක කොටසක් හරියට රෑගත කරන්න දහපාරකට වඩා උත්සාහ දරලා තිබුණා කියලා තමා කියන්නෙ. ඉතින් වැඩේ තියන බරපතළ කම අමුතුවෙන් කියන්න ඕන නෑ. මේ වගේ බරපතළ වැඩකදී රඟපාන නළු නිළියන්ටත් ලොකු ශ්‍රමයක් වැය කරන්න සිද්ධ වෙනව. මේක කොච්චර ලොකු වෙහෙසක් ද කියනව නම් ජේමි ගේ චරිතය කරන ළමා නළුවා Owen Cooper ට අවසාන දර්ශන වාරයක එක තැනකදී කම්මැලි කමට ඈනුමකුත් යනවා. එතනදී Owen එක්ක රඟපාන අනෙක් නිළිය "ආ.. ඔයාට දැන් මාව එපා වෙලාද" කියල කියනවා. Owen ඒකට හිනාවකින් ප්‍රතිචාරයක් දෙනවා. මේක පිටපතේ නොතිබුණු සිද්ධියක් කියල තමා කියන්නේ. මේ Owen Cooper ගේ පළමුවෙනි රගපෑම බව කියවද්දි නම් සෑහෙන්න පුදුම හිතුණා. පළවෙනි වැඩෙන්ම මෙච්චර රගපෑමක් හිතාගන්න බැරි දෙයක්. ඊළඟට තාත්තාගේ චරිතය කරන Stephen Graham අමතක නොවෙන රංගනයක් ඉදිරිපත් කරනවා. Stephen Graham මේ කතාවේ පිටපත ලියන්නත් දායක වෙලා තියෙනවා. Stephen ලොකුවට කතාබහක් ඇති නොවුණත් විශිෂ්ට ගණයේ නළුවෙක් කියන්න පුලුවන් කෙනෙක්. ඒ බව හිතාගන්න පුළුවන් Stephen රගපාලා තියන චිත්‍රපටි ලයිස්තුව බැලුවාම. Adolescence අධ්‍යක්ෂණය කරන Philip Barantini ම අධ්‍යක්ෂණය කරන තවත් තනිරූප රාමු චිත්‍රපටියක් වන Boiling Point වලත් ප්‍රධාන චරිතය කරන්නේ Stephen Graham ම තමයි. Adolescence නාට්‍ය බලලා ඉවර වෙලා youtube වල Adolescence | Behind The Scenes කියලා සර්ච් කරලා බලන්න. වැඩේ නිර්මාණය වුණු හැටි බලාගන්න පුළුවන් වේවි. ඒකත් බලන්න වටිනවා.
කලිනුත් සදහන් කළා වගේ Adolescence කියන්නේ සමාජ මාධ්‍ය සෑහෙන දියුණු අද වගේ කාලෙක තරුණ ළමයින්ට මේවා බලපෑම් කරන්නේ කොහොමද කියන දේ සහ විරුද්ධ ලිංගිකයින්ව නිවැරදිව තේරුම් ගන්න සහ ඔවුන් එක්ක හොද මට්ටමේ සම්බන්ධකමක් පවත්වන්නෙ කොහොමද කියන කාරණා සම්බන්ධව මේ වයසෙදිම දරුවන් පුහුණු තියන අවශ්‍යතාවය පෙන්වා දෙන රෑපවාහිනී නාටකයක්. ඒ පෙළඹවීම ඇතිවෙන්න ඕන දෙමව්පියන්ගේ පාර්ශවයෙනුයි. දරුවන්ව හොඳ පාසලකට යවලා ඔවුන්ට අවශ්‍ය පහසුකම් අතට පයට ලබා දුන්නාම හැම දේම සම්පූර්ණයි කියලා දෙමව්පියන් හිතනවා නම් ඒක ලොකු වරදක්. අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් කියන්නේ දරුවාට ජීවිතයට ආදර්ශයට ගත හැකි චරිතයක් වෙන්න ඕන. ජීවිතයට මග පෙන්වා දෙන ගුරුවරයෙක් වෙන්න ඕන. එහෙම නොවී දරුවාට වැරදෙන තැන්වල අහක බලා හිටියම ඒ දරුවා තවත් ජේමි කෙනෙක් වෙන්න තියන අවස්ථාව වැඩියි. හැම දරුවෙක්ම මොකක් හරි දෙයකට විශේෂයෙන් දක්ෂකමක් පෙන්වනවා. ඒ ක්‍රීඩාවෙන් වෙන්න පුළුවන්, කලාවෙන් වෙන්න පුළුවන්, වෙනත් ඕනැම දෙයකින් වෙන්න පුළුවන්. දරුවාගේ මෙන්න මේ හැකියාව තේරුම්ගෙන ඒපැත්තට යොමුකරවීම දෙමව්පියන්ගේ කාර්යයක්. ජේමිගේ ඛේදවාචකය ඇතුළේ මෙන්න මේ අර්බුදයත් තියනවා. ජේමිගේ මේ විශේෂ හැකියාව තේරුම් නොගෙන නිකන්ම කම්පියුටරයක් අරන් දීලා කාමරයට කොටු කරලා තිබ්බාම, නැත්නම් අනික් ළමයි සෙල්ලම් කරන නිසා සෙල්ලම් කරන්න අරගෙන ගියාට එයින් දරුවාට කිසි හොඳක් නොවුණු බව ජේමිගේ අම්මාටත් තාත්තාටත් තේරුම් යනකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. අවසාන වශයෙන් Adolescence කොටස් හතර කියන්නේ කෙනෙකුට සෑහෙන ලොකු පරිමාණයකින් ජීවිත අවබොධයක් ලබා දෙන නිර්මාණයක්, ජීවිතය දිහා ආපහු වෙනස් විදිහකට හැරිලා බලන්න පොළඹවන නිර්මාණයක්. Films, TV Series බලන අය, විශේශයෙන් දැනටමත් දෙමව්පියො වෙලා ඉන්න අය නැත්නම් අනාගතයෙ එහෙම වෙන්න බලාපොරොත්තු වෙන අය මේක අනිවාර්යයෙන් බලන්න.



