හතර පැත්තෙන්ම මුහුද තිබුණාම
රටවල් මළකඩ කනවද...
ලේනෝ ලේනෝ
මේ රට අරගෙන
අලුත් රටක් මට දෙනවද.
අපේ රට දැන් මඟ දිගට කෑලි හැලෙමින් පාරෙ යන මළකඩ කාපු ලදරං බස් එකකට සමාන කරන්න පුලුවන්. යන අතරවාරේ හිටපු ගමං මේකෙ තෙල් ඉවර වෙනව. පාරෙ යන වෙන බස්වලින් පින්සෙන්ඩු වෙලා තෙල් ටිකක් ඉල්ලං ආයෙ යනව. ටික දුරක් යනකොට ආයෙ එංජිම ලෙඩ දෙන්න පටං අරං බස් එක මග නතර වෙනව. ඉතිං මොකක් හරි පැලැස්තරයක් අටවං කට්ටිය එකතුවෙලා තල්ලුවක් දාල ස්ටාට් කරං ආපහු යනව. ඇති යන්තං දැංවත් පාඩුවෙ ගමන ගියාකි කියල හිතුවට ආයෙ කැඩෙනව. බස් එක හදාගන්න කියල කොන්දොස්තර සැරින් සැරේ බස් එකෙ ඉන්න මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරත් කොන්දොස්තර ම තමා දන්නෙ ඒ සල්ලිවලට වෙන දේ. බස් එකේ මිනිස්සුන්ටත් ඒ ගැන ගාණක් නෑ වගේ. බස් එකේ ඩ්‍රයිවර්ල විටින් විට මාරු වුණත් ඒ හැම ඩ්‍රයිවර්කෙනෙකුගෙම මහදැනමුත්තගෙ වගේ කටින් ලොකුකම නං අඩුවක් නෑ. හැබැයි මේ බස් එකේ ගමන පටන් ගන්නකොට මීට සෑහෙන පිටිපස්සෙන් හිටපු ගොඩක් බස් දැන් මේක පහුකරන් ගොඩක් ඉස්සරහට ගිහිල්ල.
ඉන්දික ෆර්නැන්ඩුගේ වෙඩි නොවදින ළමයි ෆිල්ම් එකෙ ලාංකික ජනසමාජයෙ හරස්කඩක් හරි අපූරුවට බස් එකක් ඇතුළට ගෙනල්ල තියනව. බස් එක ගමන පටන් ගන්නෙ 1996 මාර්තු 17 රෑ විල්ස් ලෝක කුසලාන ක්‍රිකට් තරඟය වෙලාවෙ. ඒක රටක ක්‍රීඩා කණ්ඩායමක් පරාජයන්, ඇදවැටීම් එක්ක ලෝකෙ ඉහළම ජයග්‍රහණය ලබාගත්තෙ කොහොමද කියන කාරණේ පෙන්වාදෙන්න හොඳ උදාහරණයක්. මැච් එක යන අතරේ බස් එක ඇතුළෙ ෆැන්ටසික ලෝකයක් මවන ඉන්දික ඒ හරහා "රටම කෙටියෙන්" ඉතාම සංකේතරූපීව පෙන්වා දෙනව. චින්තන ධර්මදාසගෙ "ඇවිලෙනසුළුයි" ට පස්සෙ Road movie ගණයට ඇතුළත් කරන්න පුලුවන් සිංහල චිත්‍රපටයක් "වෙඩි නොවදින ළමයි"
