Monday, December 7, 2020

ඇය සමග ප්‍රේමයෙන් නොබැඳෙන්න

බොහෝ සේ පොත පත කියවන ගැහැනිය සමග ප්‍රේමයෙන් නොබැඳෙන්න, ලිවීමෙහි යෙදෙන ගැහැනිය සමග ප්‍රේමයෙන් නොබැඳෙන්න, හැඟුම් මාත්‍රයන් ගැඹුරින් අත්විඳින ගැහැනිය සමග ප්‍රේමයෙන් නොබැඳෙන්න.

මනා සේ උගත්..ඉන්ද්‍රජාලික, උමතු ගැහැනිය සමග ප්‍රේමයෙන් නොබැඳෙන්න. සිතන ගැහැනිය සමග ප්‍රේමයෙන් නොබැඳෙන්න. තමන් දන්නා දේ පිළිබඳ නිවැරදි අවබෝධය ඇති, තමන් පිළිබඳවම විශ්වාස කරන මෙන්ම පියාසරන්නේ කෙලෙස දැයි දන්නා ගැහැනිය සමග ප්‍රේමයෙන් නොබැඳෙන්න. අනුරාගයේ හැසිරෙන කල සිනාසෙන හෝ හඬන. තම සිරුර තම ආත්මය කරගැනීමට දන්නා ගැහැනිය සමග ප්‍රේමයෙන් නොබැඳෙන්න.

කවියට පෙම් බඳින ඇයට ඇගේ පාඩුවේ හිඳින්නට ඉඩ හරින්න (ඔවුන් වැඩිපුර භයානකය) නැත්නම් සිතුවමක් අගය කරමින් අඩ පැයක් ගත කරන හෝ සංගීතයෙන් තොරව දිවි ගෙවීමට නොදන්නා ඇයට... 

දේශපාලනය පිළිබද උනන්දු, කැරළිකාරී, අයුක්තිය අසාධාරණය හමුවේ දැඩිව කිපෙන ගැහැනිය සමග ප්‍රේමයෙන් නොබැඳෙන්න. රූපවාහිනිය දෙස ඔහේ බලා සිටීම ප්‍රිය නොකරන මෙන්ම ඇගේ මුහුණේ හෝ සිරුරේ හෝ හැඩතල කෙසේ පිහිටා තිබුණද සුන්දරත්වයෙන් යුත් ගැහැනිය සමග ප්‍රේමයෙන් නොබැඳෙන්න. 

තියුණු මෙන්ම කෙළිලෝල, මනා දැනුමැති, නොදැමුණු ගැහැනිය සමග ප්‍රේමයෙන් නොබැඳෙන්න. මක්නිසාද, ඇය ඔබ සමග සිටියද නොසිටියද, ඇය පෙරළා ඔබට ආදරය කළ ද නොකළද, ඇය සමග බැඳුනු ප්‍රේමයෙන් ඔබට කිසිදා අත්මිදෙන්නට නොහැකිවන්නේය. 

— Don't fall in love with a woman who reads by Martha Rivera-Garrido — 

(Translated by me)



Friday, December 4, 2020

We need to talk about Kevin (2011)

(2020/ 12/ 04 ලංකා පුවත්පත)

කොයිතරම් උත්සාහ කලත්, ජීවිත කාලයක්ම එකට ගතකලත් කෙනෙකුව මුළුමනින්ම වටහ ගන්න අපිට බැහැ. කෙනෙකු ලඟ තියන සමහර ගති ස්වභාවයන් ඇයි එහෙම පිහිටා තියෙන්නෙ කියන්න ඒ අයවත් දන්නෙ නෑ. දෙමව්පියන් ගේ ජීවන රටාව, සමාජ සංස්කෘතික බලපෑම්, ආර්ථික දේශපාලනික සාධක ඔය හැම දෙයක්ම අඩු වැඩි වශයෙන් චරිතයක් ගොඩනැගෙන්න බලපානව. නමුත් බොහෝ වෙලාවට දකින්න පුලුවන් දෙයක් තමා එකම පරිසර තත්ත්වයන් යටතෙ ජීවත්වන දෙදෙනෙකුගෙ වුණත් සිතුවිලි සහ හැසිරීම් රටාවන් ක්‍රියාත්මක වෙන්නෙ දෙයාකාරයකට බව. මේ දේ සිද්දවෙන්නෙ කොහොම ද? බාහිර සාධක වලට අමතරව සහජයෙන් අපි අරගෙන එන සමහර දේවල් නිසා ද? එහෙනම් ඒ සහජය එන්නෙ කොහෙන් ද?

