Friday, February 28, 2020

Starry Starry Night...

වින්සන්ට් වෑන්ගෝ ගැන වර්තමානයේදි නම් නොදන්නා කෙනෙක් නැති තරම්. වෑන්ගෝ නම අසා නැති කෙනෙක් වුණත් ඔහුගෙ Starry Night සිත්තම දැක ඇති. ඔහුගේ යුගයේ ජනප්‍රියව පැවතුණ, මිශ්‍ර නොකරන වර්ණ තිත් වලින් සිතුවම් නිර්මාණය කරන උපස්තිථිවාදී (Impressionism) සිතුවම් කලාව වැඩි දියුණු කරමින්, කෙටි පින්සල් පහර වලින් සිතුවම් නිමවන පශ්චාත් උපස්තිථිවාදය (Post Impressionism) හඳුන්වා දෙන්න පුරෝගාමී වුණ කලාකරුවෙක් විදිහට අද ඔහුව හඳුනා ගැනෙනව. නමුත් වෑන්ගෝ කිසි දවසක කිසිම ආයතනයකින් සිතුවම් කලාව ඉගෙන ගත් අයෙක් නොවෙයි. ඔහු තමන්ගෙ භාවිතාවෙන්ම, ස්වයං හැදෑරීමෙන් ම සිතුවම් කලාව පුරුදු පුහුණු කල පුද්ගලයෙක්. වෑන්ගෝ ගේ ජීවිත පුවත කියවා බලද්දි වැටහෙන කාරණයක් තමා ඔහු ජීවිතය පුරා අසීමිතව ලෙඩ, දුක්, කරදර වලින් පීඩාවට පත්ව සිටි පුද්ගලයෙක් බව. ඔහු සිතුවම් අඳින්න යොමුවුණේ මේ වේදනාවෙන් මිදීමටයි. පසුව එය ඔහුගෙ ජීවිතයම බවට පත්වුණා. ජීවිත කාලය ඇතුලත ඔහු සිතුවම් 2000 ක් පමණ නිර්මාණය කර තිබෙනවා! ඒත් කිසිදාකවත් ඔහුට ඒවායින් විශාල ජනප්‍රියත්වයක් නම් හිමිවුණේ නෑ. ඔහු චිත්‍ර ප්‍රදර්ශන කීපයක්ම පැවැත්වූවත් හිතු තරම් මුදලක් ඒවායින් ලැබුනෙ නෑ. වෑන්ගෝ තමන් නිර්මාණය කල සිතුවම් අතරෙන් මුදලකට විකුණා ඇත්තෙ එකම එක සිතුවමක් පමණයි. වෑන්ගෝ ගේ ජීවිතය ඇසුරෙනුයි ඇමරිකානු ගායක Don Maclean, Stary stary night ගීය රචනා කර සංගීතය නිර්මාණය කරමින් ගායනා කරන්නෙ. 

"1970 සරත් සෘතුවේ දි මට පාසල්වල පැවැත්වුණු වැඩසටහන් කීපයක ගායනා කරන්න අවස්තාව ලැබුන. මම පන්ති කාමරවල ශිෂ්‍යයන් ඉදිරිපිට ගිටාරය වයමින් ගායනයේ යෙදුන. දවසක් මම මගේ කාමරයෙ ඉදිරිපිට ඉස්තෝප්පුවෙ වාඩිවී ඉන්නකොට මම දුටුව පොතක් වින්සන්ට් වෑන්ගෝ ගැන ලියවුණු. එය ලියා තිබුණෙ වෑන්ගෝ ගෙ සහෝදරයා තියෝ. මිහිපිට ඔහුට යම් කරුණාවක් දක්වපු එකම පුද්ගලය තියෝ පමණයි. පොත කියවද්දි මට වෑන්ගෝ ගැන ගීයක් ලියන්න තදින්ම උවමනාවක් ඇතිවුනා. සමාජය ඔහු විකාර රූපිකයෙක් විදිහට හැඳින්වුවත් මට කියන්න ඕන වුණා ඔහු එහෙම කෙනෙක් නොවුණ බව. මම ඔහුගෙ Stary Night සිතුවමේ මුද්‍රිත පිටපතක් දිහා බලාගෙන උන්න. ඒක කොයිතරම් විස්මයජනක ද ! ඒ වර්ණ , ඒ හැඩතල .. කොයිතරම් ඉන්ද්‍රජාලික ද... මම ඒ මොහොතෙම කඩදාසි මල්ලක් අරගෙන ඒ මතුපිට ගීය රචනා කරන්න පටන්ගත්ත."

Stary Night ගීතය නිමැවුණු ආකාරය ගැන Don Maclean විස්තර කරන්නෙ එහෙම.

වින්සන්ට් වෑන්ගෝ Stary Night සිතුවම නිමවන්නෙ 1889 අවුරුද්දෙ දි ඔහු තමන් ඉපදුන රටින් (ඕලන්දය) පිට තැනින් තැනට ඇවිදින පිටුවහල් ජීවිතයක් ගතකරමින් ඉද්දි. "මට රාත්‍රිය දවාලට වඩා වර්ණවත්ව දැනෙනවා" යි ඔහු කියා තිබෙනව. කොහොම වුණත් ඔහු Stary Night සිතුවමට නඟන්නේ දහවල් කාලයේදි, රාත්‍රිය ගැන මතකයන් ඇසුරෙන් බව තමා කියවෙන්නෙ.

"තාරකා පිරුණු රැය
සිතුවමට නඟන්න ඔබ
මගේ ආත්මය පුරා පැතිරුණ
අන්ධකාරය හඳුනනා දෑසින්
බලන්න ගිම්හාන දහවලේ
සිතුවම් කරන්න ඔබ
නිල් අලු පැහැය ගෙන
වර්ණ අතරින් ඔබේ.."

මේ කාලයේදි Don Maclean පවා පහු කරමින් උන්නෙ අඳුරු යුගයක්. ඔහුගේ විවාහයේ තිබුණි ගැටලුකාරී බව ඔහු වේදනාවට පත්කර තිබුණ. ඔහු තමන්ගේම අත්දැකීමත් ගීතයට පාදක කරගන්න ඇති.

"මට එක දෙයක් කියන්න අවශ්‍ය වුණා."

Don Maclean තවදුරටත් කියාසිටිනව

"මට කියන්න අවශ්‍ය වුණා ගීතය ඉතාම කාව්‍යාත්මකයි කියල. කවිය ප්‍රඥාසම්පන්නයි, විනෝදාත්මකයි, ආවේගශීලි වගේම ඛේදජනකයි..ගීතයටත් කවියෙන් මේ දේවල් උකහාගත හැකියි. නමුත් අවාසනාවකට වගේ එවැනි නිර්මාණ ඉතාම විරලයි"

Don Maclean ගේ Stary Night ගීය අසා බැලුවොත් එය කවියක් වගේ කොයිතරම් හදවතට සමීපව විඳගත හැකි ගීයක් ද කියන කාරණය ඔබට වටහාගත හැකිවේවි. වින්සන්ට් ගේ ජීවිතේ ඛේදජනක බව, අනෙක් මිනිසුන් අතින් ප්‍රතික්ෂේප වීමේ වේදනාව මේ ගීයෙන් මතුවෙනව. බොක්ස් ගිටාරයක් පමණක් භාවිතා කර තිබීම හා අවසානෙ වයලීන (strings) භාවිතා කර තිබීමෙන් ඒ හැඟීම තවත් තීව්‍ර ව දැනෙනව. බොහෝ අය මේ ගීය නැවත ගයා තිබෙනව එය ඉතිහාසයෙ මෙතෙක් නිමැවුණු හොඳම ගීත අතරට එක්වෙනව..