Tuesday, March 18, 2025

I'm Still Here (2024)

 දේශපාලනික හේතුන් මත සිදු කරන පැහැරගෙන යෑම්, අතුරුදහන් කරවීම් සහ ඝාතන කියන්නේ අපේ රටේ අලුත් දේවල් නොවෙයි. විශේෂයෙන් 80 දශකයේ අග සහ 2000 මැද ගණන්වල වගේ මෑත කාලීන ඉතිහාසය ඇතුළේ පැවතුණු රාජ්‍යන්ගේ අනුහසින් මේ වැනි අපරාධ බොහොමයක් මේ රටේ සිද්ධ වුණු බවත්, ජීවිත දහස් ගණනක් දේශපාලනික හේතු මත විනාශ කර දමා ඇති බවත් ඒ ගැන හොයා බැලුවොත් සොයාගන්න හැකිවේවි. තවමත් දේශපාලන වේදිකාවල මේව ගැන කතාවෙනව සහ එහෙම අතුරුදහන් කරනු ලැබූ සහ මරා දැමූ අය වෙනුවෙන් යුක්තියක් සාධාරණයක් ඉෂ්ඨවෙලා තියනවද කියන ප්‍රශ්නය තවමත් ඉතිරි වෙලා තියනව. ඒක වෙනම කාරණාවක්. නමුත් කොයිතරම් මේව ගැන කතා කළත් ඒ අතුරුදහන් වුණු සහ මරා දැමූ අය අහිමි වීම නිසා ඔවුන්ට සමීපව සිටිය විශේෂයෙන්ම ඔවුන්ගේ පවුල්වල අයගේ ජීවිත වල ඇති වෙලා තියන හිස් කම මකා දමන්න මොන විදිහකින්වත් හැකියාවක් නැහැ. (ඔවුන් ගැන කතිකාවක් ඇති වෙන එක අර්ථයක් නැහැ කියන දේ නොවෙයි කියන්නෙ) ඒ අඩුව දැන්නෙනේ ඔවුන්ට ආදරයෙන් හිටිය අයට මිස වෙනත් කාටවත් නොවෙයි. රත්න ශ්‍රී විජේසිංහ කවියා එක්තරා ගීතයක පදපේළි අතරේ ලියා තබන්නේ මේ අදහස තමයි.

