ටික කාලයක පටන් මූණුපොතේත් බ්ලොග් අවකාශයෙත් කවි නැත්නම් ඒවැනි දේ ලිව්වට කවි පොතක් පළ කිරීම කියන්නෙ එක්තරා ආකාරයක හීනයක්ව තිබුණ යමක්. නමුත් සමහර හීන හැබෑවෙන්නෙත් හීනයක්ම ආකාරයට. 2020 ගොඩගේ අත්පිටපත් තරඟයට මේ කවි කිහිපයක එකතුවක් යොමු කලේ ඒ තරම් ලොකු බලාපොරොත්තුවක් ඇතුව නෙමේ. තරඟයේ අවසානයෙදි මේ කවි එකතුවට ප්‍රශස්ත ඇගයීමක් හිමිවෙන්නෙ නොසිතූ විදිහට. "ළා රත් පැහැති දෙතොලක සිනහවක්" නමින් මේ කවි එකතුව දැන් ඔබට මරදාන ගොඩගේ පොත් හලෙන් නැත්නම් kbooks අඩවිය හරහා online ක්‍රමයට මිලදී ගන්න පුලුවන්. මේ පොත සම්බන්ධව Lanka news web අඩවිය සමඟ පැවැත්වුණ සංවාදයක්. බොහෝම ස්තූතියි කසුන් සමරතුංග සහෝදරයාට මේ අවස්ථාව මට ලබාදීම වෙනුවෙන්.
#. 'ළා රත් පැහැති දෙතොලක සිනහවක්' මේ මොහොතෙ හෂාන් රන්දික ඩයස්ගෙ දෙතොල මතට සිනහවක් කැන්දගෙන ඇවිල්ලද තියෙන්නෙ?
ගොඩගේ ආයතනය සංවිධානය කළ අත්පිටපත් තරගයෙන් ප්‍රශස්ත ඇගයීමක් ලැබීම සෑහෙන ප්‍රහර්ශයක් ඇති කළ බව කිව්වොත් ඒක නිවැරැදියි. දන්න කියන නම් කිහිපයක් එක්ක අවසාන වටයට නිර්දේශ වෙන්න ලැබීමත් ඒ අතර අමතර සතුටක්. සයිබර් අවකාශයෙ ලියවුණ යුනිකෝඩ් අකුරු මෙහෙම පොතක් බවට පත්වෙලා අතට එනකොට ඒක වෙනම හැඟීමක්. ඩිජිටල් මාධ්‍ය කොයිතරම් දියුණු වුණත් මුද්‍රිත පොතකින් ලැබෙන හැඟීම වෙන දෙයකින් ලබා ගන්න බෑ. ඉතින් ඒ සතුට මේ මොහොතෙ භුක්ති විඳිමින් ඉන්න බව කියන්න කැමතියි. ඒක මට විතරක් උරුම යමක් නොවෙයි. මේ අත්පිටපත වෙනුවෙන් වෙහෙස මහන්සි වුණු, අදහස් පල කළ තවත් කීපදෙනෙක් ඉන්නව. ඒ ප්‍රහර්ශය ඒ හැම කෙනෙකුටම උරුමයි. ඒ හැඟීම කවි කියවන බෙදාහදා ගන්න මේ හැම කෙනෙකුටම අයිති සතුටක්. නවක ලියන්නන් දිරිමත් කරමින් මේ වැනි අවස්ථාවක් ලබා දීම වෙනුවෙන් ගොඩගේ ආයතනයටත් අත්පිටපත් තරගය සංවිධානය කල හැම කෙනෙකුටමත් ස්තූතිය පළකරන්න කැමතියි.
#. පොතට ලැබුණු ඇගයීම ඔබට මොන වගේ සාහිත්‍යමය උත්තේජනයක් වුණාද?
