Sunday, April 22, 2018

සඳ ඉතින්


චන්ද්‍රයා ක්‍රමයෙන් පෘථිවියෙන් ඈතට  ගමන් කරමින් සිටියි..
-පුවතක්

සඳ ඉතින්
ගිනි ඇවිලුණා තමයි පොළවට
දහස් ගණනක් වන උයන්
සද්දන්ත වනස්පති ගස්
කැපී කැපී ගියා නිරපරාදේ 
දැති කියත් දත් වලින්..

ගංගා ඇළ දොළ දිගේ
මල් පෙති වෙනුවට
පාවී ගියා හිස් කබල්..
නාඳුනන මළසිරුරු..
අතුරුදන් වුණා මිනිසුන් ..

පූදින්න කලියෙන් කැකුළු මල්
තැලුණා පොඩිවුණා
පෑගී ගියා පයට..
සඳ ඉතින් උඹත්
බලා හිටියා මේ හැම දේ ම...

ගුණ දහම් සාගතේ
ඉරිතැලී ගිය පොළවක
දිවා රෑ ඇවිද 
වෙහෙස වෙනකොට
කවි පදයක් දෙකක් බෙදාගන්නට
සිටියා උඹ ලඟින්
පැරණි මිතුරෙකු සේ නිතරම...

සඳ ඉතින් 
වෙන්වී ගියත් අද හෙට
මේ විශ්වයේ යම් තැනක් වේ නම්
එක්වී සිනාසෙනු හැකි ඔබට මට
තරු ලකුණු ඔස්සේ
ඒ සොඳුරු පෙදෙසට
මඟ කියාදෙනු මැනව 
අපහට...





2 comments:

  1. සද ඇති රෑට අහස හරි ලස්සනයි රන්දික. මම ඒකේ සොදුරු බව විතරක් හිතලා සතුටු වෙනවා.

    ReplyDelete
    Replies
    1. අපි දකින ආකාරය අනුව තමා හැමදෙම තිරණය වෙන්නෙ!

      Delete