"හුණුවටයේ කතාව" අපි බොහෝ දෙනෙක් බලල හෝ අවම වශයෙන් අහලවත් ඇති බවට සැකයක් නෑ. ජර්මානු ජාතික නාට්‍යකරු බර්ටෝල් බ්‍රෙෂ්ට් ගේ The caucasian chalk circle නම් නාට්‍ය ඇසුරෙන් හෙන්රි ජයසේන මහත්මය යි මේ හුණුවටයේ කතාව නිර්මාණය කරන්නෙ. නාට්‍යයෙ කතාව සාරාංශයක් විදිහට මෙහෙමයි.
යුරෝපයේ කොකේසියන් කඳුකරය ආශ්‍රිත ගෘසිනියාව නම් රාජ්‍යයේ යුවරජ ජෝර්ජියෝ අබෂ්විල්, රජ බිසව නතාලියා කුමරිය සහ ඔවුන් දෙපළගෙ අලුත උපන් පුත් කුමරා මයිකල් ඇතුළු පරිවාර සේවක සේවිකාවන් පිරිස පාස්කු ඉරිදාවක උදයෙම දේවස්ථානය බලා යමින් ඉන්නව. රටේ ඇතිවී තියෙන්නෙ කැරළිකාරී තත්ත්වයක්. මේ යුවරජ ඇතුළු කණ්ඩායම හිටිහැටියේ ම කැරළි කරුවන් පිරිසකට මැදිවෙනව. කැරළිකරුවන්, යුවරජ ජෝර්ජියෝ එතැනදිම මරා දමනව. තමන්ගේ ජීවිතය සහ පැළඳ ඉන්නා වටිනා ආභරණ බේරාගන්න නතාලියා බිසව පුත් කුමාරයාවත් අමතක කරල පළායනව. බිසවගෙ සේවිකාවන් අතර උන්නු ගෘෂා නම් තරුණ ගැහැණු ලමයෙක් මේ සිද්දිය දකිනව. පුත් කුමර මයිකල් ගැන අනුකම්පාවක් ඇති කරගන්න ගෲෂා ඔහුවත් අරගෙන කඳුකරයට පළායනව.
ගෲෂා විවාහ වෙන්න නියමිතව උන්නෙ සයිමන් නම් හමුදා සෙබළෙක් සමගින්. රටේ ඇති වුණු තත්ත්වය එක්ක සයිමන් රාජකාරිය වෙනුවෙන් බැහැරව ගිහින්. ගෲෂා නවතින්නෙ තමන්ගෙ සහෝදරයා ගෙ නිවාසයෙ. එතැනදි ජෝසප් නම් තව මනුෂ්‍යයෙක් එක්ක විවාහ වෙන්න ගෲෂාට බල කරනව. අවසානෙ අකැමැත්තෙන් වුණත් ඇයට ජෝසප් එක්ක විවාහ වෙන්න සිද්දවෙනව.
ඔය අතරෙ රටේ කලබලකාරී තත්ත්වය එක්ක එක් ආදිපාද වරයෙන් වෙස්වලාගෙන පලායනව. ඔහු සතුරන් අතට පත්වෙන්න ආසන්න වෙනකොට අසඩක් නම් සොරදෙටුවෙක් ආදිපාදවරයා කවුදැයි නොදැන ඔහුව එයින් ගලවගන්නව. අසඩක් නම් අසමාන බුද්ධිමත් කමක් හිමි මනුෂ්‍යයෙක් බව ආදිපාදවරයා දැනගන්නව. කාලයත් එක්ක කැරළි කෝලහාල යටපත් වෙලා කලින් තිබූ රජය ආයෙත් බලයට එනව. ආදිපාදවරයා තමන්ගෙ ජීවිතේ බේරුව අසඩක් නම් බුද්ධිමත් සොරාට නඩුකාර පදවියක් පිරිනමනව. අසඩක් ඉතාම සාධාරණ සහ දුප්පතුන් වෙනුවෙන් පෙනී ඉන්නා මනුෂ්‍යයෙක් විදිහට ප්‍රසිද්ධිය ලබනව.