අනිත් කාරණය තමා ජීවිතය ඇතුලෙ මිනිස්සුන්ට මුහුණ දෙන්න සිදුවෙන අත්දැකීම් අතර සමාන කම් තිබුණත් සමහරු බොහොම සාමාන්‍ය ජීවිත ගත කරන අතරෙ කලාතුරකින් කෙනෙක් දාම ඝාතකයෙක්, ත්‍රස්තවාදයෙක්, නැත්නම් අනෙක් මිනිසුන් පීඩාවට පත්කර සතුටුවන්නෙක් වගේ ප්‍රචණ්ඩකාරී ගති ස්වභාවයන් පෙන්වන තැනට යොමුවෙන්නෙ කොහොමද කියන දෙය. ඔවුනුත් අපි වගේම මිනිසුන් බව ඇත්ත. නමුත් යම් හේතුවක් නිසා ඔවුන් අර සාමාන්‍ය ජීවිත පැවැත්මෙන් වෙනස් වී ගිහින්, මුලු සමාජයක වෛරයට ලක්වෙන එක්තරා අන්තයකට තල්ලුවි ගිහින් තියනව. මේ කාරණය වටහගත්තොත් මම හිතනව ඔවුන් දිහා  ද්වේශයකින් තොරව අපිට බලන්න පුලුවන් බව.

We need to talk about Kevin චිත්‍රපටයත් කියවෙන්නෙ මේ ආකාරයෙන් මුලු සමාජයට පිලිකුළට ලක්වෙන සාහසිකයෙකු බවට පත්වුණු තරුණයෙකුගෙ කතාව. නමුත් චිත්‍රපටයෙ මේ කතාව අපට කියන්නෙ කෙවින් ගෙ මව Eva ගෙ දෘෂ්ටිකෝණයෙන්. ඒ නිසා මේ චිත්‍රපටය මූලික වශයෙන් මවකගෙ කතාවක් බව කිව්වොත් නිවැරැදියි. මවක් දරුවෙකුට ආදරය කරන්නෙ තමන්ගෙ ජීවිතය පවා දෙවනි කරගෙන. තමන්ගෙ දරුවා සමාජයට මොන ආකාරයක පුද්ගලයෙක් වුණත් අම්මා කෙනෙකුට ඒ තමන්ගෙ දරුවාමයි. දරුවා නිසා මේ ගැහැනියට විඳ දරා ගන්න සිද්දවෙන නින්දා අපහාස හිතාගන්න බැරි තරම්. නමුත් ඈ ඒ හැම දේම ඉවසනව. තමන්ගෙ කුසින් ලොවට බිහිකල දරුවා තමන්ට වෛර කරන මොහොතක පවා ඇය ඔහුට ආදරය කරනව. 

Eva සංචාරක ලේඛ්කාවක් විදිහට නමක් දිනාගත්ත ගැහැනියක්. ඇය ජීවිතයේ නිදහස උපරිමයෙන් භුක්තිවිඳිමින් සිටි තැනැත්තියක්. යම් තැනක ඇයට Frank නම් ආදරණීය මිනිසා මුණගැහෙනව. ප්‍රේමයෙන් බැඳෙන ඔවුන් දෙදෙනා විවාහ වෙනව.  Kevin ඔවුන් දෙදෙනාගෙ මුල්ම දරුවා. Kevin ලැබීමත් සමගම එක් පසෙකින් ඇයට තමන්ගේ සුපුරුදු නිදහස්කාමී ජීවිතය අහිමිවෙනවා. අනෙක් පස දරුවා කුඩා වයසේ පටන් පෙන්නුම් කරන ප්‍රචණ්ඩ ගති සොබාවන් ඇයව රිදවනව. මවක් විදිහට  Eva මේ සැම දෙයක්ම ඉවසා දරා ගනිමින්  Kevin ට ආදරය කරන්න උත්සාහ කළත් ඇයට තමන් ගේ දරුවා ගමන් කරන්නේ වැරදි මාර්ගයක බව වටහාගන්න නොහැකි වෙනව.  ඒ  Eva  සහ Frank අතර  Kevin ගේ සුවිශේෂ ගති ස්වභාවන් ගැන නිවැරදි සංවාදයක් ඇති නොවුණ නිසා ද? චිත්‍රපටයේ අරමුණ Kevin වැනි සමාජයේ බහුතරය අතින් විවේචනයට ලක්වන්නන් ගැන කතාබහක් ඇති කිරීම ද?