"ඔවුන් ආදරය කළේ නැහැ ඔබට
නමුත් ඔබේ ආදරය සැබෑවක් ඔවුන් වෙත
ඒ තරු පිරුණු රැයක දසුනේ 
පැතුමන් විසුණු වී ගිය දින ඔබේ
අතැර දැමුවා ඔබ ජීවිතය
ප්‍රේමවන්තයින් කරනා ලෙස
එහෙත් වින්සන්ට් 
ඔබට කියන්න ඉඩ තිබුණානම් මට
සුදුසු තැනක් නොවෙයි මේ ලොව
ඔබ වැනි සුන්දර මිනිසුන්ට"

අයහපත් ශාරීරික මානසික සෞඛ්‍ය තත්ත්වයෙන් ගෙන් පීඩා විඳිමින් නමුත් ජීවිත කැපවීමෙන් කලාවේ නියැලුණත් අවසානෙ කිසිම ඇගයීමකට ලක් නොවී මියගිය කලාකරුවෙකුගෙ ජීවිතය දිහා වඩාත් දයාර්ද්‍ර බැල්මකින් බලන්නත් ඔහු මිනිසුන් අතරෙ ජීවත් වුණ සුන්දරම මනුශ්‍යයෙක් බව කියන්නත් Don Maclean තමන්ගෙ ගිටාරේ ස්වර හඬවනවා. කලාකරුවෙගේ ජීවිතයක් තවත් කලාකරුවෙකුගේ ඇහින් දැක, ගීයකට පබැඳුනු අපූරු අවස්තාවක් විදිහට Stary stary night ගීය හඳුනාගත හැකියි.

වටහාගත හැකියි දැන්
කුමක්ද ඔබ කියන්න වෙර දැරුවේ මට
කෙලෙසක ද පීඩා වින්දේ ඔබ
කෙලෙසකද වේදනාවන් ගෙන්
අත්මිදෙන්නට තැත් කළේ ඔබ..
වටහා ගත්තේ නෑ ඔවුන් ඔබව
තවමත් නැත
වටහා නොගනීවි ඔවුන්
කිසිම දවසක.
......................................

Starry, starry night
Paint your palette blue and grey
Look out on a summer's day
With eyes that know the darkness in my soul

Shadows on the hills
Sketch the trees and the daffodils
Catch the breeze and the winter chills
In colours on the snowy linen land

Now I understand
What you tried to say to me
How you suffered for your sanity
How you tried to set them free
They would not listen, they did not know how
Perhaps they'll listen now

Starry, starry night
Flaming flowers that brightly blaze
Swirling clouds in violet haze
Reflect in Vincent's eyes of China blue
Colours changing hue
Morning fields of amber grain
Weathered faces lined in pain
Are soothed beneath the artist's loving hand

Oh, now I understand
What you tried to say to me
How you suffered for your sanity
How you tried to set them free
They would not listen, they did not know how
Perhaps they'll listen now

For they could not love you, love you
But still your love was true
And when no hope was left in sight on that starry, starry night
You took your life as lovers often do
But I could have told you, Vincent
This world was never meant for one as beautiful as you

Oh, starry, starry night
Portraits hung in empty halls
Frameless heads on nameless walls
With eyes that watch the world and can't forget
Like the strangers that you've met
The ragged men in ragged clothes
The silver thorn of a bloody rose
Lie crushed and broken on the virgin snow

Now I think I know
Oh, what you tried to say to me
How you suffered for your sanity
How you tried to set them free
They would not listen, they're not listening still
Perhaps they never will


Starry Night සිතුවම


Don Maclean


Vincent Van Gogh 


Thursday, February 27, 2020

Pans Labyrinth (2006)

ෆෝන් (Faun) කියන්නෙ පැරණි ග්‍රීක මිත්‍යා කතන්දර වල එන කල්පිත සත්ත්වයෙක්. Faun ගේ හිසේ අං යුගල සහ දෙපා එළුවෙකුගේ ස්වරූපයත් මුහුණ, බඳ සහ දෑත මනුෂ්‍ය ස්වරූපයත් ගන්නව. Faun වරු සතුටින් පිරී ගිය ආත්මයන් සහිත ජීවින් කොටසක්. ඔවුන් වනාන්තර වලටත්, සංගීතයටත් සුන්දර ස්ත්‍රීන්ටත් ප්‍රිය කරනව. වනාන්තරයක අතරමං වුණ කෙනෙක් Faun වරයෙක් ට හමුවුණොත් ඔහු ඒ පුද්ගලයා නිසි පාර සොයාගන්නා තුරු පල වැල ගෙනත් දෙමින් ලඟින් හිඳ කතන්දර කියමින් ගායනා කරමින් සනසවනවා ලු. Faun වරු දක්ෂ නලා වදකයින්. එඬේරුන්ට අධිපති දෙවියන් වුණ Pan ඇසුරෙ මේ Faun සත්ත්වයන් ජීවත් වෙන බව කියනව. අපූරුවට නලාව වාදනයනය කිරීමේ හැකියාව Faun ල ට ලැබිල තියෙන්නෙ Pan දෙවියන්ට සේවය කිරීම වෙනුවෙන් තෑග්ගක් විදිහට ලු. දෙවනි ලෝක යුද්ධ සමයේ ස්පාඤ්ඤයේ එක පුංචි ගැහැණු ළමයෙකුට දවසක් කැලෑවක මැද වංකගිරියක දි Faun කෙනෙක් මුණගැහෙනව. මේ සිදුවීම එයාගෙ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරවන එකක් බවට පත්වෙනව.

ඔෆේලියා නිතරම පොත පත කියවන විශේෂයෙන් සුරංගනා කතා කියවන්න හරි කැමති පුංචි ගෑනු ළමයෙක්. ඔෆේලියාගෙ පියා මිය ගිහින් ඈ ජීවත් වෙන්නෙ අම්මත් එක්ක. ඔෆේලියා ගෙ අම්ම ෆ්‍රැන්කෝගෙ හමුදාවෙ කපිතාන්වරයෙකු සමග විවාහ වෙනව.

ස්පාඤ්ඤයේ ෆ්‍රැන්කෝ කියන්නෙ, ජර්මනියේ නාසිවාදී හිට්ලර්, ඉතාලියේ පැසිස්ට්වාදි මුසෝලිනි එක්ක සමකාලීනව නැගීහිටි යුරෝපයේ අනෙක් ප්‍රබලතම ජාතිවාදී ආඥාදායකයා. 1939 ස්පාඤ්ඤ සිවිල් යුද්ධය ජයගැනීමත් එක්ක ඔහු රටේ පාලන බලය සියතට ගන්නව. කෲරත්වය අතින් නම් ඔහු කිසිසේත්ම හිට්ලර්ට දෙවනි වන්නෙක් නොවෙයි. ඔහු තමන්ගෙ විරුද්ධවාදීන් මර්ධනය කළේ ඉතාම කුරිරු ආකාරයට.

මේ කපිතාන් වරයාත් ෆ්‍රැන්කෝටම ගැලපෙන අතිශය දරුණු පුද්ගලයෙක්. ඔහුට තමන්ගෙ බිරිඳ ගැනවත් පුංචි ඔෆේලියා ගැනවත් වටිනාකමක් නැහැ. ඔහුට අවශ්‍ය පරම්පරාව පවත්වාගෙන යන්න තමන්ගෙ ලෙයින් උපන් පිරිමි දරුවෙක් පමණයි. ඉතින් මෙවැනි පසුබිමක ජීවිතය සුරංගනා කතන්දරයක් වගේ ලස්සන සුන්දර එකක් වෙන්න ඉඩක් නෑ නෙ. ඔය අතරෙදියි ඔෆේලියාට Faun මුණගැහෙන්නේ. එතනදි ඇයට අහන්න ලැබෙන්නෙ ඇය හීනෙකින් වත් නොහිතූ අමුතුම කතාවක්.

