Thursday, June 27, 2019

June (2019) - භාෂාව මලයාලම්


චිත්‍රපටියක් කියන්නේ එක අඩියක් මහපොළව මත තියාගෙන ගොඩනැගෙන හීන ලෝකයක්. අපි එදිනෙදා ජීවිතේ අත්දකින යථාවත් ෆැන්ටසියත් එක්ක මුහුවෙලා ගොඩනැගෙන වෙනම යථාර්ථයක්. කෙටියෙන්ම කිව්වොත් චිත්‍රපටියක් කියන්නෙ වෙනම විශ්වයක් . මේ සිනමා විශ්වය ඇතුලෙ අපිට නොයෙක් ආකාරයේ ජීවිත මූණට මුණ ගැහෙනව. මිනිස් පැවැත්ම ගැන තව දුරටත් කියවීමකට යන්න, අපිට අපි දිහා නැවත හැරිල බලන්න දොරක් ඇරල දෙනව. මූලිකව සිනමාවක කාර්ය වෙන්නෙ ඒකයි කියල මම හිතන්නෙ. ඉතාම මෑතක ඒකියන්නෙ 2019 අවුරුදේ පෙබරවාරි මාසෙ තිරගත වීම ඇරඹුව June, මලයාලම් චිත්‍රපටය නරඹන  එක මට හරි අපූරු සුන්දර අත්දැකීමක් වුණා. ඒ මලයාලම් සිනමාවට ආවේණික සොබා සෞන්දර්ය ඉතිරෙන දර්ශන තල, කණට ඉතාම ප්‍රිය මිහිරි ඉමිහිරි සංගීතය  June චිත්‍රපටය ඇතුලෙ මම උපරිමයෙන් වින්දා. මේ චිත්‍රපටය විශේෂ වන්නේ ඇයි? June කතාව නිර්මාණය වෙන්නෙ June Sara Joy කියන තරුණ ගැහැණු ළමයා  මුල් කරගෙන. පාසල් වයසේ අන්තිම භාගයෙ ඉදන් උසස් අධ්‍යාපනය ඉන් පස්සෙ රැකියාවට එන කාලය දක්වා June Sara Joy ගේ ඇස් දෙකෙන් දකින  ලෝකය තමා මේ සිනමා පටයෙන් අපි ඉස්සරහ මැවෙන්නෙ. ඉතින්  June  මේ ඇගේ කතාව!

ස්ත්‍රිය ගැන නිතරම කියැවෙන කතාව තමා ඇය කොහොමත් තේරුම් ගන්න බැරි කෙනෙක් කියන කාරණය. ඒක බොරුවක් නෙමයි. නමුත් එතන තේරුම් ගැනීමට වඩා දෙයක් තියනව. ස්ත්‍රිය ගැන සඳහන් කරන කොට ඕෂෝ නිතරම සදහන් කරන්නෙ ඇයව තේරුම් ගන්න කොහොමත්  උත්සහ කරන්න එපා කියල. ඒ වෙනුවට ඇයට ආදරය කරන්න, ඇයට හොදින් සලකන්න, අවදානය දෙන්න කියල ඕෂෝ යෝජනා කරනව. බොහොමයක් වෙලාවට පිරිමියා අතරමං වෙන තැනක් තමා එතන. මොකද පරිණාමයත් එක්ක කාලාන්තරයක් තිස්සේ පිරිමි මොළය හැඩ ගැහිල තියෙන්නෙ කරුණු සහිතව තර්කානුකූලව හිතන්න. එතනදි පිරිමි මොළය ගණිත ක්‍රමයකට වැඩ කරන විශ්ලේෂක යන්ත්‍රයකට සමාන කරන්න පුලුවන්. සියුම් හැඟීම් හදුනා ගැනීම. චිත්තවේග වලට සංවේදී වීම. මේව ඔහුට ස්වභාවයෙන්ම නුහුරු නුපුරුදු දේවල්...ඒ නිසා ස්ත්‍රිය එක්ක කටයුතු කරද්දි ඔහුට ඒ සදහා විශේෂිත වුන දැනීමක් යම් සංවේදී කමක් අවශ්‍යවෙනව. බොහෝ වෙලාවට ගැහැණිය ගේ සමහර චර්යා රටාවන් පිරිමියාට පෙන්නෙ මහ ළද බොළද තේරුමක් නැති දේවල්  විදිහට. නමුත් ඒ දේවල් ඇයට මහ මෙරක් වටිනව. උදාහරණයක් විදිහට මේ කතාවෙදි June ඇගෙ හැම පෙම්වතෙකුගෙන්ම අහන එක ප්‍රශ්නයක් තියනව. හිටිගමන් , නොහිතනම වෙලාවක ඈ මෙහෙම අහනව. 

