Wednesday, November 6, 2019

To kill a mockingbird


කලු සුදු වර්ණභේද වාදය කියන්නෙ කාලයක් ඇමරිකාවේ බොහොම බරපතළව තිබුණ දෙයක්. වහල් භාවයෙන් නිදහස ලැබුවත් කලු ජාතිකයන්‍ට සමාජයෙ හිමිවුණේ පහත් තැනක්. ඉතින් ඇලබාමා ප්‍රාන්තෙ මේකොම්බ් කියන පිටිසරබද පුංචි ගම්මානෙත් මේ තත්ත්වය වැඩි වෙනසක් වුණෙ නෑ. මේ වගේ පසුබිමක මේකොම්බ් ගමෙ ජීවත්වෙන ඇටිකස් ෆින්ච් කියන නීතීඥවරයාත් එයාගෙ පුංචි දරුවන් දෙදෙනාත් වටා තමයි කතාව ගොඩනැගෙන්නෙ. ඇටිකස් මහත්මයාගෙ අවුරුදු අටක් වයස පුංචි දියණිය ජින් ලුවිස් නැත්තම් කවුරුත් කියන විදිහට "ස්කවුට්" තමා මේ කතාව අපිට කියන්නෙ. ටොම් රොබින්ස් කියන කලු ජාතිකයා අසාධාරණ විදිහට ස්ත්‍රි දූශන චොදනාවක් ලබනවා. ටොම් වෙනුවෙන් උසාවියෙ පෙනී ඉන්නෙ ඇටිකස් ෆින්ච් මහත්මයා.  මේ නිසා ජින් ලුවිස් ටත් එයාගෙ අයියාටත් පාසලෙදි නොයෙක් කෙණෙහිලිකම් වලට ලක් වෙන්න සිද්දවෙනවා. ඇටිකස් මහත්මයාත් සමාජයෙ අවමානයට ලක්වෙනව. පුංචි දරුවෙක් ගෙ ඇහින්, වැඩිහිටියන්ගෙ ලෝකයේ මේ අඳුරු පැතිකඩ පෙන්නා දෙන්නෙ වෙලාවකට පුදුමාකාර උපහාසයකින්, තවත් වෙලාවකට හදවත කම්පා කරවන තරම් සංවේදිකමකින්. කියවන්නාට කොයිමොහොතකවත් අතින් බිම  තියන්න නොහිතෙන තරම් රසවත්ව ලියවිලා තියන මේ නවකතාව පුලිස්ටර් සම්මානය පවා දිනාගෙන තියනවා. ඒ වගේම ලෝකයෙ මෙතෙක් වැඩියෙන්ම අලෙවි වුණ නවකතා අතරෙන් එකක් විදිහටත් මෙය සැලකෙනවා.  යටින් දැක්වෙන්නෙ පොතේ මගෙ හිතගත්ත තැනකින් උපුටනයක්.

 ***************************************

"ස්කවුට්...මේ නිවාඩුවෙදි හුඟක් වෙලාවට ඔයාලට එහෙම ඉන්න වේවි. ඒවගේ කරදර එනකොට මූණදෙන්න අයියයි ඔයයි පුංචි වැඩියි. ඒත් සමහර වෙලාවට කරදර මැද්දෙ අපි හොඳින් ඉන්න උත්සහ කරන්න ඕනෑ. මට කියන්න තියෙන්නෙ පුතාලා ලොකුවෙලා ආපහු හැරිල බලන දවසක පුතාට තේරේවි තාත්තා ඔයාගෙ බලාපොරොත්තු කඩකරලා නැති බව. මම ටොම් රොබින්ස් ට උදව් කලේ නැත්තම් පල්ලියට ගිහින් මගේ හිතට එකඟව දෙවියන්ට යාඤා කරන්න බෑ"

"තාත්තේ ඔයාට වැරදුනාද දන්නෙ නෑ.."

"ඒ කොහොමද දුවේ?"

"හුඟ දෙනෙක් හිතන්නෙ තාත්තා වැරදියි කියල, එයාල හරි කියල"

"ඒ අයට ඒ විදිහට හිතන්න අයිතියක් තියනවා දුවේ. ඒත් මං එයාල එක්ක ජීවත්වෙන්න කලින් මගේ හිතත් එක්ක ජීවත් වෙන්න ඕනෑ. හුඟදෙනෙක් කියන හින්දාම මගේ තීරණය වැරදි වෙන්න බෑ"

************************************

-To kill a mockingbird / Harper Lee
-සුදු කලු
-සිංහල පරිවර්තනය චිත්‍රා අයි පෙරේරා
-විදර්ශන ප්‍රකාශන


To kill a mockingbird නවකතාව ඇසුරෙන් නිමවුණු සිනමාපටයෙන්.







Monday, November 4, 2019

පැණි කුරුල්ලනේ... නිල් කොබෙයියනේ... ගිය තැනකින් වරෙල්ලා....


පෘථිවියේ ඇති ශාඛ වර්ග වලින් හරි අඩකටත් වැඩි ප්‍රමාණයක් සහ සමස්ත වනගහණයෙන් 83% ක් පමණ මේ වන විට සහමුලින්ම විනාශ වී ඇති බව සඳහන් සටහනක් මෑතකදි මුහුණු පොතේ බොහොම දෙනක් බෙදාගෙන තිබුණ. ඒවගේම නිතරම කුමක් හෝ වර්ගයක සත්ත්වයෙක් මිහිතලයෙන් වඳවී ගිය බව වාර්තා වෙනව. මේ කිසිදෙයක් මිනිස්සු හිතාමතා කළ දේවල් නොවුණත් දියුණුව සංවර්ධනය කියමින් සොබාදහමේ පැවැත්ම ගැන යන්තම් වත් නොතකා සිදුකරන මිනිස් ක්‍රියාකාරකම් වල සමස්ත ප්‍රතිඵලය මේකයි. මිනිසා කියන්නෙ සොබාදහමේ පාලකයා නොවෙයි ඔහුත් සොබාදහමේ කොටසක්. ඒ නිසා පරිසරය විනාශ කරගන්නව කියන්නෙ මිනිස්සු විනාශ කරගන්නෙ තමන්ගෙම පැවැත්මයි. මොනදේ වුණත් ගස් කොලන් සත්තු ඇළ දොළ එක්ක අමුතු රොමාන්තික බැඳීමක් මිනිස්සුන්ට තියනව. අහස උඩින් බැඳුන තුරුවියනක් යට ගලන දොලපාරක නාදය අහගෙන හමන සීතල සුළඟක පහස විඳින්න අකමැති මනුශ්‍යයෙක් මේ ලෝකෙ නැතිව ඇති. නමුත් දැන් ඔහු ආපසු හැරෙන්න නොහැකි තරම් විනාශයේ මාවතේ බොහෝ දුරක් ඇවිත්.


