Monday, June 10, 2019

රත් වරළැති යුවතිය


රත් වරළැති යුවතිය
දවස දියවන සැඳෑවක
දුම්රියපොළේ වේදිකා දිගේ
ගලා යන මහ සෙනඟ මැද...

සැන්දෑග අහසේ
වළාකුල් අතර තැවරෙන
ළා රත මෙනැයි කියන්නෙම් ද
නැතිනම් ගිමතින් ගිලිහෙන
මේපල් පතක රත මෙනැයි කියන්නෙම් ද 
ඒ රත..

ඈත හිඳ බලා ඉමි
කවුළු පත් ඇරී අහසෙන්
කඩා හැළෙනා සුළඟට
අවනත නොවන රැළි කෙහෙරැළි
රැළි රැළි නඟන අන්දම..

රත් වරළැති යුවතිය
ඩිජිටල් පුළුල් තිර 
ලවුස්පීකර් වරුසාව මැද
දුර යම් නොපෙනෙනා ඉමකට
දෑස රන්දන..

ඩා බිඳු ලිහී ගිලිහෙන
කතරක උණුහුම කැන්දන
ලෝහමය කුළුණු උස් වහල මැද්දට
සිහිල් මදහාස වැසි වස්සන..

ඈත හිඳ බලා ඉමි
සුළං රළ වැදී සසැලෙන 
ඒ රක්ත වර්ණ අරුමය..
පිබිදුනු සිතින් පිරිමැද
සුළඟටම අතහරිමි
රත් කෙහෙ කැරැල්ලක් 
හෙමිහිට..






Tuesday, June 4, 2019

The unbearable lightness of being. පැවැත්මෙහි දරාගත නොහැකි සැහැල්ලුව (1988)


The unbearable lightness of being චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ චෙක් ජාතික ලේඛක මිලාන් කුන්දේරා ගේ, මේ නමින්ම ලියවුණු නවකතාව මුල් කරගෙන. කුන්දේරා ගැන මට මුලින්ම අහන්න ලැබෙන්නෙ මංජුල වෙඩිවර්ධන ගේ බත්තලංගුණ්ඩුව නවකතාවෙන්. එතනදි කතාවෙ ප්‍රධාන චරිතය වුණ ඇන්තනී, කල්පිටි වෙරළෙ ඉඳන් බත්තලංගුණ්ඩුව දූපතට ගමන්කරන්නේ කුන්දේරා ගේ Life in else where නවකතාවෙ සිංහල පරිවර්තනය "ජීවිතය අන්තැනක" අතින් අරගෙන. ඒ ලැබුණ ඉඟිය අනුව කුන්දේරා හොයාගෙන කියවීම කෙළවර වෙන්නෙ ඔහුගේ ලියවිලි එක්ක ආදරයෙන් බැඳෙමින්. ඔහුට අනුව අපි ජීවත්වෙන්නෙ මිනිස් පැවැත්ම ක්‍රමයෙන් කුඩාවෙමින් යන යුගයක. මිනිසා වෙනුවට ඔහුම බිහි කරගත් ආයතන වුණ දේශපාලනය, මුදල, නොයෙක් අපරාධ වලින් පිරුණු ලෝකය මිනිස් හැඟීම් යටකරගෙන නැගී හිටිනව. පැවැත්මේ මේ තත්ත්වය නිවැරදිව කියාපෑමයි ප්‍රධාන වශයෙන් ඔහුගෙ ලියවිලි වල අරමුණ වෙන්නෙ. කුන්දේරා ගේ තරුණ අවධියේදීයි කොමියුනිස්ට් රුසියාව චෙකොස්ලොවැකියාව යටත් කරගන්නෙ. මේ රුසියානු පාලනාධිකාරියට එරෙහිව චෙක් ජනසමාජයෙන් නොයෙක් විරෝධතා පැන නඟිනව. මෙන්න මේ වගේ පසුබිමකයි කුන්දේරා තමන්ගෙ ලිවීම වැඩි වර්ධනය කරගන්නේ.

