ඇමරිකා එක්සත් ජනපදයේ නෙබ්‍රස්කා ප්‍රාන්තයේ ඕමාහා නගරයේ ගොවිපළක් සහිත කුඩා නිවසක, ඉතා සාමාන්‍ය මාපිය යුවළකට දාව, සහෝදරියන් දෙදෙනෙකුට පසුව උපන් එක් කොලුගැටයෙකු සිටියා. කුඩාකාලෙ පටන් තිබුණු හිතුවක්කාරී ගති ගුණ නිසා මේ කුඩා කොලුවා දැඩි විනයක් සහිත හමුදා පාසලකට ඇතුළත් කරන්න ඔහුගේ මාපියන් තීරණය කරනවා. නමුත් එතැන කොහෙත්ම ඔහුට ගැළපෙන තැනක් වුණේ නෑ. ඒ නිසා එතනිනුත් ඔහුව පිටමං කෙරෙනවා. ජීවිතේ යෞවනත්වයට පත්වීම එක්ක ඔහු නිව්යෝක් රංගන පාසලට ඇතුළත් වෙන්නෙ ලොකු බලාපොරොත්තුවක් නැති ව. නමුත් ඔහු අවසානෙ නතරවෙන්නෙ ලොව මෙතෙක් බිහිවුණු අග්‍රගන්‍යම නළුවෙකු බවට පත්වෙමින්. ඔහු තමා මාලන් බ්‍රැන්ඩෝ. Songs my mother taught me කියන්නෙ බ්‍රැන්ඩෝ ගේ ජීවිත පුවත ඇතුළත් ඔහුගෙ චරිතාපදානය. එය සිංහලට පරිවර්තනය වෙන්නෙ "අම්මා මට කියාදුන් ගී" නමින්. පරිවර්තනය සිදුකරන්නෙ ලංකාවේ සිටින විශිෂ්ටතම කැමරා ශිල්පියෙකු විදිහට සැලකෙන එම්. ඩී. මහින්දපාල මහත්මයා විසින්. පොත කියවා බලද්දී වැටහෙන දෙය තමා මාලන් බ්‍රැන්ඩෝ කියන්නෙ හුදෙක්ම නළුවෙකුට එහා යන වටිනාකමක් ඇති සුවිශේෂ මිනිසෙක් බව.
Tuesday, September 3, 2024
අම්මා මට කියාදුන් ගී
Friday, August 30, 2024
A Streetcar Named Desire (1951)
"මා නිතරම ආගන්තුකයන්ගේ කරුණාව මත යැපුණෙමි"
Wednesday, August 28, 2024
Oddity (2024)
හදිස්සියෙම මහ රෑ ගෙදර දොරට තට්ටු කරන සද්දයක් ඇහුණා. හාත්පසම පැතිරිලා තිබ්බේ ඝන කළුවරක්. ඒ අදුර බින්දේ පොඩි විදුලි පහනක එළියක් පමණයි. භය කියන කියන හැඟීම තදින්ම දැනෙන්න පටන්ගත් මොහොතකුයි මේ ගෙවෙමින් තිබුණේ. මේ ගම්බද පාළු ගෙදර එදා රෑ හිටියේ ඈ පමණයි. මේක කොච්චර පිටිසර පළාතක් ද කියනව නම් ෆෝන් එකට සිග්නල් තිබුණේ ගෙදර උඩ තට්ටුවේ එක තැනකට විතරයි. ඇගේ නම ඩැනී. ඇගේ ගේ ස්වාමි පුරුෂයා මනෝ වෛද්‍යවරයෙක්. ඔවුන් මේ ගම්බද පළාතට පදිංචියට ආවෙ අළුතෙන්. ඔහුට රාත්‍රී වැඩමුර වැටෙන දවස්වලට ඇයට මේ ගෙදර ඉන්න වුණේ තනියෙන්.
Sunday, August 25, 2024
Longlegs (2024)
2024 අවුරුද්දෙ බොහොම හොඳ ප්‍රතිචාර තියන horror films ගණනාවක්ම ඇවිත් තියන බව දැක්කා. ඒ අතර 2024 වසරේ හොඳම horror ෆිල්ම් එක විදිහට ගොඩක් දෙනා නම් කර තිබ්බ Longlegs මෑතක digital release වුණ නිසා බලන්න හැකියාවක් ලැබුණා. මට අනුව Longlegs කියන්නෙ හොඳ horror චිත්‍රපටියක් තමා. ඒකට හේතු කාරණා කීපයක් තියනව.
