"සාගරාන්තර ආලෝකය" , The light between ocean කියන ලෝකප්‍රසිද්ධ වුණ නවකතාවෙ ගංගා නිරෝෂනී සුදුවැලිකන්ද මහත්මියගෙ සිංහල පරිවර්තනය කියවල ඉවර වෙන්නෙ බොඳවෙච්ච ඇස් දෙකකින්..කෙළවරක් නැති මහ සාගරය මැද්දෙ බෝට්ටුවක අතරමං වෙන පුංචි බිළිඳියක්, ඈව සොයාගෙන රැක බලාගන්න දරුවන් අහිමි යුවලක්, පසු කාලීනව ඇගේ ඇත්ත අම්මාව මුණගැහුණාට පස්සෙ ඇතිවෙන සිදුවීම් මාලාව.. අවසානෙ ඇස්වලට කඳුලු ගේනව කිව්ව්වොත් ඒක බොරුවක් නෙමේ.. ආදරයට පුලුවන් ජීවිතයක් ගොඩනගන්න.. තමන් ආදරය කරනදේ අතහැරිය යුතු නම් එහෙම කරන්න..ඈතට ඈතට යන්න..අහිමිවීමේ වේදනාව උහුලා දරාගෙන ජීවත් වෙන්න... ආදරයෙ නාමෙන් මිනිස්සුන්ට මේ දේවල් කරන්න පුලුවන්! මේ කතාව පදනම් කරගෙන මේ නමින්ම හැදුන චිත්‍රපටය දෙවන වතාවටත් බලන්න නවකතාව අවසානෙ ලැබුන උත්තේජනයත් එක්කමයි..නවකතාව සිනමාවට ගේනකොට කතාව සංක්ෂිප්ත වෙලා තියන ආකාරය හඳුනාගන්න පුලුවන්.. නමුත් සිනමාපටය ඉතාම සුන්දරව ප්‍රතිනිර්මාණය කර ඇති බව කියන්න ඕන... චිත්‍රපටයෙ අවසානෙ ඉර බැහැගෙන යන දර්ශනය පසුබිමින් ඇහෙන සංගීතෙ චිත්‍රපටය අවසානෙන් පස්සෙත් ඒ හැඟීම එක්ක තව ටික වෙලාවක් නැවතිලා ඉන්න හිතෙන එකක්.. ඒක ඇතුලාන්ත නිවීමක්.. තමන්ට අයිතිවාසිකමක් කියන්න බැරි වුණත් තමන්ගෙ ආදරය සෙනෙහස ලබමින් වැඩුණු ජීවතයක් දිහා ඈත ඉඳන් බලාඉන්න මිනිසෙකුගේ සිතේ ඇතිවෙන පහන් සිතුවිල්ලක්..
මේ කතාව එකවර තල කීපයක ගමන් කරනව. එක අතකින් යුද්ධය මිනිස් ජීවිත වල සාරය උරාගන්නා හැටි, දෙමව්පියනට දරුවන් අහිමි කරන හැටි, සහෝදර සහෝදරිටන්ට එකිනෙකා අහිමි කරන හැටි ඉතා සියුම්ව විස්‍තර කරනව. එක අතකින් යුධබිමෙන් පරිබාහිරව වුණත් මිනිස්සුන්ගෙ හිත්වල කැකෑරෙන ජාතිවාදය කොයිතරම් විනාශයක් කරනවද කියන කාරණේ පෙන්නා දෙනව. කතාව ගලායන්නෙ පළමුවෙනි ලෝක යුද්ධ අවසන් වුණ කාලය පසුබිමේ. ජර්මනිය ප්‍රමුඛ සන්ධානයට එරෙහිව බහුතර යුරෝපීය රටවල් ගණනාවක් යුධවැදුනා. මේ අතර ඔස්ට්‍රියාවේ වියානා වල ඉඳන් ඕස්ට්‍රේලියාවේ පාටේජස් ගමට පැමිණෙනව ෆ්‍රෑන්ක් නම් තරුණයෙක්. නමුත් පාටේජස් වල මිනිස්සු ඔහුව හඳුනාගන්නෙ තවත් එක ජර්මන් කාරයෙක් විදිහට. ඉතින් බහුතරය මිනිස්සු ෆ්‍රෑන්ක් ට වෛර කරනව. ජර්මන් ජාතිකයන් එක්ක තියන වෛරය මිනිස්සු