Thursday, February 16, 2023

එයා දැන් බැඳලා

ෂෝන් පෝල් සාත්‍රේ ගෙ ප්‍රකට කියමනක් තියනව මිනිසා නිදහස් අයෙකු වීමේ දණ්ඩනය ලබා ඇත කියල. නිදහස කියන්නෙ ජීවිතේ කෙනෙකුට ලබාගන්න පුලුවන් උසස් ම දෙයක් විදිහට පොදුවේ සැලකුණත් ඒක දඬුවමක් කියල කියන්නෙ කොහොම ද? සාත්‍රේ තවදුරටත් පැහැදිලි කරනව මිනිසා තමන් විසින්ම නිර්මාණය කර නොගෙන ලෝකයට දමාගසනු ලබා තිබෙන නිසා තමන් කරන හැම දෙයකටම ඔහු වගකිවයුතු යි කියල. ඒ මිනිසාට ජීවිතේ පැවරුණු අර්ථයක් කියා යමක් නොමැති හින්ද පැවැත්ම තුළින් ඔහු තමන්ගෙ ජීවිතේට අර්ථයක් නිර්මාණය කරගතයුතු යි. දැන් මේ කතාව අපිට සමපාත කරගන්න පුලුවන් "එයා දැන් බැඳලා" නාට්‍යයේ මූලික සිද්ධිදාමයත් එක්ක. නාට්‍යයේ ප්‍රධාන ගැහැනු චරිතය සුද්දි. සුද්දි තමන්ගේ ශරීරය මුදලට විකුණමින් යැපෙන ගණිකාවක්. අපේ රටේ ගණිකාවක් කියන්නෙ කෙනෙකුට ඇද වැටෙන්න තියෙන අවමාන සහගත අඳුරු මුල්ලකට. කවුරුන් හරි ගණිකාවක්ව ඒ තත්ත්වයෙන් නිදහස් කරගෙන තමන්ගෙ බිරිඳ බවට පත්කරගැනීම ඉතා විශිෂ්ට, උත්කෘෂ්ට, මානුෂික ක්‍රියාවක් කියන්න පුලුවන් වුණත් ඉන්පස්සෙ ඒ ගැහැනිය එක්ක එදිනෙදා ජීවිතේ කලමනාකරනය කරගෙන අරගෙන යන්නෙ කොහොමද කියන තැනට ආවම තමයි අර මනුස්සය හැබෑම අභියෝගයට මූණදෙන්නෙ. එයා දැන් බැඳල නාට්‍යයේ සිරීටත් වෙන්නෙ ඒක. සිරී ගණිකාවක් වුණු සුද්දි ගැන ආදරේ හිතිල, සුද්දිව ගණිකාව කියන තත්ත්වයෙන් නිදහස් කරගෙන, ඇයව කසාද බැඳගෙන ගෙදර නවත්වාගන්නව. එතන ඉඳන් සිරී සුපුරුදු විදිහට පතලෙ රස්සාව කරගෙන තමන්ගෙ පවුලත් නඩත්තු කරගෙන ජීවිතේ ගෙනියන්න උත්සාහ කරනව. නමුත් සුද්දි ගෙ පරණ රස්සාව සහ සුද්දි ලවා තමන්ගේ ආශාවන් සපුරාගන්න මාන බලන සිරීගේ අප්පච්චි නිසා ඉන්පස්සෙ සිරී මුහුණ දෙන්නෙ වඩාත් සංකීර්ණ තත්ත්වයකට. එතනදි,  ඇයව වඩාත් ආදරෙන් රැකබලා ගන්න ඕන තැන්වලදි සිරී ඇයව මගහරිනව. සුද්දි වෙනත් කවුරු හෝ එක්ක යහන් ගත වෙනව ඇති කියන සැකයෙන් සිරී නිතර පෙලෙනව. ඇය, ඔහුට ඇයිති තැන වෙනත් කෙනෙකුට දේවි ද කියන හීනමානයෙන් ඔහු පීඩාවිඳිනව. සරලව කිව්වොත් එයාලා බැන්දට පස්සෙ තත්ත්වෙ තිබුණාට වඩා සෑහෙන සංකීර්ණ වෙනව.

ලූෂන් බුලත්සිංහල මහත්මය රචනා කරල තියන මෙන්න මේ ගීතය මෙන්න මේ අවස්ථාවට හොඳින්ම ගැළපෙනව කියල හිතනව.

