Thursday, July 27, 2023

විනාඩි තුනෙන් එහා

විනාඩි තුනේ සින්දුවෙන් එහාට Music කියල දෙයක් අද අපි අහන්නෙ සහ අපිට අහන්න ලැබෙන්නෙ නැති තරම්. මේක මම හිතන්නෙ වෙළඳපළ මුල් කරගත්ත ධනවාදී ක්‍රමය එක්ක music කියන එක ව්‍යාපායක් බවට පත්වෙද්දි හැදුණ ආකෘතියක් කියල. පරිභෝජනයේ පහසුව, ඉක්මණින් අවසාන වීම නිසා නැවත නැවත ඉල්ලුම ඇති වීම, නිශ්පාදනය සහ බෙදා හැරීම වගේ වෙළඳපල අවශ්‍යතා අනුව මේ අද අපි අහන සින්දුව හැඩගැන්විලා තියන බව හිතන්න පුලුවන්. කලාව එතනදි ආධ්‍යාත්මිකත්වය සහ වෙළඳාම කියන පාරවල් දෙකකට බෙදිලා ගමන් කරන්න ගත්තා. නමුත් මේ නූතන සමාජ ආර්ථික විපරිණාමයන්ට කලින් පැවතුණු සංගීතමය ආකෘතීන් දිහා බැලුවම මියුසික් වල තියන, අද ගොඩක් වෙලාවට අහිමි වෙලා ගිහින් කියල දැනෙන, ආධ්‍යාත්මික ගුණය මේවයෙ අපිට හඳුනා ගන්න පුළුවන්. මධ්‍යකාලීන යුරෝපයේ කිතුණු දහම මුල් කරගෙන ඇතිවුණ ග්‍රෙගෝරියානු සංගීතය (Gregorian Chants) වගේ ආගම මුල් කරගෙන හැදුණ සංගීත සම්ප්‍රදායන්වල මේ  ගුණාංගය තියනව. ආගම් නිසා ලෝකෙට ලැබුණ වටිනාම දෙයක් තමා මේ spiritual music කියන්නෙ. ආගම් නොඅදහන කෙනෙකුට වුණත් අවසානෙදි පිළිගන්න සිද්දවෙන කාරණාවක් ඒක. සංස්කෘතික විවිධත්වය සහ විචිත්‍රවත් භාවය අතින් ලෝකයේම මුදුන් මල්කඩ වෙන සහ සංස්කෘතියේ උපත විදිහට සලකන ඉන්දියානු කලාපයෙන් මේ මුල්කාලීන Spiritual music වලට හොඳම උදාහරණ හමුවෙනව. හින්දු ආගමික පුරාණ වේද ස්තෝත්‍ර ගායනා, භජන් ගීත, උත්තර ඉන්දියානු රාගධාරී සංගීතය වගේම පර්සියානු අරාබි ආක්‍රමණවලින් පස්සෙ සුල්තාන් වරුන්ගේ පාලනයට යටතේ ඇති වුණු ඉස්ලාමික බලපෑමෙන් උරුමයක් විදිහට ආව කවාලි, ගසල් කවි ගායනා වගේ සංගීත මෙතනදි ගන්න පුළුවන්. 

ඉස්ලාම් දහම ලෝකෙට බිහිවෙන්නෙ ක්‍රි.ව. 6 වෙනි සියවසේ.  ඒ සමකාලීනව අරාබියානු කලාපයෙ පර්සියාව (ඉරානය) මුල් කරගෙන ඉස්ලාම් ආගමික තේමාවන්ට අනුව ගසල් කවි රචනා වීම ආරම්භ වුණු බවයි කියවෙන්නෙ. 12 වෙනි සියවසේදි මේ කාව්‍ය රචනාවන්ගෙ කැපී පෙනෙන ඉදිරි පියවරක් තබන්නෙ සුෆී ඉස්ලාමිකයෙක් වුණු, පර්සියානු ජාතික රූමි කවියා. රූමි, හෆීස්, සාදි වගේ අය අදටත් ජනප්‍රිය සුෆී ඉස්ලාමික කවියන්. ඉන්දියානු කලාපයට මේ කාව්‍ය හඳුන්වා දෙන්නෙ පෙරදිග සම්භාව්‍ය සංගීතයේ ආරම්භකයෙක්, ගායකයෙක්, කවියෙක් සහ ඉස්ලාම් ආධ්‍යාත්මික ගුරුවරයෙක් වුණු අමීර් කුෂෲ. එතකොට උතුරු ඉන්දියාවේ පැවතුණේ දිල්ලි සහ ලක්නව් නගර මුල්කරගෙන පැවති දිල්ලි සුල්තාන් වරුන්ගේ පාලනය. කුෂෲ විසින් ඉන්දියාවේ උර්දු භාෂාවෙන් හඳුන්වා දුන් ගසල් කවි රචනා සහ ගායනා පර්සියන් කවිය ඉක්මවා දියුණු තත්ත්වයකට යනව. 