ෆ්‍රෑන්ක් මතින් පිටකරනව. නමුත් හැනා නොවෙයි.. හැනා කියන්නෙ ගමේ ඉන්න ධනවත්ම මිනිසා වුණ සෙප්ටිමස් පෝට් ගේ දුව. ඈ ඔහුව තේරුම් ගන්නව. ෆ්‍රෑන්ක් ඇතුලෙ ඉන්න දීප්තිමත් මනුශ්‍ය ආත්මය හැනාට මුණගැනව. ඔවුන් ආදරයෙන් බැඳෙනව. සෙප්ටිමස් පෝට් මේ සම්බන්ධයට විරුද්ධ වෙනව ඒත් විරෝධතාවයන් නොසලකා හැනා සහ ෆ්‍රෑන්ක් විවාහ වෙනව...ඔවුන්ට දියණියක් ලැබෙනව.. ඒ තමා ග්‍රේස්.. මෙහෙම ටික කාලයක් ගතවෙද්දි.. දවසක් ජාතික ආලයෙන් ඔද වැඩුණු ගම්වාසීන් පිරිසක් ඔවුන්ට පහර දෙනව.. ෆ්‍රෑන්ක් පුංචි ග්‍රේස් ව අරගෙන බෝට්ටුවක නැගල මහ සාගරේ මැද්දට හබල්ගානව..ඉන්පස්සෙ ඔවුන් ආයෙම හමුවෙන්නෙ ගොඩබිමින් සැතපුම් ගණනාවක් ඈත ප්‍රදීපාගාරයක් තියන ජානුස් ගල කියන පුංචි දූපතෙන්..
ජානුස් ගලේ වාසය කරන්නෙ ටොම් ෂර්බොන් කියන ප්‍රදීපාගාර භාරකරුත් ඉසබෙල් ඔහුගේ බිරිඳත් පමණයි. ඒ මොහොතෙ දරුවන් තුන්දෙනෙක් ලැබෙන්න ගිහින් අහිමිවුණ අවස්තාවක ඈ ඉන්නෙ. ඔවුන්ට හමුවෙන්නෙ මැරුණු මිනිසෙක් සහ කුඩා දරුවෙක් ඉන්න බෝට්ටුවක්! ඉසබෙල්ට අවශ්‍ය වෙනව ඈව හදාවඩා ගෙන තමන්ගෙම දරුවෙක් කරගන්න! මෙතනදි අපි දකින්නෙ ගැහැණියකගෙ සිත ක්‍රියාකරන්න ආකාරය. බෝට්ටුවක පැමිණි දරුවා කාගෙද කොහෙන් ආවද කියන්න කවුරුත් නෑ. හැතැප්ම ගණනාවකින් මෙහා මිනිස් වාසයක් නෑ. ඉතින් ඈට පුලුවන් දරුවා තමන්ගේම විදිහට හදාවඩා ගන්න. දරුවාට ආදරය දෙන්න, උකුළේ තියා නළවන්නෙ, පයෝධර වලින් කිරි පොවා පෝෂණය කරන්න. ඒක තමා ඇයට ඕන.. ඒත් දවසක ඒ ආදරය මහ වේදනාවක් වෙන්න පුලුවන්, ඒ වේදනාව මත තමන්ගෙ මුලු ජීවිත කාලයම ගෙවා දමන්න වේවි කියල ඈ නිකමටවත් හිතන්නේ නෑ. ආදරය එහෙමයි!
විශාල හැදෑරීමක් ඇතුලෙ කතුවරිය මේ කතාව ගොඩනඟා ඇතිබව පැහැදිලියි..ඒ ගහකොළ පරිසරය ඈ අපූරුවට වචනෙන් චිත්‍රනය කරනව.. මුහුද ගැන කියනකොට මුහුද රැළ නගන සද්දෙ .. හුළඟෙ හෝ හෝ හඬ කණට ඇහෙනව.. ඒ සම්බන්ධව නම් ගෞරවය පරිවර්තිකාවට හිමිවිය යුතුමයි.. මුල් කතාව කියවා නැති නිසා මුල් පොතේ තියන රසයම ඒ විචිත්‍රත්වයට හානි නොකර ඈ සිංහලෙන් කියවන පාඨකයාට ලබා දීල තියනව කියල මම විශ්වාස කරනව. කියවන්න ගත්තම අතින් බිම තියන්න නොසිතීම, මොන වැඩක් තිබුණත් දවසට පිටුවක් හරි කියවීම, අවසානේ ඇස්වල ඉතුරුවන තෙතමනය ඒකට සාක්ෂි !