ලූෂන් බුලත්සිංහලගේ පද රචනාවට, සරත් දසනායක ගේ සංගීතයෙන් මිල්ටන් මල්ලවාරච්චි ගායනා කරන "පැණි කුරුල්ලනේ" ගීතය සොබාදහමේ ක්‍රමයෙන් සිදුවන විපර්යාසය අපූරුවට පෙන්වා දෙනව.



පැණි කුරුල්ලනේ ..නිල් කොබෙයියනේ
ගිය තැනකින් වරෙල්ලා
පුංචි පුතා ඇවිල්ලා...



පැණි කුරුල්ලන් නිල් කොබෙයියන් සහ නොයෙක් ආකාරයේ කුරුල්ලන් කාලයක් අපි අවට පරිසරයේ නිතර දකින්න ලැබුණ. ඒත් දැන් උන් එදා තරම් දකින්න නෑ.
අලුත් පරම්පරාවක් ලෝකෙට බිහිවෙමින් ඉන්නව "පුංචි පුතා ඇවිල්ලා" ඒත් එදා අපි එක්ක මේ ගහකොළ බෙදා ගත්ත පැණි කුරුල්ලන් නිල් කොබෙයියන් දැන් අපි අතර නෑ..



කොහෙද උන් ගියේ??



අඹ දඔ නාරං ගස් යට 
කජු පුහුලන් මොර ගස් යට
අපි වගේම ලුණු පනින්න කැට පොල විදලා..



අපේ පුංචි කාලය ගත වුණේ කජු ගස් වලට නැගල පුහුලන් කඩාගෙන කමින්, අඹ ගස් වලට පොලු ගහල අඹි ගෙඩි බිම දමමින්, කෝකිරිල්ල තුවක්කු වලින් සෙල්ලම් කරමින්, මිදෙල්ල මල් වැල් කඩාගෙන මාල හදමින්. අලුත් පරම්පරාව බිහිවෙද්දි ඉතිරි වෙලා තියෙන්නෙ අර අපිට හෙවණ දුන්න ගස් කොලන් කිසි දෙයක් නොමැති ලෝකයක්. ඔවුන් ගේ අලුත් ලෝකය අපිට වඩා බොහොම වෙනස්. මේ වෙනස ඇතිවුණේ කොහොමද...



පුංචි පුතා එන්න කලින්
උන් හිටිතැන් නැතිවුනදා
ගහට ගහක් මුණ ගැහෙන්න
බැද්ද ගිහිල්ලා..



ක්‍රමයෙන් වෙළඳ පොළ මුල් කරගත්ත පරිභෝජනවාදී ක්‍රමය බලවත් වෙද්දි ගස් පවා මුදලට විකිණී ගිහින් "ගහට ගහක් මුණගැහෙන" ලී මඩුවකින් අවසන් වෙලා.



ඇලේ වතුර නිල් කැටේට
දණ්ඩි කොරලි යන වටේට
කිමිදි කිමිදි පීනන්නට දියබුං ගහලා..



ගස් පමණක් නොවේ ඇළ දොළ වැව් වල පවා පිරිල තිබුණෙ නිල් පාට බබළන පිරිසිදු වතුර. වතුරෙ බැහැගෙන තිත්තයො, දණ්ඩි, පෙතියො, ලූල්ලු, මඩකරි, හුංගො අල්ලමින් ගතවුණේ අපේ ළමා කාලෙ. ඒත් දැන් මොකද වෙලා තියෙන්නෙ.



පුංචි පුතා එන්න කලින්
කළු දිය දහරා හැළිලා
ඇළට පාර අමතක වී මං මුලා වෙලා..



දැන් ඇළකට දොළකට බහින්න බෑ. ළඟින් යනකොටත් එන්නෙ පල් ගඳක්. ඒව අද කවුරුත් බාරගන්නෙ නැති මිනිස්සුන්ගෙ කුණු කන්දල් එකතු කරන මද්‍යස්ථාන බවට පත්වෙලා...



"ඇළට පාර අමතක වී මං මුලා වෙලා"



මුලු මිනිස් සමාජයක්ම යන්නෙ කොහෙද නොදැන මංමුලාවේ අතරමං වී ඇති බවද මේ කියන්නෙ...?



ගීතයේ සංගීතය ගැන කිව්වොත් ඒක 6/8 තාලයට තරමක් වේග රිද්මයෙන් ගලා යන්නක්. තනුව Major chords යොදාගෙන නිමවා තියෙන නිසා සතුටු දායක විනෝදජනක හැඟීම් දනවන්නක්. ඇත්තටම මේ ගීතය අහද්දි දැනෙන්නෙ සතුටු දායක බොහොම ප්‍රසන්න හැඟීමක්. නමුත් මේ ගීයේ අරුත් විමසා බැලුවොත් ඒක එහෙම විනෝදෙන් කතාකරන්න පුලුවන් දෙයක් නොවෙයි. සංගීතයෙ මිහිරියාව එක්ක බොහොම දුක්බර දෙයක් මේ ගීතය ඇතුලෙ තියෙන්නෙ. ඒ නිසා සංගීතයෙන් ගීයේ අරුත තරමකට යටපත් වෙලා තියනව. නමුත් පද රචනාව වෙනම කියවා බැලුවොත් ඒ අදහස තේරුම් ගන්න පුලුවන්.



දැන් අපි සියලු දේ අතහැරල ආපහු අතීතයට යමු කියන දේ නොවෙයි කියන්නෙ. අපි මිනිස් සංහතියේ දියුණුව කරා යන ගමන වැටිල තියෙන්නෙ සොබාදහමෙ මළගම උඩින් නම් ඒ මිනිස් වර්ගයාගෙත් මළගම බව තේරුම් ගතයුතුයි. එක්කො මිනිස්සු පරිසරයත් ආරක්ෂා වෙන ආකාරයෙ සංවර්ධන මාවතකට එන්න ඕන. නැත්නම් සියලු දේ විනාශ කරගෙන අපිත් වඳවී යන්න ඕන. දැන් මිනිස්සු වඩාත් කිට්ටු ඔය දෙවනි විසඳුමට..

