Monday, October 7, 2019

Joker (2019)


වීරයෙක් සහ දුෂ්ටයෙක් කියන්නෙ එකම කාසියක දෙපැත්තක්. හරියට Bat man සහ Joker වගෙයි. එකම සමාජ දේශපාලන පරිසරයක් ඇතුලෙ වෙනස් ආකරයෙ පෙළඹවීම් මත බිහිවෙන දෙදෙනෙක්. චිත්‍රපට ගණනාවකම Joker නිර්මාණය කර තියෙන්නෙ හිත්පිත් නැති විකාර රූපියෙක් විදිහට. Joker චිත්‍රපටයට අනුව ඔහු යම් මානසික අසමතුලිත තාවයකින් පෙළෙන අසරණයෙක්. තමන් ජීවත් වෙන සමාජ පරිසරය, රැකියාව කරන ආයතනයේ වටපිටාව මේව කොහොමත් පවතින ඇත්ත ස්වරූපයෙනම පීඩාකාරී දේවල්. Arthur Fleck නැත්නම් Joker වගේ යම් යම් දේවල් ගැන අධික සංවේදීතාවක් දක්වන කෙනෙකුට මෙය දරාගැනීමේ සීමාව ඉක්මවා යන්නක් වෙනව. තමන්ව "බයිට් එකට" ගන්න සමාජය පෙරළා නැවත "බයිට් එකට" ගන්න ඔහු පෙළඹෙනවා. එතනදි නොහිතූ විදිහට යම් පිරිසක් අතරෙ ඔහු ජනප්‍රියත්වයක් ලබාගන්න සමත් වෙනව. ජීවිතේ තමන්ට අහිමි වුණ යමක් දැන් තමන්ට ලැබෙමින් තිබෙන බව ඔහුට දැනෙන්න පටන්ගන්නව. ඒ තමා Joker ආරම්භය.

සමාජ සම්මතයන් කඩා බිඳ දමන, පරමාදර්ශ කුඩු පට්ටම් කරන චරිත වලට අතිශය වීරත්වක් ආරූඪ වීම මෑතක ඉඳන් දකින්න ලැබුණ කාරණාවක්. (උදාහරණ . වෝල්ටර් වයිට්) ඔවුන් බිහිවෙන්නෙ සමාජ ආර්ථිකමය දැඩි පීඩනයන් හමුවේ අසරණත්වයට වැටෙන තැනින්. ඉන්පස්සෙ අති විශාල ශක්තියකින් ඔවුන් නැගී සිටින්නෙ ආචාර ධර්ම ගැන නිර්මිත සීමා ඉරි මකා දමමින්. අපි මෙවැනි චරිත වලට දැඩිව ආසක්ත වීමේ හේතුව මොකක්ද ? එදිනෙදා ජීවිතේ ලබන නීරස අත්දැකීම් හමුවේ අපි තුල ඇතිවෙන සමාජ විරෝධයේ අවිඥානික මුදාහැරීමද මේ?

Joker දේශපාලන කැරළි කරුවන්ගේ සුරුවමක් බවට පත්වීම තියුණු උත්ප්‍රාසයක් ඇතිකරවන සුලුයි. නූතන පරිභෝජනවාදී තරඟකාරී සමාජය ඇතුලෙ Arthur කියන්නෙ ෆේල් චරිතයක්. ඔහු වැන්නෙකුට එහෙම ක්‍රමයක් ඇතුලෙ පවතින්න බෑ. (Arthur ගේ ඖෂධ සහනාධාරය කපාහැරීම) ඊලඟට මාධ්‍ය ඇතුලෙ ඔහුට හිමිවෙන්නෙ රතු පාවඩ දාල පිලිගැනීමක් නෙමේ. මාධ්‍යට අවශ්‍ය විකුණාගතහැකි දේවල්. Arthur ගේ විකාර රූපී ස්වභාවයෙන් ආතල් ගැනීමක් මාධ්‍ය විසින් කරන්නෙ. ඉතින් ඔහුගෙ ඒක පුද්ගල කැරැල්ල බිහිවෙන්නෙ මේ ක්‍රමයට විරුද්ධව. ඔහු දේශපාලන කැරළි කරුවන් අතරෙ වීරයෙක් වෙන්නෙ එතනින්. ඔහුගෙ රතු ඇඳුම සමාජවාදී දේශපාලනය ගැන ඉඟියක් ද? මේ ධනේශ්වර බහුතරයට එරෙහිව නැගීහිටින විකල්ප දහරාවත් අවසානෙ පවතින්නෙ ධනේශ්වර අත් අඩංගුවේ බවද මේ චිත්‍රපටයෙන් අපි දකින්නෙ?

Joker චිත්‍රපටයෙ සිනමා භාවිතාව ගැන අමුතුවෙන් යමක් කියන්න අවශ්‍ය නැති වෙන්නෙ ඒ හැම දෙයක්ම හොඳම මට්ටමක තිබුණ නිසා. විශේෂයෙන් අවසාන මිනිත්තු විස්සක වගේ කාලයෙ ලබාදෙන උද්වේගකාරී බව ඉහළම එකක්. නමුත් කතාව තව ටිකක් සවිස්තරාත්මක ඉදිරිපත් වෙන්න තිබුණා කියන දෙය පොඩි අඩුපාඩුවකට මම දකින්නෙ. අවසාන උද්වේගකාරී බව තව ටික වෙලාවක් තිබුණානම් කියල හිතුණ. 

රඟපෑම් ගැන කතාකරන්නෙ ඉතාම සතුටෙන්. මොකද Joaquin Pheonix , Walk the line චිත්‍රපටයෙන් මගෙ කැමතිම නළුවන් අතරට එකතුවී තිබුණා. ඔහුගෙන් ඊටත් වඩා උසස් මට්ටමේ රංගනයක් දකින්න තිබුණ බලාපොරොත්තුව Joker ඉහළින්ම ඉටුකලා. Marlon Brando, God father, Jack Nicholson - One few over the coucoos nest, Dustin Hoffman - Rain man වගේ කෙනෙකුට ජිවිතකාලය පුරාම මතක හිටින රංගනයන් අතරට Joaquin Pheonix ගේ Joker එකතු වෙන්නෙ කිසිම සැකයකින් තොරව. 

October 4 වෙනිදා ඉඳන් ලොව පුරා තිරගත වෙන Joker ප්‍රේක්ෂකයන්ගෙ ඉහළම ප්‍රතිචාර ලබාගන්න සමත් වී ඇති බව දකින්න ලැබන දෙයක්. නමුත් සිනමා විචාරකයින් නම් මේ චිත්‍රපටය ගැන එතරම් සුබවාදී අදහස් පළකරල නෑ. කොහොම වුණත් මේක සිනමා ශාලාවකටම ගිහින් ලබා ගන්න ඕනම අත්දැකීමක්. ලබන වසරේ Oscar සම්මානය සඳහා Joker නිර්දේශ වේවි කියා බොහෝ අය දැන්ම අනාවැකි කියන්න පටන් අරගෙන. ඒ ගැන පොඩි සැකයක් තිබුණත් Arthur Fleck චරිතය වෙනුවෙන් Joaquin Pheonix නිර්දේශ නොවුණොත් ඔය සම්මානෙන් කිසි වැඩක් නෑ කියල තමයි කියන්න වෙන්නෙ.







No comments:

Post a Comment