නුඹ අහිමි වුණේ මටමයි මේ රටට නොවෙයි..
මහ පොළොවට මිස මිනිස් කමට පෙම් නොකරන රටට නොවෙයි..
බිරිඳකට අහේතුකව ස්වාමිපුරුෂයෙක් අහිමි කරනවා කියන්නේ දරුවන්ට පියෙක් අහිමි කරනවා කියන්නෙ ජීවිත කාලයම විඳවන්න සිද්ධවෙන මහා වේදනාත්මක අත්දැකීමක්. තම බලය පවත්වාගැනීම වෙනුවෙන් මිනිස් ජීවිත බිල්ලට ගන්නා දේශපාලකයින් කියන්නෙ කොයිතරම් නින්දිත මනුෂ්‍යත්වය පිරිහී ගිය ජීවින් කොටසක්ද කියන දේ මේ වැනි සිදුවීම් හරහා මතු වෙන එක වළක්වන්න බැහැ. 2024 අවුරුද්දේ ලෝක සිනමාව ඇතුළේ සෑහෙන කතාබහට ලක්වුණ බ්‍රසිලියානු චිත්‍රපටයක් වුණු I'm Still Here නිර්මාණය වෙන්නෙත් මෙවැනි තේමාවක් මුල් කරගෙන.
I'm Still Here චිත්‍රපටියට පසුබිම් වෙන්නේ 1960 යුගයේ බ්‍රසීලය. 1964 දී බ්‍රසීල හමුදාව එටර වුන් සමාජවාදී පාලක João Goulart නෙරපා දමලා රටේ බලය අල්ලා ගන්නව. මේ රාජ්‍යවිරෝධී කුමන්ත්‍රණයට එවකට ලොව පුරා පැතිර යමින් තිබුණ වාමාංශික ප්‍රවණතාව මැඩලීමට වැඩ කරමින් වුන් දක්ෂිණාංක කඳවුරේ ඇමරිකානු රජයේ සහයෝගය ලැබුණු බව රහසක් නොවෙයි. එතැන් පටන් වසර 21 ක් බ්‍රසීලය හමුදා පාලනයකට යටත්ව පවතිනවා. මේ මිලිටරි පාලනය පැවති කාලයේ බ්‍රසීලයේ රජයට විරුද්ධ අදහස් දැරූවන් සහ සමාජවාදී සමාජ දේශපාලන ක්‍රියාකාරීන් විදිහට හඳුනා ගත් බොහොම පිරිසක් දරුණු විදිහට මර්ධනයට ලක්වුණා. වර්තමානයෙ බ්‍රසීලයේ පාලන බලය හොබවන එරට දක්ෂණාංෂික දේශපාලන කඳවුර මේ යුගයේ පැවතුණේ බිහිසුණු ඒකාධිපති පාලනයක් කියන කරුණ බැහැර කරමින් මේ චිත්‍රපටිය වාරණය කරන්න උත්සාහ දැරුවත් එය සාර්ථක වුණේ නෑ. ආදායම් අතින් ඉහළන්ම සාර්ථක වෙමිනුයි චිත්‍රපටිය බ්‍රසීලයේ තිරගත කෙරුණේ. 1960 යුගයේ බ්‍රසීලයේ මිලිටරි රාජ්‍යය පවතිද්දී දේශපාලනික හේතුමත අත්අඩංගුවට ගෙන අතුරුදහන් කරනු ලැබූ කෙනෙක් තමයි Rubens Paiva කියන්නේ. ඔහු බ්‍රසීලියානු සිවිල් ඉංජිනේරුවරයෙක්, දේශපාලන ක්‍රියාධරයෙක්. සියළුදේටම වඩා ඔහු දරුවන් පස්දෙනෙකුගේ පියෙක්, ආදරණීය සැමියෙක්. I'm Still Here චිත්‍රපටිය ගලා යන්නේ Rubens ගේ පවුල, විශේෂයෙන් ඔහුගේ බිරිඳ Eunice මුල් කරගෙන.
මුහුදු වෙරළ අද්දර පිහිටා ඇති Rubens ගේ නිවස නිතරම සතුටින් සිනහවෙන් පිරී ගිය තැනක්. පොඩි පුතෙක් සහ දුවක්, නව යෞවනයේ දියණියන් තුන්දෙනෙක් ඉන්න ගෙදරක් ඒවගේ නොවී තිබුණොත් තමා පුදුම. ඒ අතරේ සමාජවාදී නැඹුරුවත් එක්ක එවකට ලොව පුරා පැතිරුණ නිදහස්කාමී වෛවර්ණ හිපි විලාසිතා, බීට්ල්ස් සංගීතය වැනි දේවල් ඒ නිවස පසුබිමේ අපිට දැකගන්න ලැබෙනවා. දූ දරුවන් සහ බිරිඳ සමග ගෙන