Thursday, October 9, 2025

Both sides now

ජීවිතේ කියන්නෙ පරස්පරතාවන්ගෙන් පිරිච්ච තැනකට. ජීවිතේ ඇතුළෙ ඕනැම දෙයක් අරගත්තොත් ඊට ප්‍රතිවිරුද්ධ යමක් ඒත් එක්කම වෙන් කරන්න බැරි විදිහට බැඳිලා තියනව. හැම ආලෝකමත් යමක් පිටිපස්සෙම එයින් වෙන් කරන්න බැරි අඳුරකුත් තියනවම තමයි. හරියට හඳ වගෙයි. හඳ කිව්වම අපිට මතක් වෙන්නෙ අන්ධකාර රාත්‍රිය ඇතුළේ එළිය දෙන හරි සෞම්‍ය සුන්දර වස්තුවක් විදිහට නෙ. නමුත් ඇත්තටම ගත්තොත් හඳේ එක පැත්තක් එළිය වෙද්දි අනෙක් පැත්ත සම්පූර්ණ අඳුරෙන්ම වැහිලයි තියෙන්නෙ. හඳ එයාගෙ මේ අඳුරු මූණ පෙන්වනව කාලෙන් කාලෙට. ඒක එතකොට අර හඳ ගැන කවි සින්දුවලින් කියන සුන්දර වස්තුව නෙමේ. ජීවිතේ සම්බන්ධයෙනුත් දේවල් සිද්ධ වෙන්නෙ ඔය ආකාරයට. ආදරය ගත්තොත් උදාහරණයක් විදිහට, ආදරය හරි ලස්සන, සුන්දර, ජීවිතේට සැනසීම අරන් එන හැඟීමක් විදිහට ඒ ගැන කල්පනා කරද්දී අපි හිතනව. නමුත් ආදරයක් ජීවිතේ ඇතුළෙ පවත්වගෙන යද්දී ඒ වෙනුවෙන් ලොකු වැයවීමක්, කැපවීමක් අපිට දරන්න සිද්ද වෙනවා. අපි ආදරය කරන්නෙ යම් කෙනෙකුට නම් ඒ කෙනාගෙ අපි ආස ගති ගුණාංග වගේම අපි ඒ තරම් ආස නොකරන දේවලුත් තියනව. ඒ දේවල් එක්ක ගනුදෙණු කරන එක බොහොම වෙලාවට සුන්දර අත්දැකීමක් නෙමේ. නමුත් ඔය සුන්දර වගේම අසුන්දර දේවලුත් එකට බැඳිච්ච දෙයක් තමා ආදරය. මේ දෙක එකින් එක වෙන් කරලා අපි ආස දේ විතරක් බාරගෙන ආස නොකරන කොටස ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කමක් නැහැ. එතනදි අනිවාර්යයෙන් ඔය දෙපාර්ශවයම සම සිතින් බාරගන්න අපිට සිද්ද වෙනවා. 

මේ ටික මෙහෙම ලියන්න හිතුණෙ Joni Mitchell ගෙ Both sides now සින්දුව කාලෙකට පස්සෙ අහපු හින්දා. Joni මේ සින්දුව ඇතුළෙ කියන්නෙ ජීවිතේ තියන මේ එකිනෙක ප්‍රතිවිරුද්ධ ස්වභාවයන් ගැන. එයා මුලින්ම පටන්ගන්නෙ වළාකුළු ගැන කියලා. එයා කියනවා එයා මුලින්ම වළාකුළු දැක්කෙ අහස පුරා පැතිරිච්ච මැජික්මය සෞන්දර්යක් තියන දෙයක් විදිහට කියලා. නමුත් ඒ වළාකුළුම තවත් වෙලාවක සූර්‍යාලෝකය වළක්වනවා. වැස්ස, හිම කුණාටු අරගෙන එනවා කියල එයා කියනව. එන්පස්සෙ එයා ජීවිතේ ගැනත් එහෙමම කියනවා. මුලින් ලස්සනයි සුන්දරයි කියලා පේන්න තියන දේවල් වල අඳුරු පැතිකඩ පහුකාලීනව අපිට පේන්න පටන් ගන්නවා. විශේෂයෙන් වයසත් එක්ක දේවල් වල සංකීර්ණ බව අත්දකින්න ලැබෙද්දී අපි දේවල් දිහා දකින විදිහ වෙනස් වෙනවා. Joni ගේ සින්දුව පුරාම තියෙන්නෙ ඒ අත්දැකීම් ආශ්‍රයෙන් එයා ලබන ජීවිතාවබෝධය, ජීවිතාවලෝකය. විශේෂයෙන් එයා සින්දුව කියන tone එක සහ සින්දුවෙ melody එකත් Music Arrangement එකත් එක්ක ජීවිතේ තිත්ත කටුක යථාර්ථයන් හමුවේ තමන්ගෙ හදවතේ ලස්සන නැති කර නොගත් සහ පැහැදුණු හිතකින් දේවල් දකින කෙනෙකුගේ නිවුණු මිහිරි ස්වරය සින්දුව පුරා ඇහෙනවා. ඒ බව අහන අපිටත් දනවන්න ඒ music එක සමත් වෙනවා. මේ සින්දුව මං අහන්නෙ ඔළුව ඇතුළෙ පැටලිච්ච මොකක්දෝ නමක් නොදන්නා අඳුරක් ලෙහාගන්න උත්සාහ දරමින් ඉන්න වෙලාවක. මේ අකුරු ඒ ලෙහා දැමීමේ වෑයමක කොටසක්. Music වල තියන සුවපත් කිරීමෙ ගුණය අමතක වෙමින් තියන කාලෙක Joni Mitchell ගෙ මේ සින්දුව ඒ වැහි බර අහසක් වගේ හිත පුරා පැතිරිලා තිබ්බ අඳුර මැද්දෙන් ආලෝක තිතක් ඇවිලුවා. කුඩා වුණත් ඒ ප්‍රහර්ශය බෙදාහදා ගැනීම වෙනුවෙන්මයි මේ කෙටි සටහන. සින්දුව අහල නැති කෙනෙක් ඉන්නව නම් අහල බලන්න. හිත අඳුරෙන් බර වෙලා තියන වෙලාවක, ඔලුව ඇතුළෙ පීඩාකාරී සිතුවිලි පැටලෙන මොහොතක, ජීවිතේ තේරුම් ගන්න බැරි හරස්පද ප්‍රෙහේලිකා විසඳලා හති වැටිලා ඉන්න වෙලාවක ඇහුම්කන් දීලා ඒ රිදුම් නිවාගන්න, සැහැල්ලු වෙන්න ඕනෑම කෙනෙකුට මම නිර්දේශ කරනවා මේ සින්දුව.




No comments:

Post a Comment