පුන් පෝදා සඳ ඔබ ගෙන අවොත්
මල් වට්ටියකට අරගන්නම්
ඔබ හැමදාමත් ඉල්ලන තරුමල්
එයට නෙළා පිළිගන්වන්නම්..

ඒ සින්දුවේ අවසාන පද පේළි කිහිපය තියෙන්නෙ මෙහෙම.

බිඟු තුඩු නොවැදුණු පියුම ගෙනාවොත්
මානස විල මත පිපුණු සැණින්
නැවුම් පෙමට කිම වෙහෙසෙනු පෙම්වත
යළි උපදිමි ඒ පියුමින් මං

මේ සින්දුවෙ ඉන්න පෙම්වතා හැමතිස්සේම "බිඳකින් වත් කිලිටි නොවුණු පරම පිවිතුරු ප්‍රේමයක්" බලාපොරොත්තු වෙන කෙනෙක් වෙන්න ඇති. නමුත් ඇය ඔහුට කියල දෙනව යථාර්ථය. එහෙම ඒව ලෝකෙ කොහෙවත් නෑ. ඔයා ඔයාගෙ උපරිම ආදරේ මට දෙන්න. එහෙම වුණොත් හැම දෙයක්ම අමතක කරල ඔයා එක්ක අලුත් ජීවිතයක් මම ලබන්නම් කියල.

මෙතනදි සුද්දි සහ සිරී අතර ඇති වෙන සංවාදයත් ඒකම යි. නමුත් ඇයට ආදරය කරනව කරනව වෙනුවට ඔහුගෙ මනස පිරිල යන්නෙ බයෙන් සහ ඇයව අනිවාරතයේ සැක කිරීමෙන්. එතනදි ඔහු කරන්නෙ ඇගෙන් පලායන එක. තමන්ගෙ ආදරය රැකගැනීම වෙනුවෙන් ඉදිරියට නොඑන්න තරම් පෞරුෂයක් හීනයෙක් බවට පත්වෙන එක. ගණිකාවක් විවාහ කරගන්න ලොකු ආත්මධෛර්‍ය්යක් කෙනෙකුට ඕන නමුත් ඇය එක්ක එදිනෙදා ජීවිතේ පවත්වගෙන යන්න ඕන හයිය ඊට වැඩියි.

මෙන්න මේ හිඩැස් ඇතුළෙන් රිංගන්න උත්සාහ කරන්නෙ අප්පච්චි වගේ සාරධර්මයක නොපිහිටන, තමන්ගේ මනදොළ සංසිඳුවාගැනීමේ ආශාවෙන් පෙළෙන "ආශාවේ පිරිමි". ගැහැනියකට සලකන්න ඕන කොහොමද කියල මේ පිරිමි හොඳහැටි දන්නව. සිරී වගේ "මානුශිකත්වයේ පිරිමි" අතින් මගහැරෙන තැන් ගැන හොඳට දන්න අප්පච්චි ඒ හැම ආදර සැලකුමක්ම ඇයට පාන්නෙ මොහොතකට හරි ඇයව නතුකර ගැනීමේ විනෝදෙය වෙනුවෙන් පමණයි. නැතුව ඇයට ඇති ආදරයට නොවෙයි. අප්පච්චි සුද්දි ගෙ කකුල තවන්න හදන දර්ශනයෙන් මේ අදහස තවත් පැහැදිලි වෙනව. හරියට මනමේ කතාව දුරස්ථ විදිහට සංසංදනය කරල බැලුවොත්, මෙතන ඉන්නෙ අශිෂ්ටසම්පන්න නමුත් කර්‍යශූර, ඇගෙ හැම ඕනෑඑපාකමක් ම හොයල බලල කරදෙමින් පොඩි විනෝදයක් ලබන වැද්දා සහ ජීවිතේ උතුම් ශ්‍රේෂ්ඨ අදහස් තිබුණත් ක්‍රියාත්මක වෙද්දි පෞරුෂහීනතාවයෙන් පෙලෙන සිරී නම් සුකුමාර මනමේ කුමාරයා. ගොඩක් වෙලාවට මේවගේ තැන්වලදි ගැහැනිය "වැදි" පිරිමියා ළඟ නවතින්නෙ ඇයට ලැබෙන සැලකිල්ල නිසා. නමුත් ඒ ගැහැනුන්ට අයිති වෙන්නෙ බොහෝ දුරට අප්පච්චි ලඟට ආ හැම ගැහැනියකටම අයිතිවුණු ඉරණම.  සුද්දි කියන්නෙ මෙන්න මේ පිරිමි දෙන්නා නිසා ගණිකාව නම් කබලේ ඉඳන් දරුවෙකුත් එක්ක, නොසැලකිලිමත් සැමියෙක් සහ ඇයට ආදරයක් මවා පෙන්වමින් තමාගේ ආශාවන් සපුරා ගන්න වෙරදරන පියෙක් කියන ලිපට වැටෙන ගැහැනිය. 