මරණින් මතු ජීවිතයට අධිපති වූ රජු ගේ රාජධානිය පිහිටා තිබෙන්නෙ පොළවේ ගැඹුරේ කවුරුත් නොදන්නා කලාපයක. මේ රජුගේ දියණිය Moana. දවසක් එක් රහස් මාර්ගයක් දිගේ ඇවිද යන මෝනා නතර වෙන්නෙ පොළව මතුපිට. මිනිස් ලෝකය මත. නමුත් කිසිදා හිරු රැස් දැක නැති ඇයට සූර්‍යාලෝකය දරාගන්න බැරිවෙනව. සූර්‍ය කිරණේ ඇගේ ශරීරයත් ආත්මයත් මතකයන් සියල්ලත් දැවී ගිහින් සුළඟේ පාවී යනව. නමුත් දවසක ඇය මනුශ්‍ය ආත්මයක් ලබා මනුලොව නැවත ඉපදෙන බව රජු විශ්වාස කරනව. මේ Faun ගෙ කාර්‍ය් ඇය සොයාගෙන නැවත පියාණන් ළඟට රැගෙන යාම. Faun කියන විදිහට මෝනා ගෙ නැවත ඉපදීම තමයි ඔෆේලියා. ඉතින් ඇය පිය රජු ලඟට යාමට සූදානම් විය යුතුයි. ඊට පෙර ඇය අභියෝග තුනක් ජයගන්න ඕන. මොනවද මේ ඔෆේලියාට ලැබෙන වැඩ තුන? ඇය ඒ දේවල් සාර්ථකව නිම කරාවි ද?

Pans Labyrinth මැක්සිකානු ජාතික සිනමාකරුවෙක් වුණ Guillermo De Toro ගෙ නිමවුමක් (Shape of water, Hellboy, Crimson Peak, Blade 2 ඔහුගේ නිර්මාණ) මෙතෙක් නිමැවුණු Fantasy චිත්‍රපට අතරේ Pans Labyrinth තියෙන්නෙ ඉහළම තැනක. එය 2006 හොඳම විදෙස් භාෂා චිත්‍රපටයට හිමි Oscar සම්මානය දිනාගත්ත. එය ප්‍රේක්ෂකයන්ගෙත් විචාරකයන්ගෙත් ප්‍රශංසාවට ලක්වුණා. යුද්ධයේ ඇති බිහිසුණු බව, යහපත් ලෝකයක් ගැන ඇති බලාපොරොත්තු ක්‍රමයෙන් බිඳවැටී යන ආකාරය, මොනම තත්ත්වයක් යටතේ වුණත් නිවැරදි දේ වෙනුවෙන් පෙනී ඉන්න හැබෑම මිනිස්සු.. මේ චිත්‍රපටයෙන් දැකගන්න පුලුවන්. ඒවගේම ඉතාම අපූරු Cinematography එකක් ඇති චිත්‍රපටයක්. මිනිස් ලෝකයේ දුෂ්ටකම් මැද ගොඩනැගුන ෆැන්ටසික හීනයක්. මේක විඳගත යුතුම සිනමා අත්දැකීමක්.









Wednesday, February 26, 2020

තනි තරුවේ..


රෑ අඳුර මැද ආකාසෙ
පායා එන තරු ඇත සමහර
මඟ නොමඟ නෑසිය යුතු
" ඔහොම ඔතැනම ඉන්න" බව
පමණකින් සෑහිය යුතු..




Monday, February 24, 2020

හිලරි සහ ජැකී

ජැකී හෙමින් සැරේ දෑස් විවර කරල බැලුවා. ජනෙල් කවුළුවෙන් කාමරය ඇතුලට ඉරුරැස් ගලා එමින් තිබුණා. කුරුල්ලන් නාද කරමින් උන්නා. දැනටම උදේ වෙලා. ජැකී නිදිගැට කඩමින් අනෙක් පැත්ත හැරුණා. එයාගෙ සහෝදරිය හිලරි නම් තවමත් නිදි. ජැකී ගේ ඇඳ එහා පැත්තෙන් කවුදෝ යම් සටහනක් තියා ගිහින්. A Song for Holiday කියල උඩින්ම ලොකු අකුරෙන් ලියපු ඒ කඩදාසියේ තිබුණෙ සංගීත ස්වර ප්‍රස්තාරයක්.

"හිලරි නැගිටින්න.. අම්ම අලුතෙන්ම සින්දුවක් හදල" 

ජැකී, හිලරිවත් ඇහැරවගෙන නිදි ඇඳුම පිටින්ම සංගීත කාමරයට දිව්ව. ජැකී, හිලරි.. මේ දෙන්නගෙ අම්මා සංගීත ගුරුවරියක්, පියානෝ වාදන ශිල්පිනියක්. ඇයට ජැකී, හිලරි සහ තව පිරිමි දරුවෙක් හිටිය. ඒ නිවාසය සංගීතයෙන් පිරී ඉතිරී යන තැනක් වුණා. වයස අවුරුදු හතරෙදී රේඩියෝවෙන් චෙලෝ වාදනයක් අහන් හිටපු ජැකීට ඒ සංගීත භාණ්ඩය වාදනය කරන්න උවමනා වුණා. ජැකී ගෙ අම්මා ඇයට චෙලෝවක් අරගෙන දීල එය වාදනය කරන ආකාරය පුහුණු කළා. 

සංගීත කාමරයට දුවගෙන ගිය පුංචි ජැකීත් හිලරිත් අම්මා ලියා තිබුණ සංගීතය වාදනය කරන්න පටන් ගත්ත. හිලරි එයා ආසා කල Concert Flute එකත් ජැකී චෙලෝවත් වාදනය කරමින් උන්න. එකවරම හිලරි වාදනය නතර කලා. 

"ඔයා ගහපු නෝට් එක වැරදි ජැකී. මෙතනට එන්න ඕන බී ෆ්ලැට්. මේ බලන්න"

හිලරි ස්වර ප්‍රස්තාරය පෙන්වමින් කිව්ව. සංගීත දැනුම අතින් හිලරි, ජැකීට වඩා ගොඩක් ඉස්සරහින් හිටිය. ජැකීට නිතරම වාදනය කරන ස්වර වැරදුණා. තමන්ට හිලරි තරම් සංගීතය බැරිවීම ගැන ජැකී නිතර දුක්වුණා. හිලරි පාසලෙත් ප්‍රසිද්ධ චරිතයක් බවට පත්ව හිටිය. ගොඩක් අය ජැකීව හඳුනාගත්තෙත් "Flute ගහන හිලරි ගෙ සහෝදරිය" විදිහට. ජැකී නොනවත්වාම චෙලෝව පුහුණු වුණා. ඇයට එයින් තොර ලෝකයක් නොතිබුණ තරම්. ටිකෙන් ටික තත්ත්වය වෙනස් වුණා. ජැකී සහ ඇගේ චෙලෝ වාදනය පාසල ඇතුලෙ ප්‍රසිද්ධ වුණා. මාධ්‍ය හරහාත් ඈට ප්‍රසිද්ධියක් ලැබුණ. ඉන්පස්සෙ හිලරි "චෙලෝ ගහන ජැකී ගෙ සහෝදරිය" විදිහට හැඳින්වෙන්න පටන්ගත්ත. ජැකීගෙ අම්මා ඇයව චෙලෝ වාදනය වැඩිදුර හදාරන්න යොමු කලා. ක්‍රමයෙන් තමන්ගෙ හැකියාවන් ඔපමට්ටම් කරගත්ත ඇය තමා උපන්න එංගලන්තයේත්, යුරෝපයේත් ඉන් නොනැවතී මුලු ලෝකය පුරාත් ප්‍රසිද්ධියට පත්වුණා. ලංකාවේ කේමදාස මාස්ටර් පවා සංගීත වැඩමුළු වලදි, ජැකීගේ වාදනයන් දැක්වෙන් වීඩියෝපට ප්‍රදර්ශනය කර තිබුණා. නමුත් ඇගේ ජීවිතය කෙටි කාලයකට පමණක් සීමා වෙන්නෙ ඉතාම අවාසනාවන්ත විදිහට. ජැකී හෙවත් Jacqueline Du Pre අදටත් ලෝකයෙ බිහිවුණ විශිෂ්ටතම චෙලෝ වාදන ශිල්පිනියක් විදිහට සැලකුම් ලබනව. ජැකී සහ හිලරි සොයුරියන්ගේ ජීවත කතාව නිරූපණය කරමින් 1998 අවුරුද්දෙ Hilary and Jackie චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ ජැකී ගේ සොයුරිය හිලරි සහ සොහොයුරා පියර්ස් එක්ව රචනා කල A Genius in the family ග්‍රන්ථය ඇසුරෙන් 

