එදින වැඩ රාජකාරි තරමක් බහුල වූ හෙයින් සුපුරුදු වේලාවට මගේ රැකියා ස්ථානයෙන් පිටත් වීමට නොහැකි විය. කෙසේ හෝ රාත්‍රී 8 තැපැල් දුම්රිය අල්ලා ගැනීමට මට හැකිවිය. එය කොළඹ කොටුවට පසු නවත්වන්නේ රාගම දුම්රිය ස්ථානයෙ බැවින් මට එය විශාල පහසුවකි.
මා නිවස වෙත පැමිණෙන කල ඉදිරි දොර හැර දමා තිබුණි. වෙනදා මා වැඩ ඇරී එන කල පෙරමඟට පැමිණෙන ඇය අද පෙනෙන්නට වත් නොසිටියාය. මම කුස්සියට ගියෙමි. ඈ එහිද නොවූවා ය.
"පරක්කු වුණ නිසාවත් ද"
මා සිතුවෙමි. මා ගමන් බෑගය කුස්සියේ මේසය මත තබා හැරෙන සැණෙන් කණ ලඟින් හඬක් නික්මුණි.
"මහා ජරා මනුස්සයෙක්! ශික්!!!"
නිරාගමිකයෙකු දුටු සිංහල බෞද්ධයෙකු සේ කෝපයෙන් ඈ මා දෙස බලා සිටියාය.
" මං හිතුව විස්වාස කරන්න පුලුවන් කියල!! අපො නෑ! මට වැරදුනා ..හොඳටම වැරදුනා..තඹ සතේ කට වත් විස්වාසකරන්න බෑ"
උපසිරැසි නොමැතිව මලයාලම් සිනමාපටයක් නරඹන්නෙකු සේ මම ඈ දෙස බලා උන්නෙමි. වෙනදානම් ගෙදර ඒමට පමාවූ විට ඈ මඳක් අමනාපයෙන් පසුවූවත් රැකියාවේ ස්වභාවය අනුව එසේ සිදුවන බව පහදාදුන් කල ඈ එය වටහා ගන්නීය. නමුත් අද? අද සිදුව ඇත්තේ කුමක් ද??
"හැමෝම එකයි...!! හැමෝම එකයි!!! ...මුලදි නම් කොහොමද කියන්නෙ.... පහු වෙනකොට තමයි ජරා ගති ඔක්කොම එලියට එන්නෙ"
ඇය ටැප් එක කැඩුණාසේ වචන වලින් දමා ගසමින් සිටින්නීය. මම තමන්ට බණිමින් කමෙන්ට් දමන්නන් බ්ලොක් කරන්නෙකු මෙන් ඇයට තනිවම කියවන්න ඉඩ දී එතනින් ඉවත්වී ගියෙමි.
මම ඇඟ පත සෝදා අලුත් ඇඳුමක් ඇඳගෙන පැමිණ පරිගණකය ඉදිරිපිට වාඩි ගතිමි. නැවතත් යක්ශාවේෂ වූ ඇය මා ඉදිරිපිටට පැමිණ බැණ වදින්නට පටන්ගත්තාය.
"කාළකණ්නියෙක්! පුදුම විදිහෙ කාළකන්ණියෙක්... මං නං මගෙ ජිවිතේට දැකල නෑ!! අර තියෝන් ග්‍රේජෝයි කියන එකා!! ඌ කොහොමද තමන්ගෙ සහෝදරයෙක් වගේ ඉන්න රොබ් ස්ටාක් ට විරුද්ධව යුද්ද කරන්නෙ. අනික අර ජෙෆ්රි ලැනිස්ටර් කියන පාහරයා. ඕකව අහුවුණොත් මම කෑලි කෑලි වලට කඩනවා!! කාලකණ්ණියා....!!!"
ඇගේ හඬ තරමක් බාල විය..
"පව් අනේ අර අහිංසක ජෝන් ස්නෝ කොල්ල. නාකියා ඌට බිම දාගෙන ගැහුව නේ"
ඇගේ ඇස අගින් කඳුළු බිංදුවක් රූරා හැලෙනු මම දුටුවෙමි. පරිඝණක තිරය මත ගේම් ඔෆ් ත්‍රෝන්ස් සීසන් දෙක අටවෙනි කොටස දාවනය වෙමින් තිබුනි.