මිල්ටන් මල්ලවාරච්චි

ලූෂන් බුලත්සිංහල

සරත් දසනායක


Friday, November 1, 2019

Taxi Driver (1976)


ඇඳිරි වැටීගෙන එනකොට කොළඹ නගරෙ එකම කඩිගුලක ස්වරූපයක් ගන්නව. ආකාසෙ වැහි බීරමක් එක්ක යන්තම් හීනි පොදයක් වැටෙනව දැන්. වෙහෙසකාරී බව මුහුණේ තවරාගෙන වැස්සට කලින් ගෙදර යාගන්න මිනිස්සු වේගෙන් වේගෙන් එහෙමෙහෙ දුවනව. ඔය අතරෙ ෆ්ලෝටින් මාකට් එක පැත්තෙ ඉඳන් හෙමින් හෙමින් ඇවිදගෙන එන හුදෙකලා මිනිසෙකුට දකින්න ලැබෙන්නෙ මොනවද?. එක පැත්තකින් අහසෙ ගෑවෙන නොගෑවෙන ගාණට උසට උසේ හිටගෙන ඉන්න නෙළුම් කුළුණ. ඒ එක්කම ටිකෙන් ටික උස යන නානාප්‍රකාර ගොඩනැගිලි පෙළ. නාස්පුට කඩාගෙන වදින බේරෙ වැවේ දුර්ගන්ධය. වැහි අඳුර එක්ක තැවරුණ පාලුව. හිනා මූණක් නැතුව තරඟෙට වගේ ඔහේ දුවන මිනිස්සු... මේ දේවල් මැද්දෙ හුදෙකලාවේ ඇලීගැලුනු මිනිසාට දැනෙන්නේ මොකක්ද..?

ළඟම තියන ලොතරැයි කූඩුවක ගොරහැඩි සද්දෙන් ඇහෙනව ප්‍රවෘත්ති විකාශයක්. මොනවද අපේ හුදකලා මිනිසාට අහන්න ලැබෙන්නෙ... දූෂිනය, භීෂනය අපරාධ, ඒ අතර දේශපාලකයන් ගේ සුරංගනා කතන්දර..

"මේ මොන මඟුලෙ සමාජ ක්‍රමයක්ද..!"

අපේ හුදකලා මිනිසාට හිතෙන්නෙ එහෙම. ඔහුගෙ විතරක් නොවෙයි, මේක නිව්‍ යෝක් නගරෙ තනිවම සැරිසරන මිනිසෙකුගේත් අත්දැකීම..!

Paul Shrader නම් තරුණ පිටපත් රචකයාට තමන්ගේ මේ නාගරික හුදෙකලාවේ ජීවිත අත්දැකීම සිනමාවට නගන්න ඕන වෙනව. Travis Bickle නම් ටැක්සි රියැදුරෙක් මුල් කරගෙන Taxi Driver චිත්‍රපටය නිමැවෙන්න වස්තු බීජය සැපයෙන්නෙ එහෙම.

Taxi Driver ආරම්භ වෙන්නෙ රාත්‍රියේ දුමාරය මැදින් මතුවෙන ටැක්සි රථයක දර්ශනයකින්. ටැක්සිය දුමාරයෙන් මතුවෙන්නෙ එක්තරා ආකාරයක අනපේක්ෂිත විදිහකට. හරියට වෙනත් ලෝකෙකින් ප්‍රාදූර්භූත වුණා වගේ ටැක්සි රියැදුරාගෙ ආගමනය සනිටුහන් වෙන්නෙ. ඒක මම චිත්‍රපටයක දැක්ක ප්‍රබලතම ආරම්භක දර්ශනයක්. ඊලඟට ටැක්සිය ඇතුලෙ ඉඳන් බොඳවුණු ස්වභාවයෙන් අපි දකින නගරය. Opening credits යන්නෙ ඒ අතරෙ. Travis Bickle රියැදුරු රැකියාවට ඇතුල්වෙන හැටි ඉන්පස්සෙ දර්ශන පෙළෙන් දිගහැරෙන්නෙ. 

"I cant sleep nights"

මේ තමා ඔහුගේ මුවින් ගිලිහෙන මුල්ම වචන කිහිපය. ඔහු රාත්‍රීයේ රියැදුරු රැකියාව තෝරාගන්න හේතුව තමා ඒ. ඔහු insomnia එහෙම නැත්නම් නින්ද නොයෑමේ රෝගයෙන් පෙලෙන්නෙක්. ඉන්පස්සෙ ඇතිවෙන කෙටි සංවාදය Travis ගැන මූලික තොරතුරු කීපයක් නිරාවරණය කරනව. 

ඉන්පස්සෙ මුලු චිත්‍රපටයම දුවන්නේ Travis ගේ චරිතය මුල්කරගනිමින්. ඔහු නොමැති දර්ශනයක් නැති තරමට. නාගරික තරඟකාරී ජීවිතය ඇතුලෙ දැනෙන හිස් කම පාලුව සාංකාව යටපත් කරගන්න ඔහු දරන වෙහෙස චිත්‍රපටය පුරාම තියෙන්නෙ. Travis තමන්ගෙ හුදෙකලාවේ අත්දැකීම් දිනපොතක ලියනව. ඒ සටහන් මේ චිත්‍රපටය ඇතුලෙ කතා කරනව. මේ අමුතු, හුදෙකලා මිනිසාගෙ ඇතුලාන්තය දිහාවට ආලෝක දහරක් මේ සටහන් තුළින් එල්ල වෙනව.

“Loneliness has followed me my whole life. Everywhere. In bars, in cars, sidewalks, stores, everywhere. There’s no escape. I’m God’s lonely man.”

Travis වියට්නාම් යුද්ධයට සහභාගි වුණ, ඇමරිකානු හමුදාවෙ හිටපු මැරීන් සොල්දාදුවෙක්. වියට්නාම් යුද්ධයෙන් ඇමරිකාව අන්ත පරාජයක් ලැබුවා. මේ පරාජිත මානසිකත්වයත් ඔහුගෙ ජීවිත පැවැත්මට බලපෑමක් කරන්න ඇති. මෙහෙම හුදෙකලාවේ කාලය ගත කරන අතරේ දවසක් බොහොම රූමත් තරුණියක් ඔහුගෙ ඇසගැටෙනව. එදා පටන් ඇය ලුහුබැඳ යන Travis කොහොම හරි ඇය මුණගැහෙන්න අවස්ථාවක් හදාගන්නව. නමුත් ඔවුන්ගෙ දෙවැනි මුණගැසීමෙදි ඔහු අතින් වෙන වැරැද්දක් නිසා ඇය ඔහුව සදහටම හැර යනව. Travis ආයෙමත් හිටපු තැනමයි. ඒත් පෙරටත් වඩා අමිහිරි අත්දැකීමක් එක්ක...

