The unbearable lightness of being චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ චෙක් ජාතික ලේඛක මිලාන් කුන්දේරා ගේ, මේ නමින්ම ලියවුණු නවකතාව මුල් කරගෙන. කුන්දේරා ගැන මට මුලින්ම අහන්න ලැබෙන්නෙ මංජුල වෙඩිවර්ධන ගේ බත්තලංගුණ්ඩුව නවකතාවෙන්. එතනදි කතාවෙ ප්‍රධාන චරිතය වුණ ඇන්තනී, කල්පිටි වෙරළෙ ඉඳන් බත්තලංගුණ්ඩුව දූපතට ගමන්කරන්නේ කුන්දේරා ගේ Life in else where නවකතාවෙ සිංහල පරිවර්තනය "ජීවිතය අන්තැනක" අතින් අරගෙන. ඒ ලැබුණ ඉඟිය අනුව කුන්දේරා හොයාගෙන කියවීම කෙළවර වෙන්නෙ ඔහුගේ ලියවිලි එක්ක ආදරයෙන් බැඳෙමින්. ඔහුට අනුව අපි ජීවත්වෙන්නෙ මිනිස් පැවැත්ම ක්‍රමයෙන් කුඩාවෙමින් යන යුගයක. මිනිසා වෙනුවට ඔහුම බිහි කරගත් ආයතන වුණ දේශපාලනය, මුදල, නොයෙක් අපරාධ වලින් පිරුණු ලෝකය මිනිස් හැඟීම් යටකරගෙන නැගී හිටිනව. පැවැත්මේ මේ තත්ත්වය නිවැරදිව කියාපෑමයි ප්‍රධාන වශයෙන් ඔහුගෙ ලියවිලි වල අරමුණ වෙන්නෙ. කුන්දේරා ගේ තරුණ අවධියේදීයි කොමියුනිස්ට් රුසියාව චෙකොස්ලොවැකියාව යටත් කරගන්නෙ. මේ රුසියානු පාලනාධිකාරියට එරෙහිව චෙක් ජනසමාජයෙන් නොයෙක් විරෝධතා පැන නඟිනව. මෙන්න මේ වගේ පසුබිමකයි කුන්දේරා තමන්ගෙ ලිවීම වැඩි වර්ධනය කරගන්නේ.
චිත්‍රපටය දිහාට හැරුණොත් අපිට දැකගන්න පුලුවන් සුවිශේෂී කාරණය තමා මේක ඩ්‍රාමා/ රොමෑන්ස් වර්ගයට අයිති වුණත් සාපේක්ෂ වශයෙන් වැඩි අනුරාගික දර්ශන ගණනක් ඇතුලත් වීම. ඒ හැම දෙයක්ම කතා තේමාවට සම්බන්ධ නිසා මේ චිත්‍රපටය එරෝටික් එහෙම නැත්නම් අනුරාගික චිත්‍රපට ගණයට ඇතුලත් වෙන්න ඕන කියල මම හිතනව. නමුත් සරාගිකත්වය පසුබිම් කරගෙන විශාල ජීවන පරාසයක් මේ චිත්‍රපටයට අල්ලගන්න පුලුවන් වෙලා තියෙන්නෙ නවකතාවෙන් ලැබුණ බලපෑම නිසා වෙන්න ඇති. ඒ වගේම අනුරාගික දර්ශන ඇතුලත් රූපරාමු හැම එකක්ම ඉතාම සුවිශේෂී ආකාරයෙන් සංයමයකින් සහ කලාත්මක බවකින් නිර්මාණය කරන්න අධ්‍යක්ෂ වරයා සමත් වෙලා තියනව.
