Thursday, October 24, 2019

Parasite (2019, භාෂාව - කොරියන් )


මේ ලෝකෙ "දුප්පත්" සහ "පොහොසත්" වශයෙන් මිනිස්සු වර්ග දෙකකට බෙදල තියනව. මේ බෙදුම් රේඛාවන් කොයි තරම් සාධාරණද සහ ඍජුවම මේ දෙකොට්ටාසයටම ඇතුලත් කරන්න බැරි අය හඳුන්වන්නෙ මොන නමින් ද කියන කාරණය පැත්තකින් තිබ්බොත්, ආර්ථික වශයෙන් මේ "ඇති" "නැති" පරතරය පැහැදිලිවම සමාජයෙ දැකගන්න පුලුවන්. "පොහොසත්" නමින් හඳුන්වන්නෙ පාරම්පරිකව විශාල ධනයකට උරුමකම් කියන නැතිනම් සාපේක්ෂ වශයෙන් ඉහළ ආදායමකට උරුමකම් කියන, උසස් යනුවෙන් සම්මත සමාජ තලයක වැජඹෙන්න හැකියාවක් ඇති පිරිසකට. මේ අය ගණනින් ඉතාම කුඩායි. ඒ අනුව "දුප්පත්" යනුවෙන් හඳුන්වන්නෙ පවුල් පසුබිමෙන්ම සමාජයෙ පහළ කොටසකට අයිති වෙන නැත්නම් සාපේක්ෂව අඩු අදායම් ලබන සමාජය පිලිගත් ජීවන තත්ත්වයක් පවත්වාගන්න අසමත් පිරිසකට. මේ අය ගණනින් බොහොම වැඩියි. අපි දන්නව අපි ජීවත් වෙන්නෙ පූර්ණ වශයෙන් නොවුනත් වෙළෙඳ පොළ මුල්කරගත්ත ධනවාදී අර්ථක්‍රමයක් ඇතුලෙ බව. මේ ක්‍රමය පවතින්නෙ තරඟකාරී වෙළඳපොල මත. මූලික අවශ්‍යතා සපුරාගන්න නැත්නම් සමාජය පිළිගත් ජීවන තත්ත්වයක් පවත්වාගන්න අවශ්‍ය භාණ්ඩ සේවා පරිභෝජනය කරන්න ඒ සඳහා නියමිත මිලක් ගෙවිය යුතුයි. කෙනෙකුගේ ජීවන තත්ත්වය තීරණය වෙන්නෙ මේ මිලදී ගැනීමේ හැකියාව උඩ. එතනදි පුද්ගලික දේපළ හිමිකාරත්වය ගැන රජයෙ මැදහත්වීම අවමයි. ඒ වගේම සමාජයෙ යම් ඉහළ තලයකට යන්න නම් කෙනෙක් ඒ සඳහා අභියෝගය ගණනාවක් ජයගන්න ඕන. රජය විසින් සහතික කරන්නෙ මූලික අවශ්‍යතාවන් කිහිපයක් පමණයි. කොමියුනිස්ට් ක්‍රමයකදි වගේ මෙතනදි හැම පුරවැසියෙකුටම ගෙයක්, වාහනයක්, රැකියාවක් රජය විසින් සහතික කරන්නෙ නෑ. ඉතින් මේ තරඟය ඇතුලෙ සාර්ථක වෙන සුලු පිරිසක් සමාජෙ ඉහළ තලයට ලඟා වෙනව. එතනදි අසමත් වෙන බහුතරය පතුලේම රැඳෙනව. මේක සෑහෙන ලොකු පංති විෂමතාවකට හේතුවෙනව. ධනවාදී ක්‍රමයට තියන ලොකුම විවේචනයක් තමා මේ පංති පරතරයක් බිහිවීම. මේ විෂමතාව සමාජ ගැටලු ගණනාවකට මුල් වෙනව. "නැති බැරි" මිනිස්සුත් පැවතිය යුතුයි. හිඟකමකින් තොරව දේවල් පරිභෝනය කරන්න ඔවුන්ටත් අවශ්‍යයි. ඉතින් මේ අයට තමන්ගෙ පැවැත්ම හදාගන්න නොයෙක් දේවල් කරන්න සිද්දවෙනව. සමහරු නීතියට පිටින් පවා යනව. Parasite චිත්‍රපටයෙ ඇතුලත් වෙන්නෙ තමන්ගෙ නැතිබැරි කම් වලින් ගොඩ එන්න අපූරු උපක්‍රමයක් යොදාගන්න දුප්පත් පවුලක් හා බැඳුනු කතාවක්. 