ඉන්දික ෆර්නැන්ඩු ගේ මේ ගොඩනැංවීම සිනමාත්මක බව අතින්, දැන් රටේ හැදෙන බොහෝම චිත්‍රපට එක්ක බැලුවම ඉදිරියෙන් තියන්න පුලුවන් කියන කාරණය ගැන වාදයක් නෑ. ඔරිජිනල් වැඩක් විදිහට මේක සෑහෙන අගය කරන්න ඕන චිත්‍රපටයෙ සින්දු ටිකත්, විශේෂයෙන් "සඳරු" ගෙ සින්දුව, හරි අපූරුයි. නමුත් මේ අත්දැකීම ප්‍රේක්ෂකයාට කොයිතරම් හෘදයාංගම විදිහට අත්විඳගන්න චිත්‍රපටය ඇතුළෙ ඉඩක් හදල තියනවද කියන කාරණේ ගැන ගැටලුවක් ඉතිරිවෙනව. විශේෂයෙන් චිත්‍රපටයෙ දෙවන අර්ධය පළමු අර්ධයට සාපේක්ෂව ගලායාමේ අවුලක් තිබුණා සහ මහේන්ද්‍ර පෙරේරාගෙ චරිතය තව මතුවෙන්න තිබුණා කියන හැඟීම තියනව. මේ අධියථාර්ථවාදී ප්‍රකාශනය අපේ ප්‍රේක්ෂකයන් කොහොම ග්‍රහණය කරගනීද කියන එකත් ගැටලුවක් අධියථාර්ථවාදය කියන්නෙ ටිකක් පරිස්සමෙන් ගනුදෙනු කරන්න ඕන ඉසව්වක්. මොකද, නිර්මාණකරුවා කියන්න උත්සාහ කරනදේ ප්‍රේක්ෂකයාට අත්විඳගන්න ඉඩක් තියන්නත් ඕන. නමුත් ඒ ප්‍රකාශනය යථාර්ථ ලෝකයෙ කොන්දේසි ඉක්මවා යන්නක් වෙන්න ඕන. වෙඩි නොවදින ළමයි ගැන නම් ප්‍රේක්ෂකයන් හරි මැදින් ඉරක් ගහල දෙකට බෙදන්න පුලුවන් මට්ටමක තත්ත්වයක් තියෙන්නෙ. මේක නියමයි කියන අය සහ කිසි කමකට නෑ කියන අය. ඔය දෙපැත්තටම අයිති නොවෙන තැනක ඉඳගෙන චිත්‍රපටය බලන්න හැමෝටම ආරාධනා කරන්නෙ මේක අපේම නිශ්පාදනයක් විදිහට සිනමාශාලාවක අත්විඳගන්න පුලුවන් සිනමාත්මක බව පිරුණු හොඳ නිර්මාණයක් හින්ද.
මේ රුවන් බන්දුජීව චිත්‍රපටයට ලියූ සින්දුව..
යකඩ යකා ඔච්චර ලොකු
සෙනග ගොඩක් කන හින්දද
මුහුද නිල්වුණේ ඔච්චර
කාගෙන්හරි ගුටි කාලද
ළමා වීරයෙක් වෙන්නට
බෙල්ල කැපෙන්නම ඕනෙද
ජාතික වීරයෙක් වුණොත්
මුද්දරේක හිරවේවිද
තනියා ඒ හැටි තනිවුණෙ
අපි තරහයි හිතු හින්දද
අපෙ අත්තව ඌ පැගුවෙ
යාලුවුණේ නැති හින්දද
අපෙ හෝඩියෙ නැති අකුරක්
පාරෙ තිබිලා ඇහිලුවා මම
ඒක කාටහරි ඕනෙද
මගේ ඔලුගෙඩිය උඩටත්
දිවුල් නොව ඇපල් වැටුණොත්
මං නිව්ටන් වාගෙ වෙයිද
හතර පැත්තෙන්ම මුහුද තිබුණාම
රටවල් මළකඩ කනවද
ලේනෝ ලේනෝ
මේ රට අරගෙන
අලුත් රටක් මට දෙනවද.
NGO කාරයෝ
ReplyDeleteමේ සින්දුව ලස්සනයි.
ReplyDeleteFilm එක කොහෙද බලන්න තියෙන්නෙ?