Thursday, September 20, 2018

සිහින ලොවක් දුටුවා මතකයි - Inception (2010)


Inception එළියට ආව අවුරුද්දෙම මුල් වතාවට බැලුවත් දෙවනි වතාවට අවුරුදු ගණනාවකින් පස්සෙ ආයෙත් බලන කොට ඒක අලුත් අත්දැකීමක් වුණා. ඒකට හේතුව කතාවෙ බොහො දේවල් අමතක ව තිබීමත් පළමුවෙනි වතාවෙ අවධානයට ලක් නොවුණු සමහර දේවල් දෙවනි වතාවෙ බලද්දි අහු වීමත්. කලා නිර්මාණයක් රස විඳිනව කියන්නෙ එක අතකට අපි විසින් අපිවම කියවා ගැනීමක්. ඒ කියන්නෙ අපි යමක් රසවිඳින්නෙ ඒ සම්බන්ධව අපේ අත්දැකීම අනුව.  ඉතින් ජීවිතේ ඒ අදාල කාරණා සම්බන්ධව යන්තමින් හෝ කියවන්න ලැබීම, ජීවිත අත්දැකීම මේ වෙනසට හේතුවෙන්න ඇති කියල මම හිතන්නෙ.

Inception චිත්‍රපටයෙ ප්‍රධාන චරිතය Dom , සිහින සොරාගන්නෙක් විදිහට අපි දකින්නෙ. ඒකියන්නෙ සිහින මාර්ගයෙන් පුද්ගලයන් ගෙ ඇතුළු සිතට ගමන් කරල ඒ අයගෙ සැඟවී තියන තොරතුරු එලියට අරගෙන අදාල පුද්ගලයන්ට ලබාදීම Dom කරන්නෙ. පුද්ගලයාගෙ චරිතය ගැන, කැමති අකමැති දේවල් ගැන හැදෑරිමකින් පස්සෙ තමා Dom මේ වැඩේ පටන් ගන්නෙ. මේ සිහින සහ ඇතුළු සිත කියන්නෙ අපිට හිත යොමුකරන්න පුලුවන් කරුණු කාරණා ගණනාවකටම දොර විවර කර දෙන මාතෘකාවක්. මොකද  ඇතුළු සිත අපිටත් නොදැනිම අපේ ක්‍රියාකාරකම් මෙහෙවන නිසාත්, අපි පිළිබඳවම බොහෝ දේවල් ඇතුළු සිතේ සඟවිලා තියන නිසාත්.

බටහිර විද්‍යාවෙදි නම් මනස ගැන  හැදෑරීමේ පුරෝගාමී තැන හිමි වෙන්නෙ සිග්මන් ෆ්‍රොයිඩ් ට. ෆ්‍රොයිඩ් ගෙ අනාවරණයන් ගැන නොයෙක් මතවාද තිබුණත් අදටත් ඒව බොහොම වැදගත් විදිහට සලකනව. ෆ්‍රොයිඩ් ට අනුව මිනිස් මනස මූලිකව කොටස් තුනකට වෙන්කරනව. පළමු කොටස උඩු සිත එහෙම නැත්තම්  විඥානය (conscious) විදිහට හඳුන්වනව. මේ තමා මනසේ අපේ අවධානයට අහුවෙන ක්‍රියාකාරී කොටස. අපි සාමාන්‍ය එදිනෙදා ජීවිතේ කටයුතු කරන්නෙ, සමාජය එක්ක සම්බන්ධ වෙන්නෙ, කතා කරන්නෙ, මේ මතුපිට සිතෙන්.  මනසෙ ඉතාම කුඩා කොටසක් තමා මේ විඥානය එහෙම නැත්තම් උඩු සිත. ඉන් පස්සෙ තරමක් ගැඹුරෙන් පිහිටා තියනව උප විඥාන  (Sub Conscious) කොටස. උඩු සිතත් යටි සිතත් අතර අතරමැදියෙක් විදිහටයි උප විඥානය ක්‍රියාකරන්නෙ. මතකය අවදි කිරීම යටපත් කිරීම උප විඥානයෙන් සිද්දකරනව. මනසේ විශාල ම වගේම වැදගත්ම කොටස, නැත්තම්  අවිඥානය (unconscious) පිහිටා තියෙන්නෙ ඊටත් ගැඹුරෙන්. ෆ්‍රොයිඩ් ට අනුව අපේ  හැඟීම්, ආශාවන්, නොයෙක් පෙළඹවීම්, අපේ අත්දැකීම්, අපි මතකයෙන් යටපත් කරන්න උත්සහ කරන දේවල් මේ හැමදෙයක්ම තැන්පත් වෙලා තියෙන්නෙ අපේ අවධානයෙන් බැහැරව , සැඟවී පවතින අවිඥානයෙ. ෆ්‍රොයිඩ් ට අනුව පුද්ගලයෙක් ගෙ චරිත ස්වභාවය  ගොඩ නංවන්න  වැදගත්ම වැඩ කොටසක් කරන්නෙ මේ අවිඥානය නැත්තම් ඇතුළු සිත. බොහෝ වෙලාවට සැබෑ ලෝකෙදි අපිට ලබාගන්න බැරිව බිඳවැටුණු  බලාපොරොත්තු, අපේක්ෂා, අවිඥානයෙ තැන්පත් වෙනව. අපි සිහින විදිහට දකින්නෙ මෙන්න මේ දේවල්. සැබෑ ජීවිතේ ඉටු කරගන්න බැරි ආශාවන් සිහින වලින් අත්පත් කරගෙන ඒව පරිපූර්ණත්වයට පැමිණෙනව කියල ෆ්‍රොයිඩ් කියනව. බුදු දහමෙත් මේ අවිඥානය ගැන සඳහන් වෙනව. මගෙ දැනුම නිවැරදි නම් මනුෂ්‍ය සිතේ ඇලීම් බැඳීම් සියලු ක්ලේශයන් තැන්පත් වෙලා තියෙන්නෙ මේ ඇතුළු සිතේ තමයි. සිතේ ගැඹුරට ගමන් කරල මේ ඇලීම් සියල්ල අතහැරීම තමා බුදු දහමට අනුව නිදහස් වීම, පරම විමුක්තිය, නැත්නම් නිර්වාණය පසක් කර ගැනීම කියල හඳුන්වන්නෙ.

