Thursday, November 2, 2023

Concrete Utopia (2023)

හෝමෝ සේපියන් කියන්නෙ මිහිමත වාසය කළ එකම මානව විශේෂය නොවෙයි. දැනට හොයාගෙන තියන ආකාරයට, සේපියන්ලාට සමීපව සහ සමකාලීනව, තවත් මානව විශේෂ ගණනාවක් මේ පොළෙවේ වාසය කර තිබෙනවා. මුලින්ම පිටකොන්ද ඍජුව තබාගත් හෝමෝ ඉරෙක්ටස් මානවයා, හැඩි දැඩි නියැන්ඩර්තාල් මානවයා, අඩි තුනක් හතරක් පමණ උස් වුණු හෝමෝ ෆ්ලොරෙන්සිස් මානවයා, ගල් ආයුධ නිපදවීමේ ආදිතමයන් වුණු හෝමෝ හැබිලිස් මානවයා, ඔය ආදී වශයෙන් නම් කරන්න පුළුවන් මිනිස් ප්‍රභේද ගණනාවක් මේ පොළවේ ඇවිද ගියා. නමුත් අදින් වසර ලක්ෂ තුනකට පමණ කලින් අප්‍රිකාවෙන් බිහිවුණු හෝමෝ සේපියන්ස්ලාගෙන් පසුව මේ අනෙක් මානවයින්ට මොකක්ද වුණේ? ඔවුන් අද දකින්නට නැත්තේ ඇයි? ඔවුන් වඳ වුණේ කොහොමද? නැතිනම් ඔවුනුත් සේපියන්ස් ලා සමග අන්තර් අභිජනනය වෙලා එකම විශේෂයක් බවට පත්වුණා ද? කියන ප්‍රශ්නවලට තවමත් නිවැරදි පිළිතුරු සොයාගෙන නැහැ.

අනෙක් මානවයින්ට සාපේක්ෂව සේපියන්ස්ලාගේ විශේෂත්වය වෙන්නේ ඔවුන්ගේ කපාල ධාරිතාව ඉහළ මට්ටමක තිබීම නිසා ඉහළ මට්ටමේ බුද්ධිමය හැකියාවන් අත්පත් කරගන්න සමත් වීම. සේපියන් නම ලැබෙන්නේ "බුද්ධිමත්" නම් අර්ථය ඇති sapiēn ලතින් යෙදුම මුල් කරගෙන. මේ නම එන්නේ පුරාණ ග්‍රීකයන් ප්‍රඥාවේ දෙවඟන විදිහට සැලකූ සොෆී ආශ්‍රය කරගෙන. බුද්ධිමත් බවට ග්‍රීකයන් යෙදූ නම තමා සොෆී. බුද්ධියෙන් ඉහළ මානවයා කියන තේරුමෙනුයි හෝමෝ සේපියන් නම එන්නේ. එහෙනම් පැවැත්ම සඳහා වූ සටනේ දී අනෙක් මානවයින් සහමුලින්ම යටපත් කර දමන්න සේපියන්ලාට හැකි වුණාද? වෙනස්වන පරිසර තත්ත්වයන් හමුවේ නොනැසී පවතින්නට හැඩගැසිය හැකි ක්‍රම සහ විධි ඔවුන් සොයාගත්තාද? සේපියන් බුද්ධි මහිමය හමුවේ අනෙක් මානවයින්ට පරාජය පිළිගෙන මිහිමතින් සමුගෙන යන්න සිදුවුණා ද? 