සංදර්ශන පවත්වමින් ලෝකය පුරා සංචාරය කරමින් සමාජයෙ ප්‍රසිද්ධ චරිතයක් ව වැජඹුනත් යම් කාරණයක් ජැකීව වේදනාවට පත් කර තිබුණ. ඇයට උවමනා වී තිබුණා නිදහස. පාර තොටේ බස් රථයේ දුම්‍ රියේ කාගෙවත් අනවශ්‍ය අවධානයට ලක්නොවී ඇවිද යන සාමාන්‍ය තරුණියක් වෙන්න. ඇයට උවමනා වුණා ආදරය ලබන්න, ආදරය විඳින්න. නමුත් ඇය ගත කල කාර්‍යබහුල ජීවන රටාව ඇයව පීඩාවට පත් කර තිබුණා. 

සැනසීම සොයා යන ජැකී යුදෙව් ජාතික සංගීඥයෙක් වුණ Daniel Barenboim සමග පෙමින් බැඳෙනව. නමුත් ඉක්මණින්ම ඔහුගෙන් මිදෙන ජැකී, හිලරි සොයා එනව. හිලරි ගෙ සැමියා එක්ක රහස් සබඳතාවක් ගොඩනගා ගන්න ජැකී තමන් විඳින දුක් පීඩාවන්ට සහනයක් ඔහුගෙන් බලාපොරොත්තු වෙනව. නමුත් හිලරිට නම් මේ දේවල් රහසක් වෙන්නෙ නෑ. අවසානෙ ජැකී ඔවුන් දෙදෙනාගෙන් වෙන්ව ගිහින් Daniel සමඟ විවාහවෙලා යුදෙව් දහම වැළඳගන්නව.

දවසක් වාදනයක් අතරදී ජැකී අතින් වෙලෝවේ අලුව අත හැරෙනව. වාඩිවී ඉන්නා තැනින් නැගිටින්න උත්සහ කලත් ඇයට එය කරන්න හැකිවෙන්නෙ නැහැ. තමන්ගේ අතපය සුපුරුදු විදිහට හසුරවා ගන්න බැරි බව ජැකී වටහාගන්නව. ජැකීව පරික්ෂා කරන වෛද්‍යවරයින් සොයාගන්නෙ ඇයට ශරීරයෙ පටක ක්‍රමයෙන් ඝන වෙන Multiple Sclerosis රෝගය වැළඳී ඇති බව. එතකොට ජැකී වයස අවුරුද්දු 28 තරුණියක්. ක්‍රමයෙන් උත්සන්න වන රෝගී තත්ත්වය නිසා ඇයට සිදුවෙනව සංගීත ජීවිතයෙන් සමුගන්න. මේ විදිහට අවුරුදු 14 ක් අත පය වාරු නැතිව Sclerosis රෝගයෙන් පීඩාවිඳිමින් ගතකර අවසානෙ ඇය 1987/10/19 වෙනිදා ජීවිතෙන් සදහටම සමුගන්නව.

ජැකීගේ ජීවිත පුවත ඇතුලත් Hilary and Jackie චිත්‍රපටය නරඹපු සමහර දෙනෙක් එය තදින් විවේචනය කර තිබුණේ චිත්‍රපටයෙන් ජැකී ගෙ රහස් සම්බන්ධතා පෙන්වා දෙමින් ඇගෙ චරිතය විනාශ කර ඇති බව කියමින්. The New Yorker පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවකදි හිලරි ඔවුන්ට පිළිතුරු දී තිබුණා. 

"ඔබ කෙනෙකුට ආදරය කරනකොට.

ඇය කියනවා..

ඔබ ආදරය කරන්නෙ ඔවුන්ට මුළුමනින්මයි. චිත්‍රපටය විවේචනය කරන අය බලන්නෙ චිත්‍රපටය ඇතුලෙ ජැකී ගෙ ඔවුන් කැමති කොටස දිහා පමණයි. නමුත් ජැකී තුළ නොතිබූ යමක් චිත්‍රපටයට ඇතුළත් කර තිබෙනව කියල මම හිතන්නෙ නෑ. ඇත්තටම ඇයට මේ චිත්‍රපටය දකින්න ලැබුණ නම් ඇය එයට ගොඩක් කැමති වේවි"

Hilary and Jackie චිත්‍රපටය බහුතර ප්‍රේක්ෂකයන් සහ විචාරකයන් අතින් පැසසුමට ලක්වුණා. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ Anand Tucker. පිළිවෙලින් ජැකී ගේ සහ හිලරි ගේ චරිත රඟදක්වන Emily Watson සහ Rachel Griffiths 1999 අවුරුද්දෙ දි ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ ලබනව. Hilary and Jackie කණට ඉතාම ප්‍රිය බටහිර සම්භාව්‍ය සංගීතය නොඅඩුවම ඇතුළත්වුණ චිත්‍රපටයක්. ජැකීගේ කතාපුවත දැනටම ප්‍රේක්ෂකයන් දන්නා නමුත් වඩා නිර්මාණශීලී සහ නොසිතන අවසානයකට චිත්‍රපටය ගෙනයන්න නිර්මාණකරුවන් සමත්ව තිබෙනව. ඒ අවසානය එක්ක චිත්‍රපටය චරිතකතාවකින් එහා වෙනත් මානයකට යනව. Hilary and Jackie චිත්‍රපටයෙ එක් සුවිශේෂත්වයක් ඒ අවසානය.

ඉතා කෙටි සංගීත ජීවිතයක වුණත් ජැකී පැමිණි දුර පුදුමාකාරයි. ඈ යෞවන වයසේදීම මේ තරම් දස්කම් දක්වන්නෙ ඇගේ ජීවිතය කෙටි කලකට සීමා වීමට නියමිතව තිබූ නිසාද. අවුරුදු පහේදි සංගීතය ලිවීම ආරම්භ කරන මොසාට් පවා ගත කරන්නෙ ඉතා කෙටි ජීවිතයක්. සංගීත නිර්මාණයන් වෙනුවෙන්ම ජීවිතේ බොහෝ දේ කැප කර දිවා රෑ නොබලා වෙහෙසී වැඩ කිරීම නිසා ඇති වුණ පීඩනය ඔවුන්ගෙ ජීවිත මේ විදිහට උදුරාගත්තා ද.? චෙස්ටර් බෙනිංග්ටන්, ක්‍රිස් කෝර්නෙල්, කර්ට් කොබේන්, ජැනිස් ජොප්ලින්, ජිම් මොරිසන්, ජිමී හෙන්ඩ්‍රික්ස්, ඒමි වයින්හවුස්.. අඩු වයසින් මියගිය මේ ගායක ගායිකාවන්ගේ ලයිස්තුව ඔබට සිහිපත් වේවි. ඇයි ඔවුන්ට ඉක්මණින්ම යන්න සිදුවුණේ..?