"උගතුන්ගෙ දශකය ඉවරයි, දැන් ගතවෙන්නෙ දක්ශයින් ගේ දශකය"
කූඹියෝ නාට්‍යයේ බොහොම ප්‍රසිද්ධ දෙබසක් තමා ඒ. වර්තමානයෙදි කෙනෙකුගෙ පැවැත්ම තීරණය වෙන්නෙ ඔහුට තියන දැනුම, පාස් කරල තියන විභාග වලට වඩා ඔහුට දේවල් කරන්න තියන හැකියාව, භාෂාව පාවිච්චි කරල දේවල් මවා පෙන්වීමේ හැකියාව මත. අද වෙනකොට සමාජයෙ ඉහළට යන්න නම් මේ දේවල් තියෙන්නම ඕන. ජෙහාන් ලා වගේ Con Artist කලාව ප්‍රගුණ කල චරිත බිහිවෙන්නෙ මේ ධර්මතාව අනුව යමින්. රැවටීම, මුලා කිරීම අපේ බාසාවෙන් කොව්වොත් මිනිස්සු ඇන්දීම සමාජෙ පුරා පැතිරිලා ගිහින්. Parasite චිත්‍රපටයෙත් මේ තත්ත්වය අපිට හොඳින්ම බලාගන්න පුලුවන්. නමුත් එතනදි සමූහයක් විදිහට මේ ආර්ථික පීඩාව සමාජෙ කොච්චර ඔඩුදුවලද කියන දෙය හොඳින්ම නිරූපණය වෙනව.

Parasite අද්‍යක්ෂණය කරන්නෙ මේ වෙද්දි කොරියානු සිනමාවෙ ඉන්න විශිෂ්ඨයෙක් වුණ Bong - Joon-ho. (The host, Memories of Murders, Snowpirecer, Okja ඔහුගේ අද්‍යක්ෂණයෙන් බිහිවුණ නිර්මාණ). Parasite 2019 අවුරුද්දෙ සුප්‍රසිද්ධ කාන්ස් සිනමා සම්මාන උළලේ පිරිනැමෙන ඉහළම සම්මානය වෙන Palme d,Or සම්මානය දිනාගන්න සමත්වෙනව. Palme d,Or සම්මානය දිනාගන්න මුල්ම කොරියානු චිත්‍රපටය වෙන්නෙ Parasite. කැමරාකරණය, දෙබස්, රඟපෑම්, පිටපත සිනමාවෙ මේ තාක්ෂණික අනුපාන හැම දෙයක්ම ඉතාම හොඳින් භාවිතා කර තිබුණා. නරඹන්නන්ගෙ ආකර්ශණය දිනාගත්ත කොරියානු සිනමාපට ගණනාවකම රංගනයෙන් දායක වුණ Kang Ho-Song මේ චිත්‍රපටයෙ කතාවට මුල් වෙන දුප්පත් පවුලේ පියාගෙ චරිත‍ය රඟදක්වනව. උපහාසාත්මක බව වගේම කුතුහලයත්, හද කම්පා කරන අනුවේදනීය බවත් මුහුවෙලා තිබුණෙ අවස්ථාකුලව. Parasite විශාල වශයෙන් ප්‍රේක්ෂක, විචාරක ආකර්ශණය දිනාගන්න සමත්වෙන්නෙ නූතන සමාජ යථාර්ථය නිවැරදිව අල්ලගෙන, ඉතාම සිනමාරූපිව ප්‍රතිනිර්මාණය කර තිබෙන නිසා. 2019 අවුරුද්දෙ විතරක් නෙමේ මේ දශකයෙ බිහිවුණ හොඳම චිත්‍රපට අතරට සැකයක් නැතුවම එකතු කරන්න පුලුවන් පරිසමාප්ත සිනමා නිර්මාණයක් Parasite.











Bong - Joon-ho (දකුණු පස) සහ Kang Ho-Song (වම් පස)කාන්ස් සිනමා සම්මාන උළලේ Palme d,Or සම්මානය සමග



No comments:

Post a Comment