Taxi Driver නරඹපු කෙනෙක්ට නම් හොඳට මතක ඇති දර්ශනයක් තමා Travis තමන්ගෙ සිත්ගත් තරුණිය ඔහු හැරගියාට පසුව දුරකථනෙන් අමතමින් නැවත ඇයට සමීප වීමට දරන උත්සහය. නමුත් ඇය දිගින් දිගටම ඔහුව ප්‍රතික්ෂේප කරනව. මෙතැනදි Travis දුරකථනෙන් කතා කරමින් ඉන්න දර්ශනයෙදි රූපරාමුව ක්‍රමයෙන් Travis ගෙන් ඉවත් වෙලා දොරක් දිහාවට හැරෙනව. Travis දුරකථනෙන් කතා කරන හඬ පමණයි ප්‍රේක්ෂකයාට අහන්න ලැබෙන්නෙ. මේ අවස්ථාවෙ Travis ගේ මුහුණෙන් පළවෙන බලාපොරොත්තු කඩවීමේ හැඟීම රූප රාමුවකට ගන්න බැරි තරම් දුක්බර නිසා මෙහෙම කල බව Taxi Driver අද්‍යක්ෂ Martin Scorsece කියනව. නමුත් චිත්‍රපටයෙ අගභාගයේ දි අපි දකින ලේ වැකුණු ප්‍රචණ්ඩකාරි දර්ශන ඉතාම සවිස්තරාත්මකව රූගත කර තිබෙනවා. බලාපොරොත්තු සුන්වීම, ප්‍රතික්ෂේප කිරීම පුද්ගලයින් මරාදැමීමට වඩා දරුණු බවද මෙතනින් කියැවෙන්නෙ?

චරිත ගොඩනැංවීම හා විකාශය අතින් Taxi Driver විශිෂ්ඨ මට්ටමක තියන්න පුලුවන්. Travis අවි ආයුධ භාවිතාවට යොමුවීම එවැනි තැනක්. අවි ආයුධ ගැන පෙළඹවීම ඔහුට ලැබෙන්නෙ තමන්ගෙ සේවාව ලබාගන්න මගියෙකුගෙන් (ඒ චරිතය නිරූපණය කරන්නෙ චිත්‍රපටයෙ අද්‍යක්ෂ Martin Scorsece මයි) දවසක් වෙළෙඳසැලකට කඩාවදින මංකොල්ල කාරයෙක් මරා දැමීමෙන් මේ වීරත්වය ගැන හැඟීම ඔහුට ආරෝපණය වෙන්නෙ. දරාගත නොහැකි තරමේ හුදෙකලාව, ආදරය අහිමිවීමේ වේදනාව, ඒකාකාරී ජීවිතය, නගරය පුරා ඉන්න හිත් පිත් නැති මෝඩ මිනිස්සු, මේ හැම පීඩනයකම කෙළවර වෙන්නෙ දූෂිතයන්ගෙන් නගරය බේරාගැනීමේ මෙහෙයුම, දවසක් තමන්ගෙන් ආරක්ෂාව පැතූ තරුණිය ගලවා ගැනීමේ සටන තමන්ට පැවරුණ දේවකාරියක් ලෙස ගැනීමෙන්. 

Thank God for the rain, which has helped wash away the garbage and trash off the sidewalks. ....... All the animals come out at night – whores, skunk pennies, buggers, queens, fairies, dopers, junkies, sick, venal. Someday, a real rain will come and wash all this scum off the streets.”

Taxi Driver අපිට කතාවක් කියන්නෙ නෑ. මේ චිත්‍රපටයෙ කතන්දරයක් නෑ. යම් කාලසීමාවක් ඇතුළත Travis Bickle කියන ටැක්සි රියැදුරාගෙ ජීවිතයට සමීපව එබී බැලීමක් පමණයි. උඩින් සඳහන් කළා වගේ තිර රචක Paul Shrader, ජීවිතේ හුදෙකලාව, කාන්සාව ගැන අත්දැකීමකින් ලියන්න ආරම්භ කරත් පසුව ඒ ලිවීම තවත් ගැඹුරකට විහිදෙනව. එක මිනිසෙකු ගෙ ජීවිතයෙන් ඔහුවම පමණක් හුදෙකලාව නිරූපණය වෙනව කියල මම හිතන්නෙ නෑ. මිනිසෙක් නිතරම ඔහු ජීවත් වෙන සමාජ, දේශපාලන, ආර්ථික පරිසරයේ පිළිබිඹුවක්. නිව්යෝක් නගරෙ ටැක්සි රථයක් පදවන Travis Bickle ට ත්, කොළඹ කොටුවේ හුදකලාවේ ඇවිදයන මිනිසාටත් පොදු සත්‍ය ඒකයි. Taxi Driver චිත්‍රපටය එක් මිනිසෙක් මුල්කරගෙ මේ හැම දෙයකම තුලනාත්මකව ඉදිරිපත් වෙන ප්‍රකාශනයක් විදිහට මම දකින්නෙ.

ප.ලි - Travis Bickle ගේ චරිතය නිරූපණය කරන Robert De Niro ගේ රංගනය චිත්‍රපටයක මම මෙතෙක් දැක්ක අති විශිෂ්ඨතම රංගනයන් අතරට එකතු වෙනව! චිත්‍රපටයට අවශ්‍ය චරිතය සඳහා පුහුණු වෙන්න ඔහු දවසට පැය පහළවක් බැගින් පුරා මාසයක් ටැක්සි රියැදුරෙක් විදිහට වැඩ කරල තියනව. ඒවගේම හමුදා කඳුවුරු වලට ගිහින් සොල්දාදුවන් එක්ක කතා බහ කරල ඒව පටිගත කරගෙන ඇවිත් නැවත නැවත ඇහීමෙන් හමුදා සෙබලුන්ගෙ කතා විලාසය අද්‍යනය කරල තියනව. නිව් යෝක් නගරයේ හුදෙකලා ටැක්සි රියැදුරාගෙ චරිතය ඉතාම තාත්විකව නිරූපණය කරන්න ඔහු කොයි තරම් කැපවීමක් කර තියෙනවද කියල මෙයින් වටහගන්න පුලුවන්.