සේපියන්ස් ලා ගැන කතාකරද්දී මතුවෙන ප්‍රධාන කරුණක් තමයි ඔවුන් සමාජශීලී ගති ස්වභායන් අතින් ඉහළ බව. ඔවුන් (ඇත්තටම කිව්වොත් අපි) දියුණු කරගත් භාෂාව වැනි සන්නිවේදන මෙවලම් භාවිත කරගෙන, ජීවිත පැවැත්මේ ගැටළු සාමුහිකව ජයගන්න ඇති හැකියාව වර්ධනය කරගත් බව. ඒ වගේම කියවෙන තවත් කරුණක් තමා ඔවුන් "මම" සහ "අනෙකා" විදිහට කාණ්ඩ වෙන්කරගෙන අපේ කණ්ඩායම සහ පිටස්තර කණ්ඩායම් විදිහට සමූහ වශයෙන් සීමාවන් වෙන්කරගෙන පැවතුණු බව. මෙතදි මානව චර්යාවන් වඩාත්ම වර්ගවාදී මුහුණුවරක් ගන්නවා. එනම් වඩා වාසි සහගත තත්ත්වයන් වෙනුවෙන් සේපියන්ලා වෙන වෙනම කණ්ඩායම් ගත වුණා. එතනදී මගේ කණ්ඩායම සහ අනෙක් කණ්ඩායම් යනුවෙන් වෙන්කරගත් සීමාවන් අතර පැවැත්ම වෙනුවෙන් නොයෙක් ඝට්ටනයන් ඇති වුණා. මිනිස් වර්ගයා මෙතුවක් දුර ඇදී එන්නේ මේ බෙදා වෙන්කරගත් කණ්ඩායම් අතර ඇති වුණු කළ කෝලාහල, යුධ ගැටුම් මැද්දෙන්. "ඉතිහාසයම තිබුණේ දඩයම් බිමක" කියලා අපේ කවියෙකුත් වතාවක් ලියා තිබෙන්නේ ඒ නිසා. අනෙක් හැම සත්ත්වයෙකු වගේම මිනිසාත් සොබාදහම සමග බැඳී වඩාත් තරඟකාරී පැවැත්මක් වෙනුවෙන් හැඩගැහුණු ගතිස්වභාවයන් නිසගයෙන්ම රැගෙන ආවා. අවුරුදු ලක්ෂ ගණනක් මේ විදිහට කැලෑවල ඇවිදයමින් සිටි සේපියන්ස්ලා පසුකාලීනව ශිෂ්ඨාචාරය කියා යමක් සොයාගත්තා. නැත්නම් වඩා සංකීර්ණ, යම් ක්‍රමාණුකූල පිළිවෙලකට හැඩගැහෙන්න පටන් ගත්තා. දඩයම් යුගයෙන් කෘෂිකර්මයටත්, එතැනින් කාර්මිකකරණය සහ තාක්ෂණයටත් මිනිසා පැමිණුනා. මේ සේපියන්ස්ලා පැවත ආ කාලය දිහා බැලුවාම මේ වෙනසකම් ඉතාම සීග්‍රගාමීව සිදුවුණු ඒවා. මිනිස්සු කැලෑවට වෙලා දඩයම් කරමින් හිටිය කාලය ආසන්න වශයෙන් අවුරුදු ලක්ෂ තුනක්, නමුත් කාර්මික විප්ලවය සිදුවෙලා තවම අවුරුදු පන්සීයක් වත් ගිහින් නැහැ. ඉතින් ඒ තරම් කාලයක් පුරැදු කරගෙන ආ සමහර දේවල් ඉක්මණින් වෙනස් වෙන්නේ නැහැ. විද්‍යාඥයින් කියන්නේ අද ගොඩනැගිලිවල සීත කාමර ඇතුළේ හිරවෙලා ඉන්නේ තවමත් කැලේ ඇවිදිමින් දඩයම් කරන්න හැඩගැහුණ මිනිසෙක් කියලා. මේ කැලෑ ගති තවම අපි සතුව තියෙනවා. නමුත් ශිෂ්ඨාචාරයේ කඩතුරාවෙන් අපි මේවා හංගාගෙන ඉන්නවා. නොහිතන මොහොතවල මේවා අපෙන් එළියට එනවා.