"ට්‍රීං .. ට්‍රීං...මේ ෆොන් එක ආන්සර් කරන්නකො"

දැන් ඉතින් පෙම්වතාට සිද්ධවෙනව ෆොන් එක ආන්සර් කරනව වගේ රඟපාන්න

"හොඳයි ..හිතන්නකො. අපි බැඳල, අද තමා අපේ විසි වෙනි ඇනිවසරි එක තියෙන්නෙ. මට කියන්න දැන් ඔයා මොකද කරන්නෙ" 

බොහොමයක් පෙම්වත්තු ඒ වෙලාවට කටට එන දෙයක් කියල දානව. නමුත් ඒ අය දන්නෙ නෑ ඒ අය කියන දේවලින් ඇය ඔවුන් ගැන තක්සේරුකරුවට එන බව. ඒ අය තමන් ගැන කොච්චර දන්නවද තමන් ට කොච්චර ආදරේද කියල මනින බව ඒ අය දන්නෙ නෑ....

June කියන්නෙ ප්‍රේම චාරිකාවක්... ලං වෙන්න නැතත් දුර ඉඳන් බලා ඉන්න.. මගේ උනානම් කිය කිය හීන දකින.. ලඟින් ගියත් දවස් හතක් නින්ද යන්නැති ක්‍රෂ්මය (crush) ප්‍රේමය.. යෞවන වයසෙ නෑඹුල් සෙනෙහෙබර සිතුවිලි එක්ක පටන් අරගෙන පහුකාලීනව ජීවිතේ එක්ක ගැටෙනකොට සුරංගනා ලොවෙන් මහ පොළවට කඩා වැටිල බිඳී විසිරී යන ආදරය.. මොනදේ වුණත් ලඟින් ඉන්න.. එකිනෙකාගෙ සිතුම් පැතුම් ආශාවන් හඳුනා ගැනීම මත ගොඩනැගෙන.. අනෙකා වෙනුවෙන් ඇපවෙන කැපවෙන වගකීම් සහගත ආදරය.. මේ හැම මැද්දෙන් ඇවිදයන සුන්දර සංචාරයක් June..

මේ චිත්‍රපටය එහි අධ්‍යක්ෂ Ahammed Khabeer ගේ පළමු සිනමා නිර්මාණය විදිහට ඉතාම සාර්ථක එකක්. චිත්‍රපටය පුරාම රංගනයෙන් දායක වෙන බොහෝ දෙනා සිනමාවට ආවේණික අලුත් මුහුණු. ඒ අතරෙ මේ June Sarah Joy ගේ චරිතය රඟදක්වන Rajisha Vijayan ගේ රංගනය සුවිශේෂයි. ජීවිතේ අවධි තුනක් නිරූපණය කරන්නෙ ඇයමයි. එතනදි ඇය කිසිම විදිහක නවක බවක් නොපෙනෙන්න ඉතාම හොඳින් තමන්ගෙ කාර්‍ය කරල තියනව. සිනමාවෙ බොහෝ දුර ගමනක් යන්න පුලුවන් ලක්ෂණ ඈ දැන්ම පෙන්නුම් කරනව. 

