Monday, October 3, 2022

ශිෂ්ටාචාරයේ ආරම්භය

 වසර ගාණනාවකට කලින්, මානව  විද්‍යාඥවරියක වන Margaret Mead ගේ එක් ශිෂ්‍යයෙක් ඇගෙන් ප්‍රශ්නයක් අහනව. ඔහු අහනව මිනිසා සත්ත්ව භාවය ඉක්මවල ශිෂ්ටාචාරගත වෙන්න පටන්ගත්ත බවට හමුවෙන මුල්ම සාධකය මොකක්ද කියල. ශිෂ්‍යයා බලාපොරොත්තු වුණා ඇය මාලු අල්ලන්න භාවිතා කළ බිලී කොක්කක්, මැටියෙන් හැදූ වළඳක්, ඇඹරුම් ගලක් වගේ දෙයක් ගැන කතා කරාවි කියල. 

නමුත් නැහැ. ඇය දුන්නෙ කිසි කෙනෙක් බලාපොරොත්තු නොවුණ විදිහෙ අපූරු උත්තරයක්. ඇය කිව්ව මිනිසා ශිෂ්ටසම්පන්න වෙන්න පටන් ගෙන ඇති බවට ලැබෙන මුල්ම සාක්ෂිය කැඩිල ගිහින් නැවතත් සුවපත් වුණු කකුලක අස්ථි කොටසක් කියල. සත්ත්ව ලෝකයේදි නම් කකුලක් කැඩෙනව කියන්නෙ ජීවිතේ අවසානය බව ඇය පැහැදිලි කලා. කකුලක් කැඩුණු සතෙකුට අනතුරකින් පැනල දුවන්න බැහැ. ආහාරවත් ජලය වත් සොයාගෙන යන්න පුලුවන් කමක් නැහැ. එතැනම ඉඳල විලෝපිකයෙකුට, ඒ කියන්නෙ වෙනත් සතුන්ගෙ මාංශයෙන් යැපෙන සතෙකුට ආහරයක් වීම හරි නැත්නම් ආහාර නැතුව මැරිලා ගිහින් පොළවට පස් වීම හරි ඇරෙන්න කකුලක් කැඩුණු සතෙකුට වෙන විකල්පයක් නැහැ.

කැඩුණු කකුලක් නැවත සුවපත් වෙනව කියන්නෙ කවුරුන් හරි කාලය වැය කරල, කකුල කැඩුණු පුද්ගලයව ආරක්ෂිත තැනකට ඔසවාගෙන ගිහින් තියනව. කැඩුණු තැන තදින් වෙලලා නැවත සුවපත් වෙනතුරු ළඟ ඉඳලා ඔහුව රැකබලාගෙන තියනව. ශිෂ්ටාචාරගතවීම පටන් ගන්නෙ මෙන්න මෙතන ඉඳල. අමාරුවෙ වැටුණු කෙනෙකුව එයින් ගලවාගන්න ඕන කියල හිතන තැන ඉඳල. ශිෂ්ටසම්පන්න වීම කියන්නෙ තවත් කෙනෙකුව විපතකින් මුදවාගන්න එකට. Margaret Mead මේ විදිහට තමන්ගෙ පිලිතුර සම්පූර්ණ කල බව සඳහන්.

- Translated from the page "Humanity and Peace"



2 comments: