Tuesday, October 31, 2023

The fall of the House of Usher (2023)

ෂර්ලොක් හෝම්ස් අද කාලෙ ජීවත් වෙලා හිටියා නම් කොහොම වෙයිද කියන අදහස මුල්කරගෙන "Sherlock" TV series එක හැදුණා වගේ Edgar Allen Poe ගේ කෙටි කතාවල චරිත සහ සමහර සිදුවීම් වර්තමාන කලයට අනුගත කරලා හැදුණ, Netflix හරහා විකාශනය වුණ, horror/ thriller වර්ගයේ,  episode 8 ක drama mini series එකක් තමා The fall of the house of Usher කියන්නෙ. මේකෙ විශේෂත්වය තමයි නූතනත්වය කියන කාරණව මූලිකවශයෙන්ම තේමා කරගෙන නිර්මාණය කර තිබීම. ඒ කියන්නෙ අද ලෝකයේ වෙළඳපොළ ක්‍රමය මුල් කරගත්ත ධනවාදය සහ අධික පරිභෝජනය මත පවතින නූතනත්වය. ලෝකයෙ අති බහුතරයක් එදා වේල කන්න නැතිව හාමතේ දුක් විඳිද්දී තව සීමිත පිරිසක් ඩොලර් මිලියන බිලියන ගණන් වලින් එදිනෙදා ගනුදෙනු කතා කරන නූතනත්වය. තිමොති ෂලොමේ, බිලී අයිලිෂ් වගේ අය රඟපාන සින්දු කියන නූතනත්වය. මේ Tv series එක හැදෙන්නේ අර ඩොලර් මිලියන ගණන්වලින් වැඩ කරන අති සුඛෝපභෝගී ජීවිත ගත කරන සීමිත පිරිස මුල් කරගෙන. 

ඇලන් පෝ කියන්නෙ horror කතා කලාවේ පීතෲවරයෙක් විදිහටයි අද සැලකෙන්නෙ. මුල්ම රහස් පරීක්ෂක කතා, විද්‍යා ප්‍රබන්ධ සහ නිරීක්ෂණ ඔස්සේ නිගමන වලට එළඹෙන මුල්ම රහස් පරීක්ෂක චරිතය August Dupin නිර්මාණය කරන්නෙත් ඔහුයි. ඒ වගේම ඉංග්‍රීසි සාහිත්‍ය ඇතුළෙ ඔහු මුල් පෙළේ කවියෙක්. 1800 යුගයේ ලියවී තිබෙන මේ කතා අදටත් පාඨාකයින් අතරේ ඉතාම ජනප්‍රියයි. ඒ කතාවක තියන අමුතුම භයංකාර ගතිය අදටත් කියවන්නා භීතියෙන් ඇළලවන සුළුයි. ඇලන් පෝ ගෙ කතාවල horror අංගලක්ෂන අරගෙන ඒවා මේ අද ලෝකයට ගැළපෙන ආකාරයෙන් වෙනස් කර තිබෙනවා මෙතනදි. ඒ හින්දා Poe ගේ කතා කියවා තියන අයට මේක දැනෙනව වැඩියි. (Poe ගේ කතා බොහෝම දෙනා සිංහලට පරිවර්තනය කර තිබෙනවා. ඒ අතරින් නිර්දේශ කරන්නෙ අපට හිටි සුපිරිම ගණයේ පරිවර්තකයා K. G. කරුණාතිලක මහත්මයා පළ කළ "රන් මකුණා" නම් කෙටි කතා එකතුව) විශේෂයෙන්ම මුදල් මූලික සහ තරඟකාරී සමාජ ක්‍රමය මිනිස්සු තුළ ඇති කරන පීඩාවත්, ව්‍යාපාරිකත්වය ඇතුළේ සදාචාර සීමාවන් බිඳවැටී යාමත් ගෝලීය වශයෙන් කොයිතරම් විනාශකාරී විදිහට මිනිස් ජීවිතවලට බලපෑම් කරනවද කියන කාරණා මේ horror කතාවල යටි පෙළ වශයෙන් අන්තර්ගත වෙනවා. එතනදි මේ නිර්මාණකරුවන් කොයිතරම් නිර්මාණශීලී  වෙලා තියනවද කියන දේ ඇලන් පෝ ගේ කතා කියවා තියන කෙනෙකුට තේරුම් ගතහැකියි. Writing අතින් වගේම cinematography, music, acting මේ හැම අංශයකින්ම ඉහළින්ම තියන next level ගණයේ වැඩක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්!

පැරණි සාහිත්‍ය වුණත් අද ලෝකයට ගැළපෙන්න අනුවර්තනය කරලා කොයිතරම් නිර්මාණශීලීව ප්‍රතිනිර්මාණය කරන්න පුලුවන්ද කියන දේ තමයි මේකෙ තියන විස්මය ඇති කරවන වැඩේ. මේක නිර්මාණය කරන්නෙ The Hunting of the Hill House, Midnight Mass වගේ රූපවාහිනී නාටක සහ Hush, Before I wake, Ouija, Geralds game, Doctor sleep කියන චිත්‍රපට වගේ horror ගණයේ වැඩවලටම නම් දරාපු Mike Flangan. සාමාන්‍යයෙන් මම Planet earth, Prehistoric planet වගේ ඒව ඇරුණාම Tv series බලන්නෙ නැති තරම්. මොකද එපිසෝඩ් ගණන් එක දිගට බලන්න තරම් කාලයක් නැති නිසා. නමුත් මේක නම් කොහොම හරි කාලය හොයන් බලන්න තරම් හේතු වුණේ ප්‍රධානම හේතුව මම උග්‍ර Poe රසිකයෙක් හින්දා සහ මුල ඉඳන්ම වැඩේ තිබ්බ ගුණාත්මක බව හින්දා. Horror/ Thriller වලට කැමති අයට මේක Recommend කරනවා.

ප.ලි - කලින්ම කිව්ව වගේ මේක හොඳටම දැනෙන්නේ Poe ගෙ කතා කලින් කියවා තියන අයට. ඒ හින්දා highly recommend කරනවා Horror fan කෙනෙක් නම් Edgar Allen Poe ගේ කෙටි කතා හොයාගෙන කියවන්න කියලා!



2 comments:

  1. නියමයි. එක හුස්මට බලලා ඉවරකලා. බොහෝ පාමසූටිකල්, ඇග්‍රිකල්චරල් බහු-ජාතික සමාගම් වැටෙන්නෙ මේ "සාතන් ගෙ" කැටගරියට. ජාන වෙනස්කල බීජ මොනපොලියේ සිට කුප්‍රකට "ඒජන්ට් ඔරේන්ජ්" වගේ නිෂ්පාදන කල "මොන්සැන්ටෝ" මතක් වුනා.
    මේත් ඔය ෆිලිම් එකට කිට්ටුවෙන් යන, අපේ පැත්තෙ කතාවක්:
    https://www.youtube.com/watch?v=hzdODmH3_70

    ReplyDelete
  2. බලන්න කියලා හිතා ගත්තා.

    ReplyDelete