මේ දේවල් හිතුණේ මේ වතාවේ ඔස්කාර්වලට නිල වශයෙන් ඉදිරිපත් කරන කොරියානු නියෝජනය වුණු Concrete Utopia දැකලා. හිතන්න මෙහෙම, විශාල භූමිකම්පාවක් ඇවිල්ලා අපි දන්න කියන ලෝකය ඔක්කම වැනසිලා ගිහින් එකම එක Apratment එකක් පමණක් ඉතුරුවෙනවා. දැන් මෙතන නොමැරී ඉතුරු වෙලා ඉන්න මිනිස්සු ටික එකතු වෙලා ඉස්සරහට ජීවිතේ ගැටගහගෙන යන්නෙ කොහොමද කියන ගැටලුවට මුහුණ දෙන්නෙ කොහොමද කියලා හොයන්න පටන් ගන්නවා. මේ චිත්‍රපටයෙ තියෙන්නෙ සරලවම කිව්වොත් ඒ කාරණේ. නමුත් මෙතන ඉන් එහාට යන යමක් තියනව. ඒ තමා මිනිස්සු විදිහට අපි මාර දියුණුයි කියල හිතුවට ඇත්තටම අපේ පැවැත්ම අභියෝගයට ලක්වෙනකොට අපේ ඇතුළෙ තියන වර්ගවාදී සහ අතිශ්‍ය ප්‍රාථමික කැලෑ සත්ත්වයා ඉස්මතු වෙන ආකාරය. ඒ වගේ තැනකදී සැබෑ මිනිස්කම වෙන්නේ මේ කෲරත්වයට එරෙහිවීම කියන දේ මේ චිත්‍රපටයේ පෙන්වා දෙනවා ඉතාම ලස්සනට. (තීම් එක විදිහට මේක සමාන කරන්න පුළුවන් ජල්ලිකට්ටු වගේ ෆිල්ම් එකකට, නමුත් මේකෙ ඇතුළෙ කතා කරන ජීවිත වපසරිය ඊට වඩා වැඩියි). කොරියන් සිනමාව ගැන මම හිතන්නෙ මං අමුතුවෙන් කියන්න ඕන නැහැ. ලෝක සිනමාවේ හැම අතින්ම ඉස්තරම් වැඩ සිද්ධ වෙන තැනක් ඒක. මේකත් ඒ හැම අනුපානයකින්ම අඩුවක් නැති වැඩක් බව කිවහැකියි. 

මතක විදිහට අයින්ස්ටයින් කියා තිබෙනවා පළමු සහ දෙවන ලෝක යුද්ධ අවි ආයුධවලින් සිදුවුණත් තුන්වැන්නකින් පසුව හතරවන ලෝක ‍යුද්ධය සිදුවෙන්නේ පොලු මුගුරුවලින් බව. ඒ කියන්නෙ මිනිස්සු විදිහට අපි ලබාගන්න දියුණුව එක්ක එකිනෙකා විනාශ කර ගත හැකි ක්‍රමත් දියුණුවට පත්වෙනවා කියන දෙය. ඇත්තට ලෝකයෙ දැන් පවතින යුධමය තත්ත්වයන් එක්ක මිනිස්සු විසින්ම මිනිස් වර්ගයාගෙ පැවැත්ම මහා පරිමාණ විනාශයක් දක්වා තල්ලු කරමින් ඉන්නවාද කියන ගැටලුව මතුවෙනවා. මෙතනදී මාටින් ලූතර් කියා තිබෙන මේ කතාවත් සඳහන් කරන්නම්. චිත්‍රපටයෙ මතුකරන්න උත්සාහ කරන කාරණාව ඉතාම හොඳින් මේ වචන කිහිපය ඇතුළේ කියවෙන බව මම හිතනව.

"අප සහෝදරයන් මෙන් එක්ව ජීවත් වීමට උගත යුතුය. නැත්නම් මෝඩයන් සේ වැනසී යා යුතු ය"



1 comment:

  1. හොමෝ සෙපියන්ස් ලත් ඊට කලින් සිටිය මානව වර්ගයත් අතර ගැටුම් වලින් වඩා බුද්ධිමත් ජීවීයා ඉතුරු උනා කියලා හිතන එක සාධාරණයි. ඒත් ඒ සදහා විද්‍යාත්මක සාධක නම් නෑ කියලා තියෙනව විදිහට..
    චිත්‍රපටියත් එක්ක මේ මානව පරිණාමය සම්බන්ධ උනේ කොහොමද කියන එක නම් තේරුනෙ නෑ

    ReplyDelete