Monday, September 17, 2018

හැකිද ඔබට?


ඉඩෝරයෙන් ඉරිතැලිච්ච
පතුල් මතුව දිය හිඳිච්ච
වියළී ගිය  කුඩා වැවක්
සඳ එළියෙන් පුරවන්නට
හැකිද සඳට..

පැහැය සුවඳ දරා උන්න
පෙති විහිදා පිපී එද්දි බලා උන්න
බඹරුන් රොන් අරගෙන පලායද්දි 
ලඟින් උන්න
මල් නටුවක් හැර යන්නට
හැකිද මලට...

අතු අග ළා දළු පැළඳුව
අත් විහිදා මඳ සුළඟේ සිනා සැලුව
සියොතුන් ළඟ හිඳ රස ගී මිමිණුව
වසන්තයේ අන්තිම දා 
කඳුළු බිඳක් නොහෙලා ඉන්න
හැකිද ගසට...

එනමුදු 
රිදෙන දැවෙන
ගැස්මක් ගැස්මක් ගානේ සුසුම් හෙලන
ඇඟිලි තුඩක මුදු පහසින් පවා බිඳෙන
මතුයම් දවසක නවතින
හදවතකට පෙම් කරන්න
හැකිද ඔබට?






No comments:

Post a Comment