ගිය ඔවුන්ගේ පවුල් ජීවිතයේ ප්‍රීතිමත් එකක් බව ඒවායින් ඉඟිකරනවා. නමුත් මිලිටරි රජයේ අඳුරු සෙවණැලි ඔවුන් වටා පැවති බවත් අතරින් පතර සංකේතාත්මකව දැකගන්න ලැබෙනවා. Rubens සහ ඔහුගේ පවුලේ පැවති සාමකාමී විනෝදබර ගතිය කණපිට හැරෙන්න පටන් ගන්නේ දවසක් ආගන්තුකයින් කිහිප දෙනෙක් නිවසට පැමිණිලා ප්‍රශ්න කිරීමකට කියලා Rubens ව රැගෙන යන වෙලාවේ. පසුව Eunice වත් ප්‍රශ්න කරන්න රැගෙන යනවා. දවස් ගණනාවක් හරිහැටි කෑමක් බීමක් නැතිව සිරගතව ඇඳිවත පිටින් හමුදාවේ ප්‍රශ්න කිරීමට ලක්වෙන Eunice අවසානෙදි ගෙදර තමන්ගේ දරුවන් ළඟට එන්න සමත් වෙනවා. නමුත් පෙනෙන ආකාරයට Rubens ඒ තරම් වාසනාවන්ත නැහැ. Eunice රැගෙන ගිය අයම ඇයව ආපහු ගෙදරට ගෙන ආවත් Rubens ආයෙමත් ගෙදර එන්නෙ නෑ. ඔහු නැති වුණා කියලා Eunice ඒ අඩුව ඉන් පස්සෙ කිසිදවසක දරුවන්ට දැනෙන්න ඉඩ හරින්නේ නැහැ. හැකි තරම් දරුවන්ව සතුටින් තියන්නත් තමන්ගේම උත්සාහයෙන් තම පවුල ඉදිරියට ගෙන යන්නත් ඈ වෙර දරනවා. නමුත් පැහැරගෙන යනු ලැබුවායින් පසුව ඔහුට වෙන්නෙ මොකක්ද කියන දේ හොයාගන්න ඈ සියළු උත්සාහයන් ගන්නවා. I'm Still Here කියන්නෙ එක අතකින් දේශපාලනික කතා පුවතක් වගේම තවත් පැත්තකින් තනි ගැහැණියකගේ ජීවන අරගලයක් පිළිබඳ කතා පුවතක්. බ්‍රසිලියානු රංගවේදිනියක වෙන Fernanda Torres නියම විදිහට මේ ගැහැනියගේ ප්‍රතිරූපය තිරය මත නිරූපණය කරනවා. ඒක 2024 වසරට අදාළව හොඳම රඟපෑමක් බව කිව්වොත් වැරදි නැහැ.
I'm Still Here කියන්නෙ සත්‍ය සිදුවීමක් මුල් කරගෙන හැදුණ චිත්‍රපටියක්. තවත් විදිහට කිව්වොත් මේක අවාසනාවට ඇත්ත කතාවක්. 2025 අවුරුද්දෙ තිබුණ 97 වන ඔස්කාර් සම්මාන උළලේදි හොඳම විදෙස් භාෂා චිත්‍රපටියට හිමි සම්මානය දිනා ගත්තෙ මේ චිත්‍රපටිය. කතා කරන තේමාවේ ප්‍රබල කම සහ අදාල ප්‍රස්තුතය සිනමාත්මකව ඉදිරිපත් කරලා තියන ආකාරය එක්ක Im Still Here හැම අතින්ම මේ ආකාරයෙන් සම්මානනීය තත්වයක් ලබා ගන්න සුදුසුයි කියල හිතන්න පුලුවන්. වැදගත්ම කාරණාව තමා මේ අතුරුදහන් කරනු ලැබූ අය, මරා දැමූ අය නිහඬ කරවන්න මොන ආකාරයෙ දේශපාලන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කෙරුණත් ඔවුන්ගේ හඬ සදහටම නිහඬ කරවන්න ඒ කිසි දෙයකට හැකියාවක් ලැබිල නැහැ කියන දෙය. සිනමාව ඇතුළේදි මේ විදිහට ඉතිහාසය ඇතුළෙ යටපත් කර දැමූ හඬවල් යළි උපදිනවා, ඝාතකයින්ව ලෝකයා හමුවේ නිරුවත් වෙනවා. සිනමාවට කලා මාද්‍යක් විදිහට නිවැරදි භාවිතයක් ඇතුළේ කොයි තරම් දෙයක් කරන්න පුලුවන් ද කියලා නරඹන අපේ ඇස් ඉස්සරහපිට පෙන්වා දෙනවා.