හොලිවුඩ්, බොලිවුඩ්, ඉරාන, ජපාන, ස්වීඩන ඇතුළු ලෝක සිනමාව දැකල පුරුදු ඇහැකට නම් මේ චිත්‍රපටය මහ ලොකු දෙයක් නොවෙන්න පුලුවන්. ඒක ඇත්ත. මේක ඇතුලෙ අපි එහෙම අමුතු කතාවක් දකින්නෙ නෑ. නමුත් කතාව පුරාම උතුරා යන තාරුණ්‍ය, ආදරය අපේ හදවත් උණුහුමකින් පුරවනව. පාසල් ප්‍රේමයක් තිබුණ කෙනෙකුට තමන්ගෙ අතීතය දිහා ආපහු හැරිල බැලුවකි. අතීතයක ඉඳන් පියවරෙන් පියවර ජීවිතේ මේ වෙනතුරු ගලා ආව හැටි මැදහත් සිතකින් ආයෙත් හිතල බැලුවකි. තමන් ළඟ ඉන්න ආදරණීයයෙකුගෙ අත පෙරටත් වඩා ආදරයකින් අල්ලාගත හැකි. අමුතු කතන්දර නැති සරල සුන්දර සිනමාවක අරුමය ඒක තමයි!





Wednesday, June 26, 2019

කොක් රෑන


ගිගුම් හඬ දී
ඇදී යයි
වෙල් යාය මැද්දෙන්
මහව දුම්රිය 
ඉහින් කනින්
උසුලා සෙනඟ.

ඉහළ අහසේ
එක රටාවට
පියාඹායන
කොක් රෑනක සුද!








Monday, June 24, 2019

සාගරාන්තර ආලෝකය


"සාගරාන්තර ආලෝකය" , The light between ocean කියන ලෝකප්‍රසිද්ධ වුණ නවකතාවෙ ගංගා නිරෝෂනී සුදුවැලිකන්ද මහත්මියගෙ සිංහල පරිවර්තනය කියවල ඉවර වෙන්නෙ බොඳවෙච්ච ඇස් දෙකකින්..කෙළවරක් නැති මහ සාගරය මැද්දෙ බෝට්ටුවක අතරමං වෙන පුංචි බිළිඳියක්, ඈව සොයාගෙන රැක බලාගන්න දරුවන් අහිමි යුවලක්, පසු කාලීනව ඇගේ ඇත්ත අම්මාව මුණගැහුණාට පස්සෙ ඇතිවෙන සිදුවීම් මාලාව.. අවසානෙ ඇස්වලට කඳුලු ගේනව කිව්ව්වොත් ඒක බොරුවක් නෙමේ.. ආදරයට පුලුවන් ජීවිතයක් ගොඩනගන්න.. තමන් ආදරය කරනදේ අතහැරිය යුතු නම් එහෙම කරන්න..ඈතට ඈතට යන්න..අහිමිවීමේ වේදනාව උහුලා දරාගෙන ජීවත් වෙන්න... ආදරයෙ නාමෙන් මිනිස්සුන්ට මේ දේවල් කරන්න පුලුවන්! මේ කතාව පදනම් කරගෙන මේ නමින්ම හැදුන චිත්‍රපටය දෙවන වතාවටත් බලන්න නවකතාව අවසානෙ ලැබුන උත්තේජනයත් එක්කමයි..නවකතාව සිනමාවට ගේනකොට කතාව සංක්ෂිප්ත වෙලා තියන ආකාරය හඳුනාගන්න පුලුවන්.. නමුත් සිනමාපටය ඉතාම සුන්දරව ප්‍රතිනිර්මාණය කර ඇති බව කියන්න ඕන... චිත්‍රපටයෙ අවසානෙ ඉර බැහැගෙන යන දර්ශනය පසුබිමින් ඇහෙන සංගීතෙ චිත්‍රපටය අවසානෙන් පස්සෙත් ඒ හැඟීම එක්ක තව ටික වෙලාවක් නැවතිලා ඉන්න හිතෙන එකක්.. ඒක ඇතුලාන්ත නිවීමක්.. තමන්ට අයිතිවාසිකමක් කියන්න බැරි වුණත් තමන්ගෙ ආදරය සෙනෙහස ලබමින් වැඩුණු ජීවතයක් දිහා ඈත ඉඳන් බලාඉන්න මිනිසෙකුගේ සිතේ ඇතිවෙන පහන් සිතුවිල්ලක්..