ෆේස්බුක් මාධ්‍යයේ ලියනකොට ඒ දේවල්වලට නොයෙක් විදිහේ ප්‍රතිචාර විවිධාකාර මට්ටම් වලින් ලැබෙනවනෙ. ඒ ප්‍රතිචාර එක්ක අපි ලියන දේවල් ඇත්තටම කොතනද තියෙන්නෙ කියන කාරණය ගැන නිවැරැදි තක්සේරුවකට එන්න හරි අමාරුයි. මම මේ තරඟය ඉදිරිපත් වෙන්න කල්පනා කල එක හේතුවක් වුණේ මෙතෙක් කල් ලියපු දේවල් කොයිවගේ මට්ටමක තියනවාද කියන කාරණය ගැන මටම යම් අගය කිරීමක් කරගන්න පුලුවන් වීම නිසයි. ඉතින් මේ ලැබුණ ප්‍රතිඵලය ගැන සෑහෙන තෘප්තිමත්. ඒ හැඟීම තවදුරටත් ලියන්න 'තහනම් නොවන උත්තේජනයක්' විදිහට වැඩකරන බව ඇත්ත. නමුත් මේ ජයග්‍රහණය එක්ක කියවන පිරිස ඇතුලෙ වැඩිපුර අවධානයට ලක්වෙන්න පටන් ගන්නව. 'කවි පොතක් කළ කවියෙක්' කියන හැඳින්වීම ඒ එක්කම එනව. කොහොමත් ෆේස්බුක් වගේ මාධ්‍යක කවියක් ලියල පළ කරනකොට මේක කීදෙනෙකුට තේරුම් ගන්න පුලුවන් වෙයිද, මේකට කොහොම ප්‍රතිචාර ලැබෙයිද කියල යම් චකිතයක් ඇතිවෙන්නෙ නෑ කියන්න බැහැ.නමුත් පොතකින් පස්සෙ 'කවියා' නම් හැඳින්වීමත් එක්ක අර කලින් තිබ්බ නිදහස අවම වෙන ස්වභාවයක් තියනව.
#. කවිය එක්ක මුලින්ම ගනුදෙනුව පටන් ගත්ත හැටි සහ ඒ ගමන පොතක් දක්වා ආ හැටි ගැන අපිට පොඩි විස්තරයක් කියන්න?
බොහෝම වෙලාවට කවි ලියන අය කියන දෙයක් තමා ඒ අය පාසල් කාලයෙ ඉඳන්ම කවි ලිව්වා කියන දෙය. නමුත් මම සම්බන්ධයෙන් නම් ඒ තත්ත්වය සෑහෙන වෙනස්. මම කවි ලියන්න පෙළඹුණේ ෆේස්බුක් එක නිසා කිව්වොත් තමයි වඩා නිවැරදි. ලිවීම ගැන මට එහෙම ලොකු ඉතිහාසයක් නැහැ. නමුත් මෙහෙම දෙයක් තිබුණ. මම කුඩා කාලෙ ඉඳන්ම හරි ආසාවෙන් කවි කියෙව්ව. බොහෝම වෙලාවට ඉරිදා පත්තරේ අනිවාර්යයෙන් අපේ ගෙදර මිලට ගන්නවා. ඒත් එක්කම නොයෙක් සාහිත්‍ය අතිරේක, කවි විචාර, පෙර කවි කිවිඳියන්ගේ කවි මට කියවන්න ලැබුණා. කවි ගැන විශේෂ ඇල්මක් ඒ දේවල් නිසා කාලයක් තිස්සෙ මං ඇතුළෙ වැඩෙමින් තිබුණා. ෆේස්බුක් මාධ්‍ය අපේ සමාජයෙ ප්‍රචලිත වෙන්න පටන් ගන්නෙ ඉන් පස්සෙ. මුල් කාලීනවම මේ ෆේස්බුක් අඩවියට පිවිසුණු කෙනෙක් විදිහට ප්‍රමාණාත්මකව ඒතරම් ලොකුවට කවි මෙතැන ලියවෙන බවක් දුටුවෙ නෑ. නමුත් පසුකාලීනව යුනිකෝඩ් අකුරු භාවිතය එක්ක. බොහෝමයක් දෙනා මේක ඇතුලෙ කවි ලියන්න පටන් ගන්නව. කවි සමූහ හැදෙනව, කවි සංවාද, මිතුරු කණ්ඩායක් ඕව හැදෙනව. මේ දේවල් දකිනකොට කවියක් ලියන්න ඕන කියන පෙළඹවීම මට ඇතිවුණා. කවියට මාව ඇදවැටුණෙ නැත්නම් කවිය මාව හොයාගෙන ආවෙ එහෙම.