චිත්‍රපටය දිහාට හැරුණොත් අපිට දැකගන්න පුලුවන් සුවිශේෂී කාරණය තමා මේක ඩ්‍රාමා/ රොමෑන්ස් වර්ගයට අයිති වුණත් සාපේක්ෂ වශයෙන් වැඩි අනුරාගික දර්ශන ගණනක් ඇතුලත් වීම. ඒ හැම දෙයක්ම කතා තේමාවට සම්බන්ධ නිසා මේ චිත්‍රපටය එරෝටික් එහෙම නැත්නම් අනුරාගික චිත්‍රපට ගණයට ඇතුලත් වෙන්න ඕන කියල මම හිතනව. නමුත් සරාගිකත්වය පසුබිම් කරගෙන විශාල ජීවන පරාසයක් මේ චිත්‍රපටයට අල්ලගන්න පුලුවන් වෙලා තියෙන්නෙ නවකතාවෙන් ලැබුණ බලපෑම නිසා වෙන්න ඇති. ඒ වගේම අනුරාගික දර්ශන ඇතුලත් රූපරාමු හැම එකක්ම ඉතාම සුවිශේෂී ආකාරයෙන් සංයමයකින් සහ කලාත්මක බවකින් නිර්මාණය කරන්න අධ්‍යක්ෂ වරයා සමත් වෙලා තියනව. 

The unbearable lightness of being චිත්‍රපටය ගොඩ නැගෙන්නෙ චෙකොස්ලොවැකියාවේ ප්‍රාග් නුවර ජීවත්වෙන තෝමස් නම් වෛද්‍යවරයා මුල් කරගෙන. ඔහු බොහොම නිදහස් සහ සරාගික ජීවිත පැවැත්මක් ඇති පුද්ගලයෙක්. ඔහු වඩා වැඩියෙන් සහ වඩාත් සමීපවම සබඳතාව පවත්වාගන්නෙ ඔහුගෙන් ප්‍රතිකාර ගත් සබීනා කියන චිත්‍රශිල්පිනිය සමගයි. මෙතනදි ඔවුන් දෙදෙනාම සමානයි. දෙදෙනාටම අවශ්‍ය ඒ බැඳීම ඒ මොහොතේ දුක නිවාලන තාවකාලික අනුරාගයක් විදිහටම පවත්වාගෙන යන්න මිස ප්‍රේම සම්බන්ධයක් විදිහට වර්ධනය කරගන්න, විවාහ වෙන්න, ළමයි හදන්න නම් නොවෙයි. අපි අහල තියන ප්‍රේමයේ පරමාදර්ශයන් රාගයෙන් තොර සඳ එළිය වගේ පරම පිවිතුරු දෙයක් වුණත් ඔවුන් ඉන්නෙ ඊට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ අන්තයෙ. මේ අතරෙදියි අවන්හන්හලක් සේවය කරන තරුණ හුරුබුහුටි තෙරේසාව තෝමස් ට මුණගැහෙන්නෙ. එතැන් පටන් ඔහුගෙ ඇස් ඇය පසුපස හඹා යනව. ඉතා කෙටි හමුවකින් පස්සෙ ඔවුන් වෙන්වුණත් තෙරේසා ඔහුව හොයාගෙන ප්‍රාග් නුවරට එනව. ඉක්මනින්ම ඔවුන් අතරෙ ප්‍රේමයක් ඇතිවෙනව. නමුත් ඇය සබීනා වගේ නෙමෙයි. ඇය සහමුලින්ම වෙනස් චරිතයක්. ඇයට නම් සරාගිකත්වය අනිවාර්යයෙන් ප්‍රේම සම්බන්ධතාවක් ඇතුලෙ පැවතිය යුතු දෙයක්. ඒ ප්‍රේමය විවාහයකින් පරිපූර්ණත්වයට පත්විය යුතු එකක්. තෝමස්, සබීනා වගේ අය පවතින්නෙ කොහොමද කියල ඇයට හිතාගන්න බෑ. තමන්ගෙ පෙම්වතා ගනුදෙනු කරන අනෙක් ගැහැණුන්ට ඊර්ෂ්‍යා කරන, ඔහුව මුලුමනින්ම තමාට නතු කරගන්න උත්සහ කරන, ඇය ගතානුගතික පෙම්වතියක් තමයි..