දැන් ආයෙම Inception දිහාට හැරුණොත්, වෘත්තීය සිහින දකින්නෙක් වුණ Dom පවා හිරවෙන තැනක් එනව. ඒ තමා ඔහුගෙ බිරිඳ ගෙ වියෝව. සිහිනයත් යථාර්ථයත් අතරෙ අතරමං වෙන ඈ සියදිවි නසාගන්නෙ තමා ගෙ වරදින් කියන වරදකාරී හැඟීමෙන් (Guilt)  Dom නිතර පීඩා විදිනව. ඔහු මොන විදිහක හීනයක් දැක්කත් එ් හැම හීනෙම ඇයත් ඔවුන්ගෙ දරුවන් දෙදෙනාත් ඉන්නව. මේ තමා  Dom ගේ අවිඥානය. ඇය සමග බැදුන ආදරයත්, තමන් ඈගෙ ජිවිතය විනාශ කලා කියන හැඟීමත් අනෙක් හැම දේටම වඩා බලවත්ව නැගෙන හැටි අපි දකින්නෙ. ඒ වගේම චිත්‍රපටයෙ වැඩි ධාවන කාලයක් දිවෙන සිදුවීම් මාලාව  වෙන Robert Fischer  කියන කෝටිපති ව්‍යාපාරිකයාගේ මනසට ඇතුළු වෙලා අදහසක් ඇතූලත් කරන කටයුත්ත  Dom  භාරගන්නෙත් සියල්ල අවසාන කරල ඔහුට ගෙදර යන්න ලැබෙන පොරොන්දුව පිටයි.  මේ තමා මනුෂ්‍ය හිතක ස්වභාවය. Inception චිත්‍රපටයෙ අධ්‍යක්ෂ Christor Nolan මේ කාරණේ නියම තැනින් අල්ලාගෙන තියනව. විද්‍යාවත් මනුෂ්‍යත්වයත් හරි අපූරුවට එකට එක් කරන අධ්‍යක්ෂ වරයෙක් තමා Nolan කියන්නෙ. විශේෂයෙන් ඔහුගෙ Interstellar චිත්‍රපටයෙත් Super hero  චරිතයක් වුණ Bat man මූලික කරගෙන නිපද වුණ Dark Knight චිත්‍රපට ත්‍රිත්වයෙදිත් දකින්න පුලුවන්. Christopher Nolan ගෙ සිනමාපට වල ජනප්‍රිය සිනමාවෙ කුතුහලය සමග ක්‍රියාදාමයනුත්, දැවැන්ත බව මුසු ආකර්ශණයත්, ජීවිතේ බොහොම ගැඹුරින් ස්පර්ශ කරන කතා පුවතක් කියන මේ අනුපානයන් ගෙන් සමන්විතයි. Inception පිටපත හදන්න ඔහු අවුරුදු දහයක් වෙහෙසුණු බව කියනවා. ඒ දැවැන්ත පරිශ්‍රමයෙ ප්‍රතිඵල ඇස් දෙකෙන් දකින්න පුලුවන්. Inception මට තවත් වින්දනාත්මක අත්දැකීමක් වෙන්නෙ කැමතිම නළු නිළියන් පිරිසක් එක සිනමා නිර්මාණයක දැකගන්න ලැබීම. Leonardo DiCaprio, Tom Hardy  Joseph Gordon Levitt සහ Juno චිත්‍රපටයෙන් අඳුනාගත්ත Ellan Page. මේ සියලු දෙනාගෙන් නියම විදිහට වැඩගන්න Nolan සමත්වෙලා තියනව. Dicaprio ගෙ Departed සහ Blood Diamond ට පස්සෙ මගෙ කැමතිම රංගනය ඇතුළත් වෙන්නෙ Inception චිත්‍රපටයෙ. මේ සියලු කාරණා එක්ක මගෙ කැමතිම චිත්‍රපටි ලයිස්තුවෙ ඉහළම තැනකට එන්න Inception සමත් වුණ බව කියන්න කැමතියි.






2 comments:

  1. Good post! Inception is a masterpiece. When you say 'Dom', I suppose you meant 'Cobb'?
    - Udaya

    ReplyDelete
  2. Thanx alot... Yep he is Dominic Cobb according to Wikipedia ..

    ReplyDelete