Wednesday, February 12, 2025

Mare of Easttown

 මම සාමාන්‍යන් tv series බලලා තියෙන්නෙ බොහොම අඩුවෙන්. ඒ Episode ගණන් කාලය වෙන්කරගෙන බලන්න ඉඩපාඩුවක් ලැබෙන්න නැති තරම් හින්දා. එහෙම පුලුවන් කමක් තිබුණ කාලෙ Game of Thrones සහ Breaking Bad බැලුව එක ගැන නම් සතුටුයි. මොකද ඔය කාලෙ ඕක මග ඇරුණා නම් බොහොම දුරට ඕව බලන්න ආයෙ නොහිතෙන්න ඉඩ වැඩි නිසා. රූපවාහිනී මාලාවැඩසටහන් ඉතිහාසෙ උඩම තැන කෙසේ වෙතත් අඩුගණනෙ ඒ කිට්ටුවෙන්ම තියන්න පුලුවන් වැඩ ඒවා. මේක ලියන්න හිතුණෙ ඔය ගණයට දාන්න පුලුවන් තවත් වැඩක් පහුගිය කාලෙ බැලූ හින්දා. වාසනාවට මේක කොටස් අටක් පමණක් තියන කුඩා පරිමාණෙ series එකක්. ඒ තමා Mare of Easttown. මං ආසම Crime/ thriller වැඩක් නිසා ආපු දවස්වලම බලන්න ඕන කියල හිතුණත් කොටස් 8 ක්ම බලන්න තියන හින්දා ඒ සිතුවිල්ල එහෙමම යටපත් වෙලා ගියා. Crime/ thriller එකක් වීමට අමතරව පහුවෙලා හරි බලන්න හිතුණෙ Kate Winslet ප්‍රධාන චරිතය කරන නිසා කියල නොකියා ඉන්නම්. ටයිටැනික්වලට පස්සෙ මට බලන්න ලැබුණ එයා උන්නු Sense and Sensibility, Eternal Sunshine of the Spotless Mind, The Reader, Revolutionary Road, The Dressmaker වගේ චිත්‍රපටි නිසා Kate මගේ ලෝකෙ අමතක නොවෙන චරිතයක් බවට පත්වෙලා තිබුණා. ඉතින් එහෙම වෙද්දී Mare of Easttown වගේ වැඩක් මගඇරගෙන බැහැනේ. හැබැයි කොයි විදිහකින් හරි මැරෙන්න කලින් ඕක බලන්න ලැබීම ලොකු දෙයක් කියලා හිතුණෙ අවසන් කොටසත් බලලා ඉවර වුණායින් පස්සෙයි. බලලා ඉවර කරලා මාස ගණනක් ගෙවුණත් තවමත් ඒ සිද්ධිය සහ ඒ වටා උන්නු චරිත මතක ලෝකෙ ඇවිදින අඩි සද්දේ ඇහෙනවා.