Eva ගේ චරිතය නිරූපණය කරන සුප්‍රකට හොළිවුඩ් නිළි Tilda Swinton ගේ රංගනය චිත්‍රපටය පුරාම කැපීපෙන මට්ටමෙන් දැක්ගත හැකියි. මුහුණෙන් විශේෂයෙන්ම දෑසින් කරන ඇගේ හැඟීම් ප්‍රකාශනයන් ඉතාම ප්‍රබලයි. Frank ගේ චරිතය නිරූපණය කරන John C. Reilly  වගේම Kevin ගේ චරිතය නරූපනය කරන Ezra Miller ඉතාම ඉහළින් චිත්‍රපටය ඇතුළෙ තමන්ගෙ කොටස ඉටුකරනව. හොලිවුඩයේ නැගී එන සිනමාවේදිනියක් වුණු Lynne Ramsay (You Were Never Really Here) අධයක්ෂණය කරන We need to talk about Kevin චිත්‍රපටය විචාරක වගේම ප්‍රේක්ෂක දෙපාර්ශවය අතින්ම පැසසුමට ලක්වුණු සිනමා නිර්මාණයක් බව හඳුන්වන්න පුලුවන්.




Wednesday, December 2, 2020

ප්ලාස්ටික් මල

"කීයද මහත්මයා ණය මුදල"
අසයි ඇය
තදින් තොල් සායම් ඉලූ
රතු දෙතොල් ඇද කර..

"සම්පූර්ණ නම ලියන්න මෙතැන"
කියනා විටදි
මනා කොට සකසා ඇති
ඇහි බැම මඳක් එසැවෙයි..

"මෙන්න මෙතනින් අත්සන් කරන්න"
ඉසියුම් ව අණකරයි
කදිමට ඔප දැමූ නිය පෙළ 
තබා තිත් ඉර අසල

ඈ පසෙක 
තබා ඇති ප්‍රින්ටරය මත
මල් බඳුනේ පිපුණු ප්ලාස්ටික් මල
සුවඳක් නැතත් එහි හැඩ..!




Tuesday, December 1, 2020

Scenes from a Marriage (1973)

අවුරුදු දහයක ප්‍රීතිමත් විවාහ ජීවිතයක් කියන්නෙ විශේෂයෙන් කතා කල යුතු මාතෘකාවක් බවට පත් වීම ඇතුලෙ තියෙන්නෙම එක්තරා ආකාරයක උත්ප්‍රාසයක්. මොකද විවාහයක් කියන්නෙ ජීවිත කාලය පුරාම එකිනෙකාට ට ආදරය කරන බවටත් ලෙඩ දුකේදීත් සුව සැපේ දීත් ලඟින් ඉන්නා බවට පොරොන්දු වෙමින් ඇති කරගන්න ගිවිසුමකට නිසා. නමුත් සෑබෑ ලෝකයෙදි දකින්න ලැබෙන තත්ත්වය ඊට වඩා සෑහෙන වෙනස්. අවුරුදු ගණනාවක විහාහ ජීවිත ගත කරමින් ඉන්නා බොහෝමයක් දෙනෙකුගෙ අත්දැකීම් විමසල බැලුවොත් තමන් ගත කරන මේ ජීවිතේ විශේෂ සතුටක් හෝ දුකක් නැතිව, විවාහ වුණ නිසා මොන ආකාරයකින් හරි එය පවත්වාගෙන යන බවත් කියාවි. නැත්නම් වෙන් වෙන්න තරම් දැන් ප්‍රමාද වැඩියි, දරුවන් නිසා හරි එකට ඉම්මු.. වගේ අදහසකින් විවාහයක ඒකාකාරී නීරස බව විඳදරාගෙන ජීවිත ගෙවාදමන බව කියාවි. ඇයි එහෙම වෙන්නෙ?