රටේ තත්ත්වය යහපත් අතට හැරුණායින් පස්සෙ සයිමන් නැවතත් ගෲෂාව සොයාගෙන ගමට එනව. ඒත් ගෲෂා දැන් වෙනත් කෙනෙක් විවාහ කරගෙන දරුවෙකුත් ලබල ඉන්න හැටි සයිමන් දකිනව. සයිමන් කල්පනා කරන්නෙ දරුවා ගෲෂා ගෙ බව ඒත් පසුව ඔහු ඇත්ත දැනගන්නව. මේ වෙද්දි නතාලියා බිසවත් මයිකල් කුමාරයාව සොයමින් ඉන්නෙ. යුවරජ ගේ දේපල ඇගෙ නමට හරවාගන්න මයිකල් ඇයට අවශ්‍යයි. නතාලියා බිසව මයිකල් සොයමින් ඉන්න වැදගත්ම හේතුව ඒකයි. අවසානෙ ගෲෂා ලඟ ඔහු ඉන්නා බව දැනගන්න සෙබලු දෙදෙනාම රජමාලිගයට අල්ලාගෙන යනව. මයිකල් තමන්ගේ දරුවා බව කියමින් ගෲෂා ඔහුව ආපහු බාරදීම ප්‍රතික්ෂේප කරනව. මේ අවනඩුව විසඳන්න බාර වෙන්නෙ අසඩක්ට.
වෙච්ච සිදුවීම හොඳ හැටි අහගන්න අසඩක් මේ නඩුව විසඳන්නෙ හරි අපූරු ක්‍රමයකට. හුණු කැබැල්ලකින් රවුමක් ඇඳල මයිකල්ව ඒ රවුම මැද තියන අසඩක්, නතාලියා බිසවටත් ගෲෂාටත් දෙපැත්තෙන් ඉඳන් දරුවාව තමන්ගෙ පැත්තට ඇදගන්න නියම කරනව. මුලුමනින්ම දරුවාව තමන්ගේ පැත්තට ඇදගන්න තැනැත්තියට දරුවාගෙ අයිතිය හිමි කර දෙනව හැරෙන්න මෙය විසඳාගත හැකි වෙනත් ක්‍රමයක් නැති බව අසඩක් කියනව. දැන් රවුම මැද මයිකල් ව තබල එක අතිකින් නතාලියාත් අනික් අතින් ගෲෂාත් ඔහුව තමන්ගෙ පැත්තට අදිනව. මේ දෙන්නෙක් අත්දෙකෙන් දෙපැත්තට අදිනකොට දරුවාට ඉතාම වේදනාවක් දැනෙනව. ඒ නිසා ඔහු අඬන්න පටන් ගන්නව. දරුවා නිසා උරුම වෙන දේපල වස්තුවට ලෝබ කමේ නතාලියා තවත් වේගයෙන් අදින්න පටන් ගන්නව. ඒත් ඇත්තටම දරුවට ආදරෙන් ඔහුව හදාවඩාගත්ත ගෲෂාට දරුවගෙ දුක වේදනාව දැනෙනව. ඇය ඒ නිසා දරුවා අතහරිනව. දරුවාට ඇත්තටම ආදරේ කරන ගෲෂා ට ඔහුව හිමි කර දෙමින් අසඩක් තීන්දුව ලබා දෙනව. මෙන්න මේ සුප්‍රසිද්ධ වාක්‍යය ඔහු අවසානෙදි කියනව.
"දෙයක් වේ නම් සුදුස්සාටම හිමිවිය යුතුයි"
බර්ටෝල් බ්‍රෙෂ්ට් මේ නාට්‍යයට පාදක කර ගන්නෙ සාම්ප්‍රදායික චීන නාට්‍යක් බව තමයි කියවෙන්නෙ. අපේ බෞද්ධ සාහිත්‍ය ඇතුලෙ උම්මග්ග ජාතකයෙ මහෞෂධ පඬිතුමා මේ ආකාරයෙන්ම නඩුවක් විසඳන ආකාරය ඔබ අහල ඇති. කොහොම වුණත් 2021 අවුරුද්දේ තිරගත වුණු Mimi නම් හින්දි භාෂිත චිත්‍රපටය නරඹද්දි "හුණුවටයෙ කතාව" සිහිපත් වීම වළක්වන්න බැරි කාරණයක්. Mimi, 2011 අවුරුද්දේ තිරගත වුණු Mala Aai Vhhaychy නම් මරාති චිත්‍රපටයෙ හින්දි ප්‍රතිනිර්මාණය. Mimi අද්‍යක්ෂණය කරන්නෙ
English Vinglish, Dear Zindagi, Hindi Medium ඇතුළු තව චිත්‍රපට ගණනාවක cinematography නිර්මාණකරු විදිහට කටයුතු කල Laxman Utekar. මේ ඔහුගෙ හතරවෙනි අධ්‍යක්ෂණය. A. R. Rahman ගේ සංගීතයත් "මිමී" නම් ප්‍රධාන චරිතය රඟදක්වන Kriti Sanon ගේ රඟපෑමත් චිත්‍රපටය ආකර්ෂණීය බව තවත් ඉහළනංවනව. රියැදුරෙකුගේ චරිතය නිරූපණය කරන Pankaj Tripathi ඉතාම හොඳ මට්ටමේ රංගනයක යෙදෙන බව දැකගන්න පුලුවන්.
