ලෝකයේ මුල්ම අංගසම්පූර්ණ රහස් පරීක්ෂක කතාව විදිහට සැලකෙන්නෙ Edgar Allen Poe, 1841 අවුරුද්දෙ ලියා පළකල The Murders in the Rue Morge කතාව. 1868 අවුරුද්දෙ Wilkie Collins ලියුව The Moonstone නවකතාව ලෝකයෙ මුල්ම දීර්ඝ රහස් පරික්ෂක නවකතාව විදිහට හඳුනාගැනෙනව. Allen Poe තමන්ගෙ කතාවෙන් අපරාධකරුවන් පසුපස හඹායන තියුණු ඉවක් ඇති, අතිදක්ෂයෙක් වුණ Auguste Dupin නම් රහස්පරීක්ෂක වරයා ගේ චරිතය පාථකයාට හඳුන්වා දෙනව. ඉන්පසුව ඔහු රචනා කරන කතා කිහිපයකත් මේ Auguste Dupin චරිතය දකින්න ලැබෙනව. පහුකාලීනව Arthur Conan Doyle ගෙ Sherlock Holmes, Agatha Christie ගෙ Hercules Poerot වැනි අය පිණුම් ගසන්නෙ මේ වේදිකාව මත යි. Allen Poe ගේ Auguste Dupin නොහිටින්න Conan Doyle අතින් Sherlock Holmes නිර්මාණය නොවෙන්නත් ඉඩ තිබුණා. මේ වගේ ශක්තිමත් පදනමක් මතින් ගොඩ නැගුණ රහස්පරීක්ෂක කතා කලාව අද ලෝකයෙ වැඩි පිරිසක් ආකර්ශණය කරගන්න සමත් වී ඇති කතා ප්‍රවර්ගයක් බව අමුතුවෙන් කිවයුතු නෑ.
ලෝකයේ තත්ත්වය මෙහෙම වෙද්දි කේ. ජී කරුණාතිලක, චන්දන මෙන්ඩිස් වැනි අය අතින් මේ කතා සිංහලට පරිවර්තනය වුණායින් පසුව සිංහලෙන් කියවන පාථකයා අතරේ මේ කතා උමතුවක් තරම් ජනප්‍රියත්වයට පත්වුණු වග ඇත්තක්. නමුත් සිංහල බසින් බිහිවෙන ස්වතන්ත්‍ර නිර්මාණ අතරේ මේ විදේශීය කෘති සමග සසඳන්න පුලුවන් මට්ටමේ නිර්මාණයක් බිහිවුණේ නෑ. Collins ගෙ The Moonstone කියවා ඇති අය දන්නවා එහි චරිත නිරූපණය, අවස්ථා සිදුවීම් ගලපමින් කතාව ගොඩනැංවීම කොයිතරම් ගැඹුරින් සහ පරිපූර්ණව සිදුකර තිබෙනවාද කියන කාරණය. ඉතින් දීර්ඝ රහස්පරීක්ෂක නවකතාවක් සම්පාදනය කිරීම කොයි විදිහකින්වත් ලේසි පහසු කටයුත්තක් නොවෙයි. ඉතින් මෙන්න මේ වගේ වටපිටාවක තමයි මංජුල සේනාරත්න ගෙ 12 12 12 නවකතාව පාථකයා හමුවට එන්නෙ.
19 09 29 න් අවසාන වුණ කොළඹ පොත් ප්‍රදර්ශනයෙදි 12 12 12 ට තිබුණ ඉල්ලුම දවස් දහයම එතන හිටපු කෙනෙක් විදිහට හොඳින්ම දැකගන්න හැකියාව ලැබුණ. පොත මිලදී ගන්න යනකොට වාසනාවකට වගේ මගෙ අතට ලැබුණෙ පොත් තොගයෙ අවසන් පොත. කියවන්න පටන් අරගෙන පැය 24 ක කාලයක් ඇතුලත මම පොත කියවා ඉවරකරනව. කොහොමත් ඒක කියවන්න පටන් ගත්තට පස්සෙ අතින් බිම තියන්න හිතෙන කතාවක් නෙමෙයි. පිටුවෙන් පිටුව ඉදිරියට යන්නෙ ඊළඟට මොනවද වෙන්නෙ කියන කුතුහලයෙන් මිසක් කියවන්න කම්මැලි හිතුණ එකම තැනක්වත් මට හමුවුණේ නෑ. අවසානයේ පාථකයා නොහිතනම තැනකට ගෙනියන ඒ ගොඩනැංවීම විශිෂ්ඨයි!