Monday, October 28, 2019

The Constant Gardner (2005)



දිලීප ජයකොඩි ගෙ "ආර්‍යා" නවකතාව එළිදැක්වීමේ උත්සවයෙදි, දේශපාලනික ත්‍රාසය (political thriller) ශොනරයට අයිතිවෙන කලා කෘති ගැන බොහොම වටින කතාවක් කළ සරත් ධර්මසිරි මහත්මය තමන්ගෙ කතාවෙදි The Constant Gardner චිත්‍රපටය ගැන සඳහන් කරනව. ඒ වෙලාවෙ එතන හිටපු Luckshman Aranwala සහෝදරයාත් මේ චිත්‍රපටය බලන්න නිර්දේශ කරනව. Constant Gardner ගැන මම දැනගන්නෙ එහෙම. 2001 අවුරුද්දෙ බ්‍රිතාන්‍යය ලේඛකයෙක් වුණ John le Carrie විසින් මේ නමින්ම ලියා පළ කරන නවකතාව මුල් කරගෙනයි Constant Gardner චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ.

බ්‍රිතාන්‍යය රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙක් වුණ Justin Quayle ට අමුතු ප්‍රශ්න අහන, කිසිකෙනෙකුට බය නැති මධ්‍යවේදිනියක්, මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වුණ Tessa මුණගැහෙන්නෙ මාධ්‍ය හමුවක දි. ඈ තමන්ගෙ වෘත්තීය ජීවිතයම කරගත්ත, තමන් කරන කාර්‍ය උපරිමයෙන් කරන්න උත්සහ දරන කෙනෙක් බවයි පෙනෙන්නෙ. Justin කියන්නෙ බොහොම මිත්‍රශීලී, හැඩි දැඩි බවෙන් තොර නිවුනු පුද්ගලයෙක්. මේ අපූරු හමුවීම තවත් දුරදිග යන්නෙ ඔවුන් අතරෙ ප්‍රේම සම්බන්ධතාවක් ඇතිකරමින්. මේ අතර රාජකාරි කටයුතු සඳහා Justin ට අප්‍රිකාව බලා යෑමට සිදුවෙනව. තමන්වත් මේ ගමනට එකතු කරගන්න කියල Tessa තදින්ම ඉල්ලාහිටිනව. අවසානෙ ඔවුන් දෙදෙනා විවාහ වෙනව. අප්‍රිකාවට පැමිණෙමින් පස්සෙ Tessa තමන්ට සුපුරුදු ගවේෂණශිලී මාධ්‍යවේදිනියගේ චරිතයට ඇතුලත් වෙනව. නමුත් Justin තමන්ගෙ බිරිඳට උපරිම නිදහස ලබා දෙනව. ඔහු ඇගේ වැඩකටයුතු ගැන හොයා බලන්නෙ නෑ. ගෙවතු අලංකරණයේ යෙදෙමින්, විසිතුරු මල් පැල අතරෙ ඔහුගෙ විවේක කාලය ගතවෙන්නෙ. දවසක් Tessa තමන්ගෙ රියදුරත් සමග දුර බැහැරකට පිටවී යන්නෙ රාජකාරි කටයුත්තකට බව පවසමින්. නමුත් ඇය ආපසු එන්නෙ නෑ. Justin ට නැවත හමුවෙන්නෙ ඇගේ මළසිරුර. රියැදුරාව මේ ඝාතනයට සැකකලත් ඔහුගේ මළසිරුරත් සොයාගන්නව. ජීවත්ව සිටි කාලයේ සොයා නොබැලූ තමන්ගෙ බිරිඳගේ තොරතුරු සොයාගෙන ඇගේ මරණයේ අබිරහස සොයායන්න Justin තීරණය කරනව.

අප්‍රිකාව හඳුන්වන්නෙ අඳුරු මහද්වීපය නමින්. නොයෙක් ආකාරයේ ලෙඩ රෝග වසංගත, නූගත් කම, දරිද්‍රතාව මේ කලාපයේ ඉහවහ ගිහින් වගේම අන්ත දූෂිත දේශපාලනය, අක්‍රමිකතා, අධිපතිවාදය, ප්‍රචණ්ඩත්වය මේ කලාපයෙ පුරාම පැතිරිලා ගිහින්. අතීතයෙදි යුරෝපීයයන් මනුශ්‍යත්වටත් නිග්‍රහ කරමින් ඔවුන්ව වහලුන් විදිහට භාවිත කලා. මිනිසෙකුට තිබියයුතු අයිතිවාසිකම් කිසිවක් ඔවුන්ට තිබුණෙ නෑ. අදටත් මේ අසරණ මිනිස් කොට්ටාසයට උදව් කරන මුවාවෙන් නොයෙකුත් බලගතු ආයතන දේශපාලනයේ හෙවණැලේ සැඟවෙමින් ඔවුන්ගේ ජීවිත සොරාගනිමින් ඉන්නව. Constant Gardner චිත්‍රපටයේ Tessa ඉදිරිපත් වෙන්නෙ මෙවැනි අසාධාරණයක් මුලු ලොවටම නිරාවරණය කර පෙන්වන්න. නමුත් සතුරා පෙනෙනවාට වඩා බලගතුයි. උගේ අඬුපඬු දික්වෙනව නොහිතන තරම් ඈතකට. මේ හතුරා එක්ක හැප්පෙන්න කාටවත් පුලුවන් කමක් නෑ. Tessa වැනි කෙනෙක් ඉඳහිටක හෝ ඌට අභියෝග කලත් එවැනි අයගෙ ජීවිත කෙළවර වෙන්නෙ ඉතා සෝචනීය විදිහට. Constant Gardner චිත්‍රපටයේ අපි දකින්නෙ ලෝක දේශපාලනයේ මේ අමානුෂික මුහුණ.

Justin සහ Tessa ගේ කතාවත් ගලා යන්නෙ මේ දේශපාලන පලහිලව් අතරේ. Justin ඇගේ වැඩකටයුතු ගැන හොයා බලන්නෙ නෑ. ඔහු ඇය ගැන නිවැරදිව වටහගන්නෙ ඈ ජීවිතයෙන් සමුගත්තට පස්සෙ. ඇයට කල නොහැකිවුණු කටයුත්ත කෙසේ හෝ අවසන් කිරීම ඔහුගෙ අරමුණ වෙන්නෙ. ඇයට , ඇගේ මතකයන්‍ට, ඇය සමග බෙදාගත් ආදරය වෙනුවෙන් ඔහුට කල හැකි හොඳම දේ තමයි ඒ. නමුත් අවසානෙ ඔහුට අත්වෙන ඉරණම මොකක්ද?