Mimi සරල විනෝදාත්මක බව ඇතුලෙ ලොකු සමාජ පණිවුඩයක් ගෙන එන චිත්‍රපටයක්. "හුණුවටයෙ කතාවෙ" ගෲෂා වගේම Mimi ගේ කතාවේ මිමී ත් දරුවෙක්ට ආදරය කරනව කියන්නෙ ඇත්තටම කොයි වගේ දෙයක්ද කියන කාරණාව හරි අපූරුවට පෙන්නා දෙනව. "හුණුවටයත්" "Mimi" ත් හරියටම එකිනෙක සමපාත වෙන්නෙ කොහොමද කියන කාරණේ චිත්‍රපටය බලලම ඔබ වටහ ගන්න.
නමුත් මේ කාරණය කිවයුතුමයි. මේ චිත්‍රපටයෙ එක් වැදගත් සමාජ කාරණාවක් නිරාවරණය කරනව. ඒ ඉන්දියාවේ දැන් නීතිගතවම ක්‍රියාත්මක වන surrogacy නැත්නම් දරුවන් ප්‍රතිනිහිත කිරීම ගැන. ඉන්දියාවේ පමණක් නොවෙයි ලෝකයෙ බොහොම රටවල මෙය නීත්‍යනුකූලවම සිදුවෙමින් තිබෙන දෙයක්. මෙතනදි සිද්දවෙන්න දරුවන් නැති හෝ දරුවන් ලබන්න හැකියාවක් නැති යුවලකගෙ ජීවානු යොදාගෙන වෙනත් කාන්තාවකගෙ ගර්භාෂයෙ ඔවුන් වෙනුවෙන් දරුවෙක් හටගැන්වීම. ඉතිහාසය ඇතුලෙ මේ විදිහට දරුවන් නොලැබෙන යුවලක් තුන් වෙනි පාර්ශ්වයක් විදිහට වෙනත් කාන්තාවක් යොදාගෙන දරුවෙක් ලබාගැනීම කියන්නෙ සෑහෙන කාලයක පටන් පැවතගෙන ආ යමක්. මුලින්ම අදාල යුවලගෙ පිරිමි පුද්ගලයගෙ ශුක්‍රාණුවක් ප්‍රතිනිහිතතාවට සූදානම් අනෙක් ගැහැනිය ගෙ ගර්භාෂයෙ තැන්පත් කිරීමෙන් මෙය සිදුවුණත් දැන් අදාල යුවළගේම ජිවානු අනෙක් ගැහැනිය තුල තැන්පත් කරන්න හැකි තරමට තාක්ෂණය දියුණුයි. ප්‍රතිනිහිතතාව නීතිගත වුණාට පස්සෙ විදේශිකයන් විශාල ප්‍රමාණයෙන් මේ වෙනුවෙන් ඉන්දියාවට පැමිණෙන්න පටන් ගත්ත. මේ විදිහට උපදින දරුවන්ට මොකක්ද වෙන්නෙ කියන කාරණය නිශ්චය කරගන්න හැකියාවක් නැහැ. එය සදාචාරමය අතින් විශාල ගැටලුවක් නිසා ඉන්දියාවේ දැන් විදේශිකයන් වෙනුවෙන් දරුවන් ප්‍රතිනිහිත කිරීම තහනම් කර තිබෙනව. රටවල් කීපයක මෙය සියලුදෙනාටම නීතියෙන් තහනම්. එකක් ආගමික හේතු මත වගේම මේ විදිහට වෙනත් අරමුණු වෙනුවෙන් දරුවන් උපදවාගැනීමේ සදාචාර විරෝධී ව්‍යාපාර බිහිවිය හැකි නිසා යි සමහර රටවල මෙය තහනම් කර තිබෙන්නෙ. මුදල් නිසම මෙයට පෙළඹෙන කාන්තාවන් ඉන්නව වගේම කිසිම මුදලක් නොගෙන සේවයක් විදිහට අන් අයට තමන්ගේ ගර්භාෂයෙ ඉඩ වෙන් කර දෙන කාන්තාවන් ඉන්නා බව කිව්වොත් ඔබ පුදුම වේවි. Mimi චිත්‍රපටයෙන් පෙන්වා දෙන්නෙ දරුවන් ප්‍රතිනිහිත කිරීමේ එක් අඳුරු පැතිකඩක්. දරුවන් ලැබීමෙ අපේක්ෂාවෙන් ඉන්න හෝ දැනටමත් මව් පිට පදවි ලැබූ අයට පමණක් නොවෙයි ඕනෑම කෙනෙකුට ජීවිතේට වටිනා පාඩම් ගණනාවක්ම කියාදෙන චිත්‍රපටයක් විදිහට Mimi හඳුන්වාදිය හැකියි.
No comments:
Post a Comment