හොඳට ඉගෙන ගන්න, හොඳ රස්සාවක් කරන්න, වාහනයක් ගන්න, ගෙයක් හදන්න, විවාහ වෙන්න, දරුවන් ලබන්න, ජීවිතේට ඉලක්කයක් තියාගන්න කුඩා කාලයෙ පටන් දෙමව්පියන් ගෙන්, සමාජයෙන් අපේ මනසට ඇතුළුකරන්නෙ මෙවැනි දේවල්. ජීවිතය අංග සම්පූර්ණ එකක් කරගන්න නම් ඔය අවශ්‍යතාවන් හැකි උපරිමයෙන් සපුරාගතයුතු බව තමයි කියවෙන්නෙ. මේ අදහස එක අතකින් වරදකුත් නැහැ. නමුත් ඔතැන මඟ හැරුණු යම් දෙයක් තියනව. හිතන්න එක පුද්ගලයෙක් එක්තරා ආකාරයක මෝටර් රථයක් මිලදී ගන්න සිහින දකිනව. ඒ නිසා ඒ පුද්ගලය වෙහෙස මහන්සි වෙලා වැඩ කරල මුදලක් ඉතිරි කරගෙන අවසානෙ මෝටරථයක් මිලදී ගන්නව. සිහිනය යථාර්ථයක් බවට පත්වුණායින් පස්සෙ ඔහුට තවත් සිහින දකින්න යමක් ඉතිරි වෙන්නෙ නෑ. ටික දවසකින් ඔහුට ඒ වාහනය බොහොම සාමාන්‍ය දෙයක් බවට පෙනේවි. එහි කිසිම විශේෂ යමක් ඇති බව නොසිතේවි. ඉක්මනින්ම ඔහු අතෘප්තියට පත්වේවි. ඉතින් මේ හිස් බවෙන් මිදෙන්න  ඔහුට සිද්දවෙනව වෙනත් වස්තුවක් සමග බැඳෙන්න. මිනිස්සු ජීවිතය ඇතුලෙ ලබා ගන්න වෙරවෑයම් කරන බොහෝම දේවල් වල ස්වභාවය එහෙමයි. දැන් මේ ස්වභාවය විවාහය සමග ආදේශ කර බලන්න. ඔබට මුණගැහෙනව ආකර්ෂණීය ගැහැණියක් හෝ මිනිසෙක්, ඔබ දෙදෙනාම ප්‍රේමයෙන් බැඳෙනව, කිසිදාක කිසිම බලවේගයකට ඔබේ ආදරය බිඳ දැමිය නොහැකි බව කල්පනා කරනව. ඉතින් ඔබ දෙදෙනා විවාහ වෙනව. එතනින් එහා කලින් උදාහරණයෙ වාහනයක් ගත්ත පුද්ගලයගෙ ඉරණම මයි.

නමුත් නැහැ, විවාහය දිහා සර්ව අසුබවාදීව බලන්න තරම් ඉක්මන් විය යුතු නැහැ. වෙනස් ආකාරයේ අදහස් ඇති දෙදෙනෙකුට වුණත්, එක මතයක පිහිටල වැඩකටයුතු කරගෙන යන්න හැකියාව තියනව නම් එකිනෙකා වෙනුවෙන් පවතින ගරුත්ව සහ විශ්වාසනීයත්වය ආරක්ෂා වෙනවනම් ඒ විවාහය  ඇතුලෙ ප්‍රීතිමත් බව ආරක්ෂා කරගන්න පුලුවන්. විවාහය ඇතුලෙ සතුට කියන්නෙ දෙදෙනෙක් පොදුවෙ බෙදාහදා ගන්නා යමක්. එතනදි දෙදෙනාටම සිද්දවෙනව තමන්ගෙන් එක්තරා කොටස කැපකරන්න. එය පහසු නෑ. ඒ නිසාන ප්‍රීතිමත් විවාහ ජීවිත ඒ තරම් සුලබ නෑ.

