ලොකු පාටියක් දාලා විවාහයක් සමරන්න ඕන බඳින දවසට නෙමේ බැඳලා අවුරුදු විස්සක් විසිපහක් විතර ගිහිල්ලා දරුවොත් හදලා ඒ දරුවො හොඳ මිනිස්සු විදිහට සමාජගත කළායිනුත් පස්සෙයි කියලා ගයාන් පෙරේරා Hari tv එකේ ළහිරු එක්ක කරලා තිබ්බ ඉන්ටවිව් එකකදි කියලා තිබ්බා. එහෙම වෙන්නෙ මොකද පුලුවන් තරම් ලොකුවට වෙඩින් ගත්තට ගොඩක් අයගෙ ජීවිත වල ඒ ලස්සන ඊට පස්සෙ මැකිලා ගිහින් අන්තිමට නතර වෙන්නෙ මොන එකකට මේක කරගත්තද කියලා එකිනෙකාගෙන් වෙන් වෙන තැනටම ඇවිල්ලා. අවුරුදු ගාණක් වෙන් නොවී ඔය විවාහය පවත්වගන්න එක තමා එහෙම බැලුවාම සමරන්න කාරණේ වෙන්න ඕන. මොකද එක මනුස්සයෙක් එක්ක එකම ගෙදරක කාලාන්තරයක් තිස්සෙ එකට ජීවත් වෙනවාය කියන්නෙම අමාරු වැඩක්. ඒකට සෑහෙන ලොකු ඉවසීමක් ඕන. දෙන්නෙක් අතරෙ රොමාන්තික බැඳීමක් ඇති වෙන මුල් කාලෙ නම් හරි ලස්සනයි සුන්දරයි. මොකද ඔය රොමැන්ටික් කාල සීමාවේදි මොළයෙන් නිකුත් කරන රසායනිකයන් එක්ක අනිත් මනුස්සයාගෙ වැරැද්දක් තිබුණත් ඒක නොපෙනී යනවා, තමාගෙ වැරදි අඩු පාඩු අනිත් කෙනාගෙන් වසන් කරලා පරිපූර්ණ ප්‍රතිරූපයක් මවා පෙන්වන්න උත්සාහ කරනවා. නමුත් කාලයක් ගත වෙද්දි ඔය රසායනිකය නිකුත්කරන එක ශරීරයෙන්ම නතර වෙනවා. "පෙම් ලොව දී දුටු ඔහුමද මේ, මොහුටද මා අන්ධ වුණේ" කියල කියවෙන්නෙ එතකොට තමා. කොහොමත් කාලයක් එකට ජීවිතේ බෙදාහදා ගන්න දෙන්නෙකුට මේ රොමාන්තික යුගය ඉවර කරලා ගැටළුකාරී යුගයකට අඩිය තියන්න වෙනවා. අමාරු කාලෙ ඇතුළෙ නම් පවතින්න පුලුවන් වෙන්නෙ දෙන්නා අතර තියන අවබෝධය, ඉවසිලිවන්තකම, ස්වයං විනය වගේ දේවල් එක්ක. එතනදි තමන්ව දැනෙන සහ හරි තේරුම් ගැනීමක් තියන කෙනෙකුව තෝරාගෙන ඉන්න එක වැදගත්. අමාරු කාල එද්දි ඒව පහු කරගෙන යන්න තරම් හොඳ බැඳීමක් ඇති වෙන්නෙ එහෙම තෝරාගැනීමක් ඇතුළෙ තමා. කතාවටත් කියන්නෙ දෙන්න දෙමහල්ලො අතර ප්‍රශ්න ඇති වෙන්නෙ බත් හැලිය ඉදෙනකම් විතරයි කියල නේ. නමුත් කොහොම වුණත් විවාහ ජීවිතයක් කාලයක් පවත්වාගෙන යන්න වෙන්නෙ අමාරුකම් විඳ දරාගනිමින්මයි. විවාහයක් අවසාන වෙන තැනට එන්නෙ මේ දරාගැනීමේ සීමාව ඉක්මවා යද්දි සහ කෙනෙකුව තෝරාගන්නකොට තමන් සෑහෙන වැරදීමක් කරගෙන තියනව කියලා නැත්නම් සෑහෙන රැවටීමකට ලක්වෙලා තියනව කියලා තේරුම් යද්දි.