ආදරයත්, දේශපාලකයත් වගේම අපි අතරම ජීවත් වෙන එක්තරා මනුශ්‍ය කොට්ටාසයක් මුහුණ දී තියෙන අභාග්‍ය සම්පන්න ඉරණම මේ චිත්‍රපටයෙන් පෙන්වා දෙන්නෙ හද කම්පා කරවන ආකාරයෙන්. අවසානෙ Luckshman සහෝදරයාට ස්තූතියි කියන්න කැමතියි මේ චිත්‍රපටය නිර්දේශ කිරීම වෙනුවෙන්.







Friday, October 25, 2019

සුපිරි වෙළඳසැලේ දී...


"ආයුබෝවන් 
අප ආයතනයට පැමිණි ඔබ
සාදරයෙන් පිළිගනිමු"
........................

එක්වරම
හාත්පස බොඳවී
මීදුමාරෙක සැඟවිණ..

කාලය
ඔරලෝසු කටු අතරින් පැන
නතරවී ගල් ගැසිණ..

ජීවිතේ කලෙක
දහසක් දුක් තැවුල් නිවූ
එක් සමීප හඬක්
යකඩ කටකින් නික්මිණ..

කොහි වෙත් ද ඒ රුව
සිසාරා බැලීමි අවට
කිසිවක් නොවී වෙන
හිස් හිස් ම මිස...

සොයන්නේ කොතැනින්ද
දෙනෝදහසක් මැද...
හමන්නේ ඇයි ද
පුරුදු මල් සුවඳක් ගෙන
සුළඟත් මා වට..
පැමිණියේ කෙළෙසද
මා මෙතැනට...
..............................

"කරුණාකර
පිටවීම සඳහා අංක දෙක දොරටුව භාවිත කරන්න"
.................................

අවනත වීමි
එවර මා ඇයට..



Thursday, October 24, 2019

Parasite (2019, භාෂාව - කොරියන් )


මේ ලෝකෙ "දුප්පත්" සහ "පොහොසත්" වශයෙන් මිනිස්සු වර්ග දෙකකට බෙදල තියනව. මේ බෙදුම් රේඛාවන් කොයි තරම් සාධාරණද සහ ඍජුවම මේ දෙකොට්ටාසයටම ඇතුලත් කරන්න බැරි අය හඳුන්වන්නෙ මොන නමින් ද කියන කාරණය පැත්තකින් තිබ්බොත්, ආර්ථික වශයෙන් මේ "ඇති" "නැති" පරතරය පැහැදිලිවම සමාජයෙ දැකගන්න පුලුවන්. "පොහොසත්" නමින් හඳුන්වන්නෙ පාරම්පරිකව විශාල ධනයකට උරුමකම් කියන නැතිනම් සාපේක්ෂ වශයෙන් ඉහළ ආදායමකට උරුමකම් කියන, උසස් යනුවෙන් සම්මත සමාජ තලයක වැජඹෙන්න හැකියාවක් ඇති පිරිසකට. මේ අය ගණනින් ඉතාම කුඩායි. ඒ අනුව "දුප්පත්" යනුවෙන් හඳුන්වන්නෙ පවුල් පසුබිමෙන්ම සමාජයෙ පහළ කොටසකට අයිති වෙන නැත්නම් සාපේක්ෂව අඩු අදායම් ලබන සමාජය පිලිගත් ජීවන තත්ත්වයක් පවත්වාගන්න අසමත් පිරිසකට. මේ අය ගණනින් බොහොම වැඩියි. අපි දන්නව අපි ජීවත් වෙන්නෙ පූර්ණ වශයෙන් නොවුනත් වෙළෙඳ පොළ මුල්කරගත්ත ධනවාදී අර්ථක්‍රමයක් ඇතුලෙ බව. මේ ක්‍රමය පවතින්නෙ තරඟකාරී වෙළඳපොල මත. මූලික අවශ්‍යතා සපුරාගන්න නැත්නම් සමාජය පිළිගත් ජීවන තත්ත්වයක් පවත්වාගන්න අවශ්‍ය භාණ්ඩ සේවා පරිභෝජනය කරන්න ඒ සඳහා නියමිත මිලක් ගෙවිය යුතුයි. කෙනෙකුගේ ජීවන තත්ත්වය තීරණය වෙන්නෙ මේ මිලදී ගැනීමේ හැකියාව උඩ. එතනදි පුද්ගලික දේපළ හිමිකාරත්වය ගැන රජයෙ මැදහත්වීම අවමයි. ඒ වගේම සමාජයෙ යම් ඉහළ තලයකට යන්න නම් කෙනෙක් ඒ සඳහා අභියෝගය ගණනාවක් ජයගන්න ඕන. රජය විසින් සහතික කරන්නෙ මූලික අවශ්‍යතාවන් කිහිපයක් පමණයි. කොමියුනිස්ට් ක්‍රමයකදි වගේ මෙතනදි හැම පුරවැසියෙකුටම ගෙයක්, වාහනයක්, රැකියාවක් රජය විසින් සහතික කරන්නෙ නෑ. ඉතින් මේ තරඟය ඇතුලෙ සාර්ථක වෙන සුලු පිරිසක් සමාජෙ ඉහළ තලයට ලඟා වෙනව. එතනදි අසමත් වෙන බහුතරය පතුලේම රැඳෙනව. මේක සෑහෙන ලොකු පංති විෂමතාවකට හේතුවෙනව. ධනවාදී ක්‍රමයට තියන ලොකුම විවේචනයක් තමා මේ පංති පරතරයක් බිහිවීම. මේ විෂමතාව සමාජ ගැටලු ගණනාවකට මුල් වෙනව. "නැති බැරි" මිනිස්සුත් පැවතිය යුතුයි. හිඟකමකින් තොරව දේවල් පරිභෝනය කරන්න ඔවුන්ටත් අවශ්‍යයි. ඉතින් මේ අයට තමන්ගෙ පැවැත්ම හදාගන්න නොයෙක් දේවල් කරන්න සිද්දවෙනව. සමහරු නීතියට පිටින් පවා යනව. Parasite චිත්‍රපටයෙ ඇතුලත් වෙන්නෙ තමන්ගෙ නැතිබැරි කම් වලින් ගොඩ එන්න අපූරු උපක්‍රමයක් යොදාගන්න දුප්පත් පවුලක් හා බැඳුනු කතාවක්. 