The unbearable lightness of being චිත්‍රපටය ගොඩ නැගෙන්නෙ චෙකොස්ලොවැකියාවේ ප්‍රාග් නුවර ජීවත්වෙන තෝමස් නම් වෛද්‍යවරයා මුල් කරගෙන. ඔහු බොහොම නිදහස් සහ සරාගික ජීවිත පැවැත්මක් ඇති පුද්ගලයෙක්. ඔහු වඩා වැඩියෙන් සහ වඩාත් සමීපවම සබඳතාව පවත්වාගන්නෙ ඔහුගෙන් ප්‍රතිකාර ගත් සබීනා කියන චිත්‍රශිල්පිනිය සමගයි. මෙතනදි ඔවුන් දෙදෙනාම සමානයි. දෙදෙනාටම අවශ්‍ය ඒ බැඳීම ඒ මොහොතේ දුක නිවාලන තාවකාලික අනුරාගයක් විදිහටම පවත්වාගෙන යන්න මිස ප්‍රේම සම්බන්ධයක් විදිහට වර්ධනය කරගන්න, විවාහ වෙන්න, ළමයි හදන්න නම් නොවෙයි. අපි අහල තියන ප්‍රේමයේ පරමාදර්ශයන් රාගයෙන් තොර සඳ එළිය වගේ පරම පිවිතුරු දෙයක් වුණත් ඔවුන් ඉන්නෙ ඊට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ අන්තයෙ. මේ අතරෙදියි අවන්හන්හලක් සේවය කරන තරුණ හුරුබුහුටි තෙරේසාව තෝමස් ට මුණගැහෙන්නෙ. එතැන් පටන් ඔහුගෙ ඇස් ඇය පසුපස හඹා යනව. ඉතා කෙටි හමුවකින් පස්සෙ ඔවුන් වෙන්වුණත් තෙරේසා ඔහුව හොයාගෙන ප්‍රාග් නුවරට එනව. ඉක්මනින්ම ඔවුන් අතරෙ ප්‍රේමයක් ඇතිවෙනව. නමුත් ඇය සබීනා වගේ නෙමෙයි. ඇය සහමුලින්ම වෙනස් චරිතයක්. ඇයට නම් සරාගිකත්වය අනිවාර්යයෙන් ප්‍රේම සම්බන්ධතාවක් ඇතුලෙ පැවතිය යුතු දෙයක්. ඒ ප්‍රේමය විවාහයකින් පරිපූර්ණත්වයට පත්විය යුතු එකක්. තෝමස්, සබීනා වගේ අය පවතින්නෙ කොහොමද කියල ඇයට හිතාගන්න බෑ. තමන්ගෙ පෙම්වතා ගනුදෙනු කරන අනෙක් ගැහැණුන්ට ඊර්ෂ්‍යා කරන, ඔහුව මුලුමනින්ම තමාට නතු කරගන්න උත්සහ කරන, ඇය ගතානුගතික පෙම්වතියක් තමයි..
"මම දන්නව, මට ඕන ඔයාට උදව් කරන්න. ඒත් මට ඒක කරන්න බෑ. උදව් කරනව වෙනුවට මම ඔයාට බරක් වෙලා. ජීවිතේ මට නම් මහ බරක්. ඒත් ඔයාට නම් ඒක පුදුම සැහැල්ලුවක්. මට මේ සැහැල්ලුව දරාගන්න බෑ. මේ නිදහස දරාගන්න බෑ.... මම ඒ තරම් ශක්තිමත් නෑ..."
මේ තෙරේසාගෙ වචන...
නමුත් ඔවුන් දෙදෙනා විවාහ වෙනව. මේ අතරෙ කොමියුනිස්ට් රුසියාව, චෙකොස්ලොවැකියාව ආක්‍රමණය කරනව. මේ දේශපාලන කුණාටුව මැද්දෙන් තෝමස් සහ තෙරේසා ස්විට්සර්ලන්තයෙ ජිනීවා නුවරට පළා යනව. මේ අතරෙ සබීනාත් ජිනීවා වල ඔවුන් ලඟම වාසය කරන බව තෙර්සා හොයාගන්නව. ඉන් පස්සෙ කතාව කොහොම ගලා යයිද..