මුලින් සඳහන් කළා වගේ මෙවැනි නවකතාවක් සම්පාදනය කිරීම ඉතාම දුෂ්කර කාර්‍යයක්. වැදගත්ම කාරණාව කොයිම තැනකවත් පාථකයාගේ විශ්වාසය නොබිඳිය යුතුයි. චරිත වල සිතුම් පැතුම්, කතාබහ කරන දේ, ඔවුන්ගෙ හැසිරීම්, කතාව ගොඩනැගෙන පරිසරය එහි පසුබිම මේ හැම දෙයක්ම ඉතා නිවැරදිව සැබෑ ලෝකය එක්ක සමපාත වන ආකාරයට නිර්මාණය වියයුතුයි. විශේෂයෙන් දීර්ඝ කෘතියකදි නිර්මාණකරුවාට ඉඩ ලැබෙනවා හෙමින් සීරුවේ තමන්ගෙ නිමවන පරිකල්පන ලෝකයේ ගැඹුරට ගැඹුරට කිමිදෙන්න. ඒ ඇතුලෙ ඉන්න ගැහැණුන් මිනිසුන් එක්ක දුර ඇවිදන් යන්න. 12 12 12 කෘතියේ දි ඒ කරණා මැනවින් නිර්මාණය වී තිබෙනවා.
තමන් මේ කෘතිය නිම කිරීමට ප්‍රංශ පොලීසියේ ක්‍රියාපිළිවෙල, නීතිය, ඒ සම්බන්ධ වැදගත් ආයතන සවිස්තරාත්මකව අධ්‍යයනය කළ බව මංජුල සේනාරත්න මහත්මයා මේ පොතේ අවසානයේ කියා තිබෙනවා. පොත කියවාගෙන යද්දි ඒ කරුණු සත්‍ය බව ඔප්පු කරගන්න පුලුවන්. ඒ වගේම දිගු කලක් ප්‍රංශයේ වාසයේ කිරීමෙන් ලබාගත් අත්දැකීම් වලින් ඔහු "හොඳට වැඩගෙන" ඇති ආකාරය පැහැදිලියි.
12 12 12 කතාව ගොඩනැගෙන්නෙ ඒ ඒ චරිතය ලබන අත්දැකීම් ඔවුන්ගේ ක්‍රියාකාරකම් වෙන වෙන විස්තර කිරීමෙන්. කතාව ගලායන පිළිවෙල කියවන්නාගේ කුතුහලය ඉහළින්ම රඳවාගන්න සමත්වෙනව. සාමාන්‍යයෙන් මෙවැනි කතා වල දකින්න ලැබෙන්නෙ අපරාධකරුවෙක්, ඔහු පසුපස හඹා එන පොලීසිය සහ අවසානයේ දහසක් බාධක මැද අපරාධකරුවා නීතියේ රැහැනට කොටුවීමේ ක්‍රියාවලියක්. නමුත් මේ කතාවේ එය වෙනසක් කර තිබෙනවා. කොහොමත් කතාව සවිස්තරව ඉදිරිපත් කරන්න අදහසක් මට නෑ එහෙම වුණොත් මේ කතාව නොකියවූ කෙනෙක්ට වෙන්නෙ බොහොම දරුණු අසාධාරණයක්. ඒ කුතුහලය උපරිමයෙන් විඳියයුතු එකක්.
12 12 12 නමෙන් පොතේ කවරයෙන් පටන්ගෙන අන්තර්ගතය දක්වාම ඉතාම නැවුම්, නිර්මාණාත්මක කෘතියක්. උසස්ම මට්ටමෙන් මේ කටයුතු නිම කරීම වෙනුවෙන් මේ ප්‍රකාශයන්ට ස්තූතියි කියන්න කැමතියි. ඒ වගේම මේ වෙනුවන් වැය කළ නිර්මාණාත්නක ශ්‍රමය අනිවාර්යයෙන් ඇගයිය යුතුයි. පොත් කියවන්නෙක් විදිහට මගේ ප්‍රසාදය මංජුල සේනාරත්න මහත්මය ප්‍රකාශ කරන ගමන් ඔහුගේ ඉදිරි වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න සුබපතමින් මේ කෙටි සටහන අවසන් කරන්නෙ.
කුතුහලය පිරි වචන ..ජය
ReplyDeleteබොහොම ස්තූතියි!!!
Deleteජය..
ReplyDelete