පළවෙනියටම film එකෙ cinematography එක. Horror ෆිල්ම් එකක තිබිය යුතු අඳුරු, පාළු, ගුප්ත ස්වභාවය මතුකරනා ආකාරයෙන් රූප රාමු සහ පසුතල සැකසීම සිදුවෙලා තිබුණා. බොහෝවිට භාවිත කරලා තිබුණා තීව්‍ර බවින් අඩු වර්ණ. අළු පාට අහස, කොළ හැලිලා ගිය ගස්, පාළු ගෙවල්, අඳුර ආලෝකය මෙහෙයවා තිබුණ ආකාරය සහ සමහර දර්ශන කැමරාවට හසුකරගෙන තියන ආකාරය චිත්‍රපටියෙ බිහිසුණු කම ඇඟටම දනවන්න සමත් වෙලා තිබුණා. ඒ නිසා චිත්‍රපටියෙ සාර්ථකත්වය වෙනුවෙන් cinematography අංශය ලොකු වැඩකොටසක් කර ඇති බව කිවහැකියි.
Thursday, August 22, 2024
Blue Velvet (1986)
ඔස්කාර් වයිල්ඩ් ගේ The Happy Prince නම් සුප්‍රකට කෙටිකතාවක් තියනව. මේ කතාව යුරෝපයේ එක්තරා නගරයක කන්දක් උඩ තියන කුමාරයෙකුගේ රත්තරන් පිළිරුවක් වටායි ලියවිලා තියෙන්නෙ. කතාවෙ හැටියට දවසක් එක් වැහිළිහිණියෙක් බොහොම කලබලෙන් මේ නගරය හරහා පියාඹාගෙන යනවා. වැහිළිහිණි කියන්නේ සංචාරය කරන කුරුල්ලන් විශේෂයක්. උන් ඉන්නා යුරෝපීය රටවලට සීත කාලය එද්දී මේ කුරුල්ලන් සමකාසන්න උණුහුම් රටවල් බලා සංචාරය කරනවා. මේ කියන කාලය වෙද්දී සීත ඍතුව ළග ළගම එමින් තිබුණු නිසා වැහිළිහිණි ඔක්කොම යුරෝපය අතහැර ගිහින් ඉවරයි. නමුත් අපේ මේ වැහිළිහිණියට යම් හේතුවක් නිසා නියමිත වෙලාවට තමන්ගේ මිතුරන් එක්ක පියාසැරියට එකතුවෙන්න බැරි වෙනවා. (ඒ කතාව කියන්න ගියොත් කෙටි කතාව ඔක්කොම කියන්න වෙන හින්දා ඒ ටික නොකියා ඉන්නම්) ප්‍රමාද වුණු මේ අපේ මිත්‍රයා සීත කාලය එන්න කලින් මේ බිමෙන් පිටවෙලා යන්නයි ඉක්මණින්ම පියාඹා ගියේ. නමුත් දිග දුරක් පියාසරලා ඌ හිටියේ බොහොම වෙහෙසට පත්වෙලා. එතනදි පුංචි වැහිළිහිණියා දකිනවා කුමාරයා ගේ රත්තරන් පිළිරුව. කුමාරයාගේ පා සෙවණේ නැවතිලා ටිකක් වෙලා ගිමන් හරින්න කුරුල්ලා තීරණේ කරනවා. ටිකක් වෙලා ඔහොම ඉන්නා අතරෙදී කුරුල්ලාට දැනෙනවා උගේ අත්තටු වලට යමක් වැටුණු බව. වැහි බින්දු! නමුත් අහසේ එක වළාකුළක්වත් නෑ. එහෙනම් මේ වැහි බින්දු වැටෙන්නේ කොහොමද? වැහිළිහිණියා ඉහළ බලනවා. ඒ වැහි බින්දු නෙවෙයි කුමාරයෙගෙ ඇස්දෙකෙන් කඩාහැලෙන කදුළු බව වැහිළිහිණියා දකිනවා.
Wednesday, August 14, 2024
යළි හමු නොවන ඔබ..