කතාවෙ එක තැනකදි ටොම් ෂර්බන්, ප්‍රදීපාගාර භාරකරු විදිහට කරන කරන කතාවක කියනව ප්‍රදීපාර ආලෝකය නොනිවී දිගටම පවත්වාගන්න තමන් උපරිම උත්සහ කරන බව. ප්‍රදීපාගාරයක් ආලෝකය විහිදුවන්නේ මුහුදේ ගමන් කරන නාවිකයන්ට තම මග නිවැරදිව දැනගන්නයි. ප්‍රදීපාගාරයට කවදාවත් තමන්ගෙ ආලෝකය ප්‍රයෝජනයක් ලැබෙන්නෙ නෑ. වෙනත් කෙනෙකුට හරි මග පෙන්වා දීල නිවී යෑමයි ප්‍රදීපාගාරයක කාර්‍ය. ආලෝකය විසින් තමන්ගෙ රාජකාරිය නිසි පරිදි ඉටුකලා වෙන්නෙ එතකොට. අවසානෙ ඉර බැහැගෙන යන දිහා බලා ඉන්න වියපත් මනුශ්‍යයාගෙ සිතේ ඇතිවුණ සිතිවිල්ලත් මෙන්න මේකයි කියල මම විශ්වාස කරනව..
The light between ocean සිනමාපටයේ රූපරාමු කිහිපයක්
https://tharurasi.blogspot.com/2019/06/blog-post.html
ReplyDeleteස්තූතියි ලිඛිතා!... ඒ සටහන කලින් දැක්කා..පොතේ අවසාන භාගය කියවමින් හිටියෙ එතකොට..පොත කියවලම එතනට එනව කියල හිතුව..ඒ කාරණා හැම එකක්ම වගේ ඇත්ත! අද මේ අපේ රටේ මේ මොහොත එක්ක මේ දේවල් හොදි්න්ම ගැලපෙනව..!
Deleteමේ වගේ කතා පොත්, චිත්‍රපටි බැලුවාම මට සති ගානක් හිත හදාගන්න බෑ. ඒ හින්දා කියවන්නේ නෙලුම් කොලේ උඩ යන කොකෙක් වගේ හෙමින් ; පරෙස්සමෙන්.
Deleteමේ පෝස්ට් දෙකත් කියෝලා ඌය්යා වෙලා ඉන්නේ. පොත කියවන්න බයයි. දෙදෙනාගේම ලිවිම එතරම්ම හොඳයි. මම දැක්කා Hotel Mumbai කියලා ෆිල්ම් එකක් ගැන ලියලා තියෙනවා කෙනෙක්. ඒකත් ලංකාවේ දැන් තත්වයට සමානයි මම හිතන්නේ. ඉතිහාසේ රිපීට් වෙනවා. අවාසනාව කියන්නේ අපි ආයේ ආයේ එකම දේ කරනවා!
තිස් අවුරුද්දක් යුද්ධ කරල ජීවිත දාස් ගාණක් නැති වෙලා ඒත් මදි වගේ...!! මුල් පුටු වල ඉන්න මිනිස්සුන්ටත් ගාණක් නෑ.. එකඑක්කෙනාට චෝදනා කර කර ඉන්නව මිස කිසි දෙයක් කරන්නෙ නෑ...ඉතින් කතාකරල වැඩක් නෑනෙ ඒ ගැන.. පොත කියවන්න..බව වෙන්නඑපා.. :) කතාව ගොඩනගල තියන විදිහ භාෂා භාවිතය..හැම දේම හරිම ලස්සනයි..මට නම් ඔහොම පොතක් අතට ගත්තම කියවල ඉවර වෙනකම් බිම තියන්න හිතෙන්නෙ නෑ....! පොත කියවන්න! ෆිල්ම් එකත් බලන්න!
Deleteචිත්‍රපටයෙ ලින්ක් එක නැද්ද ?
ReplyDeleteමේල් ඇඩ්රස් එක එවන්න ලින්ක් එක එවන්නම්!
DeleteThat is unfair!
Deleteටොරන්ට් ලින්ක් ප්රසිද්ධීයේ ශෙයා කරන එක අවුලක් නැද්ද?
Delete