මුලින්ම ඉස්ලාම් ආගමික කරුණු මුල් කරගෙන ලියවුණත් පසු කාලීනව ප්‍රේමය, සොබාදහම වගේ දේවලුත් මේ කවිවලට තේමා වෙනව. මේ සංගීත සම්ප්‍රදායන් ගේ නොයෙක් ගුරුකුළ තියනව. පසුකාලීනව බ්‍රිතාන්‍යය යටත් විජිත සමයේ ඉන්දියානු පකිස්ථාන විභේදනය, පංජාබය වගේ මහා ප්‍රාන්ත දෙකඩ වීම එක්ක බොහෝම ඉස්ලාම් ආගමික ඉන්දියානුවන්ට ගම් බිම් හැරදමල අලුතෙන් බිහිකළ පකිස්ථානයට යන්න සිද්ද වෙනව. අදටත් විශිෂ්ටතම ගසල්/ කවාලි ගායකයින් කියල හඳුන්වන අය බොහොමයක් පකිස්ථාන ජාතිකයින්. නුසරත් ෆටේ අලි ඛාන්, රාහත් ෆටේ අලිඛාන් වගේ අය අපේ රටේ ගොඩක් අය අඳුනන්නෙන්නෙ බොලිවුඩ් සිනමාව නිසා. නමුත් 2019 අවුරුද්දේ පටන් පකිස්ථාන ජාතිකයන්ට බොලිවුඩය තහනම් වීම නම් ඛේදජනකයි. ඉන්දියාවේ දැන් හින්දු අන්තවාදී බලපෑම් ටිකක් වැඩි නිසා බොහෝ වෙලාවට මුස්ලිම් හෝ පකිස්ථාන් ජාතික කලා කරුවන්ට ඉන්දියා භුමියේ දි වැඩ කරන්න සෑහෙන අමාරු  තත්ත්වයක් වර්තමානයෙ තියෙන්නෙ. මේ වීඩියෝවෙ ඉන්නා දැනට සිටින අංක එකේ ගසල් ගායකයෙක් වුණු ගුලාම් අලි ගේ මෑතක පවත්වන්න තිබුණු සංදර්ශනත් ශිව සේනා සංවිධානයේ බලපෑම් නිසා ඉන්දියාවේ පවත්වන්න බැරි වෙලා තියෙනව. ඒ කාරණා කොහොම වුණත් මේ තියෙන්නෙ ගුලාම් අලි ගේ තව එක් සුමිහිරි ගසල් ගීයක් (Dil mein ek lehar si uthi hai abhi). බොහොම වෙලාවට එකම වචන පේලී ඒ මොහොතේ විවිධාකාර තනුවලට නැවත නැවත ගයමින් ඔහු මේ ගායනාව ඉදිරිපත් කරන හැටි ඔබට පෙනේවි. ගසල් කියන්නෙ ඒ මොහොත අනුව සමහර අංග වෙනස් කරමින් ඉදිරිපත් කරන සජීවී කලාවක්. මේ වීඩියොවෙන් ඔබට දැකගන්න පුලුවන් සමහර තැන් වලදි තමන් ගයන ගීයෙ වචන අරුත් පහදමින් ඉදිරිපත් කරන හැටි. මේව අර විනාඩි තුනේ සින්දු ආකෘතියෙන් සෑහෙන වෙනස්, බොහොම ඉවසීමකින් අහන්න ඕන ගායනා. ඇත්තටම spiritual music කොයි වගේද කියල දැනගන්න නම් ඒකෙන් මනසට තියන සනීපදායක ගතිය තමන්ටම අත්දකින්න නම් විනාඩි තුනේ සින්දුවෙන් එහා යන මේ music අහල බලන්න.



Thursday, July 13, 2023

පියාපතක් වන් ජීවිතයක නික්මයෑම

 "නවකතාව යනු වීරයෙක් හසු කරගැනීම සඳහා  වූ  උගුලක් නොවේ නම් වෙන කුමක් ද?"

ප්‍රංශයේ ජීවත් වුණු Czech ජාතික ලේඛක මිලාන් කුන්දේරා අද (11/07/2023) වයස 94 දී ජීවිතෙන් සමුගෙන ඇති බව දැක්කා. මිලාන් කුන්දේරා නමින් ලේඛකයක් මේ මිහිමත වාසය කරනබව මුලින්ම මට දැනගන්න ලැබෙන්නේ මංජුල වෙඩිවර්ධන ගේ බත්තලංගුණ්ඩුව නවකතාවෙන්. එතනදි කල්පිටි කලපුවේ ඉඳන් බත්තලංගුණ්ඩුව දූපතේ ඉන්නා තමන්ගෙ පියාව හොයාගෙන යන ඇන්තනී (නම මතක විදිහට) නම් තරුණයගෙ අතේ තියෙන්නෙ කුන්දේරා ගෙ "ජීවිතය අන් තැනක" (Life is Elsewhere) පොත. ප්‍රධාන භූමියේ අධිපති සංස්කෘතික ජීවිතයෙන් බත්තලංගුණ්ඩුව කොයිතරම් ඈත ද කියල කියන්න ඒක හොඳ හැඟවුම් කාරකයක්.

