චිත්‍රපටයක් බලන්න තුන්හිතකවත් නොතිබ්බ වෙලාවක තමා ඝරසරප බලන්න ලැබෙන්නෙ. ඒක එක්තරා විදිහක අහම්බයක්. චිත්‍රපට ශාලාවටම ඇවිත් චිත්‍රපටයක් බලන එක කොයිතරම් මගඇරිලද කියල දැනුණෙ එ් අත්දැකීම ලැබුවට පස්සෙයි. ඇත්තටම ඒක වෙන කොයි විදිහකින්වත් ලබන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඝරසරප ගැන අතිශය බහුතරයක් දෙනා ප්‍රශංසාත්මකව කතා කර තිබුණ නිසා චිත්‍රපටය බලන්න කලින්ම ඒ ගැන තිබුනෙ හොද ආකල්පයක්. නාමාවලිය (Opening Credits)ට පස්සෙ මුල් දර්ශන කීපයේ වේගවත් බවකුත් පසුබිම් සංගීතයෙ පමණට වැඩි බවකුත් දැණුන. ඒ කොහොම වුණත් අවසානෙ විශාල තෘප්තිමත් හැගීමකින් තමයි ශාලාවෙන් එළියට ආවෙ.
කළු කුමාර චරිතය සංකේතාත්මකව යොදාගෙන අධ්‍යක්ෂවරයා වෙනත් කතාවක් කියන බව පැහැදිලියි. වෙනත් කතාවක් නොවෙයි ඇත්තටම කතා ගොඩක්. වැදගත්ම තැනක් තමා ඩොක්ට විද්‍යා කියන දැනුම් පද්ධති ගැන කතාව. කලාන්තරයක් තිස්සෙ මිනිස්සු තමන්ගෙ තමන්ගෙ ප්‍රශ්ණ ගැටලුවලට උත්තර හොයන්න විවිධාකාර ක්‍රමවේද වලින් රැස් කරගත්ත දැනුම් පද්ධති සහ ඒ ආශ්‍රිත සම්ප්‍රදායන් රාශියක් තියනව. චිත්‍රපටය ඇතුලෙ පල්ලියෙ දේවමෙහෙය, තොවිලය, බටහිර වෛද්‍ය විද්‍යාව මේ එකින් එක නියෝජනය කරවනව. ලෝකය හැදිල තියෙන්නෙ නොයෙකුත් සංස්කෘතීන් ඇතුලෙ පවතින මේ වගේ දැනුම් පද්ධති ගණනාවකින්. මෙතනදි අනෙකා ගැන අපේ ආකල්පය කොයිවගේ එකක් විය යුතු ද කියල යෝජනාවක් ඉදිරිපත් වෙනව. තිස් අවුරුද්දක් අපේ රටේ යුද්ධ ගිනි ඇවිලෙන්න මූල හේතුව මේ අනෙකා සම්බන්ධ ගැටලුව තමයි. ඝරසරප එහෙම නැත්තම් කලු කුමාරයා කියන්නෙ එ් එකිනෙකා අතර වෛරය, භේද භින්නවීම ට . විද්‍යා ගේ සහ සඳරැස් ගේ ආදරය තමා මෙතන පරමාදර්ශය විදිහට නැගීසිටින්නෙ. "සඳරැස්" ඒ නමේම තියනව උත්ප්‍රාය. සඳඑළිය සැඩ පරුෂ නෑ. ඒක හරි සෞම්‍යයි, පීඩාකාරී විදිහට උණුහුම් නෑ, ආදරේ වගේ තමා. එතන යක්ෂයට ඉඩ නෑ. ආදරය ඇති තැන සියල්ල සම්පූරණයි. රා කල හතක් බීගත්ත නාලාගිරි පවා බුදුන් දමනය කළේ මෛත්රියෙන්. සිංහබාහු විද්ද ඊ්තල එකක් වත් සිංහයට වැදුණෙ නෑ. එ් සිංහයා මේ මගේ පුතා කියන හැගීමෙන් බලපු නිසා. නමුත් පුතා ගැන වෛරය උපදින තැනම සිංහයට ඊතලේ වදිනව.
තව පැත්තකින් අහිමි ප්‍රේමයක් ගැන කතාවක් අපි දකිනව. ඔය අත්දැකීමෙ ඉන්න කෙනෙකුට ජීවිතේ කවද හරි ඔය අත්දැකීම ලබපු කෙනෙකුට මතක් කර කර අඩන්න තරම් අනුවේදනීයව එ් කතාව ඉදිරිපත් වෙනව. මට මතක් වෙන්නෙ La La Land චිත්‍රපටයෙ අවසානය. ඒ "මෙහෙම වෙන් වෙන්න නම් ඇයි මුන් දෙන්න මෙච්චර ළං වුණේ" වගේ හැගීමක්. ඒත් ප්‍රේමය ගැන ගොඩක් "ඇත්ත" අත්දැකීම ඒක. ප්‍රේමය කියන්නෙ අතින් අල්ලගෙන ,මගේ කරගෙන හැම දාම මගෙ ලඟ ඉන්න කියන එකම නෙමේ. ඒත් ඒක විශාල වේදනාවක්. විද්‍යාටත් සඳරැස්ටත් එකිනෙකාගෙන් වෙන් වෙන්න සිද්දවුණත් ඒ ආදරය තාමත් ඔවුන්ගෙ හිත්වල ඉතිරි වී තිබෙන බව පෙන්වන්නෙ පත්තර පිටුව ඇතුලෙ තියන ලේන්සුවෙන්.
රඟපෑම් ගැන වැඩි දෙයක් කියන්නෙ නෑ. සඳරැස් සහ විද්‍යා ගේ තරුණ වයස නිරූපණය කරන දෙදෙනා ගෙ රඟපෑම් අනිත් හැමෝටම වඩා බොහොම ඉහළින් තිබුණ බව තමා කියන්න තියෙන්නෙ. කලු කුමාර චරිතය චිත්‍රපටය ඇතුලෙ තව මතුවෙන්න තිබුණා කියල මම හිතන්නෙ. කලු කුමාර නිකම් "හැර ගිය පෙම්වතිය නැවත ගෙන්වා දෙන්නෙක්" ගේ තැනට සීමාවුණා දෝ කියා හිතෙනව. කමල් ගේ ත් සංගීතා ගේත් අවසාන රංගනයට ඉතාම කැමතියි. ලොකු plot twist නැතුව ඇහැට ඇඟිල්ලෙන් ඇනලා ඒ අවසන් කල විදිහට මම කැමතියි.
අපේ රටේ මේ ජනවාර්ගික ප්‍රශ්නය ඇතුලුව කරුණු කාරණා ගණනාවක් ඒ තරම් බරපතළ විදිහට නැතත් යම් තරමකින් සාකච්ඡා කරන .. හිතට දැනෙන කතාවක් විදිහටයි ඝරසරප මම දකින්නෙ.
No comments:
Post a Comment