Monday, November 5, 2018

අතුරු මාවත් දෙකක්



මඳ අඳුර සමඟ ළා සිහිලසම රැඳුන
දුර ඈත ලඳු බිමේ තුරු සෙවණ අතර
දම් පාට කැලෑමල් පිපී ඇති තැනක
අතුරු මාවත් දෙකක් මුණගැසී තිබිණ..

මල් සුවඳ සුළඟ හා මුහු වුණේ එතැනිණි 
මත් බිඟුන් කැළ තුටුව පියැඹුවේ එතැනිණි
සීත උල්පත් කඳුරු උනන්නේ එතැනිණි
ගී ගයන සියොත් කැළ නික්මුණේ එතැනිණි

මිදී මහ මාවතෙන් පැමිණ මේ බෝ දුර
මිනිස් ඇස නොගැසෙනා සීත ඉම් පෙදෙසක
මෙතක් දුර පැමිණි දුක් කඳුළු හා මුසු කර
පිරිමැදුණි හදට හද ගැහෙන සම රිද්මෙට

ලං ලංව හමුවුවද උනුන් හා මෙලෙසට
ගමන නම් අතරමග හැකිද නවතින්නට
හැරෙන බව දැන ගෙන නැවත මහ පාරට
සිහින් සුසුමක් සෙමෙන් නික්මිණිය සුළඟට

මඳ අඳුර සමඟ ළා සිහිලසම රැඳුන
දුර ඈත ලඳු බිමේ තුරු සෙවණ අතර
දම් පාට කැලෑමල් පිපී ඇති තැනක
අතුරු මාවත් දෙකක් වෙන්ව ගොස් තිබිණ..





2 comments:

  1. මම ලබන අවුරුද්දේ මුලදී සවන අන්තර්ජාල රේඩියෝවට කවි ගැන වැඩසටහනක් කරන්න ඉන්නවා . ඔබේ කවි එමගින් ඉදිරිපත් කිරීමටත් , සංවර්ධනාත්මක ප්‍රතිචාරයක් ( Constructive Feedback )සම්පත් දායකයින් මගින් ලබා දෙන්නත් පුළුවන් . ඔබේ කැමැත්ත සහ අවසරය මගේ විද්යුත් ලිපිනයට එවන්න . වැඩසටහන් ආකෘතිය සහ ඔබේ පුර්ව පිටපත සහ අවසන් පිටපත විද්‍යුත් තැපෑල හරහා බෙදා ගන්නම් . අනුරුද්ධ ......ahasgawwa1@gmail.com

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි....ඔබ කැමති කවියක් ගන්න ගැටලුවක් නෑ...!

      Delete