"උගතුන්ගෙ දශකය ඉවරයි, දැන් ගතවෙන්නෙ දක්ශයින් ගේ දශකය"
කූඹියෝ නාට්‍යයේ බොහොම ප්‍රසිද්ධ දෙබසක් තමා ඒ. වර්තමානයෙදි කෙනෙකුගෙ පැවැත්ම තීරණය වෙන්නෙ ඔහුට තියන දැනුම, පාස් කරල තියන විභාග වලට වඩා ඔහුට දේවල් කරන්න තියන හැකියාව, භාෂාව පාවිච්චි කරල දේවල් මවා පෙන්වීමේ හැකියාව මත. අද වෙනකොට සමාජයෙ ඉහළට යන්න නම් මේ දේවල් තියෙන්නම ඕන. ජෙහාන් ලා වගේ Con Artist කලාව ප්‍රගුණ කල චරිත බිහිවෙන්නෙ මේ ධර්මතාව අනුව යමින්. රැවටීම, මුලා කිරීම අපේ බාසාවෙන් කොව්වොත් මිනිස්සු ඇන්දීම සමාජෙ පුරා පැතිරිලා ගිහින්. Parasite චිත්‍රපටයෙත් මේ තත්ත්වය අපිට හොඳින්ම බලාගන්න පුලුවන්. නමුත් එතනදි සමූහයක් විදිහට මේ ආර්ථික පීඩාව සමාජෙ කොච්චර ඔඩුදුවලද කියන දෙය හොඳින්ම නිරූපණය වෙනව.

Parasite අද්‍යක්ෂණය කරන්නෙ මේ වෙද්දි කොරියානු සිනමාවෙ ඉන්න විශිෂ්ඨයෙක් වුණ Bong - Joon-ho. (The host, Memories of Murders, Snowpirecer, Okja ඔහුගේ අද්‍යක්ෂණයෙන් බිහිවුණ නිර්මාණ). Parasite 2019 අවුරුද්දෙ සුප්‍රසිද්ධ කාන්ස් සිනමා සම්මාන උළලේ පිරිනැමෙන ඉහළම සම්මානය වෙන Palme d,Or සම්මානය දිනාගන්න සමත්වෙනව. Palme d,Or සම්මානය දිනාගන්න මුල්ම කොරියානු චිත්‍රපටය වෙන්නෙ Parasite. කැමරාකරණය, දෙබස්, රඟපෑම්, පිටපත සිනමාවෙ මේ තාක්ෂණික අනුපාන හැම දෙයක්ම ඉතාම හොඳින් භාවිතා කර තිබුණා. නරඹන්නන්ගෙ ආකර්ශණය දිනාගත්ත කොරියානු සිනමාපට ගණනාවකම රංගනයෙන් දායක වුණ Kang Ho-Song මේ චිත්‍රපටයෙ කතාවට මුල් වෙන දුප්පත් පවුලේ පියාගෙ චරිත‍ය රඟදක්වනව. උපහාසාත්මක බව වගේම කුතුහලයත්, හද කම්පා කරන අනුවේදනීය බවත් මුහුවෙලා තිබුණෙ අවස්ථාකුලව. Parasite විශාල වශයෙන් ප්‍රේක්ෂක, විචාරක ආකර්ශණය දිනාගන්න සමත්වෙන්නෙ නූතන සමාජ යථාර්ථය නිවැරදිව අල්ලගෙන, ඉතාම සිනමාරූපිව ප්‍රතිනිර්මාණය කර තිබෙන නිසා. 2019 අවුරුද්දෙ විතරක් නෙමේ මේ දශකයෙ බිහිවුණ හොඳම චිත්‍රපට අතරට සැකයක් නැතුවම එකතු කරන්න පුලුවන් පරිසමාප්ත සිනමා නිර්මාණයක් Parasite.











Bong - Joon-ho (දකුණු පස) සහ Kang Ho-Song (වම් පස)කාන්ස් සිනමා සම්මාන උළලේ Palme d,Or සම්මානය සමග



Tuesday, October 22, 2019

ගුම් - බටුවන්ගල රාහුල හිමි

මලින් මලට පියාඹායන මී මැස්සන් අපි අනන්තවත් දැක ඇති. ඒ වගේම ගස් අතු අතර ඉදි කර ඇති මී වද අපි ඕනෑ තරම් දැක ඇති. ඒත් මේ හැමදෙයක්ම පිටුපස තියෙන මී මැස්සන්ගෙ සංකීර්ණ සමාජ සංවිධානය ගැන අපි දන්නෙ මොනවද? හැම වෙලාවකම මී වදයක් ගොඩනැගෙන්නෙ "රැජිනක්" නමින් හඳුන්වන මී මැස්සියක වටා. ඈ වටා එකතු වෙන අනුගාමික පිරිසක් තමා මේ අපූරු නිමැවුම ඉදිකරන්නෙ. රැජින කවා පොවා පෝෂණය කිරීම, ආහාර සොයා යෑම, ලැබෙන මී පැණි නියමාකාරයෙන් තැන්පත් කර මී වදය ඉදිකිරීම, සතුරන්ගෙන් ආරක්ෂා කරගැනීම, මේ ප්‍රධාන වැඩකටයුතු හැමදෙයක්ම සිදුවෙන්නෙ ගැහැණු මැස්සන් අතින්. පිරිමි මී මැස්සන්ට අයිති එකම කාර්‍ය ගැහැණු සතුන් ගෙනෙන ආහාර වළඳමින් වර්ගයා බෝකිරීමට දායකවීම පමණයි!!