"නවකතාව යනු වීරයෙක් හසු කරගැනීම සඳහා  වූ  උගුලක් නොවේ නම් වෙන කුමක් ද?"

කුන්දේරා අපෙන් අහන ප්‍රශ්නය තමා ඒ. Life is Elsewhere කතාවේ ප්‍රධාන චරිතය ජෙරාමියෙල් එක්තරා ආකරයකට කුන්දේරා ගේ ම තරුණ වයසේ පිළිබිඹුවක්. නවයොවුන් වයසෙ ජෙරාමියෙල් කියන්නෙ කවියෙක්. තමන් ගේ රට සමාජවාදී රාජ්‍යයක් බවට පත්කරන්න හීන දැක්ක තරුණයෙක්. කාව්‍යමය අවධිය ඉක්මවන්න කලින් ජෙරාමියෙල් ගෙ ජීවිතය නිමා වුණත් එහි අමිහිරි ඵල භුක්ති විඳින්න වෙනව කුන්දේරා ට.

කුන්දේරා අතින් Life is Elsewhere ලියවෙන්නෙ 1973 දි. 1975 දී කුන්දේරා ප්‍රංසයට එන්නෙ Renes සරසවියේ ආචාර්යවරයෙකු විදිහට සේවය කරන්න. කුන්දේරා මුලින් චෙකොස්ලොවැකියානු කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙක් වුණත් පසුව ඔහු ඒ පක්ෂයෙ නමින් ක්‍රියාත්මක වුණු මර්ධනය තමන්ගේ ලේඛන ඇතුළේ සියුම්ව විවේචනය කළා. මේ නිසා 1979 චෙක් රජය ඔහුගේ රචනා "ප්‍රති-සමාජවාදී" යැයි නම් කරමින් ඔහුව සමාජවාදයට එරෙහි ප්‍රතිවාදියෙක් විදිහට හංවඩු ගහලා ඔහුගේ පුරවැසි භාවය අහිමි කළා. ප්‍රංස භූමිය ඉන්පස්සෙ ඔහුගේ විප්‍රවාසගත වාසස්ථානය වෙන්නෙ දෛවෝපගත ආකාරයකට. දේශපාලනය පුද්ගලික ජීවිතය අතර තියන ගැටීම, උපන් බිමෙන් විප්‍රවාසගත සාංකාව ඉන්පස්සෙ ඔහුගේ ලේඛනවලට බලපෑ බව කියනව. 

"ලෝකය තුළ මිනිසාගේ පැවැත්ම ගවේෂණය කිරීම" කුන්දේරාට අනුව නවකතාවකින් සිදුකළ යුතු මූලික කාර්‍යයක් වුණා. Life is Elsewhere සිංහලයට පරිවර්තනය කරන අරුණ ප්‍රේමරත්න කෘතියෙ ප්‍රස්ථාවනාවෙ සඳහන් කරන ආකාරයට ඒ කාර්‍ය මේ වගෙයි.

"මිනිසා සහ ලෝකය අතර තිබෙන්නේ ඇසක් චිත්‍රයට දක්වන සබඳතාව නොවේ. නළුවෙකු වේදිකා පසුතලය කෙරෙහි දක්වන සබඳතාව ද නොවේ. ගොළුබෙල්ලෙකු උගේ කටුවට බද්ධවී සිටින අයුරින් මිනිසා ලෝකය සමඟ බද්ධවී සිටියි. එය ඔහුගේම කොටසකි. ලෝකය වෙනස් වෙද්දී මිනිසාගේ පැවැත්ම ද වෙනස් වෙයි"

යුරෝපය මුල්කරගෙන ඇති වුණු ලෝකය යුද්ධ, ඒ අනුව පැන නැගුණු නූතනත්වය, සමාජවාදයේ නැගීම, කුන්දේරා මිනිස් පැවැත්ම හඳුනාගන්න උත්සාහකරන්නෙ මේ සංසිද්ධි හරහා. කොහොම වුණත් කුන්දේරා ගේ නාමය ලෝකය පුරා ප්‍රකට වෙන්නෙ 1984 පළවුණ The Unbeatable Lightness of Being නවකතාව එක්ක.1988 ඒ කෘතිය සිනමාවට නැඟෙන්නෙ Daniel Day-Lewis, Juliette Binoche වගේ ඉහළම ගණයෙ නළු නිළියන්ගේ  රංගන දායකත්වයෙන්. නවකතාවක් වඩාත් පරිපූර්ණව සිනමාවට නැඟුන අවස්ථාවක් විදිහට  Unbearable Lightness සලකනව. 