ස්වීඩන් ජාතික ශ්‍රේෂ්ඨ සිනමාකරු Ingmar Bergman නිර්මාණය කල Scenes from a Marriage චිත්‍රපටයෙන් විවාහයක් ගැන තියන මේ යථාර්ථයන් ඉතාම විශිෂ්ට ආකාරයෙන් නිරූපණය වෙනව. විවාහක යුවළක් මුල් කරගෙන ගොඩ නැගෙන  Scenes from a Marriage විවාහයක් ඇතුළෙ පමණක් නොවෙයි දිගු කාලීන ප්‍රේම බන්ධනයකින් බැඳුනු ඕනෑම දෙදෙනෙකුගෙ කතාවක් විය හැකි තරම් සියුම් බවකින් සහ ගැඹුරකින් Bergman මේ කතාව නිර්මාණය කරනව.  Scenes from Marriage නිෂ්පාදනය වෙන්නෙ අඩු වියදමකින් නිර්මාණය වෙන, කොටස් හයක රූපවාහිනි මාලා නාටකයක් විදිහට. රූපවාහිනියෙන් විකාශනය වුණායින් පස්සෙ පැය තුනකට ආසන්න චිත්‍රපටයක් විදිහට Scenes from marriage සංස්කරණය වෙනව.  Marianne සහ Johan යුවළ තමන්ගෙ දහ අවුරුද්දක විවාහ ජීවිතය ගැන එක්තරා සඟරාවකට සම්මුඛ සාකච්ඡවක් ලබා දෙන තැනින් චිත්‍රපටය ආරම්භ වෙන්නෙ. ඔවුන් දෙදෙනා, එකිනෙකා බොහොම ප්‍රිය කරන සාමකාමීව ජිවිතය ගතකරන ඉතාම වාසනාවන්ත යුවළක් බව සැක නැහැ. නමුත් මේ දස අවුරුදු උත්කර්ෂයෙන් එහාටත් කිසිම ගැටලුවකින් තොරව ඒ සතුට පවත්වාගන්න මේ දෙදෙනාට පුලුවන් වේවි ද? 

Marianne විදිහට Bergman ගේ බොහෝමයක් සිනමා නිර්මාණ වල රංගනයෙන් දායක වෙන විශිෂ්ට රංගන ශිල්පිනි Liv Ullmann සහ Johan විදිහට Erland Josephson රංගනයේ යෙදෙනව. මේ දෙදෙනාට අමතරව අවශේෂ චරිත දකින්න ලැබෙන්න අඩුවෙන්. ප්‍රබල වගේම අවස්ථානුචිත දෙබස් බහුලව යොදාගැනීමෙන් Marianne සහ Johan අතරේ තියන බැඳීමත් ඔවුන්ගෙ මනෝභාවයනුත් නිරාවරණය කරනව. ඔවුන් අතරෙ ඇතිවෙන සංවාද සුහදශීලී භාවයෙ පටන් ක්‍රමයෙන් රළුපරළු වදන් හුවමාරුවකටත් නැවත සුහද භාවයටත් හුවමාරු වෙන ආකාරය නිරීක්ෂණය කල හැකියි. එක්තරා නිශ්චිත මොහොතක ඔවුන් අතර ඇතිවෙන ආවේගය උපරිම තැනට ඇවිත් පුපුරා යන්නෙ නැවතත් සාමකාමී බවකට ඉඩ හදමින්. ඒත් ඒ සිහිනෙකින් නොහිතු තැනක දි.

Scenes from a Marriage සිහින පසුපස්සෙ යමින් සිත් රිදවාගන්න නැවත නැවතත් එකෙනෙකා වෙතම බැඳෙන දෙදෙනෙකුගේ ප්‍රේම වෘතාන්තයක් අපිට කියනව. චිත්‍රපටය ගැන Bergman ගේම වචනවලින් කියනව නම්

"පිටපත රචනා කරන්න ගත වුණු කාලය මාස දෙකහමාරක් පමණක් වුණත්, Scenes from a Marriage චිත්‍රපටයෙ මතුවන හැඟීම කෙනෙක් ජීවිත කාලයක් උසුලාගෙන යන තරම් බරැති එකක්




Monday, November 30, 2020

ඔබ හමුවීම සුදුසු නැත

ඔබ හමුවීම සුදුසු නැත
එක්වරම
දෙනෝදහසක් මැද
අහම්බෙන් දුටු අයෙකු මෙන්....
හඳුනාගත හැකිදැයි
කොයිතරම් කල් ගත වුණා දැයි
විමසීම පහසු නැත
ඔබට මෙන් මට...

එබැවින්
හිතවතිය
ඔබෙ දෑස ඉදිරිපිට
ගලා යන මහ මිනිස් ගංගාවක
අංශුවක් තුළ සැඟෙවෙමි...
ඇස් කෙවෙනි අග
මතුව එන තෙත
ඇස් පියන් යට සඟවමි...
ළයෙහි මතුවන
සියුම් කටු තුඩු රිදුම
නොපෙනෙන ලෙස කවියක අතුරමි...
පෙනෙන නොපෙනෙන
ඈතකින් දැකගමි
නොකියාම නික්මෙමි....




