Tuesday, March 14, 2023

සිහින දේශය

ඈ නිදනවා ඇති ඉමිහිරිම නින්දක..
ගැඹුරු පත්ලෙහි නංවාන දිය රැළි,
අඳුරු ගංගා වැළපෙන තැනකදි,
අවදි නොකරන්න ඈ ඒ නින්දෙන්....
තනි තරුවකින් මඟ අසාගෙන,
ගව්ගණන් දුර මඟ ගෙවාගෙන,
පැමිණියේ ඈ සෙවණැලි ගැවසෙන,
මේ සොඳුරු බිම්කඩ සොයාගෙන...

රෝස පැහැ මෘදු අහස් පසුර,
පැසුණු කෙත්වතු මතින් පියමැන,
සොයාගෙන පැමිණියා ඇය දුර...
උදා ළා හිරු ගෙනෙන සිහිලස,
නිමල දිය සදනා දිය උල්පත...
මීදුමක් සේ බොඳවී ස්වප්නයේ,
දුටුවේ ඇය මළානික අහසයි...
ඇසුණේ ඈ ට දුක් ගීත ගයනා,
නියිටිංගේල් කුරුළු සරයයි...

සැතපුණා ඈ එහි සුවැතිව,
හොවා මෘදු ළය මඬල මිහිමත,
අවරගිර දෙස යොමා ඈ නෙත,
දම්පැහැති දූපත් පෙදෙස වෙත..
සහල් පැසෙනා කෙත්වතු ද තැනි බිම්,
තවත් නොමවී ය ඇගේ දසුණේ..
කොතෙක් වර්ෂා ඇද හැළුණත්,
තවත් නෑ කිසිවක් ඇයට දැනුණේ...

නිදනු මැන.. නිදනු මැන සදහට
සුමුදු සුසිනිඳු වෙරළ මතුපිට...
නිදනු මැන බිම හොවා ළය මඬල
පැමිණෙනා තුරු කාලයේ කෙළවර...
නිදනු මන යළි කිසිදු රිදුමක්
ඔබ අවදි නොකරන නින්දක...
නිදනු මැන ඔබ රැයේ සිහිනෙක
කිසිදාක උදෑසන නොම වන...
නිදනු මැන කිසිවකින් නොබිඳෙන
සදාකල් සාමයේ නින්දක...

From the poem "Dream Land" written by Christina Rosetti



1 comment: