Thursday, October 17, 2019

රුව බැලීම


විල් පොකුණු මතින් නොව
ඉඳහිටක
අබලන්වු මාවතක
මහ වරුසාවකට පසු
ඉතිරි වැහි දිය රැඳි 
කුඩා දිය වළකින් ද
තම හැඩරුව බලයි සඳ..




Wednesday, October 16, 2019

One way street


සොඳුර මේ මඟ
තනි අතට දිවෙන මාවතකි..
ආපසු හැරීමක් නැත
පසු කළ තැන් වෙත
නැවත යෑමක් නැත..
බොහෝ උස ගොඩනැගිලි
තනි සුදු පිරියම් කළ නිවාස
පාලු තැනිතලා බිම් දෙස
ඒකාකාර බැල්මකින් බලමින්
ඉදිරියටම යනු මිස..




Monday, October 14, 2019

Midsommar (2019)


මෑතක ඉඳන් නිර්මාණයවෙන horror චිත්‍රපටි වලට එල්ලවෙන ලොකුම චෝදනාවක් තමා ඒවට බය හිතෙන්නෙ නෑ කියන එක. නමුත් මේ ඒකාකාරිත්වයෙන් මිදුණු සුවිශේෂි නිර්මාණ කීපයකුත් ඉඳහිට අපිට හමුවෙනව. Hereditary කියන්නෙ අන්න ඒ වගේ සිනමා රසිකයන් අතරෙ සෑහෙන ජනප්‍රියත්වයක් හිමිකරගත්ත සාර්ථක නිර්මාණයක්. Hereditary නිර්මාණය කළ Ari Aster ගෙ අලුත්ම සිනමාපටය Midsommar. Horror අත්දැකීම කිසිසේත්ම එවැනි දෙයක් බලාපොරොත්තු වෙන්න බැරි පරිසරයකින් මතු කරගන්න ඉතාම සුවිශේෂී නිර්මාණයක් Midsommar. භීතිය කියන දෙය මට මේ චිත්‍රපටය ඇතුලෙ හොඳින්ම දැනුන. ඇත්තටම මම ඒකට බය වුණා....!

Dani කියන්නෙ උසස් පාසල් ශිෂ්‍යාවක්. ඇගෙ සහෝදරිය, දෙමව්පියන් මරා දමල තමනුත් දිවි නසාගන්නව. මේ සිද්ධිය Dani ට බොහොම තදින් බලපානව. ඇය සම්පූර්ණයෙන්ම මානසිකව කඩාවැටෙනව. මානව විද්‍යාව හදාරන ඇගෙ පෙම්වතා Christian ගෙන් ඇයට සහයෝගයක් ලැබෙන්නෙ නෑ. මේ අතර Christian ගෙ මිතුරු කණ්ඩායමෙන් කෙනෙක් වුණ ස්වීඩන් ජාතික Pele ගෙන් ඔවුන්ට ආරාධනාවක් ලැබෙනව. ඒ ස්වීඩනයේ එක් පිටිසර ගමක පැවැත්වෙන උත්සවයකට සහභාගිවෙන්න. Christian ඇතුලු මිතුරන් පිරිස මේ ඇරයුම බාරගන්නව. Dani ත් ඔවුන් එක්ක එකතුවෙනව. ස්වීඩනයෙ අදාළ ගම්මානයට යන මිතුරන් කණ්ඩායම දකින්නෙ තැනිතලා බිම් පුරා මල් පිපුණු ගහකොළ පිරුණු බොහොම සුන්දර පරිසරයක්. ඒ වගේම තනි සුදු ඇඳුම් ඇඳගත්ත මිත්‍රශීලී මිනිසුන් කණ්ඩායමක්. නමුත් ටික දවසක් මේ ගම්මානයේ වාසය කරද්දි ඔවුන්ට දකින්න ලැබෙන්නෙ එතන තව දුරටත් ඉන්න හිතෙන දේවල් නම් නොවෙයි....!

Midsommar පැය තුනකට ආසන්න කාලයක් පුරා දිවෙන දීර්ඝ චිත්‍රපටයක්. ඒ වගේම බොහොම මන්දගාමී ස්වභාවයෙන් මේ කතාව ගලා යන්නෙ. Horror චිත්‍රපට වල බොහෝවිට දකින්න ලැබෙන උද්වේගකාරී බව මේක ඇතුලෙ දකින්න නැති තරම්. ඒ වෙනුවට චිත්‍රපටය පුරා තැවරෙන්නෙ පාලු, මූසල, ශෝකී ස්වරූපයක්. හෙමින් සීරුවේ භාවනාවකය සමවැදෙන ආකාරයෙන් බලා ඉන්න හැකි රූපරාමු අතරේ සියුම්ව භීතිය ඇඟට දැනෙන්න පටන්ගන්නව. සයිකඩෙලික ලෝකයක අතරමං වෙන ආකාරයෙන් මේ මායාමය බියකරු බව එක්ක හුදකලා වෙන්න පුලුවන්. 

බියකරු බව එක්ක Midsommar ජීවිතයේ වේදනාකාරී ස්වභාවය නිරූපණය කරනව. දෙමව්පියන්ගෙ මරණය එක්ක ලෝකයේ හුදකලා වෙන Dani ට ඉතිරි වෙන්නෙ ඇගේ පෙම්වතා පමණයි. ඇයට අවශ්‍යයි ඔහුගෙ ආදරය. නමුත් ඔහු කැමති ඇයව යම් දුරකින් තබාගන්න. මේ දුරස්ථ බව ඇයට විශාල පීඩනයක්.. ඇයට ඕන ඔහුත් සමීපයේ ඉඳන් ආදරය ලබන්න, ආදරය විඳින්න. නමුත් ඔහුගේ නොසැලකිලිමත් ස්වභාවය නිසා ඇයට ඉතිරි වන්නේ බලාපොරොත්තු කඩවීම පමණයි. (කොහොම වුණත් චිත්‍රපටයෙ අවසාන දර්ශනයෙන් මට සමාජ පීඩනය හමුවේ ප්‍රතිවීර ස්වභාවයෙන් නැගී සිට තමන්ට සිනාසුණ සමාජයට පෙරළා සිනාසුණු මිනිසා Joker සිහි වීම නම් වළක්වන්න බැරිවුණා)

Midsommar චිත්‍රපටයෙ Cinematography එක සැකයක් නැතුවම මෑතක දැක්ක හොඳම Cinematography එකක්. රූපරාමුවක Emphasize වෙන ප්‍රධාන object වලට අමතරව පසුබිමේ Objects පවා රංගනයක යෙදෙනව. එයින් මැවෙන රූපරාමුව පැතලි ස්වභාවයෙන් මිදුණු, යම් ගැඹුරක් සහිත එකක්. චිත්‍රපටයෙ සාර්ථකත්වයෙන් වැඩි ප්‍රමාණයක් මේ cinematography එක දරා ඉන්නව. චිත්‍රපටයෙ බහුලව භාවිත කරන ඇහැට ප්‍රිය සුදු පැහැයට හුරු වර්ණ රටාවත්, මධ්‍යතන යුගයට සමාන පසුබිමත් නිසා මේකෙ සයිකඩෙලික බව තවත් වැඩිවෙනව. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන මේකෙ සංගීතය. ඒ Horror බව තවත් දෙගුණ තෙගුණ කරවන්න සමත් එකක්..!

ලොව පුරා ප්‍රේක්ෂක විචාරක දෙපාර්ශවයෙන්ම පැසසුමට ලක්වුණු චිත්‍රපටයක් Midsommar. කලින් කිව්ව වගේ මේක ඉවසිලිමත් අවධානයක් ඉල්ලා සිටින චිත්‍රපටයක්. දීර්ඝ මන්දගාමී ස්වභාවය ඇතුලෙ බියකරු බව නියමාකාරයෙන් අත්විඳින්න ඒ ඉවසිලිමත් බව අවශ්‍යයි. නමුත් වෙනස්ම ආකාරයේ Horror අත්දැකීමක් විඳගන්න කැමති කෙනෙකුට නම් මේක බොහොම අපූරුවට ගැළපේවි.





Thursday, October 10, 2019

අනන්තය තරම් දිගුය රැය...

අනන්තය තරම් දිගුය රැය...

පොත් සළකුණකින්
සළකුණු කර
කියවා නිම කළ පිට
තබමි පසෙකින්
අත රැඳි පොත...

බමන හිස තුළ
නැග එන රිදුම් පිරිමැද
හැන්ඩ් ෆ්‍රී යුගලයෙන්
මිමිණෙයි ගීයක පද පෙළ..

යම් ශෝකයක්
පාලුවක්
වේදනා ඉමිහිරක්
තිබේදැයි ඒ තුළ
සොයා වෙහෙසෙයි සිත..

ඇඟිලි තුඩු අගින්
වත් පොතේ
අලුත් පිටු
සෙල්ෆි පින්තූර අතරේ
ඉබාගාතේ සැරසරයි 
නිදිබර නෙත..

මිතුරු ඇරයුම් කවුලුවක
පිපී ඇති සිනා මල් වැලක
යම් පුරුදු බවක් ඇති වග
පෙනෙනුයේ ඇයි දැන්
ලා අඳුර මඟහැර...




Wednesday, October 9, 2019

සඳ සහ මම

සඳ
වළාකුල් මඟහැර
පෙන්වයි
යම් මිනිසෙක්
ඉතිරි කළ පා සළකුණක් 
මට..

එවිට මම
පෙන්වූයෙමි සඳට
හදෙහි හරි මැද
ඈ තබා ගිය සළකුණ...



Monday, October 7, 2019

Joker (2019)


වීරයෙක් සහ දුෂ්ටයෙක් කියන්නෙ එකම කාසියක දෙපැත්තක්. හරියට Bat man සහ Joker වගෙයි. එකම සමාජ දේශපාලන පරිසරයක් ඇතුලෙ වෙනස් ආකරයෙ පෙළඹවීම් මත බිහිවෙන දෙදෙනෙක්. චිත්‍රපට ගණනාවකම Joker නිර්මාණය කර තියෙන්නෙ හිත්පිත් නැති විකාර රූපියෙක් විදිහට. Joker චිත්‍රපටයට අනුව ඔහු යම් මානසික අසමතුලිත තාවයකින් පෙළෙන අසරණයෙක්. තමන් ජීවත් වෙන සමාජ පරිසරය, රැකියාව කරන ආයතනයේ වටපිටාව මේව කොහොමත් පවතින ඇත්ත ස්වරූපයෙනම පීඩාකාරී දේවල්. Arthur Fleck නැත්නම් Joker වගේ යම් යම් දේවල් ගැන අධික සංවේදීතාවක් දක්වන කෙනෙකුට මෙය දරාගැනීමේ සීමාව ඉක්මවා යන්නක් වෙනව. තමන්ව "බයිට් එකට" ගන්න සමාජය පෙරළා නැවත "බයිට් එකට" ගන්න ඔහු පෙළඹෙනවා. එතනදි නොහිතූ විදිහට යම් පිරිසක් අතරෙ ඔහු ජනප්‍රියත්වයක් ලබාගන්න සමත් වෙනව. ජීවිතේ තමන්ට අහිමි වුණ යමක් දැන් තමන්ට ලැබෙමින් තිබෙන බව ඔහුට දැනෙන්න පටන්ගන්නව. ඒ තමා Joker ආරම්භය.

සමාජ සම්මතයන් කඩා බිඳ දමන, පරමාදර්ශ කුඩු පට්ටම් කරන චරිත වලට අතිශය වීරත්වක් ආරූඪ වීම මෑතක ඉඳන් දකින්න ලැබුණ කාරණාවක්. (උදාහරණ . වෝල්ටර් වයිට්) ඔවුන් බිහිවෙන්නෙ සමාජ ආර්ථිකමය දැඩි පීඩනයන් හමුවේ අසරණත්වයට වැටෙන තැනින්. ඉන්පස්සෙ අති විශාල ශක්තියකින් ඔවුන් නැගී සිටින්නෙ ආචාර ධර්ම ගැන නිර්මිත සීමා ඉරි මකා දමමින්. අපි මෙවැනි චරිත වලට දැඩිව ආසක්ත වීමේ හේතුව මොකක්ද ? එදිනෙදා ජීවිතේ ලබන නීරස අත්දැකීම් හමුවේ අපි තුල ඇතිවෙන සමාජ විරෝධයේ අවිඥානික මුදාහැරීමද මේ?

Joker දේශපාලන කැරළි කරුවන්ගේ සුරුවමක් බවට පත්වීම තියුණු උත්ප්‍රාසයක් ඇතිකරවන සුලුයි. නූතන පරිභෝජනවාදී තරඟකාරී සමාජය ඇතුලෙ Arthur කියන්නෙ ෆේල් චරිතයක්. ඔහු වැන්නෙකුට එහෙම ක්‍රමයක් ඇතුලෙ පවතින්න බෑ. (Arthur ගේ ඖෂධ සහනාධාරය කපාහැරීම) ඊලඟට මාධ්‍ය ඇතුලෙ ඔහුට හිමිවෙන්නෙ රතු පාවඩ දාල පිලිගැනීමක් නෙමේ. මාධ්‍යට අවශ්‍ය විකුණාගතහැකි දේවල්. Arthur ගේ විකාර රූපී ස්වභාවයෙන් ආතල් ගැනීමක් මාධ්‍ය විසින් කරන්නෙ. ඉතින් ඔහුගෙ ඒක පුද්ගල කැරැල්ල බිහිවෙන්නෙ මේ ක්‍රමයට විරුද්ධව. ඔහු දේශපාලන කැරළි කරුවන් අතරෙ වීරයෙක් වෙන්නෙ එතනින්. ඔහුගෙ රතු ඇඳුම සමාජවාදී දේශපාලනය ගැන ඉඟියක් ද? මේ ධනේශ්වර බහුතරයට එරෙහිව නැගීහිටින විකල්ප දහරාවත් අවසානෙ පවතින්නෙ ධනේශ්වර අත් අඩංගුවේ බවද මේ චිත්‍රපටයෙන් අපි දකින්නෙ?

Joker චිත්‍රපටයෙ සිනමා භාවිතාව ගැන අමුතුවෙන් යමක් කියන්න අවශ්‍ය නැති වෙන්නෙ ඒ හැම දෙයක්ම හොඳම මට්ටමක තිබුණ නිසා. විශේෂයෙන් අවසාන මිනිත්තු විස්සක වගේ කාලයෙ ලබාදෙන උද්වේගකාරී බව ඉහළම එකක්. නමුත් කතාව තව ටිකක් සවිස්තරාත්මක ඉදිරිපත් වෙන්න තිබුණා කියන දෙය පොඩි අඩුපාඩුවකට මම දකින්නෙ. අවසාන උද්වේගකාරී බව තව ටික වෙලාවක් තිබුණානම් කියල හිතුණ. 

රඟපෑම් ගැන කතාකරන්නෙ ඉතාම සතුටෙන්. මොකද Joaquin Pheonix , Walk the line චිත්‍රපටයෙන් මගෙ කැමතිම නළුවන් අතරට එකතුවී තිබුණා. ඔහුගෙන් ඊටත් වඩා උසස් මට්ටමේ රංගනයක් දකින්න තිබුණ බලාපොරොත්තුව Joker ඉහළින්ම ඉටුකලා. Marlon Brando, God father, Jack Nicholson - One few over the coucoos nest, Dustin Hoffman - Rain man වගේ කෙනෙකුට ජිවිතකාලය පුරාම මතක හිටින රංගනයන් අතරට Joaquin Pheonix ගේ Joker එකතු වෙන්නෙ කිසිම සැකයකින් තොරව. 

October 4 වෙනිදා ඉඳන් ලොව පුරා තිරගත වෙන Joker ප්‍රේක්ෂකයන්ගෙ ඉහළම ප්‍රතිචාර ලබාගන්න සමත් වී ඇති බව දකින්න ලැබන දෙයක්. නමුත් සිනමා විචාරකයින් නම් මේ චිත්‍රපටය ගැන එතරම් සුබවාදී අදහස් පළකරල නෑ. කොහොම වුණත් මේක සිනමා ශාලාවකටම ගිහින් ලබා ගන්න ඕනම අත්දැකීමක්. ලබන වසරේ Oscar සම්මානය සඳහා Joker නිර්දේශ වේවි කියා බොහෝ අය දැන්ම අනාවැකි කියන්න පටන් අරගෙන. ඒ ගැන පොඩි සැකයක් තිබුණත් Arthur Fleck චරිතය වෙනුවෙන් Joaquin Pheonix නිර්දේශ නොවුණොත් ඔය සම්මානෙන් කිසි වැඩක් නෑ කියල තමයි කියන්න වෙන්නෙ.







Wednesday, October 2, 2019

12 12 12

ලෝකයේ මුල්ම අංගසම්පූර්ණ රහස් පරීක්ෂක කතාව විදිහට සැලකෙන්නෙ Edgar Allen Poe, 1841 අවුරුද්දෙ ලියා පළකල The Murders in the Rue Morge කතාව. 1868 අවුරුද්දෙ Wilkie Collins ලියුව The Moonstone නවකතාව ලෝකයෙ මුල්ම දීර්ඝ රහස් පරික්ෂක නවකතාව විදිහට හඳුනාගැනෙනව. Allen Poe තමන්ගෙ කතාවෙන් අපරාධකරුවන් පසුපස හඹායන තියුණු ඉවක් ඇති, අතිදක්ෂයෙක් වුණ Auguste Dupin නම් රහස්පරීක්ෂක වරයා ගේ චරිතය පාථකයාට හඳුන්වා දෙනව. ඉන්පසුව ඔහු රචනා කරන කතා කිහිපයකත් මේ Auguste Dupin චරිතය දකින්න ලැබෙනව. පහුකාලීනව Arthur Conan Doyle ගෙ Sherlock Holmes, Agatha Christie ගෙ Hercules Poerot වැනි අය පිණුම් ගසන්නෙ මේ වේදිකාව මත යි. Allen Poe ගේ Auguste Dupin නොහිටින්න Conan Doyle අතින් Sherlock Holmes නිර්මාණය නොවෙන්නත් ඉඩ තිබුණා. මේ වගේ ශක්තිමත් පදනමක් මතින් ගොඩ නැගුණ රහස්පරීක්ෂක කතා කලාව අද ලෝකයෙ වැඩි පිරිසක් ආකර්ශණය කරගන්න සමත් වී ඇති කතා ප්‍රවර්ගයක් බව අමුතුවෙන් කිවයුතු නෑ.

ලෝකයේ තත්ත්වය මෙහෙම වෙද්දි කේ. ජී කරුණාතිලක, චන්දන මෙන්ඩිස් වැනි අය අතින් මේ කතා සිංහලට පරිවර්තනය වුණායින් පසුව සිංහලෙන් කියවන පාථකයා අතරේ මේ කතා උමතුවක් තරම් ජනප්‍රියත්වයට පත්වුණු වග ඇත්තක්. නමුත් සිංහල බසින් බිහිවෙන ස්වතන්ත්‍ර නිර්මාණ අතරේ මේ විදේශීය කෘති සමග සසඳන්න පුලුවන් මට්ටමේ නිර්මාණයක් බිහිවුණේ නෑ. Collins ගෙ The Moonstone කියවා ඇති අය දන්නවා එහි චරිත නිරූපණය, අවස්ථා සිදුවීම් ගලපමින් කතාව ගොඩනැංවීම කොයිතරම් ගැඹුරින් සහ පරිපූර්ණව සිදුකර තිබෙනවාද කියන කාරණය. ඉතින් දීර්ඝ රහස්පරීක්ෂක නවකතාවක් සම්පාදනය කිරීම කොයි විදිහකින්වත් ලේසි පහසු කටයුත්තක් නොවෙයි. ඉතින් මෙන්න මේ වගේ වටපිටාවක තමයි මංජුල සේනාරත්න ගෙ 12 12 12 නවකතාව පාථකයා හමුවට එන්නෙ.

19 09 29 න් අවසාන වුණ කොළඹ පොත් ප්‍රදර්ශනයෙදි 12 12 12 ට තිබුණ ඉල්ලුම දවස් දහයම එතන හිටපු කෙනෙක් විදිහට හොඳින්ම දැකගන්න හැකියාව ලැබුණ. පොත මිලදී ගන්න යනකොට වාසනාවකට වගේ මගෙ අතට ලැබුණෙ පොත් තොගයෙ අවසන් පොත. කියවන්න පටන් අරගෙන පැය 24 ක කාලයක් ඇතුලත මම පොත කියවා ඉවරකරනව. කොහොමත් ඒක කියවන්න පටන් ගත්තට පස්සෙ අතින් බිම තියන්න හිතෙන කතාවක් නෙමෙයි. පිටුවෙන් පිටුව ඉදිරියට යන්නෙ ඊළඟට මොනවද වෙන්නෙ කියන කුතුහලයෙන් මිසක් කියවන්න කම්මැලි හිතුණ එකම තැනක්වත් මට හමුවුණේ නෑ. අවසානයේ පාථකයා නොහිතනම තැනකට ගෙනියන ඒ ගොඩනැංවීම විශිෂ්ඨයි!