සුප්‍රසිද්ධ සිනමාකරු ඉන්ග්මාර් බර්ග්මාන් ගේ 1974 අවුරුද්දෙ තිරගත වුණ Scenes from a Marriage කියන චිත්‍රපටියෙ ඇතුළත් වෙන්නෙ අවුරුදු දහයක් සාමකාමී විවාහ ජීවිතයක් ගත කිරීම සමරන යුවළක් ගැන. චිත්‍රපටිය ඇතුළෙ මේ දෙන්නා ගෙ විවාහය දෙදරා යන්න පටන් ගන්නෙ අවුරුදු දහයක් ගෙවිලා ගියාට පස්සෙයි. ජීවිතේට දුෂ්කර කාල එන්නෙ නොහිතනම වෙලාවල් වල. 2025 ආව The Roses කියන්නෙත් මේ වගේම කතාවක් තියන චිත්‍රපටියක්. චිත්‍රපටිය ඇතුළෙ අපි දකින්නෙ තියෝ සහ අයිවි දෙන්නගේ විවාහයේ කතාව. තියෝ කියන්නෙ ගෘහ නිර්මාණ ශිල්පය තමන්ගෙ ආත්මය කරගත්ත මනුසයෙක්. දවසක් අවන්හලකදී එයාට මුණගැහෙනවා සූපශාස්ත්‍රය ආත්මය කරගත්ත එක්තරා ගැහැනියක්. මේ දෙන්නා අතර ඇති වෙන්නේ "දැක්ක ගමන් හිත බැඳුණා, වාසනාවෙ දොර ඇරුණා" වර්ගයේ ක්ෂණික බැඳීමක්. ඉන්පස්සෙ කාලය අවුරුදු ගණනාවක් රිවයින් කරලා බැලුවාම අපි දකින්නෙ සැමියා සහ බිරිඳ විදිහට එක ගෙදරක ජීවත් වෙන සහ කර දඬු උස් මහත් වෙන වයසේ ළමයි දෙන්නෙක් ඉන්නා තියෝ සහ අයිවි කෙනෙක්ව. දෙන්නා හරි ආදරෙන් සාමදානෙන් ජීවිතේ ගෙවන වගක් අපිට පේනවා. නමුත් කාලය ගත වෙන්නෙ නොහිතු විදිහෙ වෙනස් කම් දෙන්නාගේ ජීවිත ඇතුළේ ඇති කරලා, කිසි ප්‍රශ්නයක් නැති ව අවුරුදු ගණනාවක් එක වහළක් යට ජීවත් වුණු තියෝ සහ අයිවි එකිනෙකා නොරුස්සන දෙන්නෙක් බවට පත්කරලා. දෙන්නා දෙමහල්ලෝ අතරේ දිගින් දිගටම ඇදි ඇදී යන මේ විරසකය කොතනින් කොහොම කෙළවර වෙයිද කියලා තමා අපිට බලා ඉන්න තියෙන්නෙ.
මුලින්ම බර්ග්මාන්ගෙ Scenes from a Marriage චිත්‍රපටිය ගැන සඳහන් කළත් The Roses කියන්නෙ ඒවගේ බරසාර ෆිල්ම් එකක් නෙවෙයි. කොමඩි/ ඩ්‍රාමා ටයිප් එකේ වැඩක්. මේක කොමඩියක් වෙන්න පුලුවන් ද කියලා කෙනෙකුට හිතෙන්න පුලුවන්, විශේෂයෙන් දික්කසාදය වගේ සීරියස් මාතෘකාවක්. තමන්ට නැත්නම් තමන්ට හිතවත් කෙනෙකුට මෙහෙම අත්දැකීමක් තියනව නම් එහෙම හිතෙන එක වරදක් නෙවෙයි. ලංකාවෙ නීතිය අනුව මම දන්න තරමින් දික්කසාදය කියන්නෙ කාලයක් ගත වෙන අමිහිරි අත්දැකීමක්. හැමදාම ළඟින් ඉන්නා බවටත් දුකේ දීත් සැපේ දීත් අතනොහරින බවට පොරොන්දු වෙලා විවාහ වෙන අය පස්සෙ එකිනෙකාට විරුද්ධව එදිරිවාදීන් වෙලා උසාවියක් ඉස්සරහට එන එක ඉතාම අසුන්දර දෙයක්. The Roses කියන්නෙ එහෙම බැලුවාම අඳුරු ප්‍රහසනයක් විදිහට අරගන්න පුලුවන් චිත්‍රපටියක්. ෆිල්ම් එක බලලා අපි හිනා වෙනවා. නමුත් අපි හිනා වෙන්නෙ ජීවිතේ තියන ඇත්තම ඛේදවාචකයන්ට.
The Roses බලන්න හේතුවක් වුණේ ප්‍රධාන චරිත රඟපාන Benedict Cumberbatch සහ Olivia Colman මගේ ප්‍රියතම අය වීම. දෙන්නාම වර්තමානයේ සිනමාව ඇතුළෙ ඉහළින්ම නම තිබ්බ රංගවේදීන් දෙන්නෙක්. ඉතින් මේ දෙන්නගෙ සුසංයෝගය බලා ඉන්න අපූරු දෙයක් වුණා මට නම්. විශේශයෙන් දෙන්නගෙම බ්‍රිතාන්‍ය පන්නයේ ඉංග්‍රීසි කතා විලාසය. චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නෙ ස්වයං විනාශකාරී යුවළක් මුල් කරගෙන ලියැවී තියෙන The war of the Roses නම් නවකතාව මුල් කරගෙන. 1989 අවුරුද්දෙ මේ කතාවෙන් The war of the Roses නමින්ම චිත්‍රපටියක් නිර්මාණය වෙලා තියනවා, 2025 අවුරුද්දෙ ආව The Roses කියන්නෙ මේ නවකතාවෙන් හැදෙන දෙවනි චිත්‍රපටිය. (නවකතාවෙදි ප්‍රධාන චරිත දෙක නම් වෙන්නෙ Jonathan Rose සහ Barbara Rose නම් වලින්. කතාවෙ නම එන්නෙ මේ නම් වලින් කියලා මම හිතන්නෙ)
ෆිල්ම් එක ගැන ඉන් එහා යමක් කියන්නෙ නෑ. Romantic/ Comedy ශානරයට කැමති අයට මේක අල්ලලා යාවි කියලා හිතෙනවා.
No comments:
Post a Comment