"මම දන්නව, මට ඕන ඔයාට උදව් කරන්න. ඒත් මට ඒක කරන්න බෑ. උදව් කරනව වෙනුවට මම ඔයාට බරක් වෙලා. ජීවිතේ මට නම් මහ බරක්. ඒත් ඔයාට නම් ඒක පුදුම සැහැල්ලුවක්. මට මේ සැහැල්ලුව දරාගන්න බෑ. මේ නිදහස දරාගන්න බෑ.... මම ඒ තරම් ශක්තිමත් නෑ..."

මේ තෙරේසාගෙ වචන...

නමුත් ඔවුන් දෙදෙනා විවාහ වෙනව. මේ අතරෙ කොමියුනිස්ට් රුසියාව, චෙකොස්ලොවැකියාව ආක්‍රමණය කරනව. මේ දේශපාලන කුණාටුව මැද්දෙන් තෝමස් සහ තෙරේසා ස්විට්සර්ලන්තයෙ ජිනීවා නුවරට පළා යනව. මේ අතරෙ සබීනාත් ජිනීවා වල ඔවුන් ලඟම වාසය කරන බව තෙර්සා හොයාගන්නව. ඉන් පස්සෙ කතාව කොහොම ගලා යයිද..

චිත්‍රපටයෙ ධාවන කාලය පැය තුනකට ආසන්නයි. රූප රාමු අතරේ වේගයෙන් හුවමාරු වෙනවාට වඩා නිදහසේ එක් දර්ශනයක තරමක් වෙලා රැඳී ඉඳිමින් ඉවසිලිමත්ව ගලායන ස්වභාවය නිසා විය යුතුයි. විශේෂයෙන් තෙරේසා සහ සබීනා අතර සිදුවීම් පෙළ අරගන්න පුලුවන්. තරමක කාලයක් අරගෙන ඉතාම සෞන්දර්යාත්මකව ඒ දර්ශන කීපය නිර්මාණය කරල තිබුණ. ස්ත්‍රී ශරීරයක තියන සුන්දරවය බොහොම ආකර්ශණීයව සිනමාවට ගෙනාව චිත්‍රපටයක් විදිහට මම චිත්‍රපටය හඳුන්වා දෙන්න කැමතියි. ඒ වගේම සියුම් උපහාසාත්මක දේශපාලන යටිපෙළකුත් මේ චිත්‍රපටය පුරාම ගමන් කරනව. ස්විට්සර්ලන්තයේදි පිරිසක් අමතන චෙක් ජාතිකවාදියෙකුට සබීනා මෙහෙම කතාවක් කියනව. 

"ඔයා ඇයි මේ දේවල් මෙතන කියන්නෙ? එළියෙ ඉඳගෙන අනිත් අයට මේව කියන එක ලේසියි තමන්ගෙ රටට ගිහින් යමක් කරනවට වැඩියෙ." 

මේ වගේ සිදුවීම් ගණනාවක් මේ චිත්‍රපටයෙ දකින්න පුලුවන්.

The unbearable lightness of being අද්‍යක්ෂණය කරන්නෙ Philip Kaufman, ඒ වගේම දොස්තර තෝමස් ගේ චරිතය නිරූපණය කරන්නෙ සම්මානනීය නළුවෙක් වුණ Daniel Day Lewis. සිහින් කෙට්ටු ශරීරය, ඇස්වල සරාගික කපටි බැල්ම, උතුරා පිටාර නොඑයන යටපත් කරගත් සියුම් සිනහව එක්ක ඩැනියෙල් දොස්තර තෝමස් ගේ චරිතය එක්ක හොඳින් මුහු වෙනව. ඔහු ඇතුළු රංගනයෙන් දායක වුණු හැම කෙනෙක්ම තමන්ගෙ කොටස ඉතාම හොඳින් කරනව. යුරෝපිය සම්භාව්‍ය සංගීතය ආශ්‍රයෙන් නිම වුණු පසුබිම් සංගීතය, 60 දශකයෙ පරිසරය මාව මේ චිත්‍රපටයට තවත් ආකර්ශණය කරගත්ත කිව්වොත් හරි..