Mare of Easttown කතාව ගොඩනැගෙන්නේ Easttown නම් කල්පිත ඇමරිකානු ගම් ප්‍රදේශයක් මුල් කරගෙන. Mare නැත්නම් මේරි ඈන් මේ ගමේ පොලිස් ස්ථානයේ පරික්ෂකවරියක් විදිහට වැඩ කරන ගමේම කෙනෙක්. පොඩි වයසෙදිම දරුවෙකුගේ අම්මා කෙනෙක් වුණු Erin කියන ගැහැනු ළමයාව මරා දමලා ගමේම තියන කැලෑරොදක දමා ගිහින් කියලා පොලීසියට දැන ගන්න ලැබෙනවා. මේ පරික්ෂණය බාර වෙන්නේ Mare ට. Mare නැත්නම් මේරි ඈන් Erin ගේ ඝාතන අභිරහස සොයා යෑමයි කොටස් අට පුරාම මේ කතා මාලාවේ දකින්න ලැබෙන්නෙ. Easttown ගමේ ජීවත් වෙන බොහෝ දෙනා එකිනෙකා දන්නා හඳුනන අය. ගමක් වුණාම ඉතින් මිනිස්සු අතරෙ හිතමිත්‍ර සම්බන්ධකම්, ආරවුල්, නොයෙක් හුටපට පිරිච්ච තැනක් නෙ. Easttown කියන්නෙත් එහෙම තැනක් තමා. කොහොම හරි Mare තමයි මේ කතාවේ කේන්ද්‍රය. එයා දරුවෙක් අහිමි වුණ අම්මා කෙනෙක්. නමුත් ඇගේ මව්වත් බව එතනින් අවසන් වෙන්නෙ නෑ. අකාලෙ මිය ගිය ඇගේ පුතාගේ දරුවා නැත්නම් තමන්ගේ මුණුබුරාව ඈ බොහොම ආදරෙන් අරපරිස්සම් කරලා හදාවඩා ගන්නව. දරුවාගේ අම්මා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා ජීවිතේ අයාලේ යන ගැහැනියක්. Mare දරුවාව ඇයට බාර දෙන්න සූදානම් නැහැ. දරුවෙක් අහිමි වීමේ වේදනාව විඳ දරාගෙන තවත් දරුවෙකුට ජීවිතය දෙන්න උත්සාහ කරන මවක් ඇය, ඒවගේම තවත් වෙලාවකදී පෙම්වතියක්, තවත් වෙලාවකදී රාජකාරිය අතරේ පුද්ගලික අරමුණු ඉස්මතු වීම නිසා රැකියාව අනතුරේ දමා ගත්තත් අභිරහස් මරණයක සුලමුල සොයා යන්න වෙරදරන පොලිස් නිලධාරිනියක්, විශ්වාසවන්ත මිතුරියක් මේ නොයෙක් ආකාරවලින් Mare ව අපි ඉස්සරහා මැවෙනවා. ප්‍රධාන කතාවට සමගාමීව සහ ඊට සම්බන්ධ වෙමින් මේ අතුරු කතා ගලාගෙන යනවා. රහස් පරීක්ෂක කතාවක වුණත් සෑහෙන ලොකු පරාසයක ජීවිත විවරණයක් සිද්ද වෙන ආකාරය දැක ගන්න ලැබෙන්නෙ කලාතුරකින්. Mare of Easttown ඇතුළේ ඒ වැඩේ සිද්ධ වෙනවා. මනුස්ස බැඳීම් වල තියන අසම්මත අඳුරු තැන්, ආදරය පිරුණු ආලෝකවත් තැන් මේ හැම කලාපයක්ම කොටස් 8 කින් හරි අපූරුවට පෙන්වා දෙනවා. මිනිස්සු තුළ යහපත් මානුෂික ගති ගුණාංග තියනව වගේම සමහර තත්ත්වයන් යටතේ තමන්ගේම ක්‍රියාකරකම් සාධාරණීකරණය කරගන්න වාතාවරණයක් ඇතුළේ මිනිස්සු ඒ යහපත් ගුණාංග වලින් බැහැර වෙනවා. කෙනෙකුට "හොඳ" දෙයක් තවත් කෙනෙකුට "නරකට" බලපානවා. හරියට බැලුවොත් මනුස්ස හැසීරීම් ගැන පොදු විනිශ්චයක් දෙන්න හරි අමාරුයි. මේ ජීවන සංකීර්ණතාවන් බොහොම නිර්මාණාත්මකව සහ සියුම්ව ග්‍රහණය කරගන්න නිසා Mare of Easttown පිටපත මේ කතාවේ විශිෂ්ටත්වයට හේතුකාරක වෙනවා.

