මලින් මලට පියාඹායන මී මැස්සන් අපි අනන්තවත් දැක ඇති. ඒ වගේම ගස් අතු අතර ඉදි කර ඇති මී වද අපි ඕනෑ තරම් දැක ඇති. ඒත් මේ හැමදෙයක්ම පිටුපස තියෙන මී මැස්සන්ගෙ සංකීර්ණ සමාජ සංවිධානය ගැන අපි දන්නෙ මොනවද? හැම වෙලාවකම මී වදයක් ගොඩනැගෙන්නෙ "රැජිනක්" නමින් හඳුන්වන මී මැස්සියක වටා. ඈ වටා එකතු වෙන අනුගාමික පිරිසක් තමා මේ අපූරු නිමැවුම ඉදිකරන්නෙ. රැජින කවා පොවා පෝෂණය කිරීම, ආහාර සොයා යෑම, ලැබෙන මී පැණි නියමාකාරයෙන් තැන්පත් කර මී වදය ඉදිකිරීම, සතුරන්ගෙන් ආරක්ෂා කරගැනීම, මේ ප්‍රධාන වැඩකටයුතු හැමදෙයක්ම සිදුවෙන්නෙ ගැහැණු මැස්සන් අතින්. පිරිමි මී මැස්සන්ට අයිති එකම කාර්‍ය ගැහැණු සතුන් ගෙනෙන ආහාර වළඳමින් වර්ගයා බෝකිරීමට දායකවීම පමණයි!!
ගුම් නවකතාවෙන් මී මැසි ජීවිතය ගැන මේ වගේ අපූරු තොරතුරු බොහෝමයක් අනාවරණය වෙනවා. ඒ නවකතාවෙ මූලික කතාවට සමගාමීව. ප්‍රධාන වශයෙන් මේ නවකතාව ගොඩනැගෙන්නෙ ජයතුපාල කියන දුප්පත් අසරණ තරුණයෙක් මුල් කරගෙන. ජයතුපාල ගෙ මව්පියන් ඔහු ළබාල වයසෙදි ම අහිමි වෙනව. ඉන්න තිබුණ ගෙයත් ගමේ මුදලාලි කෙනෙකුට සින්න වෙනව. ජයතුපාලට කාත් කවුරුත් නෑ, ඉන්න හිටින්න තැනක් නෑ. ඔහුට ඉතුරු වෙන්නෙ ගම වටා පැතුරුණ ගණ කැලෑව පමණයි. කැලෑව කියන්නෙ ජයතුපාලට ගෙදර වගේ තැනක්. එතැන හැම සතෙක් සිව්පාවෙක්ම ගහක් කොළක් ම ඔහු හොඳින් හඳුනනව. චීන මහත්තයාව ජයතුපාලට මුණගැහෙන්නෙ කැලෑව ඇතුලෙ ඇවිදිමින් ඉන්නකොටයි. කැළෑව ඇතුලෙ අක්කර ගණනාවක් එළිකරන මේ අපූරු චීන ජාතිකයා හෙවත් චීන මහත්තයා මී මැස්සන් ඇති දැඩි කර මී පැණි නිෂ්පාදනය කරන කම්හලක් ආරම්භකරනව. මී මැසි පෙට්ටි වලට කඩා පනින වඳුරන් එලවන්න ඉදිරිපත් වෙන ජයතුපාල මී මැසි ගමේ ආරක්ෂකයා බවට පත්වෙනව. ඔහුට වාසස්ථානයකුත් මී මැසි ගමෙන් ම ලැබෙනව. වඳුරන් එළවන්න හදාගත්ත ගැට ඉන්නත් අතේ තබාගෙන මී මැසි ගම වටා කැලෑවේ ඇවිදීමෙන් ජයතුපාල ගේ කාලය ගතවෙන්නෙ. මී පැණි කම්හලේ වැඩට එන පබසරා, ජයතුපාල ගෙ ඇසගැටෙන්නෙ ඔය අතරෙ. දුර ඉඳන් බෙදාහදාගන්න හිනාවකින් පටන්ගන්න මේ අපූරු බැඳීම කෙළවර වෙන්නෙ ජයතුපාල ගෙ කැළෑ ගමන් වලට පබසරාත් එක්වීමෙන්. මෙහෙම කාලය ගතවෙන අතරෙ දවසක හැමදෙයක්ම වෙනස් වෙනව. මී පැණි කම්හල සීමිත සමාගමක් බවට පත්වෙනව. හැම දෙයක්ම තවත් ඔපමට්ටම් වෙලා තව ක්‍රමානුකූල වෙනව. ජයතුපාල ගෙ කබල් සරම නිල ඇඳුමකට හුවමාරු වෙනව. ගැට ඉන්න වෙනුවට තුවක්කුවක් අතට එනව. වැඩට එන වෙලාවට යන වෙලාවට අත්සන් කරන්න වෙනව. පබසරාටත් සීත කාමරයක වැදගත් රැකියාවක් ලැබෙනව. සරමක් පිටින් කැලෑවෙ ඇවිද ඇවිද හිටිය ජයතුපාලට මේක මහ වදයක්. තමන් හිරගෙදරක දැම්ම වගේ හැඟීමක් ඔහුට දැනෙන්නෙ. ඉතින් ජයතුපාල, පබසරා, චීන මහත්තයා ..මේ අයගෙ ඉරණම් කොහොමද විසඳෙන්නෙ..?