මගේ සැමියා වූ කාල් සේගන් මියගිය කළ, ඔහු ඉතා ජනප්‍රිය තැනැත්තෙකු සහ ආගම විශ්වාස නොකරන්නෙකු ලෙස ප්‍රකටව සිටි නිසා, බොහෝ අය මා වෙත පැමිණ (සමහර විටෙක එය තවමත් සිදු වේ) අවසානයේ කාල් වෙනස් වී මරණින් මතු ජීවිතයක් පිළිබඳ විශ්වාසයකට හැරුණේදැයි මගෙන් අසති. මට ඔහුව නැවත දැකගන්නට ලැබෙනු ඇතැයි මම සිතනවාදැයි ඔවුන් මගෙන් නිතරම විමසති. කාල් ඔහුගේ මරණයට මුහුණ දුන්නේ මහත් ධෛර්යයකින් වන අතර ඔහු කිසි විටෙකත් මිත්‍යාවන්හි පිළිසරණය පැතුවේ නැත. ඛේදවාචකය නම් අපට නැවත කිසි දිනෙක එකිනෙකා මුණනොගැසෙන බව අප දැන සිටීමයි. කාල් සමග නැවත එක්වන්නට මම කිසිදාකවත් බලාපොරොත්තු නොවන්නෙමි. නමුත් වැදගත්ම දෙය නම්, අවුරුදු විස්සකට ආසන්නව අප එක්ව සිටි කාලය ඇතුළත, අප ජීවත් වූයේ ජීවිතය කොයි තරම් කෙටිද සහ එය කොයිතරම් මාහැඟි වූවක්ද යන්න පිළිබඳව සුපැහැදිලිවූ අගයකිරීමක් සමග ය යන්නයි. මරණය යනු අවසන් සමුගැනීමක් හැර වෙනත් යමක් යැයි මවාපාමින් අපි කිසි විටෙකත් එහි අරුත සුළුකොට තැකුවේ නැත. අප ජීවත්ව සිටි සහ අප එක්ව සිටි සෑම මොහොතක්ම ආශ්චර්යමත් විය - නමුත් ඒ පැහැදිලි කළ නොහැකි හෝ අධිස්වාභාවික අර්ථයෙන් ආශ්චර්ය වූවක් නොවේ. අපි අහම්බයක් වශයෙන් සිදුවූ දෙයක ප්‍රතිලාභ ලැබූවන් පමණකි... එම පිවිතුරුවූ අහම්බයට එතරම් ත්‍යාගශීලී සහ කාරුණික විය හැකි වූයේ ය... ඔහු තම "කොස්මෝස්" නම් කෘතියෙහි ඉතා මනරම් ලෙස ලියා ඇති පරිදි, විශ්වයේ අපරිමිත බව තුළ සහ කාලයේ අසීමිත බව තුළ අවුරුදු විස්සක කාලයක එක්ව විසීමට අපට හැකි වූවා පමණි. ජීවත්ව සිටියදී ඔහු මා රැකබලා ගත් ආකාරය සහ මා ඔහු රැකබලා ගත් ආකාරය, අපි එකිනෙකා සහ අපේ පවුල රැකබලා ගත් ආකාරය... එය මා හට දරා සිටීමට උපකාරී වන වන අතර එය වඩාත් අර්ථවත් වේ. කවදාක හෝ නැවත මා ඔහු දකින්නේය යන අදහසට වඩා මට එය වටියි. මට යළිත් කිසිදාක කාල්ව දැකගන්නට ලැබේවි යැයි මම සිතන්නේ නැත. නමුත් වරක් මා ඔහු දුටුවෙමි, අපි එකිනෙකා දුටුවෙමු. විශ්වය තුළ අප එකිනෙකා මුණගැසුණෙමු, එය පමණක්ම ඉතා මනහර විය.
~Ann Druyan
(Ann Druyan කීර්තිමත් ලේඛිකාවක් සහ නිෂ්පාදකවරියක් වන අතර, ඇය වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ ඇගේ නැසීගිය සැමියා වන කීර්තිමත් විද්‍යාඥ කාල් සේගන් හා සමග වූ සහයෝගීතාව සඳහා ය. ඔවුන් එක්ව විශ්වය සහ එහි අපගේ ස්ථානය පිළිබඳව ගවේෂණය කළ පෙරළිකාර කෘති නිර්මාණය කළහ. 'Shadows of Forgotten Ancestors' එවැනි එක් විශිෂ්ට කෘතියකි.)
Wednesday, August 7, 2024
පරව ගිය කුසුමක්
(1962 අගෝස්තු 4 මැරලින් මොන්‍රෝ මියගිය පුවත අසන්නට ලැබුණු සැණෙකින් චාල්ස් බුකොව්ස්කි මෙලෙස ලිවීය. එය බුකොව්ස්කි ගේ Burning in Water Drowning in Flame නම් කවි එකතුවේ ඇතුළත්ව තිබේ)