#. එතැනදි ඔබට පෙර සහ ඔබට සම පරපුරෙන් උකහා ගත් යමක් තියෙනවද?
අනිවාර්යයෙන් ඔව් ! ඒක මට පමණක් අදාල කරුණක් නොවෙයි සහ එය කවියට පමණක් අදාළ කරුණකුත් නොවෙයි. සාහිත්‍ය ඇතුළෙ කෙනෙක් නිර්මාණකරණයට පෙළඹෙන්නෙ යමක් කියවීමෙන් ලබන ආහ්ලාදය නිසාම තමයි. ලිවීම පවත්වාගෙන යන අතරත් කියවීම ඉතාම වැදගත්. මම කලින් සඳහන් කලා පෙර කවි කිවිඳියන්ගේ කවි මට සෑහෙන කියවන්න ලැබුණු බව. විශේෂයෙන් ආරියවංශ රණවීර වගේ කවියෙක් එතනදි සෑහෙන මගේ සිත්ගත්ත බව කියන්න ඕන. ඔහු සම්මත සෞන්දර්ය රීති වලින් වෙනස් මඟක් ගත්ත කවියෙක්. ඒ කවිවල උපමා රූපක නැති තරම්. භාෂාවෙ අලංකාරයට වඩා කවියට නිමිති කරගන්න දේ සහ ස්වල්ප වචන ප්‍රමාණයකින් කරන ගොඩනැංවීම ඇතුලෙයි ඒ කවියේ විස්මය තියෙන්නෙ. ඒ අවමවාදී කවිය මුල් කාලීනව මට සෑහෙන බලපෑමක් කලා. ඉන්පසු පරම්පරාවල කවි කිවිඳියන්ගෙ නිර්මාණ පසුකාලීනව මට කියවන්න ලැබෙනව. මම යමක් ලියනව නම් ඔවුන්ගේ කවි කියවීමෙන් ලැබුණු ප්‍රහර්ශය අනිවාර්යයෙන් අඩුවැඩි වශයෙන් මට බලපෑමක් කලා. ඒ වගේම සමකාලීනව කවියට පිවිසුණු මිතුරු මිතුරියන් පිරිසක් ෆේස්බුක් සමාජයෙ ඉන්නව. ඔවුන් ලියන දේවල් වලිනුත් අනිවාර්යයෙන් යම් බලපෑමක් මේ කවියට සිදුවෙනව. කවිය කියන්නෙ මෙන්න මේ ආකාරයි කියල එක සීමාවක රඳවල තියන්න මම කැමති නෑ. විවිධත්වයට මම ඉතාම කැමතියි. නමුත් ඒ අතර තමන්ගේ අනන්‍යතාව පැවතිය යුතුයි. මම හිතන්නෙ එය මම තවම සොයමින් ඉන්නව.
#. ඔබ සංගීතයට සහ සිනමාවට ලොකු ඇල්මක් දක්වන බව පේන්න තියෙනවා. ඒක ලිවීමට එල්ල කරන්නෙ කොහොම බලපෑමක්ද?