මේ චිත්‍රපටයෙ අවසානය මාව සෑහෙන කම්පනය කළ එකක්. ඒක සතුටු දායකද නැත්නම් දුක්බර ද නැත්නම් කොයි ආකරයෙද කියල විස්තර කරන්න බැරි හැඟීමක් ඉතුරු කරවන එකක්. ඒ අවසානය ගැන කියන්න පුලුවන් "කෑගහල හිනාවෙන්න පුලුවන් තරම් සතුටු දායක දුකක්" එහෙම නැත්තම් "අඬන්න හිතෙන තරමට දුක්බර සතුටක්" විදිහට. වැඩි විස්තර නොකරන්නෙ චිත්‍රපටය බලන කෙනෙකුට ඒ කුතුහලය තබාගැනීමට අවශ්‍ය නිසා. කොහොම නමුත් මේ "දරාගත නොහැකි සැහැල්ලුව" කියන යෙදුම මුලු චිත්‍රපටයෙම බර දරාගෙන ඉන්නව බව නම් ඇත්ත...






Thursday, May 30, 2019

අමතක නොවෙන තැන....



මුල් වතාවට
දෑස් මුණගැසුණු දවස ද..
අතැඟිලි එකිනෙක
පැටලුණු අයුරු ද..
කොපුල් මත විසිරුණ
කලබල හාදුව ද..
කෙටි නමුත් ඉතා දිගු
කෙටි පණිවුඩ ද..
අන්තිම වතාවට
වාඩි වී උන් බංකුව ද නොව..

අමතක කරන්න බැරි ම මට
ඇහි පිහාටුව මත
තොල් පෙති තැබූ තැන..





Wednesday, May 29, 2019

නිදහස...



පියාපතකින්
ගිලිහුණ
පිහාටුව..
උඳුපියලි 
පලසක
සුව විඳින..





වැහි වතුර



පිරීගිය පසු
සිහිල් ගං දියෙන්
වැව..
වැහි වතුර
උරුම පිටවානට..





Thursday, May 23, 2019

Jon Snow...Why not him?


Game of thrones සීසන් හතරෙ ජොෆ්‍රි මියගිහින් ටෝමන්ට රජකම ලැබුණ වෙලාවෙ ඔහුගේ සීයා ටයිවින් ලැනිස්ටර් ඔහුට කියාදෙනව රජෙක්, එහෙම නැත්නම් හොඳ පාලකයෙක් කියන්නෙ කොහොම කෙනෙක්ද කියන කාරණය. රජෙක් කිව්ව ගමන් අපේ ඔලුවට එන්නෙ රැවුල බඩ තියන දෙකේ හතරේ පිරිමියෙක්ව. තමන්ගෙ අවුරුදු ගණනාවක රාජ්‍යතාන්ත්‍රික අත්දැකීම් ඇසුරෙන් ටයිවින් කියාදෙනව අධිපතිත්වය දරන්නෙකුට තියෙන්න ඕන මූලික සුදුසුකම. රණශූරයෙක්ට නම් හැඩි දැඩි මිනිසෙක්ට නම් ගැලපෙන තැන තමා රටක ආරක්ෂාව සැලසීම, සෙන්පති ධූරය. නමුත් රජෙක් ශක්තිමත් වියයුතුයි එහි වාදයක් නෑ. පරිපාලන විශයේ අත්දැකීම් බහුල, උගත් බුද්ධිමත් කෙනෙකුට ගැලපෙන්නෙ අමාත්‍ය වරයෙක් නැත්නම් උපදේශකවරයකු ගෙ තැන. නමුත් රජෙක් නම් බුද්ධිමත් විය යුතුයි. පාලකයෙකුට තිබියයුතු වැදගත්ම ලක්ෂණය විදිහට ටයිවින් හඳුන්වා දෙන්නෙ ප්‍රඥාවන්ත කම. සුදුසු තැන්වල නියම තීරණ ගැනීමේ උපාය බුද්ධිය. නියම මිනිස්සුන් නියම තැන්වලට යෙදවීමේ දක්ෂතාවය. බ්‍රෑන් වගේ කෙනෙක්ට රජකම කොයිතරම් දුරට ගැලපෙනවද කියල බොහෝදෙනා අහන ප්‍රශ්නෙට පිළිතුර තියෙන්නෙ එතන.