ඒ වගේම අනෙක් අතින්, සාර්ථක රහස්පරීක්ෂක කතාවක් නම් අවසානෙදි මොකක් හරි අභිරහසක් අනාවරණය වෙන්න ඕන. ඒක මුල පටන්ම කාටවත් හිතා ගන්න බැරි දෙයක් වෙන්නත් ඕන. මේ අතින් Mare of Easttown උපරිම තැනක ඉන්නව කියන්න පුළුවන්. මොකද කතාවේ මූලික අභිරහස Erin මරා දැම්මේ කවුද? කවුරු වුණත් එහෙම කළේ ඇයි? කියන කාරණා හින්දා මුල පටන් මෙන්න මේ අය ඔය අපරාදෙ සිද්ද කරන්න ඇති කියලා ඉඟි ලබා දීලා අවසානෙදි හිතාගන්න අමාරු විදිහට කතාව වෙනස්ම පැත්තකට හැරෙනවා.

එහෙම බැලුවම Crime/ thriller එකක් විදිහට Mare of Easttown පරිපූර්ණයි. Kate Winslet රඟපාන Mare ගේ චරිතය තමයි කතාවේ වැඩි බරක් ඇදගෙන යන්නෙ. මේ වගේ චරිතයක් කරන්න ලැබෙන එක කොයිතරම් ලොකු අභියෝගයක්ද කියන්න ඕන නැහැනෙ. Kate ඒ අභියෝගය ජය ගන්නෙ ඉහළින්ම. මං හිතන්නෙ මම එයාගෙ දැක්ක හොඳම act එකක් මේක. අනෙක් චරිත වලින් ලැබෙන දායකත්වයත් ඒවගේම ඉස්තරම්. Act සහ Script එක ඇරුණම cinematography එකත් මේක සාර්ථක නිර්මාණයක් වෙන්න ලොකු බලපෑමක් කරනව. බලල ඉවර කරලා ටික කාලයක් ගිහිල්ලත් මේ ගැන යමක් ලියන්න හිතුණේ තවමත් ඒ කතාව ඔලුව ඇතුලේ දෝංකාර දෙන නිසාමයි. මගේ friend list එකෙ බොහොම දෙනා ආපු කාලෙම මේක බැලූ බව දැක්කා. තවමත් නොබැලූ කෙනෙකුට හොයාගෙන බලන්න මේ පෝස්ට් එක හේතු වෙනව නම් ඒ ඇති.



Sunday, February 9, 2025

සිනහවක් සමග මියැදෙනු හැකි නම්.......