සංගීතයත් සිනමාවත් කවියට ඍජුව බලපෑම් කරන්නෙ කොහොමද කියන කාරණය ගැන මට නිශ්චිත අදහසක් නෑ. නමුත් මෙහෙම දෙයක් තියනව. කලා මාධ්‍යක් විදිහට සංගීතය අරගත්තොත් ලෝකය පුරා විවිධාකාර සංගීත සම්ප්‍රදායන් තියනව. ඒ ඒ රටවල් වලට සහ භූගෝලීය කලාපවල, ඒ ඒ සංස්කෘතින්ට අනන්‍ය වුණු සංගීත රටා තියෙනව. මේ හැම දෙයක්ම එක වගේ රසවිඳින්න අපිට බැරි වෙන්න පුලුවන්. නමුත් මේ විවිධ සංස්කෘතින්ට අයිති දේවල් රසවිඳින්න පුලුවන් විවෘත රසිකත්වයක් තිබීම ඉතාම වැදගත්. රසිකත්වය කියන්නෙ පුහුණු කරගත යුතු යමක් තමයි. සිනමාව ගත්තත් එහෙමයි. චිත්‍රපටයක් බලන්න හිතුණත් අපි බොහෝම වෙලාවට රැඳෙන්නෙ හොලිවුඩ් සහ බොලිවුඩ් අන්තවල පමණයි. නමුත් ලෝකය පුරාම කොයිතරම් හොඳ චිත්‍රපට නිර්මාණය වෙනවද? ලෝකයෙ ලොකුම සිනමා කර්මාන්තයක් හිමි අපේ සංස්කෘතික අසල්වැසියා ඉන්දියාවේ වුණත් ප්‍රධාන ධාරාවන්ගෙන් එහා කොයිතරම් හොඳ චිත්‍රපට හැදෙනවද. චිත්‍රපට හුදු විනෝද මාධ්‍යකින් එහා විවිධාකාර සංස්කෘතික, දේශපාලනික සීමා ඇතුළෙ මිනිස් ජීවිතය කියවාගත හැකි කලා මාධ්‍යක් විදිහට අපි හඳුනාගත යුතුයි. හොඳ සිනමාත්මක ගුණයෙන් තියන නිර්මාණයක් 'සිනමා කාව්‍යයක්' විදිහට හඳුන්වනව. ඒ සියුම් සෞන්දර්ය රසවිඳින්න එක්තරා ආකාරයක පුහුණුවක් අවශ්‍යයි. මම හිතෙනව කවියෙකුට නොයෙකුත් සංස්කෘතික සහ සෞන්දර්ය කලාපයන්ට තියන විවෘතකම ඉතාම වැදගත් දෙයක් කියල.
#. ඔබේ රැකියාවත් පොත් පත් ආශ්‍රිත එකක්. ඒ අත්දැකීම කොහොමද?
තමන් ඉතාම ආදරය කරන යමක් එක්ක රැකියාව කරන්න ලැබීම මම හිතන්නෙ කෙනෙකුට ලැබෙන සෑහෙන වටින අවස්ථාවක්. ඒ සතුට මේ රැකියාව ඇතුලෙ මම භුක්ති විඳිනව. පොතක මූලික අත්පිටපතේ ඉඳන් අවසානෙ මුද්‍රණය වෙලා අතට එන මොහොත දක්වාම වෙන සියලු වැඩකටයුතු ගැන අවබෝධයක් මේ නිසා ලැබිල තියනව. මගෙ පොතේ නිර්මාණාත්මක කටයුතු මේ නිසා මටම කරගන්න පුලුවන් වුණා. අත්පිටපත් තරඟයෙදි මේ කාරණාව මට සෑහෙන පහසුවක් වුණා.
#. සමාජ මාධ්‍ය ප්‍රමුඛ කරගත් නූතන ලියන - කියවන අවකාශය ගැන ඔබේ තක්සේරුව මොකද්ද?
