Tuesday, September 27, 2022

ජීවිතයේ ඔයිල් පැල්ලම්

"එය ලසිත් මාලිංග ගේ බෝලයක් රොස් ටේලර් දිහාට යමින් තිබෙනවා වැනි හැඟීමකි. එක්කෝ හයකි. එක්කෝ පොලු ය"

ජීවිතයේ ඔයිල් පැල්ලම් ගැන පොතේම වචනෙන් කියනවා නම් කියන්න වෙන්නේ එහෙමය. මේක දැවැන්ත හයේ පාරකි. බෝලය ග්‍රවුන්ඩ් එකෙනුත් එළියට විසිවී ක්ලැසික් කාරයක පාත්වූ වීදුරුවක් අස්සෙන් ඇතුළට ගොස් සැඟවී යන හයේ පාරකි..

"ලංකාව වටහාගැනීමට වුවමනා නම් 'බයිං ඇන්ඩ් සෙලිං' දෙස බලන්න"

නවකතාවේ ආරම්භයට කලින් හැඳින්වීම කොටසේ කතුවරයා සඳහන් කරන මේ වාක්‍යත් ඉන්පසු කොටසත් ලාංකික සමාජය ගැන ඉතාම වැදගත් නිරීක්ෂණ කිහිපයකි. අවසානයේදී සමස්ත ඔයිල් පැල්ලම ම මේ රෝගී සමාජ දේහයේ එක් හරස් කඩක් නොවේදැයි සිතන්නට පොළඹවන කරුණු දැක්වීමකි. ඒ අඳුරු යථාර්ථය ගැන අනාවරණය එසේම තියෙද්දීත් ඔයිල් පැල්ලම නම් රස සාගරයක් බව කියමි. "වයර් පොටක සෞන්දර්‍ය" නවකතාව, භාෂාවෙන් අමුතු අමුතු කෙළි සෙල්ලම් දමනා, ක්ලැසික් කාර් ලෝලී රචකයෙකු පැමිණ සිටින බව දැනුම් දුන්නේය. ඔයිල් පැල්ලම ඒ අනාවරණය තවත් එක් ඉසව්වකට ගෙන යයි.

සංසන්දනාත්මකව බලන කල ඔයිල් පැල්ලම වයර් පොටට වඩා විහිදුණු, පැතිරුණු ගෙත්තමකි. නමුත් කතුවරයා මෙහිදී ද රැගෙන එන්නෙ වයර් පොටෙන් පටන් ගත් සුපුරුදු ක්‍රීඩාශීලී භාෂා විලාශයම ය. එය ඔහුටම අනන්‍ය වූ අපූර්ව එකකි. මෙහි කියවා ගැනීමට ලැබෙන උපමා රූපක වෙන කොහේවත් කියවන්න නොලැබෙන ඒවා ය. බටර් පාන් සහ බ්ලොක්ගල් මෙන් එකිනෙකට හාත්පසින්ම වෙනස් අරුත් එක ලඟ තබා පුරුද්දා මේ උපමා අතර තැබීමෙන් භාෂාවේ අමුතුම රසයක් ඔහු මවන්නේ ය. මේ පොතේ එන එවැනි යෙදුම් කීපයකි...

"අවුරුදු හැත්තෑවක ගැහැනියක් W123 එකකට බෙන්ස් යන නම ඍජුව පාවිච්චි කිරීම මට 'පෙත්තා බත් කෑවා' කියන ගිරවුන් රංචුවක් මැද 'පෙත්තා වන මා විසින් දිවා ආහාරය අනුභව කරන ලදී' කියන ගිරවෙකු හමුවීම වැනි අත්දැකීමක් විය"

"ක්‍රිකට් මැච් එකක බැට් කරමින් ඉන්නා අතර පිච් එක මැද්දට ෆුට් බෝලයක් වැටුණා වැනි හැඟීමක් මට දැනුණු නමුත්...."