ජොන් ස්නෝ මේ කතාමාලාවේ වැඩිදෙනෙකුගේ ආදරය දිනාගත්ත, සාපේක්ෂ වශයෙන් "ප්‍රධාන වීර" චරිතය බව පෙනී ගිය කාරණයක්. නමුත් ඔහුට අවසානෙ සත්‍ රාජධානෙයේම අධිපතිත්වය හිමිවෙන්නෙ නෑ. එක් හේතුවක් ඔහු ඒ වෙනකොට හිරකාරයෙක් බවට පත්ව සිටීම, අනෙක් කාරණය ඔහුට අධිපතිත්වය දැරීමට, පාලකයෙකු වීමට තිබුණ අකමැත්ත. 

ජොන් දක්ෂ සටන් කරුවෙක්. එඩිතර මිනිසෙක්. නමුත් ඔහු නයිට්ස් වොච් ප්‍රධාන අණදෙන නිලධාරි තනතුරට පත් වුණු මොහොතෙ ක්‍රියාකල ආකාරය අපි දැක්ක. ඔහුට අවශ්‍ය තමන්ගෙ කණ්ඩායමට තමන්ගෙ පිරිසට පමණක් නොවේ සියලු මිනිසුන්ට යහපත සලසන්න. යුක්තිය සහ සාධාරණත්වය එපමණයි ඔහුට අවශ්‍ය. ඔහු තද ශීත කාලයෙදි තමන්ගෙම සතුරන් වුණ වනචාරී ගෝත්‍රිකයන් ට තමන්ගෙ භූමියට ඇතුල්වෙන්න ඉඩ දෙනව. මේ නිසා ඔහුට තමන්ගෙ කණ්ඩායමේම සහෝදරයන් වෛරබඳින්න පටන්ගන්නව. සමාන්‍යන් මේ වගේ තැනකදි ජනප්‍රිය ආකල්පය තමා "අපේ උන් බේරෙන්න ඕන".. "අනිත් උන් කෙලවෙලා ගියත් අපි රැකෙන්න ඕන" කියන කාරණය. නමුත් ජොන් ස්නෝ වැඩ කරන්නෙ සියලු දෙනාම ලඟ එන අනතුරෙන් ගලවා ගන්නට. මේ නිසයි ඔහු බහුතරය මොන දෙයක් කිව්වත් පොදු සතුරා සමග සටන් කරන්න අනෙක් සතුරන් සමග එකතුවෙන්න තීරණය කරන්නෙ. ඒ නිසාමයි ජොන් ස්නෝ තමන්ගෙ ජීවිතය පවා අනතුරේ දමාගන්නෙ. 

"You know nothing Jon Snow"

යීග්‍රට් එහෙම කියන්නෙ ජොන් ගෙ ස්වභාවය මුලදිම ඈ හඳුනාත්ත නිසා වෙන්න ඕන. "කෙනෙකුට හොඳ මිනිහෙක් වීමයි දේශපාලඥයෙක් වීමයි එකවර කරන්න බෑ " මේක බොහොම ප්‍රසිද්ධ කියමනක්. ජොන් ස්නෝ ටත් අදාළ වෙන්නෙ මේ සත්‍යතාවම තමා.