"ඔබ සමාජයෙ ඉහළට යන්න යන්න ඔබ වැටෙන්නෙ ගොඩක් උඩ ඉඳල.." 

එහෙම කියන්නෙ ඩයනා කුමරිය. අතිශය සාමාන්‍ය ජීවිත ගතකරන අපිට ඔවුන් සමාජයෙ ඉහළින් විහිදන රැස් වළලු පෙණුනත් ඇත්තටම ඔවුන්ගෙ ඇතුළාන්තයෙන් දුක් වේදනාවන් අපි දකින්නෙ නෑ. ජැකී පවා ඈ ලද සියලු දේ අතහැරල ඉතා සාමාන්‍ය නිදහස් ජීවිතයක් ගත කිරීමේ ආශාවෙන් පෙළුන බව චිත්‍රපටයෙ දැක්වෙනව. සමාජෙ කොයි තැනක හිටියත් ජීවිත යථාර්ථය කාටත් පොදු බවත්, සියලුදෙනාම සරල, සුන්දර නිදහස් ජීවිතයක් ගත කිරීමේ සහ ආදරය ලැබීමේ ආශාවෙන් නිරන්තරයෙන් පෙළෙන බව නම් ඇත්‍තක්. වෙනස තියෙන්නෙ ඔබ ජනප්‍රිය වෙන්න වෙන්න ඔබේ වේදනාවට ප්‍රවෘත්තිමය වටිනාකමක් ලැබීම පමණයි. එය සමහරවිට වේදනාව තවත් වැඩිකරවන සුලුයි. ඛේදජනක විදිහට අකාලයෙ නික්මයන්න සිදු වුණත් ඔවුන් කළ දේවල් අපි සිහිපත් කරන්නෙ විශාල ආදරයකින්. ඇත්තටම ඒ කිසි කෙනෙක් සදාකාලිකව වෙන්ව ගියේ නෑ. චෙලෝවේ තත් අතර නිමැවෙන සංගීතයක, ගිටාර වාදනයක ගායනාවක අනන්ත දුක් පීඩා මැද බිහිවුණු ඒ සංගීතය අදත් අද වගේම හෙටත් මිනිසුන් අතර පවතීවි.



සැබෑම Jacqueline Du Pre චෙලෝ වාදනයක් අතර


එංගලන්තයේ කෙන්සිංටන් පාක් හි පිිහිටා ඇති Jacqueline Du Pre  පිලිරුව


 Hilary and Jackie චිත්‍රපටයෙන් 


Jacqueline ගේ චෙලෝ වාදනයක්..


Friday, February 21, 2020

Masaan (2015)

කාලෙන් කාලෙට ලෝකෙට පහළවෙච්ච නොයෙක් ශාස්තෘවරු, මිනිස් ජීවිතයේ සැබෑ හරයන් සොයාගෙන ගැඹුරටම සිත මෙහෙයවපු ගුරුවරු, මේ පැවැත්මෙත්, විශ්වය ක්‍රියාත්මක ධර්මතාවයනුත් පැහැදිලි කරමින්, එදිනෙදා ජීවිතේ දුක් විඳිමින් මේ විෂම චක්‍රයේ කරකැවෙන මනුෂ්‍ය ප්‍රාණීන්ට යම් අර්ථයක් එක් කරන්න, යම් පරමාර්ථමය නිශ්ථාවක් වෙනුවෙන් මග පෙන්වන්න උත්සහ කළා. නමුත් අදටත් මේ මොහොතටත් ජීවන ප්‍රවාහයේ පාවෙමින් ඉන්න ඉන්න සහසක් මිනිස් ජීවීන් ගෙ දුක් අඳෝනාවන් අහස්තලයට මුහුවෙමින් තිබෙනව. පැවැත්මේ තිත්ත කටුක යථාර්ථයන් එක්ක මේ දැනුත් ගැටෙමින් ඉන්නව. ඉතින් අපි මොකක්ද කලයුතු වෙන්නෙ.. හැමදෙයක්ම අවසානෙ බිඳවැටීමට නියමිතයි කියමින් ජීවිතයට දොස් පැවරමින් කාල රේඛාවක් දිගේ ඔහෙ ගසාගෙන යාම ද අපිට ඉතිරි වෙන්නෙ ? සියලු දේ නිශ්ඵලයි සියලු දේ අර්ථ ශූන්‍යයි කියන නස්තිකවාදී අදහස් හිස මත්තෙ දරාගෙන වික්ෂෝපයෙන් කාලෙ ගතකර යුතු ද? යම් බලාපොරොත්තුවක ආලෝකයක් මේ පැවැත්ම ඇතුලෙ අපිට හොයාගන්න බැරි ද?

Masaan චිත්‍රපටය ජීවිතේ කියන මේ කෙළවරක් නැති පටලැවිල්ල දිහා යම් දුරස්ථ මුනිවර නිවීමකින් බලන්න උත්සහ කරනව. වෙලාවකට හැමදෙයක්ම බොහොම සුන්දරයි, එවැනි මොහොතක හැමදාම ජීවත් වෙන්න ආසයි. ඒත් ඊළඟ මොහොත අරගෙන එන ඛේදවාචකය බොහෝවිට දරාගන්න අමාරුයි. හරියට චිත්‍රපටයට පසුබිම් වෙන ගංගාව වගේ මයි. ඇත්තටම ගංගාවත් ඒ සම්බන්ධව ජීවිතයත් මේ තරම් අපූරුවට සිනමාපටයක් ඇතුලට අරගෙන ඇවිත් තියන ආකාරය දැක්කෙ මුල් වතාවට. Masaan රූපමය අතිනුත් භාවිතාව අතිනුත් හැබෑම සිනමා කවියක් වෙන්නෙ ඒ නිසා.












Thursday, February 20, 2020

ඔබ මම සහ ඇය

හැමදාම හවසට
ඉස්ටේෂමේ 
මං ඉන්න බංකුව පහුකර
යනවා ඇය..

කෙටි කොණ්ඩෙ
බෙල්ල ගාවට
රත්තරං පාට හම
වැඩියෙ කෙට්ටු නැති
මහතත් නැති
(ඔයා වගේම)
අත් කපපු හැට්ටයට
සාරි අඳින..

දුටු වෙලාවේ පටන්
ඈත නොපෙනී යන තුරුම
මමත් බලාගෙන ඉන්නවා
මට නොදැනෙන්න
හොර ඇහින් වාගෙ
ඈ ත් මං දිහා බලනවා
මට දැනෙනවා..

අදත්
වෙනදා වෙලාවටම
සුපුරුදු පරිදි ඈ එනවා
"දැකල පුරුදුයි ඔයාව
කොහෙදි හරි හොඳට"
අහන්න ද
මගේ හිත කියනවා..

"ඔයා කොහෙද??
ආ.. මමත් ඒ කිට්ටුව
ගිහින් තියනවා මාත් 
කීප වතාවක් පාරෙන් ඔය..
මොකද කටහඬ අමුතු
අසනීපයක්වත් ද?"
ඔයාගෙන් ඇහුව හැටි මුල් වතාවට...
අන්න එතකොට 
මගේ මතකයට නැගෙනවා..

දැන් ඈ 
සෙමින් පියවර තබමින්
මාව පහුකරනවා

ඉස්ටේෂමේ තැනක
බිම වැටී ඉතිරි වුණු කඩල ඇට
එකින් එක අහුලා බුදින
පරෙවියෙක් දිහා
මම ඔහේ බලාගෙන
බලාගෙන ඉන්නවා..