"පලා මිටියකින් රූටන වතුර බින්දුවක් තරම් හීනි කඳුලක් ඇගේ ඇසට උනනු දුටු නිසා මම කතාව වෙනස් කලෙමි"

"මගේ මොළය ඇක්සලේටරය හිරවූ වොක්ස්වැගන් එකක් මෙන් සූං හඬින් රේස් වෙන්නට පටන් ගත්තේ ය."

"ඔහු කියනා දේවල් අතරින් සත්‍ය වෙන් කර ගැනීම, මික්ස් ෆෘට් ජූස්වලින් කොමඩු ජූස් වෙන්කර ගැනීම තරම් අමාරු වැඩක් වීමට ඉඩ තිබේ"
.................

වයර් පොටෙන් ද ඔයිල් පැල්ලමෙන් ද නොවෙනස්ව වහනය වෙන එකම දෙයක් වෙයි. ඒ නම් අසීමිත කාර් ප්‍රේමය යි. එය ද ක්ලැසික් කාර් වෙතම බැඳුණු සුවිශේෂ ප්‍රේමයක් බව වටහා ගත හැකියි. කතුවරයාගේ කාර් ප්‍රේමයේ තරම ෆෝඩ් කාර් ඔස්ටින් කාර් ගැන සවරින්බාර් එකක තරම් වත් දැනුමක් නැති අප වැන්නවුන් තුළ ද ඒ කාර් ගැන ආදරයක් ඇති කරවීමට සමත් වෙයි. යම් දෙයකට හෝ විෂයකට හෝ ඇති ආදරය එය ගහට පොත්ත සේ ජීවිතේ කොටසක් බවට පත් වීම ඒ කරුණ පිළිබඳ දැනුම් සාගරයක් සහ අත්දැකීම් කඳුගණනක් ඇති කරගැනීමේ මග වෙයි. කතුවරයා සහ ක්ලැසික් කාර් අතරද ඇත්තේ එවැනි සම්බන්ධයක් බව වටහාගත හැකියි. කාර් සහ ඒ හා බැඳුනු සංස්කෘතිය සම්බන්ධයෙන් ඒ ආකාරයේ ජීවිත අත්දැකීම් නැත්තෙකුට කිසිසේත් මෙවැනි ප්‍රබන්ධයක් කළ නොහැකියි. "ජීවිතේ ඔයිල් පැල්ලම්" නවකතාවෙන් ද නික්ම එන්නේ මහපොළවේ සැබෑම ඔයිල් පැල්ලම් සුවඳයි. එමෙන්ම පොතේ හැඳින්වීම කොටසේ සඳහන්ව ඇති ආකාරයට මේ කාර් සංස්කෘතිය සාහිත්‍යක් බවට පෙරළීමට ගත් ප්‍රශ්ස්ථ උත්සාහයක් ගැන මින් පෙර අප කියවා නැත. ඒ අනුව ඔයිල් පැල්ලම එම ප්‍රවර්ගයේ පුරෝගාමි කෘතියක් බවට පත්වෙයි. 