ඩැනී සම්බන්ධයෙනුත් ඔහුට වෙන්නෙ ඒ දෙයමයි. ප්‍රධාන වශයෙන් වින්‍ටර්ෆෙල් ඇතුලු උතුර ආරක්ෂා කරගන්න නන්නාඳුනන රටකින් ගොඩබැස්ස කොහේවත් නැති රැජිණකට ඔහු දණ නමනව. මේ නිසා උතුරේ ජනතාව තමන්ගැන තිබ්බ ගෞරවය ඔහු යම්තරමකින් පළුදු කරගන්නව. ඩැනී සහ ජොන් අතර පැවතුන ආදරය ඇත්තටම ආදරණීය ස්වභාවයේ එකක් නෙමේ. ඒක ඔවුන්ගෙ ජීවිතවල ආදරය අහිමිවීමෙන් ඇතිවෙලා තිබුණ සදාතනික හිස්කම මකාගැනීම දුර්වල ප්‍රයත්නයක් පමණයි. ඔහු ඇත්තටම ආදරය කළේ යීග්‍රට් ට. සිහසුනට නියම උරුමයක් ඇති බව දැනගත්තත් තමා රජ වීමේ උවමනාවක් ඔහුට ඇතිවෙන්නෙ නෑ.

කිංස්ලෑන්ඩින් වල ඩැනී කල මහා විනාශයෙන් පස්සෙ ඔහු ඈ ගැන කළකිරෙනව. සටන්කරුවෙක් වුණත් සමාන්‍ය මිනිස්සු අහුරු පිටින් සමූලඝාතනය කිරීම ජොන් වගේ කෙනෙකුට කොහෙත්ම උහුලාගත හැකි දෙයක් නෙමෙයි. නමුත් ඈ මරාදමන්න තරම් ඔහු පෙළඹෙන්නෙ ඇගේ පැවැත්ම තම සහෝදර සහෝදරියන්, ඇතුළු තමා ආදරය කරන මිනිසුන්ටත් සමස්ත රාජධානියටත් තර්ජනයක් වෙන බව වටහාගත්තායින් පසුවයි..

බ්‍රෑන් ලඟට ආයෙත් ආවොත්, ඔහු රජකමට සුදුසු ඇයි කියන ප්‍රශ්නෙට තියන පිළිතුර තමා ඔහු ලඟ තියන වෙන කිසිම කෙනෙකුට නැති සුවිශේෂී හැකියාව. ඒ තමා අතීතයේ සිදුවූ සහ වර්තමානයෙ සිදුවන ඕනෑම දෙයක් දැන ගැනීමේ හැකියාව. (බ්‍රෑන්ට අනාගතය කියන්න පුලුවන්ද කියල හරියටම දන්නෙ නෑ) මේ නිසා බ්‍රෑන්ට බොරු කරන්න කාටවත් බෑ. ඔහු සියලු දේ දන්නව. ඒවගේම ඉවසිලිවන්තයි, ඔහුගෙ බුද්ධිමත් කම ගැන ගැටලුවක් නෑ. මේ විදිහට බ්‍රෑන් තරම් සිහසුනට සුදුස්සෙක් නෑ කියල අපිට හිතන්න පුලුවන්.. ඒත් ජොන්? බොහිමියානුවෙක්.. නිදහස් මිනිසෙක් විදිහට ගතකරන ජීවිතයක් තමා ඔහුට සුදුසු. වෘකයන් සමග දඩයම් කරමින්, කඩුවෙන් සටන් කරමින්, තැනින් තැනට ඇවිදිමින්, කිසිම රජෙකුට අවනත නොවන නිදහස් මිනිස්සුන් රංචුවක් සමග ජොන් ගේ රුව පහසුවෙන් ම හිතේ ඇඳගන්න පුලුවන්. ඒ ඔහු බලය මත පදනම් ව ගොඩනැගුණු මිනිසෙක් නොවන නිසා. මනුශ්‍යත්වට මත පදනම් ව ගොඩනැගුණු මිනිසෙක් නිසා..






Friday, May 10, 2019

පුපුරන ද්‍රව්‍ය


පොළිස් නිළධාරි තැන
පිරික්සා බලයි ගමන් මළු
තිබේ දැයි යම් කිසි
"පුපුරන ද්‍රව්‍ය"

මගියෙකු පිටව යයි
මුර කපොල්ලෙන් එපිටට
රැගෙන සිත තුළ
"ඇවිලෙන ද්‍රව්‍ය"