මේ කතාව එකවර තල කීපයක ගමන් කරනව. එක අතකින් යුද්ධය මිනිස් ජීවිත වල සාරය උරාගන්නා හැටි, දෙමව්පියනට දරුවන් අහිමි කරන හැටි, සහෝදර සහෝදරිටන්ට එකිනෙකා අහිමි කරන හැටි ඉතා සියුම්ව විස්‍තර කරනව. එක අතකින් යුධබිමෙන් පරිබාහිරව වුණත් මිනිස්සුන්ගෙ හිත්වල කැකෑරෙන ජාතිවාදය කොයිතරම් විනාශයක් කරනවද කියන කාරණේ පෙන්නා දෙනව. කතාව ගලායන්නෙ පළමුවෙනි ලෝක යුද්ධ අවසන් වුණ කාලය පසුබිමේ. ජර්මනිය ප්‍රමුඛ සන්ධානයට එරෙහිව බහුතර යුරෝපීය රටවල් ගණනාවක් යුධවැදුනා. මේ අතර ඔස්ට්‍රියාවේ වියානා වල ඉඳන් ඕස්ට්‍රේලියාවේ පාටේජස් ගමට පැමිණෙනව ෆ්‍රෑන්ක් නම් තරුණයෙක්. නමුත් පාටේජස් වල මිනිස්සු ඔහුව හඳුනාගන්නෙ තවත් එක ජර්මන් කාරයෙක් විදිහට. ඉතින් බහුතරය මිනිස්සු ෆ්‍රෑන්ක් ට වෛර කරනව. ජර්මන් ජාතිකයන් එක්ක තියන වෛරය මිනිස්සු ෆ්‍රෑන්ක් මතින් පිටකරනව. නමුත් හැනා නොවෙයි.. හැනා කියන්නෙ ගමේ ඉන්න ධනවත්ම මිනිසා වුණ සෙප්ටිමස් පෝට් ගේ දුව. ඈ ඔහුව තේරුම් ගන්නව. ෆ්‍රෑන්ක් ඇතුලෙ ඉන්න දීප්තිමත් මනුශ්‍ය ආත්මය හැනාට මුණගැනව. ඔවුන් ආදරයෙන් බැඳෙනව. සෙප්ටිමස් පෝට් මේ සම්බන්ධයට විරුද්ධ වෙනව ඒත් විරෝධතාවයන් නොසලකා හැනා සහ ෆ්‍රෑන්ක් විවාහ වෙනව...ඔවුන්ට දියණියක් ලැබෙනව.. ඒ තමා ග්‍රේස්.. මෙහෙම ටික කාලයක් ගතවෙද්දි.. දවසක් ජාතික ආලයෙන් ඔද වැඩුණු ගම්වාසීන් පිරිසක් ඔවුන්ට පහර දෙනව.. ෆ්‍රෑන්ක් පුංචි ග්‍රේස් ව අරගෙන බෝට්ටුවක නැගල මහ සාගරේ මැද්දට හබල්ගානව..ඉන්පස්සෙ ඔවුන් ආයෙම හමුවෙන්නෙ ගොඩබිමින් සැතපුම් ගණනාවක් ඈත ප්‍රදීපාගාරයක් තියන ජානුස් ගල කියන පුංචි දූපතෙන්..

