Monday, September 3, 2018

තවමත් එහෙම ද?


රාත්‍රිය කලුවරට 
තනිකමක් දැනෙනව ද?
මද සුළඟ මේ දැනුත්
සුවඳ ගෙන හමනව ද?
වාරුවට උරහිසක්
නැති අඩුව දැනෙනව ද?
තාරකාවෙන් තවත්
මග නොමග අහනව ද?

මල් නැතත් ඒ උයනෙ 
ලිය මඩුලු එතෙනව ද?
කණාමැදිරින් රෑන
ඔහේ සැරිසරනව ද?
මගහැරී ගිය යමක්
උන් අදත් හොයනව ද?
මං නැතත් තවම ඔහෙ
හඳ එළිය වැටෙනව ද?





2 comments:

  1. රැයේ කලුවර - නැතේ තනි කම
    පිපේ ගිනිකණ - වැටෙන එළි වට
    මද සුළං පොද - ගෙනෙන වා රළ
    මුසුව ඇත්තෙද - පාසි මුඩු ගඳ
    වාරු ගන්නට - උරහිසක් මොට
    දෑත ඇත මට - හිස හොවන්නට
    මග අසන්නට - තරු ඇවැසි නැත
    හිස හැරුණු අත - වේය හරි මග

    මල් වැරූ ලිය - මඩුලු උදුරා
    ගිනි තබා අළු - වළ දමා ඇත
    කණා මැදිරින් - සරා දස අත
    සොයයි නැති වූ - එළිය කොයිබද
    මිලින සඳ වත - අතු පතර සර
    බිඳුනු හද හැඩ - මවයි ගෙමිදුල
    තනි කමක් නැත - පාළුවක් නැත
    තවම එහෙම ය - මුරණ්ඩුය මම

    ReplyDelete
    Replies
    1. ඒක පුදුම මුරණ්ඩු කමක් නේ.......

      Delete