මම කලිනුත් සඳහන් කලා මට කවි ලියන්න පෙළඹවීමක් ඇතිවෙන්නෙ ෆේස්බුක් එක හරහා කියන දෙය. ඒ නිසා මේ අවකාශයෙ කිසිම ආකාරයකින් සාධනීය දෙයක් වෙන්නෙ නැහැයි කියන්න සදාචාරාත්මක අයිතියක් මට නැහැ. ඇත්ත, අපිට සාධනීය කුලකයට ඇතුළත් කරන්න පුලුවන් දේවල් මේ අවකාශයෙන් හොයාගන්න පුලුවන්. ලියන කෙනෙකුට තමන්ගේ ලිවීම අභ්‍යාස කරන්න මේක හොඳ අවකාශයක්. ඒ වගේම කාලයක් තිස්සෙ තමන්ගේ ලිවීම වැඩිදියුණු කර ගත්ත වගේම නැවුම් ආකාරයෙන් හිතන, හැමදාම දකින දෙයක් ගැන වුණත් වෙනස් විදිහට දැකල රහක් ඇතිවෙන්න ලියන්න පුලුවන් අය, එහෙම ලියවෙන නිර්මාණ කියවගන්න ලැබෙනව. ඒක මේ අවකාශයෙ සෑහෙන සතුටුවෙන්න පුලුවන් කාරණාවක්. ඒ වගේම මෑතකාලීනව කවිය ගැන ලොකු උනන්දුවක් ඇතිවෙලා තියන බව දකින්න ලැබෙනව. අලුතෙන් කවිපොත් සෑහෙන එළිදකිනව. ඒව ගැන සංවාද, නොයෙක් ආකාරයේ විචාරාත්මක අදහස් පළකිරීම් වැනි දේවල් දකිනව. ඒ දේවල් වල නරකක් මම දකින්නෙ නෑ. ඒත් අර අපි හැමදාම දකින සමාජ මාධ්‍ය අවකාශයෙන් මිදිල අපේ සමාජය දිහා බැලුවම දකින්න ලැබෙන්නෙ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. කවිය විතරක් නෙමේ සංස්කෘතික ජීවිතයක් ගැන හැඟීමක් මේ සමාජෙට නැති තරම්. දවසම මහන්සි වෙලා වැඩකරල ඇවිත් හවසට මෙගා ටෙලිනාට්‍යක් දිහා බලන් ඉන්න එක තමා අපිට දැන් තියන සංස්කෘතික ජීවිතේ. ඒත් සැප්තැම්බර් මාසයෙදි කොළඹ පොත් ප්‍රදර්ශනයට ඇවිත් බැලුවොත් දැක බලා ගන්න පුලුවන් විශාල ජන ගංගාවක්. ඒත් ඇත්තටම එළියෙ සිද්දවෙන දේවල් බැලුවම අපි කියවන බව පෙන්වුවත් ඇත්තටම නොකියවන සහ ඒ අනුව සිතීම දියුණු කර නොගත්‍ත සමාජයක් බව තමයි කණගාටුවෙන් වුණත් කියන්න වෙන්නෙ. අපි අහල තියෙන්නෙ කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියල විතරයි. නමුත් කියවීම පමණක් ප්‍රමාණවත් නෑනෙ. කියවන දේ කිරා මැන බලන්න විචාරය කරගන්න ඒ අනුව හිතීමත් දියුණු වෙන්න ඕන. අර කියන විදිහට 'සම්පූර්ණ මිනිසෙක්' හැදෙන්න ඕන එහෙම. ඒකට සෑහෙන නිදහස් මනසක් විවේක බුද්ධියක් අවශ්‍යයි. දැන් තියන තරඟකාරී සමාජ ආර්ථික වටපිටාව ඇතුලෙ ඒ ඉඩ ක්‍රමයෙන් ඇහිරෙමින් යන බවක් තමා පේන්න තියෙන්නෙ.
