"මිනිහෙක් ඇත්තටම ජීවත් වෙන්න පටන්ගන්න නම් ඔහු කීපවතාවක්ම මැරෙන්න ඕන" ... මේක Charles Bukowsky ගේ කියමනක්. මේ කියමන අපිට නොයෙක් ආකාරයට අරුත්ගන්නවන්න පුලුවන්. හරියට දළඹුවෙක් කෝෂගතව ඉඳල තමන්ගෙ දළඹු ජීවිතෙන් මැරිල සමනලයෙක් විදිහට නැවත උපදිනව වගේ. මලක පෙති ගිලිහිලා ඵලයක් විදිහට නැවත හට ගන්නවා වගේ. නැත්නම් කෙනෙක් ජීවිතේ ලබන අන්ත දුක් ගැහැට මතින් ජීවිතේ ගැන යම් අවබෝධයක් ලබනව වගේ දෙයක්. Jonathan Ames නම් ලේඛකයා ගේ You were never really here කෙටි නවකතාව ඇසුරෙන් නිපදවෙන මේ නමින්ම යුත් චිත්‍රපටයෙ ප්‍රධාන චරිතය Joe කිහිප විටක් මරණයේ දොරකඩටම ගිහින් එක වතාවක දි අලුත් ජීවිතයකට නැවත උපදීමේ සංසිද්ධියත් මේ අදහස එක්ක සමපාත කරගන්න පුලුවන්.
Joe සියදිවි නසාගන්න උත්සහ කල වාර ගණන නම් බොහෝමයි. නොයෙක් විධික්‍රම අනුගමනය කළත් ඒ හැම වතාවකම ඔහු අසාර්ථක වෙනව. ඔහුට අවශ්‍යයි මේ ජීවිතයෙන් පළායන්න. නමුත් ඔහුට එය කළ නොහැකියි. Joe, PTSD තත්ත්වයෙන් පීඩා විඳින්නෙක්. PTSD (Post traumatic stress disorder) කියන්නෙ යුධ පිටියෙ බිහිසුණු අත්දැකීමකට මුහුණදීමෙන් , ලංගික අපචාරයකට ලක්වීමෙන් නැත්නම් කවරආකාරයෙන් හෝ බියජනක අත්දැකීමකට මුුහුණ දුන් අයෙක් තුළ ඇතිවන මානසික අසමතුලිත තාවයක්. ඔවුන් අර බියජනක අත්දැකීමේ කම්පනය සිතිවිලි, මතකයන්, සිහින, ඔස්සේ නැවත නැවත සිහිකරමින් එයින් පීඩා විඳිනව. Joe කුඩා කාලයේ ඔහුගේ හිත්පිත් නැති පියා මවට වධදෙන ආකාරය නැරඹීමෙන් ලැබූ අත්දැකීම්, යුද සෙබළෙක් විදිහට යුධ බිමේ ලැබු ලැබූ අත්දැකීම් යන මේ දේවල් සිහිපත් වීමෙන් Joe නිතර නිතර භීතියටත් සංත්‍රාසයටත් පත්වෙනව. ඔහු එක්තරා ආකාරයක තමන්ගේ ඇතුළු මනස තුලම ජීවත් වන මිනිසෙක්. බාහිර සමාජය තුල ඔහු නොපවතින්නෙක් You were never really here....
Joe කුලී ඝාතකයෙකුට සමානයි. ඔහු වැඩ කරන්නෙ පුද්ගලික රහස් පරීක්ෂකයෙකු ලඟ. නීතියේ රැහැනට පිටින් ඔහුගේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට භාර වෙන්නෙ Joe ට. එක්තරා දේශපාලකයෙකුගෙ නව යොවුන් දියණිය Nina පැහැරගන්නා කණ්ඩායමක් ඈව ගණකා වෘත්තියේ යොදවනව. ඈව ගලවා ගැනීම තමයි ඔහුට පැවරෙන කාර්ය. නමුත් මෙය ඔහුගෙ පුරුදු ජීවන රටාව සහමුලින් වෙනස් කරනව.
You were never really here.... සවිස්තරාත්මක කතාවක් විදිහට ඉදිරිපත් වෙන්නෙ නෑ. ඒ වෙනුවට ප්‍රෙහෙලිකාවක තැනින් තැන විසිරුණු කොටස් විදිහට වෙන් වුණ රූප රාමු අපි දකින්නෙ. මේ සියලු දේ ගලපාගෙන අවස්ථා සිද්ධි විවරණය කරගැනීම ප්‍රේක්ෂකයා තම මනස මෙහයෙවා කළ යුතු යි. මේ සිනමාපටයේ අධ්‍යක්ෂවරිය Lynne Ramsay ගේ සිනමාපට මේ බොහෝවිට මේ ආකෘතියට සමාන බව වැඩිදුර හොයද්දි හදුනාගන්න පුලුවන්.