Life is Elsewhere  (ජීවිතය අන්තැනක), The Unbearable Lightness of Being (පියාපතක් වන් ජීවිතයක්) The Farewell Waltz (සමුගැනීමේ සාදය) කුන්දේරා ගේ නවකතාවල සිංහල පරිවර්තන කිහිපයක්.

කුන්දේරා නොබෙල් ත්‍යාගය වෙනුවෙන් නිර්දේශ වුණත් එය ඔහුට ලැබෙන්නෙ නෑ. පෑනෙන් සිදුකළ මෙහෙවර වෙනුවෙන් මිලාන් කුන්දේරා නම් ලේඛකයාට ආචාරය පුද කරන ගමන් පහත උපුටනය ගන්නෙ ඔහුගේ "ජීවිතය අන් තැනක" කෘතියෙන්. 

"එයා චිත්‍ර අඳින්නෙ කිසිම අසුබවාදී හැඟීමක් හිතේ තියාගෙන නෙමෙයි" සිත්තරා පිළිතුරු දුන්නේ ය. "කලාව කියල කියන්නෙ බුද්ධියෙන් පහළ වෙච්ච දෙයක් නෙමෙයි කියන එක තේරුම් ගන්න. බලු ඔළු එක්ක මිනිස්සු අඳින්න හරි, ඔළු නැති ගෑණු අඳින්න හරි ජෙරොමියෙල්ගෙ තියෙන පෙළඹවීම එයාට ඉබේ ලැබුණ දෙයක්.  මේ දේවල් එයාගෙ හිතට ආවෙ කොහොමද කියල එයාට කිසිම දැනීමක් නෑ. මට ඒ ගැන හොඳටෝම විශ්වාසයි. මේ හැඩතල ගැන එයාට කොඳුරල කියන්නෙ එයාගෙම  උපවිඥානය. ඒත් මේ අමුතුම විදිහෙ බලි රූප වල තේරුමක් නැහැ කියල නම් කියන්න බෑ. ජෙරොමියෙල් ගෙ රූපයි, යුද්ධයයි අතරෙ ගුප්ත සම්බන්ධයක් තියනව කියල ඔයාට හිතෙන්නෙ නැද්ද? යුද්දෙ රෑ දවල් නැතුව අපිව කම්පනයට පත් කෙරුව. අපිව බය ගැන්නුව. ඒ යුද්දෙ මනුස්සයගෙන් එයාගෙ ඔළුව, එයාගෙ මූණ පැහැරගත්තෙ නැද්ද? අපි මේ ජීවත් වෙන්නෙ ඔළු නැති ගෑණුන් ගෙ කඳ කෑලි ආශාවෙන් ප්‍රාර්ථනා කරන ඔළු නැති මිනිස්සුන්ගෙ ලෝකෙක නෙමෙයි ද? මං ඔයාගෙන් අහන්නෙ මෙච්චරයි, ඔයාගෙ පුතාගෙ චිත්‍ර වල තියෙනවට වඩා ඇත්තක්, යථාර්ථයක් තවත් තියනවද ? නෑ නේද?"

-මිලාන් කුන්දේරා
- ජීවිතය අන් තැනක




Monday, July 10, 2023

මට වෙලාවකට හිතෙනවා...

මට වෙලාවකට හිතෙනවා...
බොහොමයක් ඉර බහින හැන්දෑවල
අහසත් මූදත් මුණගැහෙන සිතිජ රේඛාවේ
දියවෙවී බොඳවෙලා යන්නෙ අර
අපි අතින් ඉහිරෙන්න තිබුණ බීර අහුරක් බව..

සෙනඟ තදබද වුණ බස් එකක 
රේඩියෝ කබලකින් චිරි චිරි ගගා සද්දෙට
ඔය ඇහෙන්නෙ අපි කියන්න හිතාගෙන උන්න 
සින්දුවක් එහෙම දවසක...

වහින්න කලින් අඳුරු ආකාසෙ
දේදුන්නක් වගේ හැඩට
ඇඳිලා ආයෙමත් බොඳවෙලා යන්නෙ
අපේ ඒ හීනවල තිබුණු පාට...

ඇත්තටම
මට වෙලාවකට හිතෙනවා
වලාකුළු වගේ සුදු මුදුවට
පාවෙලා යන්නෙ ඈතට
හිනාවෙවී හිනාවෙවී ඔහේ
ගෙවාදමන්න තිබුණ දවස් අපිට...