Wednesday, February 19, 2020

The Horn (2020)

2020/02/18 දින මව්බිම Young අතිරේකයේ පළ විය

ඈත පරිණාමික යුගවල පටන් වර්තමානයේ තොරතුරු තාක්ෂණ යුගය දක්වා ම ඉතිහාසය විමසා බැලුවොත් පෘථිවි ග්‍රහයා ඛේදවාචකවලින් පිරී ගිය තැනක්ව තිබුණු බවට සොයා ගන්නට පුළුවන්. 2020 නව වසර පටන් ගත් මොහොතේ සිට මේ දක්වා ම ලෝකය පුරා සිදුවෙච්ච සහ තවමත් සිදුවෙමින් පවතින ව්‍යසනයන් ගැන අහන්න, දකින්න ලැබුණ කෙනෙකුට මොහොතකට හරි මේ ලෝකේට මොකක්ද වෙන්න යන්නේ කියලා හිතුණා නම් ඒක පුදුමයට කරුණක් නෙවෙයි. නමුත් මේක තමා ලෝක ස්වභාවය කියලා පෘථිවියේ සමස්ත ජීවි පද්ධතිය ම විනාශය කරා යන ආකාරය බලන් ඉන්න එක ද අපට ඉතිරි වෙලා තියෙන්නේ? මනසින් උසස් "මනුස්ස" ප්‍රාණීන් විදිහට විනාශය අවම කරගන්න අපි යමක් නොකරන්නේ ඇයි ? දේශපාලනික, ආර්ථිකමය අතින් ඉහළ මට්ටම්වල ඉන්න සහ ගෝලීය වශයෙන් යමක් කළ හැකි රටවල් හුදෙක් තමන්ගේ බලපැවැත්ම ආරක්ෂා කරගන්න වෙර දරනවා වෙනුවට සමස්තයක් විදිහට මිනිසුන් මුහුණ දෙන පාරිසරික, සමාජීය ගැටලු ටික විසඳා ගැනීම වෙනුවෙන් අවධානය යොමු නොකරන්නේ ඇයි ? මේ හැමදේක ම අවසන් ප්‍රතිඵලය මිනිස් ශිෂ්ටාචාරය විනාශය කරා යන ගමන තවත් ඉක්මන් වෙමින් තියෙනවා කියන දේ
අපේ හිත්වලට වඩාත් දැනෙන එක ද ?

පසුගිය හත් වෙනිදා පටන් තිරගත වීම ආරම්භ කරපු "The Horn" චිත්‍රපටය සිංහල සිනමාවට නව මානයක් එක් කළ චිත්‍රපටයක් විදිහට හැඳින්වූවොත් වරදක් නෑ. ප්‍රේක්ෂකයාට Science Fiction/ Horror ගණයේ අත්දැකීමක් ලබාදෙන අතරේ මිනිස් පැවැත්මේ අනාගතය ගැන යම් දැක්මක් ඉදිරිපත් කරන, ඒ හරහා නරඹන්නාට හිතන්න යමක් ඉතිරි කරවන චිත්‍රපටයක් විදිහට The Horn අපිට හඳුනා ගන්නට පුළුවන්.

1993 අවුරුද්දේදී මනෝ වෛද්‍යවරයෙක් වුණ තෝමස් ඔහුගේ බිරිඳව මරා දමලා තමනුත් සියදිවි නසාගන්නවා. මේ යුවළගේ එක ම දරුවා වුණු කෙවින් එතකොට වයස අවුරුද්දක් වුණු කුඩා දරුවෙක්. ඉන්පසුව පුංචි කෙවින් විදේශයක ජීවතය ගෙවන "ක්‍රීස්" නමැති මම ළඟ හැදී වැඩෙනවා. කොහොමහරි අවුරුදු විසිපහකට පස්සේ කෙවින් විවාහ වෙලා තමන්ගේ බිරිඳයි, දරුවයි එක්ක නිවාඩුවක් ගත කරන්න ලංකාවේ තමන්ගේ දෙමව්පියන් වාසය කළ නිවසට එනවා. ඔව්; තමන්ගේ මව්පියන් දෙදෙනාම මියගිය නිවහනට.,

මේ පැරණි පන්නයේ නිවහන බලා කියාගන්නේ "පර්සි" නම් පුද්ගලයෙක්. තමන්ගේ දෙමව්පියන් ජීවත් වුණ සහ මිය ගිය මේ නිවහන කෙවින්ට ලබා දෙන්නේ අමුතු ම ගුප්ත හැඟීමකුයි. ඔවුන් දෙදෙනා මියගිය පසු කිසි කෙනෙක් මේ නිවසේ රාත්‍රිය ගත කර නැති බවත්, සමහර වෙලාවට කවුරුන් හෝ මේ නිවසේ සැරිසරන හැටි තමන්ට දැනෙන බවත් පර්සි කෙවින්ට පවසනවා. නමුත් කෙවින් මේ දේවල් එතරම් විශ්වාස කරන බවක් නම් අපිට පෙන්නේ නෑ. දවසක් වෙනත් වැඩකට ගෙවත්තේ එක්තරා තැනක් හාරන කෙවින්ට සහ පර්සිට හරි පුදුමාකාරයේ භාණ්ඩයක් හමුවෙනවා. ඒ පොළොව යට වළ දමා තිබුණු අමුතු ආකාරයේ නළාවක්. මේ නළාව ගොඩගෙන සුද්ධ පවිත්‍ර කරන කෙවින්ට එය නොපිඹ ඉන්නට හිතෙන්නේ නෑ. ඉතින් එකවර ම ඔහු නළාව පිඹිනවා. නමුත් ඉන්පස්සේ ආරම්භ වෙන්නේ ඇඟ ලොමුදැහැ ගන්වන අත්භූත සිදුවීම් මාලාවකුයි.

අපේ රටේ වෙනත් දේවල් වගේ ම ලාංකේය සිනමාව ගැනත් අපි කතා කරන්නේ බොහෝ විට එතරම් පැහැදීමකින් නෙවෙයි. හොලිවුඩ්, බොලිවුඩ්, මලයාලම් චිත්‍රපට නරඹන ලාංකේය රසිකයා අපේ සිනමාව නිර්මාණාත්මකව තව කොයි තරම් දියුණු වෙන්න ඕන මට්ටමක ද පවතින්නේ කියන කාරණය ගැන දැනුවත්. කර්මාන්තයක් විදිහට තවම අපේ සිනමාව පවතින්නේ "සංවර්ධනය වෙමින් පවතින" තැනකයි. එහෙම වෙන්න ප්‍රායෝගික හේතු කප්පරක් අපට හොයාගන්නට පුළුවන්. නමුත් පහුගිය අවුරුද්දේ අපේ රටේ නිමැවුණු හොඳ චිත්‍රපට ගණනාවක් තිරගත වුණා. ඒ වගේ ම එවැනි චිත්‍රපට ගණනාවක් ම ඉදිරියට තිරගත වීමටත් නියමිතව තිබෙවා. මෙය අපේ ම සිනමාවක් ගැන සුබ බලාපොරොත්තු ඇති කරවන තත්ත්වයක්. Zoom චිත්‍රපටයට පස්සේ Horror සිනමාපටයක අන්තර්ගත විය යුතු සියලු ම මුලිකාංගයන් සපුරා තිරගත වු පළමු චිත්‍රපටය මෙය විය යුතුයි. ඒ නිසා ම The Horn චිත්‍රපටය සිනමා නිර්මාණයක් විදිහට විචාරකයින්ගේ අවධානයට ලක්විය යුතුමයි.

