Thursday, July 5, 2018

සයුරක්ව පැවතීම


සයුරක්ව පැවතීම හිතවත
මහ දුක් කඳකි සයුරක් සේම
වෙරළෙ ඔය නට නටා හිටියාට
ඇහෙනවද හෝ හෝ ගගා වැළපෙන හඬ ඈත.

කුස තුළ තබා රැක හිඳ
වෙරළත වැදූ කිරිකවඩි දරු කැල
පයට පාගනකොට
එහෙ මෙහේ යන මිනිසුන් රැළ
සුසුම් නොහෙළා හිඳීමය.

කාලේ් අකාලේ සංවහන සුළං රැළි
කෙහෙවලු කඩාගෙන ගොඩ වදිනකොට
දිය බිදක් දී උන් හැම
පිපාසා නිවීම ය.

පෙරදිග අපරදිග
ගලාබස්නා මහා ගංගා
සම හිතින් පිළි ගැනීමය
උන්ට කරදිය අතර
ඉන්ට ඉඩ සැදීමය.

දැල් පුරා එන ඔරු වල
හබල් පහරට නතුවීමය.

දැලක පැටලී මියඇදුන
රන් මසෙකුගෙ මිතුරෙක්
ගමන් සගයෙක්
ඇසින් හැලෙනා කඳුලක් දෙකක්
නොදැනෙන්න පිස දැමීම ය.

රැළි අතපය දිගැර
ගොඩබිම බදා ගෙන වැළද
හඬන්න වුවමනා වූවත්
වෙරළ ඉම නොඉක්මවා හිඳීමය.

සයුරක්ව පැවතීම හිතවත
මහ දුක් කඳකි සයුරක් සේම
වෙරළෙ ඔය නට නටා හිටියාට
ඇහෙනවද හෝ හෝ ගගා වැළපෙන හඬ ඈත.






No comments:

Post a Comment