ජානුස් ගලේ වාසය කරන්නෙ ටොම් ෂර්බොන් කියන ප්‍රදීපාගාර භාරකරුත් ඉසබෙල් ඔහුගේ බිරිඳත් පමණයි. ඒ මොහොතෙ දරුවන් තුන්දෙනෙක් ලැබෙන්න ගිහින් අහිමිවුණ අවස්තාවක ඈ ඉන්නෙ. ඔවුන්ට හමුවෙන්නෙ මැරුණු මිනිසෙක් සහ කුඩා දරුවෙක් ඉන්න බෝට්ටුවක්! ඉසබෙල්ට අවශ්‍ය වෙනව ඈව හදාවඩා ගෙන තමන්ගෙම දරුවෙක් කරගන්න! මෙතනදි අපි දකින්නෙ ගැහැණියකගෙ සිත ක්‍රියාකරන්න ආකාරය. බෝට්ටුවක පැමිණි දරුවා කාගෙද කොහෙන් ආවද කියන්න කවුරුත් නෑ. හැතැප්ම ගණනාවකින් මෙහා මිනිස් වාසයක් නෑ. ඉතින් ඈට පුලුවන් දරුවා තමන්ගේම විදිහට හදාවඩා ගන්න. දරුවාට ආදරය දෙන්න, උකුළේ තියා නළවන්නෙ, පයෝධර වලින් කිරි පොවා පෝෂණය කරන්න. ඒක තමා ඇයට ඕන.. ඒත් දවසක ඒ ආදරය මහ වේදනාවක් වෙන්න පුලුවන්, ඒ වේදනාව මත තමන්ගෙ මුලු ජීවිත කාලයම ගෙවා දමන්න වේවි කියල ඈ නිකමටවත් හිතන්නේ නෑ. ආදරය එහෙමයි! 

විශාල හැදෑරීමක් ඇතුලෙ කතුවරිය මේ කතාව ගොඩනඟා ඇතිබව පැහැදිලියි..ඒ ගහකොළ පරිසරය ඈ අපූරුවට වචනෙන් චිත්‍රනය කරනව.. මුහුද ගැන කියනකොට මුහුද රැළ නගන සද්දෙ .. හුළඟෙ හෝ හෝ හඬ කණට ඇහෙනව.. ඒ සම්බන්ධව නම් ගෞරවය පරිවර්තිකාවට හිමිවිය යුතුමයි.. මුල් කතාව කියවා නැති නිසා මුල් පොතේ තියන රසයම ඒ විචිත්‍රත්වයට හානි නොකර ඈ සිංහලෙන් කියවන පාඨකයාට ලබා දීල තියනව කියල මම විශ්වාස කරනව. කියවන්න ගත්තම අතින් බිම තියන්න නොසිතීම, මොන වැඩක් තිබුණත් දවසට පිටුවක් හරි කියවීම, අවසානේ ඇස්වල ඉතුරුවන තෙතමනය ඒකට සාක්ෂි ! 

කතාවෙ එක තැනකදි ටොම් ෂර්බන්, ප්‍රදීපාගාර භාරකරු විදිහට කරන කරන කතාවක කියනව ප්‍රදීපාර ආලෝකය නොනිවී දිගටම පවත්වාගන්න තමන් උපරිම උත්සහ කරන බව. ප්‍රදීපාගාරයක් ආලෝකය විහිදුවන්නේ මුහුදේ ගමන් කරන නාවිකයන්ට තම මග නිවැරදිව දැනගන්නයි. ප්‍රදීපාගාරයට කවදාවත් තමන්ගෙ ආලෝකය ප්‍රයෝජනයක් ලැබෙන්නෙ නෑ. වෙනත් කෙනෙකුට හරි මග පෙන්වා දීල නිවී යෑමයි ප්‍රදීපාගාරයක කාර්‍ය. ආලෝකය විසින් තමන්ගෙ රාජකාරිය නිසි පරිදි ඉටුකලා වෙන්නෙ එතකොට. අවසානෙ ඉර බැහැගෙන යන දිහා බලා ඉන්න වියපත් මනුශ්‍යයාගෙ සිතේ ඇතිවුණ සිතිවිල්ලත් මෙන්න මේකයි කියල මම විශ්වාස කරනව..