'එයා දැන් බැඳලා' නාට්‍යයේ සුද්දි, සිරී සහ අප්පච්චි කියන චරිතවලින් නිරූපණය වෙන්නෙ ගැහනු සහ පිරිමි අතර ඇතිවෙන ආදරය, අනුරාගය මුල්කරගත් බල සම්බන්ධතාවය. මෙතනදි ගැහැනිය ගේ සිතුම් පැතුම් හැසිරීම් තීරණය වෙන්නෙ ආදරය, අනුරාගය කියන චිත්තවේගමය තත්ත්වයන් මත වුණත් පිරිමියාට ආදරය කියන්නෙ බලය සහ අධිපතිත්වය සම්බන්ධ කාරණාවක්. අප්පච්චිත් සුද්දිත් අතර මොකක් හෝ යමක් ඇති කියල සිරී නිතරම බයෙන් සැකෙන් වේදනාවෙන් පසුවෙන්නෙ මොකද ඇත්තටම එහෙම දෙයක් වුණොත් සුද්දි සම්බන්ධයෙන් තමන්ගෙ බලය ඔහුට අහිමිවීම නිසා. තමන්ගෙ ඇතුළාන්තයෙනුත්, සමාජය ඉදිරියෙනුත් ඔහු පරාජිතයෙක් බවට පත්වෙන නිසා. පිරිමි හරි බයයි පරාජිත නාමය ලබන්න. එතනදි ඇයව අත්පත්කරගන්න පෙරට නොඑන සිරී තමන්ටම පීඩා කරගනිමින්, තමන්ගෙම ඇතුළු ලෝකයේ ගුලිගැහෙමින් හැංගෙනව. නමුත් ඇය ඔහුගෙන් බලාපොරොත්තු වෙන්නෙ ආදරය, රැකවරණය, ජීවිතේ අමාරුකම් එක්ක අතහැර නොයා ලඟ ඉන්න හයිය. අත්දැකීම් අතින් වඩාත් පරිණත අප්පච්චි මේ දේවල් දන්න නිසා වඩාත් සියුම්ව ඔහු ආදරය එක්ක මේ සෙල්ලම ඔහු කරනව. නමුත් අප්පච්චි ඒ හැමදෙයක්ම කරන්නෙ ඔහුට ඈ එපා වෙනතුරු පමණක් බවයි අප්පච්චි ළඟට ආ හැම ගැහැනියකටම අත්වුණු ඉරණම දිහා බැලුවම පේන්නෙ. අප්පච්චටත් ඒ ආශාවේ විෂම චක්‍රයෙන් ගැලවෙන්න බෑ. මෙතනදි තුන්දෙනාම එකම සිද්ධිදාමයක තුන් ආකාරයක වින්දිතයන් වුණත් තත්ත්වය යහපත් අතට හරවගන්න නම් වැඩේ තියෙන්නෙ බොහෝ දුරට සිරී අතේ. මොකද ඔහු තමයි ඇයව ගණිකාවක් වෙලා ඉද්දී එතැනින් නිදහස් කරගෙන ඇවිත් තමන්ගෙ බිරිඳ කරගත්තෙ. මේ ගැටීම එක්ක තුන්දෙනාට මොකක්ද වෙන්නෙ කියන දේ ඉදිරි කොටස්වලින් දැකබලාගන්න ලැබේවි. දන්න විදිහට මේ යන්නෙ අවසාන කොටස් කීපය.

ප.ලි - එයා දැන් බැඳලා ගැන යමක් කියන්න ඕන වුණත්, මතක විදිහට අර සීගිරි කවියක වගේ 'හැමෝම ලියා ඇති බැවින් කිසිවක් නොලීමි''. රඟපෑම් ගැනත් තාක්ෂණික කාරණා ගැනත් බොහෝ අය කියා ඇති නිසා ඒ ගැනත් මොකවත් කියන්නෙ නෑ. (පිස්සු හැදෙන තරම් ලස්සන ඒ ලොකේෂන් එක ගැනත් මොකවත් කියන්නෑ) ඒත් දැනට විකාශනය වුණු අන්තිම කොටස් කිහිපය බලද්දි මේ ටික නොලියා බැරි වුණා..



No comments:

Post a Comment