නවකතාවේ කේන්ද්‍රීය චරිතය, ගම්පහ ජාඇල, ගනේමුල්ල ගම් ප්‍රදේශ අතර මැද කොහෙහෝ තැනක තිබිය හැකි රත්මල්විට නම් ග්‍රාමයේ ජීවත්වන දිනේෂ් නැමති බ්‍රෝකර්වරයෙකි. දිනේෂ් ක්ලැසික් කාර්වලට ඇති ආශාවත් සංතෘප්ත කර ගනිමින් තමන්ද ලාභ ලබමින් සාධාරණව ව්‍යාපාර කටයුතු මෙහෙයවාගෙන එදාවේල ගොඩදමා ගැනීමට උත්සාහ කරන සිම්පල් සයිමන් කෙනෙකි. එහෙත් දිනේෂ් යනු හැමවිටම සාධාරණ සිරිමත් කෙනෙකු නොවේ. දිනේෂ් තමන්ගේ බිරිඳට හොරා වෙනත් ගැහැනුන් ගේ පහස සොයා යයි. ඒ ගැන වරදකාරී හැඟීම් ඇතිකරගෙන පසුව පසු තැවෙයි. එහෙත් සමදරා නම් විවාහක කාන්තාවට ලං වීමට ගන්නා සියුම් උත්සාහයද අතනොහරියි. දිනේෂ් මෙන්ම තව බොහෝමයක් චරිත පොතෙන් හමුවෙයි. අමතර කොටස් ගෙන්වන සුසන්ත. පින්ටෝ ජිනේ, සුංගයියා බාස් වැනි බාස් ලා, ආමි නලින්, කසඩ සුභාෂ් වැනි පාතාලයන්. වාහන එකතුකිරීම විනෝදාංශය කරගත් තිලකසිරි පීරීස්, ලෙස්ලි ප්‍රතාපසිංහ වැන්නන් ආදි වශයෙන් කාර් සම්බන්ධ කරගනිමින් මේ ශ්‍රී ලංකා ද්වීපයේ එකිනෙක්ට වෙනස් සමාජ පන්ති නියෝජනය කරන විවිධාකාර චරිත ගණනාවක් ඔයිල් පැල්ලම තුළ මැවෙයි. ඒ කිසිවෙක් කතුවරයාගේ මනෝරාජ්‍යයේ උපත ලබා එහිම මිය යන චරිත යැයි අපට සිතෙන්නේ නැත. නම් ගම් වෙනස් වුවද ඔවුන් සැබෑවට මේ පොළවේ ජීවත්වන පණගැහෙන මිනිසුන් බව පමණක් කියවන්නෙකුට දැනෙයි. ඒ පමණක් නොව කුඩා කුඩා සිද්ධි වයර් පොටවල් සේ එකිනෙක සම්බන්ධ කරමින් "ඊළඟට මොකක් වෙයිද" කුතුහලය මනාව පවත්වා ගනිමින් සෑහෙන සංකීර්ණ වියමනක් දක්වා දියුණු කර ඇති මේ ලියමන මම වැනි බයිස්කෝප් පිස්සෙකුට මලයාලම් චිත්‍රපටයක් සිහි නොගැන්නුවොත් පුදුමය. තවදුරටත් පොත ගැන මෙහෙම කියාගෙන කියාගෙන යා හැකි නමුත් මේ ටික පමණක් කියමි. තවමත් මේ පොත කියවා නැති නම් ඔබ මිස් කරගෙන තිබෙන්නේ සුපිරිම රයිඩ් එකකි. එය මග හැර නොගන්නා ලෙස පමණක් කියමි. 

කතුවරයාගේ මේ පරිකල්පන හැකියාවෙන් තව තවත් පොත් ගණනාවක් ලියන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා කියා පතමි!

ඔයිල් පැල්ලමට ජයවේවා!!

ප.ලි - ඔයිල් පැල්ලම මට ලැබෙන්නේ ඔෆිස් එකේ සීක්‍රට් සැන්ටා ඉවෙන්ට් එකක ප්‍රතිඵලයක් වශයෙනි. පොත මම කොහොමත් ගන්නට හිතාගෙන සිටි එකක් නමුත් එය දැන හෝ නොදැන සීක්‍රට් සැන්ටා  පොත මට තෑගි දුන්නේ ය. ඒ සැන්ටා කවුද යන්න අදටත් මා දන්නේ නැත. ඒ කවුරු වුණත් බොහෝම පිං ය.



2 comments:

  1. තරිදු ගේ පොත වගේම බ්ලොග් සටහනුත් හරිම රසවත් .

    ReplyDelete
    Replies
    1. තරිදුට බ්ලොග් ඒකක් තියනවද... දන්නෙත් නෑ

      Delete