Thursday, November 26, 2020

Lucia -(2013, language - Kannada)

(Psychological/ Drama/ Romantic)

ඔබ මායාවෙහි නිමැවුමක් ද?
නැතිනම් මායාව ඔබේ නිමැවුමක් ද? 

"ඔබ" ශරීරයෙහි කොටසක් ද?
නැතිනම් ශරීරය ඔබේ කොටසක් ද?

අවකාශය තුළ ලෝකය පවතීද 
ලෝකය තුළ අවකාශය පවතී ද?
නැතිනම් ලෝකයත් අවකාශයත් එය විමසන ඇස තුළ පවතී ද?

ඇස ඇසුරුකොටගෙන මනස පවතී ද?
මනස ඇසුරුකොට ගෙන ඇස පවතී ද?
නැත්නම් ඇසත් මනසත් ඔබ ඇසුරුකොටගෙන පවතී ද?

උක්දඬුවෙහි පැණිරස පිහිටා ඇත් ද?
පැණිරසයෙහි උක්දඬු පිහිටා ඇත් ද?
නැත්නම් උක්දඬුවද පැණි රසය ද රස විමසන දිවෙහි පිහිටා ඇත් ද?

දිව ඇසුරුකොටගෙන මනස පවතී ද?
මනස ඇසුරුකොට ගෙන දිව පවතී ද?
නැත්නම් දිවත් මනසත් ඔබ ඇසුරුකොටගෙන පවතී ද?

සුගන්ධය මල ඇසුරුකොටගෙන පවතී ද?
මල ඇසුරුකොටගෙන සුගන්ධය පවති ද?
නැත්නම්  සුවඳත් මලත් ඔබ ඇසුරුකොටගෙන පවතී ද?

ඇසෙන දකින සියලුදේ මනස ඇසුරුකොටගෙන පවතී ද?  
එසේනම් ඒ සියලු දේ මනසේ මැවෙන පිළිබිඹු පමණ ද?
.
.
.
හිතන්න.. ඔයා ඉන්නෙ කන්දක් පාමුල. කඳු මුදුන දිහා බැලුවම යාන්තමට කූඹියෙකුගෙ ස්වරූපයකින් යම් මිනිසෙකුගෙ රූපයක් ඔයා දකිනව. කඳු මුදුනෙ ඉන්න මිනිසා දකින්නෙ මොනවද? එතැනට මේ අහසම කොයිතරම් අපූරුවට පේනව ඇති ද? ඔයා හිතනව. ඔයාගෙ හීනය තියන්නෙ එතැන. ඒ කඳු මුදුන මත. මුදුනෙ ඉන්න මිනිසාගෙ ඇස් දෙකෙන් බැලුවොත්. ඔහු දකින්නෙ පහළ භූමිය. පුංචියට එහෙ මෙහෙ යන මිනිස්සු. ගස් කොලන් වල නිල් පාට. පොළවේ පිහිටි ගංගා දිය ඇළි. පොළව කොයිතරම් සුන්දර ද. ඔහු හිතන්නෙ එහෙම. 

සම්මුඛ සාකච්ඡවකදි එක්තරා සුපිරි තරුවකට යොමු වෙනව ප්‍රශ්නයක්. ඔබේ ජීවිතයෙදි දකින ලොකුම හීනය මොකක්ද? 

ඒ සුපිරි තරුව ඒ ප්‍රශ්නයට දෙනව හරි අපූරු පිළිතුරක්..

හැමෝම හිතනව සුපිරි තරුවක් වෙන එක හරි අපූරු දෙයක් කියල ඒත් ඒක එහෙම නෑ. ඔයාට, ඔයා කැමති තැනක යන්න කැමති දෙයක් කරන්න නිදහසක් නෑ. හැම වෙලාවෙම දහස් ගණනක් ඔයා දිහා බලාගෙන ඉන්නව!

මගෙ හීනයය තමා කවුරුත් නොදන්න සාමාන්‍ය මනුස්සයෙක් වගේ පාරවල් වල ඇවිදින එක. පාර අයිනෙ කෑම කඩවලින් කන එක. මම කැමති කෙනෙක් එක්ක කැමති තැනකට වෙලා මොහොතක් නිදහසේ ඉන්න එක. ඕව තමා මට තියන ලොකුම හීන!

සාමාන්‍ය ජීවිත ගත කරන අපි හීන දකින්නෙ අසාමාන්‍ය ජීවිතයක් ගැන. අසාමාන්‍ය තැනක ඉන්න කෙනෙක් හරිම සාමාන්‍ය තැනක ජීවිතයක් ගැන හීන දකිනව නම්!!