මුලින් සඳහන් කළා වගේ මෙවැනි නවකතාවක් සම්පාදනය කිරීම ඉතාම දුෂ්කර කාර්‍යයක්. වැදගත්ම කාරණාව කොයිම තැනකවත් පාථකයාගේ විශ්වාසය නොබිඳිය යුතුයි. චරිත වල සිතුම් පැතුම්, කතාබහ කරන දේ, ඔවුන්ගෙ හැසිරීම්, කතාව ගොඩනැගෙන පරිසරය එහි පසුබිම මේ හැම දෙයක්ම ඉතා නිවැරදිව සැබෑ ලෝකය එක්ක සමපාත වන ආකාරයට නිර්මාණය වියයුතුයි. විශේෂයෙන් දීර්ඝ කෘතියකදි නිර්මාණකරුවාට ඉඩ ලැබෙනවා හෙමින් සීරුවේ තමන්ගෙ නිමවන පරිකල්පන ලෝකයේ ගැඹුරට ගැඹුරට කිමිදෙන්න. ඒ ඇතුලෙ ඉන්න ගැහැණුන් මිනිසුන් එක්ක දුර ඇවිදන් යන්න. 12 12 12 කෘතියේ දි ඒ කරණා මැනවින් නිර්මාණය වී තිබෙනවා.

තමන් මේ කෘතිය නිම කිරීමට ප්‍රංශ පොලීසියේ ක්‍රියාපිළිවෙල, නීතිය, ඒ සම්බන්ධ වැදගත් ආයතන සවිස්තරාත්මකව අධ්‍යයනය කළ බව මංජුල සේනාරත්න මහත්මයා මේ පොතේ අවසානයේ කියා තිබෙනවා. පොත කියවාගෙන යද්දි ඒ කරුණු සත්‍ය බව ඔප්පු කරගන්න පුලුවන්. ඒ වගේම දිගු කලක් ප්‍රංශයේ වාසයේ කිරීමෙන් ලබාගත් අත්දැකීම් වලින් ඔහු "හොඳට වැඩගෙන" ඇති ආකාරය පැහැදිලියි.

12 12 12 කතාව ගොඩනැගෙන්නෙ ඒ ඒ චරිතය ලබන අත්දැකීම් ඔවුන්ගේ ක්‍රියාකාරකම් වෙන වෙන විස්තර කිරීමෙන්. කතාව ගලායන පිළිවෙල කියවන්නාගේ කුතුහලය ඉහළින්ම රඳවාගන්න සමත්වෙනව. සාමාන්‍යයෙන් මෙවැනි කතා වල දකින්න ලැබෙන්නෙ අපරාධකරුවෙක්, ඔහු පසුපස හඹා එන පොලීසිය සහ අවසානයේ දහසක් බාධක මැද අපරාධකරුවා නීතියේ රැහැනට කොටුවීමේ ක්‍රියාවලියක්. නමුත් මේ කතාවේ එය වෙනසක් කර තිබෙනවා. කොහොමත් කතාව සවිස්තරව ඉදිරිපත් කරන්න අදහසක් මට නෑ එහෙම වුණොත් මේ කතාව නොකියවූ කෙනෙක්ට වෙන්නෙ බොහොම දරුණු අසාධාරණයක්. ඒ කුතුහලය උපරිමයෙන් විඳියයුතු එකක්.

12 12 12 නමෙන් පොතේ කවරයෙන් පටන්ගෙන අන්තර්ගතය දක්වාම ඉතාම නැවුම්, නිර්මාණාත්මක කෘතියක්. උසස්ම මට්ටමෙන් මේ කටයුතු නිම කරීම වෙනුවෙන් මේ ප්‍රකාශයන්ට ස්තූතියි කියන්න කැමතියි. ඒ වගේම මේ වෙනුවන් වැය කළ නිර්මාණාත්නක ශ්‍රමය අනිවාර්යයෙන් ඇගයිය යුතුයි. පොත් කියවන්නෙක් විදිහට මගේ ප්‍රසාදය මංජුල සේනාරත්න මහත්මය ප්‍රකාශ කරන ගමන් ඔහුගේ ඉදිරි වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න සුබපතමින් මේ කෙටි සටහන අවසන් කරන්නෙ.