Friday, September 24, 2021

පුංචි නැට්ටුක්කාරි..

ගිලියන් අවුරුදු හතක පුංචි දැරියක්. එයා එක දෙයක් නිසා එයාගෙ වයසෙ අනෙක් පොඩිඋන් ගෙන් සෑහෙන වෙනස් වුණා. ඒ තමා කොයිම විදිහකට වත් එක තැනක වාඩිවෙලා ඉන්න බැරි වීම. මේ වයසෙ දරුවන් කොහොමත් එහෙමනෙ කියල ඔබ කියාවි. ඒත් ගිලියන් ලඟ මේ ගුණාංගය පමණ ඉක්මවා ගිහින් තිබුණා. ඉස්කෝලෙ පාඩම් ඉගෙනගන්නා අතරෙත් එයා හිටපු ගමන් නැගිටල පන්තිය පුරා දුවන්න පටන් ගන්නව. ගිලියන්ගේ ගුරුවරුන් ගෙන් නිතරම එයා දඬුවම් ලැබුව. බැනුම් අහගත්ත. සමහර වෙලාවට එයාට අවධානය එකතැනක තියාගන්න උනන්දු වෙන්න ඒ අය නොයෙක් උපක්‍රම යෙදුව. නමුත් කිසි දෙයකින් වැඩක් වුණේ නෑ. එක තැනක වාඩි වෙලා එක දෙයක් ගැන අවධානය යොමු කරන්නෙ කොහොමද කියල ගිලියන් කවදාවත් ඉගෙනගත්තෙ නෑ.

මේ හින්ද ගිලියන්ගේ ඉගෙනීමේ වැඩ සෑහෙන අතපසු වෙලා තිබුණ. විභාගවලින් එයාට ලැබුණෙ අඩුම ලකුණු. ඒ හින්ද එයාගෙ අම්මත් එයාට දඬුවම් කරන්න පටන් ගත්‍ත.

එක දවසක් ගිලියන් ගේ අම්මට ඉස්කෝලෙට එන්න පණිවුඩයක් ලැබී තිබුණ. මොකක් හරි නරක ආරංචියක් අහන්න ලැබේවි කියන බයෙන්මයි අම්මත් එදා ඉස්කෝලෙට යන්න පිටත් වුණේ. රැස්වීමේ කාමරයෙ පුංචි ගිලියන් සහ එයාගෙ ගුරුවරු හැමකෙනෙක්ම වගේ එකතුවෙලා උන්න. ගිලියන්ට මොකක් හරි මානසික ප්‍රශ්නයක් තියන බවත් එයාව ඉක්මනින්ම වෛද්‍යවරයෙක් ලඟට යොමු කරන්න ඕන බවත් ඒ අය ගිලියන් ගේ අම්මට කිව්ව.

ඒ අතර ගිලියන්ව හොඳින් දැන්ගෙන හිටපු වයසක ගුරුවරයෙක් එතැනට ආව. අම්මාටත් එතැන හිටපු හැම කෙනෙකුටමත් එයා එක්ක එන්න කියපු වයසක ගුරුවරය ගිලියන්ට මෙහෙම කිව්ව "අපි පොඩ්ඩක් එළියට ගිහින් එනව. ඔයා දඟලන්නැතුව ඔහොමම ඉන්න ඕන" එහෙම කියල එයා රේඩියෝව ටිකක් සද්දෙන් දැම්ම. 

දැන් කාමරේ හැම කෙනෙක් ම පිටවී ගිහින්. ඇතුලෙ ඉන්නෙ ගිලියන් විතරයි. වයසක ගුරුවරය ඒ අතරෙ අනෙක් අයට කාමරේ ඇතුලෙ වෙන්නෙ මොකක්ද කියන දෙය පෙන්නුව. රේඩියෝවෙන් ඇහෙන ගීතයක තාලෙට පාද තබමින් ඈ කාමරේ පුරා ඇවිද යමින් උන්න. අම්මත් අනෙක් අයත් පුදුමෙන් වයසක ගුරුවරය දිහා බැලුව. එයා හිනාවෙලා මෙහෙම කිව්ව. "අර පේනවද? එයාට පිස්සු නෑ. එයා නැට්ටුක්කාරියක්". ඇයට නර්තනය ඉගැන්විය යුතු බව ඔහු ඇගේ අම්මාට නිර්දේශ කලා. එයාගෙ පලවෙනි නැටුම් පාඩමට ගිහින් ආපු දවසෙ ගිලියන් එයාගෙ අම්මට මෙහෙම කිව්ව. "එතන හැමෝම මං වගේ. කවුරුත් එක තැන වාඩිවෙලා ඉන්නෙ නෑ" 

ගිලියන් ලින් (Gillian Lynne) එදාමෙදාතුර ලෝකයේ බිහිවුණු විශිෂ්ටතම නාටිකාංගනාවක් බවට පත්වුණා. 1981 දී ඇය තමන්ගේම නර්තන පාසලක් ආරම්භ කලා. බ්‍රෝඩ්වේ රංගන ඉතිහාසයේ දීර්ඝම නාට්‍ය දෙකක් වුණු Cats සහ The Phantom of the Opera නාට්‍යවල රංගවින්‍යාසය (choreography) නිර්මාණය කළේ ගිලියන්. 2014 දී ඇයට බ්‍රිතාන්‍ය පුරවැසියෙකුට ලැබෙන ඉහලම සම්මානය (පිරිමියෙකුට Knight ගැහැනියකට Dame) දිනාගත්තා. 2018 වර්ෂයෙ 92 හැවිරිදි වියේ ගිලියන් මෙලොවින් සමුගන්නෙ නොයෙක් ආකාරයෙ ගෞරව සම්මානයන් ගණනාවකටම උරුමකම් කියමින්. 

මේ විදිහය "වෙනස්" ගති ස්වභාවයක් පෙන්වන දරුවන් වැඩිහිටි ලෝකය විසින් නිවැරදිව හඳුනා ගැනෙන්නේ නෑ. ඔවුන්ගෙ වෙනස්කම අඩුපාඩුවක් විදිහයට නැතිව සුවිශේෂීත්වයක් විදිහට දකින්නේ නැහැ. නමුත් ලෝකය ලස්සන තැනක් වෙන්නෙ මෙවැනි අය නිසා බව නම් ඇත්තක්.

From "order of the pen"



No comments:

Post a Comment