සමාජ මාධ්‍ය ලියන කියවන අවකාශයක් විදිහට මේකෙ නිශේධනාත්මක විදිහට හඳුන්වන්න පුලුවන් දේවලුත් තියනව. එක් කාලයක් තිබුණ ප්‍රවණතාත්මක කවි ලිවීම විලාසිතාවක් බවට පත් වෙලා තිබුණ. සමහර දේවල් කවි විදිහට හඳුන්වන්න බැරි වාර්තා රූපී ප්‍රකාශන. නමුත් මේව කවි විදිහට හඳුන්වමින් සෑහෙන පිරිසක් අතරෙ බෙදාහැරෙනව. කවිය ගැන අදහසක් නැති කෙනෙකුට නම් මේ දේවල් කවි විදිහට වැරදි හඳුනාගැනීමක් කරනව. මම අපේ පරපුර වර්ණනා කරනව නොවෙයි. ඒත් ෆේස්බුක් වැනි දෙයක් එන්න කලින් අපිට පුවත්පත් සඟරා වගේ මාධ්‍යවලින් පෙර නිර්මාණකරුවන්ගේ හොඳම ලිවීම් කියවන්න ලැබුනා. එවැනි මාධ්‍යකින් යමක් පළවෙන්නෙ සෑහෙන තෝරාගැනීමකින් යුතුව. නමුත් ෆේස්බුක් එහෙම නෑ. ඕනෑ කෙනෙකුට ඕනෑම දෙයක් පළ කරන්න පුලුවන්. අලුත් පරම්පරාව කෙලින්ම සම්බන්ධ වෙන්නෙ මේ මාධ්‍යට. ඒ නිසා අර කියවීම ඔවුන්ට අහිමි වෙන බවක් පේන්න තියනව. තව දෙයක් තමා අලුතෙන් කෙනෙක් හොඳට ලියන්න පටන් ගත්තම මේ ලියන කියවන ප්‍රජාව විසින්ම ඒ පුද්ගලයව 'ඔයා දැන් කවියෙක්' කියල නාමකරණය කරනව. යම් රසික පිරිසක් ඒ පුද්ගලය වටා හැදෙනව. ඒ නිසා අර කියවන්නන් පිනවීමේ අරමුණෙන් තමයි අර පුද්ගලය ලියන්නෙ. මේ බොරු වලවල් වල නොවැටී ඉඳීම ලියන කෙනෙක් වශයෙන් අනිවාර්යයෙන් පුහුණු කරගත යුතු දෙයක්. තමන් කල නිර්මාණයකට හොඳ ප්‍රතිචාර ලැබෙනකොට ලියන්නෙකු විදිහට ඒ සතුට විඳ ගත යුතුම තමයි. නමුත් මේ ප්‍රතිචාර නිසා තමන්ගේ අනන්‍යතාව අහිමි කර නොගත යුතුයි.
#. මේ වෙද්දි පොතට ලැබෙන ප්‍රතිචාර සහ ඔබේ ඉදිරි වැඩ කටයුතු ගැනත් යමක් කියල අපි දැනට මේ සංවාදය මෙතැනින් ඉවර කරමු?
පොතට ලැබෙන ඕනෑම ප්‍රතිචාරයක් සම සිතින් බාරගන්නව. මෙතුවක් ලැබුණෙ යහපත් ප්‍රතිචාර. පොත කියවා යම් අදහසක් කිව්ව හැම කෙනෙකුටම ස්තූතියි කියන්න මේක අවස්ථාවක් කරගන්නව. ඉදිරි වැඩ ගැන කියනව නම් ළමා සහ යොවුන් ගණයේ නවකතාවක සිංහල පරිවර්තනයක් කර තිබෙනව. ඒක තරමක කාලෙකට කලින් කල දෙයක්. ඒ පරිවර්තනය පොතක් බවට පත්කරගැනීමේ හීනය ඉතුරුවෙලා තියනව. ජීවිතය විසින් ලියන්න කවි හොයල දෙනකම් කවි ලියනව.
සංවාදය - කසුන් සමරතුංග
සතුටු ආරංචියක්. මගෙනුත් උණුසුම් සුභ පැතුම් !. පොත ඉක්මනින් කියවන්න බලාපොරොත්තු වෙනවා.
ReplyDeleteබොහෝම ස්තූතියි විනීත පූ!
Delete