කෙවින්ගේ චරිතය රඟදක්වන කල්හාර වක්වැල්ල ලාංකේය සිනමාවට හොඳ සොයාගැනීමක් බව කිව හැකියි. ඔහු චිත්‍රපටය ඇතුළේ හොඳ රංගනයක නියැළෙනවා. අනාගතයේදී ලාංකේය සිනමාවට ඔහුගෙන් හොඳ වැඩක් ගත හැකිවේවි. ධනංජය සිරිවර්ධන, රොෂාන් පිලිපිටිය හැර අනෙකුත් චරිත නිරූපණය කරන නළු නිළියන්ගේ යම් ආධුනික බවක් දැනුණ ද එය චිත්‍රපටය රසවිඳින්න බාධාවක් වෙන්නේ නෑ. විශේෂයෙන් ම කොළඹ නගරය 2080 වසරට ගැළපෙන ආකාරයට පරිගණක තාක්ෂණයෙන් ගොඩනඟා තිබෙන ආකාරය නම් අගය කළ යුතුමයි. එය අනාගතයේ ලාංකේය සිනමාවට සුබවාදී ලෙස බලපානවා නොඅනුමානයි. The Horn චිත්‍රපටය තිර රචනය කර අධ්‍යක්ෂණය කරනු ලබන්නේ සමීර වක්වැල්ල විසිනුයි. අපි කලින් කතා කෙරු 2016 වර්ෂයේ තිරගත වුණු Zoom චිත්‍රපටයත් ඔහුගේ ම නිර්මාණයක් වෙනවා. ලාංකේය සිනමාව තුළ අනාගතයේ යහපත් වෙනසක් කළ හැකි නිර්මාණකරුවෙක් විදිහට ඔහු ගැන බලාපොරොත්තුවක් ප්‍රේක්ෂකයාට තබාගත හැකි බව මේ චිත්‍රපටයෙන් ඔප්පු කර තිබෙනවා.

ඉතින් ඔබත් මේ ත්‍රාසය සහ කුතුහලය පිරුණු අලුත් ම සිනමා අත්දැකීම නොපමාව ගිහින් විඳගන්න කියලා Lumier's Art කියවන ඔබට මම යෝජනා කරනවා.

හෂාන් රන්දික ඩයස්






Monday, February 17, 2020

රත්තරං

හන්දියෙ මාලු විකුණපු සයිමන් අයියගෙ පුතාට කවුරුත් කිව්වෙ රත්තරං කියල. මිනිහගෙ ඇත්ත නම මොකක්ද කියල කවුරුත් දැනගෙන හිටියෙ නෑ. සමහර විට පොඩි කාලෙදි අම්ම "මගෙ රත්තරං පුතා" කියල කතා කරන්න ඇති. පස්සෙ ඒක කටට හුරුවෙලා හැමෝම රත්තරං කියන්න ඇති. කොහොම වුණත් මිනිහගෙ ගති සොබාවයත් එක්ක ඒ නම හොදටම ගැලපුණා. කොයි කාටත් ගුණේ ඇති හිත හොඳ කොලුගැටය කියල රත්තරං ගැන ගමේ මිනිස්සු කතා වුණා. රත්තරං ඉස්කෝල  ගියේ අටවෙනි පන්තියට වෙනකං විතරයි. කොහොමත් අද්යාපනේ මිනිහට වැඩියෙ ඇල්ලුවෙ නෑ. ඉස්කෝල යනව කියල රත්තරං වැඩි හරියක් කලේ යාලුවො එක්ක කැලෑ පැනපු එක. රත්තරං ගෙ අම්ම නැතිවුණේ රත්තරං දෙකේ පන්තියෙ ඉද්දි. තව කසාදයක් කරගන්නත් සයිමන්ට ඒ හැටි වගක් තිබ්බෙ නෑ. ඉතිං රත්තරං ගේ ලමා කාලෙත් කැලෑ කොලේටම ගෙවිල ගියා. රස්සාවක් කරපං කියල නෑදෑයන්ගෙ බලකිරීමට රත්තරං මාලු ලෑල්ලෙ අත් උදව්වට ගියා.

ගස් කපන සීබට් ගෙ පුතා ගුණපාල තමා රත්තරං ගෙ ගජ යාලුව. දෙන්න ඉස්කොලනේ කට්ටි පැන්නෙත් එකටමයි. කැලෑ වැදිල පිස්සු නැටුවෙත් එකටමයි. කොතන වුණත් දෙන්න දකින්න පුලුවන් වුණෙ එකට. ශරීර සොබාවයෙන් රත්තරංට තිබුණේ හීන්දෑරි අහිංසක පෙනුමක් වුණාට ගුණපාල උසමහත හැඩි දැඩි එකා. දවසක් දෙන්න කුරුම්බ කඩන්න ගිහිං ගුණපාල ගහෙන් වැටිල කකුල කඩා ගත්තු වෙලාවෙ ගුණපාලව උස්සං ඉස්පිරිතාලෙ දිව්වෙ රත්තරංම යි. සතියක් විතර ඉස්පිරිතාලෙ නැවතිල ගුණපාල බලා කියාගෙන වැඩකටයුතු කරදුන්නෙත් රත්තරංම යි. 

කොහොම වුණත් ගුණපාලගෙ එක්තරා දුර්ගුණාංගයක් තිබුණ. මිනිහට ගෑණු පේන්ඩ බෑ. පාරක තොටක හරි ස්ත්‍රී පරාණයක් දැක්කොත් ගුණපාල විසිල් පාරක් ගහල මොකක් හරි කටකැඩිච්ච කතාවක් කියනවම තමා. නමුත් ගමේ මොකක් දෙයකදි රත්තරං එක්ක එකතුවෙලා හරි හරියට වැඩකරන නිසා ගුණපාල ගමේ කාගෙත් හිත දිනාගෙන උන්නෙ.

"ඔය ගෑණු පෙරේතයව අස්සරේ නොකර ඉදපං"

සයිමන් දවසක රත්තරං ට කිව්ව.

"ගුණපාලය මොකා වුණත් මයෙ මොකෝ. ඌ මාත් එක්ක එක බත්පත බෙදාගෙන කාපු එකා"

රත්තරං කියුවෙ එහෙම. නමුත් කාටත් නොදැනෙන්න මිනිහ ගුණපාලට අවවාද කරපු බව නම් ඇත්ත. ඒත් ගුණපාල කියන්න එහෙම ලේසියෙං කවුරුත් කියන දෙයක් අහන එකෙක් නෙමේ.

සිරිමලී එක්ක රත්තරං ගෙ හිතවත් කම වැලි සෙල්ලම් බත් උයන කාලෙ ඉදංම තිබුණ එකක්. ඒකාලෙ.. සෙල්ලං ගෙවල් හදන කාලෙ, හැමදාම ගෙදර තාත්තට උන්නෙ රත්තරං ..අම්මා සිරිමලී.. රත්තරං ගෙ ගෙවල් කිට්ටුවට වෙන්නයි සිරිමලී උන්නෙ. ගමේ පොඩි උං සෙල්ලමට එකතු වුණේ ඒ ගෙදර පල්ලෙහා තිබ්බ පාලු ඉඩමට. ඉතිං සිරිමලීලගෙ දිහාවත් රත්තරංට අමුතු තැනක් වුණේ නෑ. බලන අය නං හිතුවෙ දෙන්න අතර තිබුනේ ආලවංතකමක් කියල, ඒත් ඒක ඇත්තටම මොකක් ද කියල ඒ දෙනන් වත් දැනගෙන උන්නෙ නෑ. 

ගුණපාලගෙ අමුතුම වෙනසක් සිද්දවෙමින් පවතින බව සිරිමලී ට තේරුම් යමින් තිබුණ. බොරු දේවල් හදාගෙන ගුණපාල සිරිමලී එක්ක කතාවට පැටලෙන්න හදමින් හිටිය. නමුත් සිරිමලී පුලුවන් තරම් ගුණපාලව මග ඇරිය. දවසක් දා නාන තොටුපලට ගිහින් එන අතර මගදි මග රැකල හිටපු ගුණපාල සිරිමලී ගෙ අතින් අල්ලාගත්ත. කටේම තියන වල් කතා දෙසාබාල ගුණපාල සිරිමලීව පොළඹව ගන්න උත්සහ කරා. රණ්ඩු කරල, පොර බදල කොහොම හරි සිරිමලීට පැනගන්න පුලුවන් වුණා. රත්තරං ගෙන් කිසිදෙයක් වසංකරගෙන ඉන්න සිරිමලීට පුලුවන් කමක් තිබුණෙ නෑ. නමුත් ගුණපාල ගැන කාරණා නම් සිරිමලී, රත්තරංගෙ කණේ තියන්න ගියෙ නෑ. ඒත් මේ සිද්දියෙං පස්සෙ හැමදෙයක්ම රත්තරංට කියන්න ඕන කියල සිරිමලී හිතුව. 