The light between ocean සිනමාපටයේ රූපරාමු කිහිපයක්













Wednesday, June 19, 2019

අතු ගඟ


නොඑනා බැවින් 
බොහෝ අය
නොකෙළසූ බැවින්
ඉඳ හිට ආ කිසිවෙක් ද
සෙවණින් සැදි
මං පෙත් රැඳුන..

නොබිඳුනු ඉවුරු දෑලේ
උරාගෙන සරු පස
හිඹුටු, දං, බෝවිටියා
පඳුරින් සැදුන..

සුරැකී පොළෝ ගැඹුරේ
මතුවී උල්පත් සමීපයේ
ඉමිහිරිම දිය ගලන

කොයිතරම් සිහිලයි ද
මේ පුංචි අතු ගඟ
මහා ගඟකට වැඩිය...




Monday, June 17, 2019

සොබාදහමේ විස්මිත කඳුනගින්නන්


කුරසහිත සත්ත්වයන්ගේ කුලයේ සාමාන්‍ය ගෘහාශ්‍රිත එළුවන් සහ බැටළුවන් අයිති වෙන (Caprinae) උපවිශේෂයට අයිති වෙන සත්ත්වයන් කදුනැගීමට විශේෂ හැකියාවක් පෙන්වනවා. ඒ අතර ඇමරිකානු රොකී කඳුකර එළුවන් (Rocky Mountain Goats), අයිබෙක්ස් (Ibex) සත්වයන් සහ කඳු ඇසුරු කරගෙන වාසය කරන දිගු අං ඇති බැටලුවන් සුවිශේෂයි (Bighorn Sheep). ඔවුන් මිහිමත ඉන්න හොඳම කඳු නගින්නන් විදිහට හැදින්වුවත් වරදක් නෑ.  අංශක අනූවක තරම් බෑවුමක් තිබුණත් කන්දක ,ප්‍රපාතයක, තාප්පයක ඕනෑම උසකට, මතුපිට කඩතොලු වලට කුර තබමින් ඉහළට නගින්න මේ සත්ත්වයන්ට තිායන හැකියාව පුදුමාකාර එකක්! ගුරුවාකර්ෂණ බලය විහිලුවට ගත්ත සත්වකොට්ටාශයක් විදිහට මේ කඳුකර එළුවන් හඳුන්වා දෙන්න පුලුවන්..


වේල්ලක සිරස් බිත්තිය තරණය කරන ඇල්පයින් අයිබෙක්ස් (Alpine Ibex) සතුන්




උතුරු ඇමරිකානු රොකී කදුකරයට ආවේණික කදුකර එළුවන් (Rocky Mountain Goats)




දිගු අං ඇති බැටළුවන් (Bighorn Sheep)






Friday, June 14, 2019

මහපාරට.....


තැන තැන අතැර යන කුණු කන්දල් දුගඳ
යන එන දනන් ලන කෙළ පහරද නිබඳ
උසුලන හදින් උන් නිසි රිසි තැන් වලට
ගෙන යන අයුර නුඹ මහ අරුමෙකි මිතුර..





Wednesday, June 12, 2019

කුඩා පොකුණ


වැසි සමයට පෙර
ඔබ නික්මගිය පසුව
අහස් අග ඝන මේකුළ
මහා වැස්සක් ව ඇදහැලිණ

නොනවතී ගලා එන 
වැහිදිය බිඳෙන් බිඳ එකතුව
කුඩා පොකුණක් නිමවිණ

ඉන්පසුව
පැමිණි කිසිවෙකුගේ රුවක්
පොකුණු දිය මත ඇඳී
යළිත් මැකුණා මිසක
පාසටහන් ඉතිරිවූවේ නැත..