චිත්‍රපටයෙ ධාවන කාලය පැය තුනකට ආසන්නයි. රූප රාමු අතරේ වේගයෙන් හුවමාරු වෙනවාට වඩා නිදහසේ එක් දර්ශනයක තරමක් වෙලා රැඳී ඉඳිමින් ඉවසිලිමත්ව ගලායන ස්වභාවය නිසා විය යුතුයි. විශේෂයෙන් තෙරේසා සහ සබීනා අතර සිදුවීම් පෙළ අරගන්න පුලුවන්. තරමක කාලයක් අරගෙන ඉතාම සෞන්දර්යාත්මකව ඒ දර්ශන කීපය නිර්මාණය කරල තිබුණ. ස්ත්‍රී ශරීරයක තියන සුන්දරවය බොහොම ආකර්ශණීයව සිනමාවට ගෙනාව චිත්‍රපටයක් විදිහට මම චිත්‍රපටය හඳුන්වා දෙන්න කැමතියි. ඒ වගේම සියුම් උපහාසාත්මක දේශපාලන යටිපෙළකුත් මේ චිත්‍රපටය පුරාම ගමන් කරනව. ස්විට්සර්ලන්තයේදි පිරිසක් අමතන චෙක් ජාතිකවාදියෙකුට සබීනා මෙහෙම කතාවක් කියනව.
"ඔයා ඇයි මේ දේවල් මෙතන කියන්නෙ? එළියෙ ඉඳගෙන අනිත් අයට මේව කියන එක ලේසියි තමන්ගෙ රටට ගිහින් යමක් කරනවට වැඩියෙ."
මේ වගේ සිදුවීම් ගණනාවක් මේ චිත්‍රපටයෙ දකින්න පුලුවන්.
The unbearable lightness of being අද්‍යක්ෂණය කරන්නෙ Philip Kaufman, ඒ වගේම දොස්තර තෝමස් ගේ චරිතය නිරූපණය කරන්නෙ සම්මානනීය නළුවෙක් වුණ Daniel Day Lewis. සිහින් කෙට්ටු ශරීරය, ඇස්වල සරාගික කපටි බැල්ම, උතුරා පිටාර නොඑයන යටපත් කරගත් සියුම් සිනහව එක්ක ඩැනියෙල් දොස්තර තෝමස් ගේ චරිතය එක්ක හොඳින් මුහු වෙනව. ඔහු ඇතුළු රංගනයෙන් දායක වුණු හැම කෙනෙක්ම තමන්ගෙ කොටස ඉතාම හොඳින් කරනව. යුරෝපිය සම්භාව්‍ය සංගීතය ආශ්‍රයෙන් නිම වුණු පසුබිම් සංගීතය, 60 දශකයෙ පරිසරය මාව මේ චිත්‍රපටයට තවත් ආකර්ශණය කරගත්ත කිව්වොත් හරි..
මේ චිත්‍රපටයෙ අවසානය මාව සෑහෙන කම්පනය කළ එකක්. ඒක සතුටු දායකද නැත්නම් දුක්බර ද නැත්නම් කොයි ආකරයෙද කියල විස්තර කරන්න බැරි හැඟීමක් ඉතුරු කරවන එකක්. ඒ අවසානය ගැන කියන්න පුලුවන් "කෑගහල හිනාවෙන්න පුලුවන් තරම් සතුටු දායක දුකක්" එහෙම නැත්තම් "අඬන්න හිතෙන තරමට දුක්බර සතුටක්" විදිහට. වැඩි විස්තර නොකරන්නෙ චිත්‍රපටය බලන කෙනෙකුට ඒ කුතුහලය තබාගැනීමට අවශ්‍ය නිසා. කොහොම නමුත් මේ "දරාගත නොහැකි සැහැල්ලුව" කියන යෙදුම මුලු චිත්‍රපටයෙම බර දරාගෙන ඉන්නව බව නම් ඇත්ත...
ඉතාමත් ලස්සන චිත්‍රපටයක්. සබීනා සහ තෙරේසා ලිංගිකත්වය දෙස බලන්නේ කෝණ දෙකකින්.චිත්‍රපටියේ අවසානය ගැන හෂාන් කියල තියෙන විදියටම නරඹලා දැන ගන්න එක තමයි හොඳ. ස්තූතියි ඔබට හෂාන් මෙවැනි සිනමා පටයක් ගැන දැනුවත් කලාට.
ReplyDelete