උදේම බස් කෝච්චි වල තෙරපි තෙරපී වැඩට ගිහින් හොදටම හෙම්බත් වෙලා හවසට ගෙදර එන ජනතාවක් විදිහට ජයතුපාල, පබසරා, චීන මහත්තයා ගැන අපිට හරි සමීප බවක් දැනෙන්නෙ ඒ අය තුලින් අපේම එදිනෙදා ජීවිත අත්දැකීම් නැවත අපිටම කියවාගන්න ලැබෙන නිසා. උදාහරණයක් විදිහට ජයතුපාලට වඳුරන් ගේ මළ සිරුරු වළදැමීමට සිද්ද වෙන තැන ඔහු කියනව මේ රස්සා කෙරුවාව අප්පිරිය වුණා කියල. ඒක බොහෝ වෙලාවට රැකියා ජීවිතය ඇතුලෙ අපෙත් අත්දැකීම එක්ක සමපාත වෙන දෙයක්. නමුත් වැඩකාර මැස්සන් වගේ ප්‍රශ්න කිරීමකින් තොරවම කොහොම හරි යාන්ත්‍රිකවම වගේ මේ දේවල් කරන්න අපි පුරුදුවෙලා. මෙතැනදි මේ වැඩ කරන ජනතාව මී වදයේ වැඩකරන මැස්සන් එක්ක හරි අපූරුවට සැසඳෙනව. මී වදයක ඉන්නෙ එක රැජිණයි. අවශේෂ මැස්සන් ගණනින් ඉතාම වැඩියි. නමුත් සහජයෙන්ම ඔවුන් රැජිණට කීකරුයි. ඒ වගේම මීමැසි ජනපද වල දි මිනිස්සු මී මැස්සන දුක් විදල නිපදවපු මී පැණි ඔවුන්ගෙන් උදුරාගනිද්දි මී මැස්සන් උත්සහ කරන්නෙ තමන්ගෙ වදය ආරක්ෂා කරගැනීමට උත්සහදැරීම පමණයි. මී මැසි ජනපදයේ සියලු මැස්සන් එකතු වුණ දවසට කිසිම කෙනෙකුට පරදවන්න බැරි බලවේගයක් නිර්මාණය වෙන බව ඔවුන් හිතන්නෙ නෑ. ඔවුන් එක්තරා අකාරයට පහුණු කරගත්ත සම්ප්‍රදායකට අනුව යාන්ත්‍රිකවයි ක්‍රියා කරන්නෙ. ඉතින් මේක අපිට පුලුවන් අපේ ජීවිත එක්ක සසඳා බලන්න. ජීවිතේ සියලු කඩා වැටීම් හමුවේ ජයතුපාල තමන් කවුද කියල නිවැරදිව හඳුනා ගන්න තැන මේ කතාවේ සුවිශේෂි තැනක් විදිහට මම දකිනව. නමුත් එ තැනට එන්න ඔහුට පහු කරන්න සිද්ද වෙන සීමා කඩයිම් නම් ලේසි පහසු දේවල් නොවෙයි. එතනදි ඔහු අතේ තියන ගැට ඉන්න විශේෂ භුමිකාවක් රඟදක්වනව. කිසිම ප්‍රාණයක් නැති අජීවී වස්තුවක් ජීවිතය එක්ක ගලපල කතුවරයා ඉදිරිපත් කර ඇති ආකාරය අපූරුයි. කතුවරයා තම ජීවිත අවබෝධය මේ ප්‍රබන්ධය පුරා මුහුකර ඇති ආකාරය ඉතාම ආකර්ශණීයයි. අනවශ්‍ය තරම් දීර්ඝ නොවීමත් කෙටියෙන් නමුත් රසවත්ව කතාව ඉදිරිපත් කර තිබීමත් නිසා කියවීමට පහසුයි. ගුම් නවකතාව මම ඉතාම ඉහළින් රසවින්ද නවකතාවක් වුණා.
No comments:
Post a Comment