 අලුතෙන් හැදෙන සින්දු කොයිතරම් කනේ හැප්පිලා ගියත් Bruno Mars ගෙ Die with a Smile කියන්නෙ ඒවා අතරෙ සෑහෙන ඔලුවෙ රැඳිලා තියන melody එකක්. Bruno මුල් කාලීනව කියපු සිංදු සෙට් එක ඒ කියන්නෙ Grenade, Just the way you are, Count on me, Marry you, Lazy song වගේ ඒවා මගේ නම් ජීවිතේ අතීතකාමී මතක ඇතුලෙ තවමත් නොමැකි තියෙනව. අවුරුදු දොළහක් දහතුනක් තිස්සෙ උදේ පාන්දර නැගිටගෙන ඉස්කෝලෙ දුවල ගතකරපු ජීවිතේ ඉවර කරලා රටතොට සමාජෙ හැටි ගැන මෙලෝ මලදානයක් නොදැන ආපහු රස්සා ජීවිතේකට මාරුවෙනකම් ගෙවා දැම්ම සංක්‍රාන්තික කාලයක් ඇතුළෙයි මේව මට ඇහෙන්න ගත්තෙ. ඒක ඇවිල්ලා තනිකරම මුදලක් හම්බකරගන්නවට හරි නැත්නම් වෙනත් මොනවටවත් වඩා හිතේ ආසාවට දේවල් කරමින් ගෙවුණු පුදුමාකාර නිදහස්කාමී කාලයක්. මං ටිකක් වැඩිපුර කලයක් ඔහොම ගතකලා. මං හිතන්නෙ ඉන්ටනෙට්, සෝෂල්මීඩියා සමාජෙ අස්සක් මුල්ලක් නෑර බෝවෙන්න පටන් ගනිමින් තිබුණෙ එතකොට. ඒ කාලෙ වැළඳිච්ච Rock music පිස්සුව එක්ක Green day, Simple plan, Metallica, Pink Floyd වගේ බෑන්ඩ් හොය හොයා අහන කාලෙ pop music වලින් තදින්ම හිතේ රැඳුණා Bruno Mars ගෙ සින්දු. මේ අලුතෙන් ඇවිත් තියන Die with a smile කියන්නෙ ඒ නොස්ටැලිජික මතක අවුස්සන්න තරම් බලගතු melody එකක් මට නම්. අවුරුදු 15 කට විතර පස්සෙ වුණත් මේ මනුස්සයගෙ කටහඬ එදා වගේම ඇහෙනවා තවම.

මේක කියන්නෙ Bruno සහ Lady Gaga දෙන්නම. Music වලින් නම් මට දැනුණේ මේක මාර දුක්බර සින්දුවක් වෙන්න ඇති කියල. සින්දුව minor scale එකක යන හින්දා එහෙම දැනෙන්න ඇති. ඒත් lyrics අරගෙන බලනකොට ඒක එහෙම නෑ. මේක Romance වෑහෙන ප්‍රේමයක් ගැන කියන සින්දුවක්. ලෝකයෙ හැම දෙයක්ම විනාස වෙමින් ගියත් ඔයා ගාවින් මම ඉන්නවා කියල කියන හැඟුම් ප්‍රකාශයක්.

If the world was ending,
I'd wanna be next to you
If the party was over and
our time on Earth was through
I'd wanna hold you just for a while
and die with a smile
If the world was ending,
I'd wanna be next to you

Die with a smile, හිනාවක් එක්ක මැරෙන්න කියලා Bruno එහෙම කියද්දී මට මතක් වෙනව ඩෙන්මාර්ක් ජාතික සිනමාකරුවෙක් වන Lars von Trier ගේ Melancholia චිත්‍රපටිය. මේ චිත්‍රපටියෙ කියන්නෙ අභ්‍යවකාශයෙන් එන ග්‍රහකයක් කඩා වැටිලා සිද්ද වෙන ලෝක විනාශයක් ගැන. ආදරය කරන අය එකිනෙකා වෙනුවෙන් ඉන්නව නම් ඕන ලෝක විනාසෙකට බය නැතිව මුහුණ දෙන්න පුලුවන් කියලා චිත්‍රපටියෙ අවසානෙ හරි ලස්සනට පෙන්නුම් කරනවා. මේ මෑතක තිබ්බ ග්‍රැමී සම්මාන උළලේ කණ්ඩායමක් හෝ යුගල ගායනයක් විදිහට 2024 වසරේ ආව හොඳම සින්දුව විදිහට සම්මානය දිනාගන්නෙ මේ Die with a smile සින්දුව. එතනදි Bruno කියනව එයාට ලොකු ගෞරවයක් කියලා Lady Gaga එක්ක මේ සින්දුව කියන්න ලැබීම. Gaga කියනව Bruno ගෙන් තොර සංගීතයක් ගැන එයාට හිතාගන්න බැහැ කියල. මේ වගෙ මතක හිටින සින්දුවක් හැදුවට ඒ දෙන්නටම මම ස්තූතියි කියනව!