පොඩ්ඩක් හිතන්න.  ඔයා ගතකරන ඔය ජීවිතය තව කෙනෙකුට බව!
.
.
තමන්ට අහිමි වුණ  ජීවිතයක් ගැන හීන දකින්නෙකු මුල් කරගෙන කන්නඩ භාෂාවෙන් නිර්මාණය වුණ Lucia චිත්‍රපටය ආකාර කිහිපයකින් සුවිශේෂයි. මූලිකම කරණාව Lucia කියන්නෙ crowdfunding චිත්‍රපටයක් වීම. චිත්‍රපටයට ප්‍රධාන වශයෙන් මූල්‍යමය දායකත්වය දක්වා තිබෙන්නෙ සිනමා රසිකයන්මයි! Lucia තිර රචනා කරන ඉන්දියාවේ තරුණ සිනමාකරු Pawan Kumar ට චිත්‍රපටය වෙනුවෙන් නිෂ්පාදකවරයෙක් සොයාගන්න බැරි වෙනව. ඒ නිසා ඔහු තීරණය කරනව සමාජ මාධ්‍ය හරහා චිත්‍රපට රසිකයන්ගෙන් සහාය ලබා ගන්න. ඔහු හිතුවට වඩා පිරිසක් චිත්‍රපටය නිෂ්පාදනය වෙනුවෙන් දායක වෙන්න ඉදිරිපත් වෙලා තිබෙනව. ඉතින් ඔවුන්ගෙ මූල්‍යමය දායකත්වය මත තමා චිත්‍රපටය නිෂ්පාදනය වෙන්නෙ.  Lucia ඉන්දියානු චිත්‍රපටයක විචිත්‍රවත් බව මෙන්ම psychological ගුණයද නොඅඩු ඉතාම අපූර්ව සිනමා අත්දැකීමක් ප්‍රේක්ෂකයන්‍ට ලබා දෙනව. සිනමා විචාරකයන්ගෙ පවා පැසසුම් ලබමින් සෑහෙන ආකර්ෂණයක් දිනා ගන්න සමත්වෙනව. චිත්‍රපට නිෂ්පාදකයින් අතින් ප්‍රතික්ෂේප වුණත් Pawan Kumar සිනමාවට ආදරය කරන පිරිසක් එකතු කරගෙන මේ හීනය සෑබෑවක් කර ගත් ආකාරය අපූරුයි. Lucia චිත්‍රපටයෙ කේන්ද්‍රීය චරිතයත් සිනමා පිස්සෙක් ඒ නිසා Lucia, සිනමා පිස්සෙක් සිනමාව වෙනුවෙන්ම ලියූ ප්‍රේම ගීයක් බව කිව්වොත් වඩා නිවැරැදියි.




Wednesday, November 25, 2020

කැඩපත

"සීතල සෙවණ"
නිවසේ
වැව අද්දර කුටියට
අපි ආව මුල්ම දවසේ පටන් 
ඒ කුඩා කැඩපත
බලා උන්නා අපි දිහාවම..

"සීතල වුණත් නම
මේකෙ තියන ග්‍රීස්මය!"

ඇය කිව්වෙ කැඩපතේ
දූවිලි පැල්ලම් අතරේ
ඇගෙම පිළිබිඹුව ට..
කවුලුවෙන් අඩක්
යන්තමට
විවර කලා මං
පිට හුළඟට..

ඉන් පස්සෙ කී වතාවක් 
අපි හමුවුණාද මෙතැනම...
බලා උන්නා කැඩපත 
අපි දිහා වෙනසක් නැතුවම..
පෙන්වමින් 
අවුල් වී පැටලුණු තැන්
ඇගෙ කෙහෙකැරළි වල...
පොඩි වී අපිළිවෙල වූ තැන්
සයනය මත..
සෙමෙන් මතුවන අඳුරු පැහැය
මගෙ දෑස් යට..

ඇඳෙන පිළිරූ සැණෙකින්
මැකීයනවා මිසක
අල්ලා නොගන්නා බැවින් 
කිසිවක් මතක
තවදුරටත් අපි නොඑන
ඒ කුටියෙ මළ පාලුව
ඉවසා දරාගෙන ඇති දැන්
ඒ කුඩා කැඩපත
සමහරවිට..