Joe තමන්ගේ මව සමගයි ජීවත් වෙන්නේ. ඔහු යම් ආකාරයක සතුටින් නිදහස්ව ඉන්න ආකාරය දකින්න පුලුවන් මේ මව සමග ගත කරන කාලය ඇතුලතදියි. නමුත් ඇගේ වියෝවත් එක්ක ඔහු සහමුලින් බිඳ වැටෙනව. ජීවිතය එක්ක ගැටගහල තිබ්බ අවසන් හුයත් ගිලිහී ගිය මොහොතෙ Nina ගේ ආගමනයෙන් නැවත මරණය අතහැර ඔහු ජීවිතය වෙතම පනිනව. තමන්ගේ පැවැත්මට අර්ථයක් ඇති බව ඔහු Nina තුළින් දකිනට. Joe නමින් පුද්ලයෙක් ඇත්තටම පවතිනවද කියන කාරණය සිනමාපටය ඇතුලෙ ඉතාම සිනමාරූපි භාෂාවකින් නැවත ප්‍රශ්න කරනව. ඔහු ජීවත් වුණත් නොවුණා හා සමානයි. කිසි කෙනෙකුට ඔහු නොසිටියා කියා ගැටලුවක් වෙන්නෙ නෑ. සමාජය ඇතුලෙ නිශ්චිතවම ඔහු ස්ථානගත වෙන තැනක් නෑ. කුඩා කළත් ඉන් පසුවත් ලැබූ අප්‍රසන්න අත්දෑකීම් එක්ක ඔහු පවතින්නේ ..ඇයි මම ජීවත් වෙන්නෙ...කියන අර්බුදය ඇතුලෙ..ඔහුට අවශ්‍යයි මේ පැවැත්මේ කෙළවරක් දකින්න... ඒත් ජීවිතය අතහරින සැණින් ඔහු නැවත අල්ලා ගන්නේ ජීවිතය මයි.
Joe ගේ චරිතය නිරූපනය කරන්නෙ ජෝකර් චිත්රපටය එක්ක බොහෝ දෙනා හදුනා ගත් Joaquin Phoenix. Joker ට කලින් ඔහු රඟපෑ සිනමාපටය තමා මේ. Joe සහ Joker කොයිතරම් හොඳින් එකිනෙකා සමග ගැලපෙනවද කියල චිත්‍රපටය නරඹන කෙනෙකුට වටහාගන්න හැකිවේවි. මේ දෙදෙනාම එක්තරා ආකාරයක අනන්‍යතා අර්බුදයකින් පෙළෙන චරිත. Joker සමාජයෙනුත් Joe පවුල තුලින් සහ යුධ බිමෙනුත් එල්ලවෙන පීඩනය නිසා තමන්ගෙ ජීවන පැවැත්ම සහමුලින් කණපිට පෙරලගෙන "වෙනත් කෙනෙක්" බවට පරිවර්තනය වූ දෙදෙනෙක්. කෙහොම නමුත් Phoenix අද්විතීය ගණයේ රංගනයක යෙදෙමින් මානසික අසමතුලිත තාවයෙන් පෙළෙන හුදෙකලා මිනිසා ගේ චරිතය ඉතාම හොඳින් නිරූපණය කරනව.
සාපේක්ෂව කුඩා ධාවන කාලයක් ඇතුලෙ වුණත් කතාවක් ස්වරූපයෙන් මිදිල "ප්‍රෙහේලිකාමය" ආකෘතියකින් ඉදිරිපත් වෙන නිසා මේ චිත්‍රපටය යම් වෙහෙසක් දරා වටහාගත යුතු එකක්. ඒවගේම ඉතාම සිනමාරූපීව සමහර අවස්ථා සිද්ධි නිරූපණය වෙන නිසා ඒ පිළිබඳ යම් අවබෝධයක් තිබීම අවශ්‍යයි. අමුතුම ආකාරයේ මනුෂ්‍යයකුගේ මනසට එබී බැලීමක්, ඔහුගේ ජීවිත අත්දැකීම සමග ඒකාත්මික වීමක් හැටියට you were never really here චිත්‍රපටය හඳුන්වාදිය හැකියි
මේක මරු... මමත් බැලුවා...
ReplyDeleteහරියටම මොකක්ද වෙන්නෙ කියල තේරුම්ගන්න අමාරු ඒත් මතක හිටින එකක්.
Delete