ගුම් නවකතාවෙන් මී මැසි ජීවිතය ගැන මේ වගේ අපූරු තොරතුරු බොහෝමයක් අනාවරණය වෙනවා. ඒ නවකතාවෙ මූලික කතාවට සමගාමීව. ප්‍රධාන වශයෙන් මේ නවකතාව ගොඩනැගෙන්නෙ ජයතුපාල කියන දුප්පත් අසරණ තරුණයෙක් මුල් කරගෙන. ජයතුපාල ගෙ මව්පියන් ඔහු ළබාල වයසෙදි ම අහිමි වෙනව. ඉන්න තිබුණ ගෙයත් ගමේ මුදලාලි කෙනෙකුට සින්න වෙනව. ජයතුපාලට කාත් කවුරුත් නෑ, ඉන්න හිටින්න තැනක් නෑ. ඔහුට ඉතුරු වෙන්නෙ ගම වටා පැතුරුණ ගණ කැලෑව පමණයි. කැලෑව කියන්නෙ ජයතුපාලට ගෙදර වගේ තැනක්. එතැන හැම සතෙක් සිව්පාවෙක්ම ගහක් කොළක් ම ඔහු හොඳින් හඳුනනව. චීන මහත්තයාව ජයතුපාලට මුණගැහෙන්නෙ කැලෑව ඇතුලෙ ඇවිදිමින් ඉන්නකොටයි. කැළෑව ඇතුලෙ අක්කර ගණනාවක් එළිකරන මේ අපූරු චීන ජාතිකයා හෙවත් චීන මහත්තයා මී මැස්සන් ඇති දැඩි කර මී පැණි නිෂ්පාදනය කරන කම්හලක් ආරම්භකරනව. මී මැසි පෙට්ටි වලට කඩා පනින වඳුරන් එලවන්න ඉදිරිපත් වෙන ජයතුපාල මී මැසි ගමේ ආරක්ෂකයා බවට පත්වෙනව. ඔහුට වාසස්ථානයකුත් මී මැසි ගමෙන් ම ලැබෙනව. වඳුරන් එළවන්න හදාගත්ත ගැට ඉන්නත් අතේ තබාගෙන මී මැසි ගම වටා කැලෑවේ ඇවිදීමෙන් ජයතුපාල ගේ කාලය ගතවෙන්නෙ. මී පැණි කම්හලේ වැඩට එන පබසරා, ජයතුපාල ගෙ ඇසගැටෙන්නෙ ඔය අතරෙ. දුර ඉඳන් බෙදාහදාගන්න හිනාවකින් පටන්ගන්න මේ අපූරු බැඳීම කෙළවර වෙන්නෙ ජයතුපාල ගෙ කැළෑ ගමන් වලට පබසරාත් එක්වීමෙන්. මෙහෙම කාලය ගතවෙන අතරෙ දවසක හැමදෙයක්ම වෙනස් වෙනව. මී පැණි කම්හල සීමිත සමාගමක් බවට පත්වෙනව. හැම දෙයක්ම තවත් ඔපමට්ටම් වෙලා තව ක්‍රමානුකූල වෙනව. ජයතුපාල ගෙ කබල් සරම නිල ඇඳුමකට හුවමාරු වෙනව. ගැට ඉන්න වෙනුවට තුවක්කුවක් අතට එනව. වැඩට එන වෙලාවට යන වෙලාවට අත්සන් කරන්න වෙනව. පබසරාටත් සීත කාමරයක වැදගත් රැකියාවක් ලැබෙනව. සරමක් පිටින් කැලෑවෙ ඇවිද ඇවිද හිටිය ජයතුපාලට මේක මහ වදයක්. තමන් හිරගෙදරක දැම්ම වගේ හැඟීමක් ඔහුට දැනෙන්නෙ. ඉතින් ජයතුපාල, පබසරා, චීන මහත්තයා ..මේ අයගෙ ඉරණම් කොහොමද විසඳෙන්නෙ..?

උදේම බස් කෝච්චි වල තෙරපි තෙරපී වැඩට ගිහින් හොදටම හෙම්බත් වෙලා හවසට ගෙදර එන ජනතාවක් විදිහට ජයතුපාල, පබසරා, චීන මහත්තයා ගැන අපිට හරි සමීප බවක් දැනෙන්නෙ ඒ අය තුලින් අපේම එදිනෙදා ජීවිත අත්දැකීම් නැවත අපිටම කියවාගන්න ලැබෙන නිසා. උදාහරණයක් විදිහට ජයතුපාලට වඳුරන් ගේ මළ සිරුරු වළදැමීමට සිද්ද වෙන තැන ඔහු කියනව මේ රස්සා කෙරුවාව අප්පිරිය වුණා කියල. ඒක බොහෝ වෙලාවට රැකියා ජීවිතය ඇතුලෙ අපෙත් අත්දැකීම එක්ක සමපාත වෙන දෙයක්. නමුත් වැඩකාර මැස්සන් වගේ ප්‍රශ්න කිරීමකින් තොරවම කොහොම හරි යාන්ත්‍රිකවම වගේ මේ දේවල් කරන්න අපි පුරුදුවෙලා. මෙතැනදි මේ වැඩ කරන ජනතාව මී වදයේ වැඩකරන මැස්සන් එක්ක හරි අපූරුවට සැසඳෙනව. මී වදයක ඉන්නෙ එක රැජිණයි. අවශේෂ මැස්සන් ගණනින් ඉතාම වැඩියි. නමුත් සහජයෙන්ම ඔවුන් රැජිණට කීකරුයි. ඒ වගේම මීමැසි ජනපද වල දි මිනිස්සු මී මැස්සන දුක් විදල නිපදවපු මී පැණි ඔවුන්ගෙන් උදුරාගනිද්දි මී මැස්සන් උත්සහ කරන්නෙ තමන්ගෙ වදය ආරක්ෂා කරගැනීමට උත්සහදැරීම පමණයි. මී මැසි ජනපදයේ සියලු මැස්සන් එකතු වුණ දවසට කිසිම කෙනෙකුට පරදවන්න බැරි බලවේගයක් නිර්මාණය වෙන බව ඔවුන් හිතන්නෙ නෑ. ඔවුන් එක්තරා අකාරයට පහුණු කරගත්ත සම්ප්‍රදායකට අනුව යාන්ත්‍රිකවයි ක්‍රියා කරන්නෙ. ඉතින් මේක අපිට පුලුවන් අපේ ජීවිත එක්ක සසඳා බලන්න.  ජීවිතේ සියලු කඩා වැටීම් හමුවේ ජයතුපාල තමන් කවුද කියල නිවැරදිව හඳුනා ගන්න තැන මේ කතාවේ සුවිශේෂි තැනක් විදිහට මම දකිනව. නමුත් එ තැනට එන්න ඔහුට පහු කරන්න සිද්ද වෙන සීමා කඩයිම් නම් ලේසි පහසු දේවල් නොවෙයි. එතනදි ඔහු අතේ තියන ගැට ඉන්න විශේෂ භුමිකාවක් රඟදක්වනව. කිසිම ප්‍රාණයක් නැති අජීවී වස්තුවක් ජීවිතය එක්ක ගලපල කතුවරයා ඉදිරිපත් කර ඇති ආකාරය අපූරුයි. කතුවරයා තම ජීවිත අවබෝධය මේ ප්‍රබන්ධය පුරා මුහුකර ඇති ආකාරය ඉතාම ආකර්ශණීයයි. අනවශ්‍ය තරම් දීර්ඝ නොවීමත් කෙටියෙන් නමුත් රසවත්ව කතාව ඉදිරිපත් කර තිබීමත් නිසා කියවීමට පහසුයි. ගුම් නවකතාව මම ඉතාම ඉහළින් රසවින්ද නවකතාවක් වුණා.