"උබ රටේ ලෝකෙ ගෑණු එක්ක ඕන විගඩමක් නටාගනින්. හැබැයි සිරිමලී විතරක් ඕවට ගාවගන්න එපා.."

සිද්දය දැනගත්තට පස්සෙ රත්තරං ගුණපාලට අවවාද කලා

"ඇයි උබ ඒකිගෙ බාප්ප ද... උබට විතරද ඒකිත් එක්ක ආලෙ කොරන්න පුලුවන් අපිට බැරිද.."

ගුණපාල සුපුරුදු උද්දච්ච කමින් උත්තර දුන්න.

"අපි අතරේ ඒම මගුලක් නෑ...ඒකි වෙන කාටත් වඩා මා එක්ක හිතවත්..එච්චරයි. උබ ඒකිට කරදර නොකර හිටපන් ඒ ඇති.."

"හරි හරි බං..."

ගුණපාල එහෙම කිව්වත් හිත ඇතුලෙ ගින්දර බුර බුරා නගිමින් තිබුණ. රත්තරං ට විස්තරේ කිව්ව එක ගැනත් ගුණපාල උන්නෙ තරහින්. තමන්ට අවස්තාවක් එනකං හොඳ ඉවසීමෙන් ගුණපාල බලාගෙන උන්න. දවසක් හැන්දෑවක ගුණපාලට අවස්තාවක් උදාවුණා. එදා ගෙදර හිටියෙ සිරිමලී විතරයි. වටපිට බලල කාත් කවුරුත් ලඟ පාතක නැති බවට සැක ඇර ගත්ත ගුණපාල හෙමිං සැරේ ගෙට රිංගුව. සිරිමලී උන්නෙ කුස්සියෙ වැඩ කරමින්. හොරෙන් අඩි තිය තියා කුස්සියට ආව ගුණපාල, පිටිපස්සෙන් ගිහින් එකපාරම සිරිමලීව බදාගත්ත. සිරිමලී කෑගහන්න උත්සහ කළා. නමුත් හැඩිදැඩි ගුණපාල ඉණේ හංගගෙන ආව රෙදි පටියෙන් සිරිමලීගෙ කට ගැටගැහුව. සිරිමලී බේරෙන්න වෙර දැරුත් මේ සැරේ නම් වෛරෙන් වගේම රාග ගින්නෙන් අසීමිතව දැවෙමින් උන්න ගුණපාල එක්ක හැප්පෙන්න සිරිමලීට අමාරු වුණා. ඒත් සිරිමලීගෙ පෙර පිනකට වගේ එදා ඒ වෙලාවෙම රත්තරං මාලු වගයක් අරගෙන සිරිමලී ගෙ ගෙදරට ආව. සුපුරුදු පරිදි කුස්සය පැත්තෙන් ගෙට ගොඩ වදිනකොට සිද්දවෙමින් තිබුණ දර්ශනේ දුටුව රත්තරං ගේ ඇඟ පුරා විදුලියක් කෙටුව වගේ වුණා..

"මං උබට කිව්ව නේද පාහරයෝ" 

කියාගෙන රත්තරං ගුණපාල දිහාවට දුවගෙන ආව.

"ඇයි තොගෙ අණ පිලිපදින්න තෝ මහඒජන්ත උන්නාන්සෙද බොල .."

කියාගෙන ගුණපාල රත්තරං දිහාට පැන්න. එසැණින් රත්තරං දුන්න පා පහරින් ගුණපාල විසිවෙලා ගිහින් දඩෝං ගාල බිත්තියෙ හැප්පුණා. ගුණපාලව බිත්තියට හේත්තු කරල මේසෙ උඩ තිබ්බ මන්න පිහිය අතට ගත්ත රත්තරං ගුණපාල ගෙ බෙල්ලට පිහිට තිබ්බ. රත්තරං හොඳට මූණ ලංකරල ගුණපාල දිහා බැලුව. ඒ ඇස් දෙකෙන් මතුවෙච්ච ගිණි පුපුරු වලට ගුණපාලව පිච්චිලා ගියා වගේ වුණා. ඒත් සුපුරුදු පරිදි ගුණපාලගේ වාචාල කට ඉස්සර වුණා. 

"කොටපන් පුලුවන් නම් ..කොටපන් බලාගෙන ඉන්නෙ... අනේ පලයං කැහුටො යන්න..."

රත්තරං වේගෙන් ගුණපාලගෙ දකුණු අත ඇදල අරගෙන බිත්තියට තද කරල, මාලු කපන්නැහේ මන්නෙන් කොටාගෙන කොටාගෙන ගියා. ගුණපාලගෙ අතේ ඇඟිලි හතරක් ගැලවිලා බිම වැටුණ. බුදු අම්මෝ.. කියල කෑගැහුව ගුණපාල ලේ පෙරාගෙන පාර දිව්ව. රත්තරං ගෙ අතින් මන්නෙ බිම වැටුණ. අනිත් පැත්ත හැරුණු රත්තරං සිරිමලී දිහා එක පාරක් බලල වත්ත කොනේ දං පදුරු මැද්දෙන් නොපෙනී ගියා. නිල්පාට කොටු වැටුන සුදු කමිසයක් ඇදගෙන රත්තරං, වෙල මැද්දෙන්, කඩමණ්ඩයට යන  පාර දිගෙ, බැහැගෙන යන ඉර පසුබිම්ව ඇවිදයමින් හිටි බව සමහරු දැකල තිබුණ. ගමේ මිනිස්සු රත්තරංව දැක තිබුණ අන්තිම වතාව තමා ඒ.





Friday, February 14, 2020

එක්දාස් එකසිය විසි හත

අසා බැලුවෙමි
එක්දාස් එකසිය විසි හත් වෙනි වරටත්
"හොඳින් නේද ?"

ඔව්.. හොඳින්..
..

දැල්වී ඇත
පරිඝනක තිරයක්
පසෙකින් ඇසෙයි
ඇමතුමක හඬක්
.......
"කතා කරන්න බෑ බබා
මං වැඩ දැන්
පස්සෙ ගන්නම්"
............

ඒ පළමු වර
..

කිසිවෙකුත් නැති 
අසුනක්
මේසයක් මත 
ලිපි ගොනුවක් තුළ
යම් දෙයක් කුරුටු ගෑ
කඩදාසියක්..

ඒ දහතුන් වෙනි වර..
.....
පුරුදු මඟකින් නොව
වෙනත් මඟකින් 
පමාවී එමි..
නිවස වෙත යන පාරට
ඇවිද එමි අඳුරේ
ගසකින් ගිලිහෙන පතක් සේ

ඒ හැට අට වන වාරය යි
...........

උරහිස මත දැනෙයි
සුපුරුදු හිසක බර
සියුමැලි අත්ලක්
සොයයි මගෙ සුරත 
පපුව මත නතරවුණ
කඳුළු බිඳුවක
තෙතබරිත
පැල්ලම
බොඳව යයි කමිසයට

ඒ එකසිය හතළිස් තුන් වෙනි වර ය.
...................

විවාහ උත්සවයක්..
ඇසෙයි සංගීත නාදය
දැල්වේ විදුලි බුබුළු අවට..
ඈතින් පෙනේ
අමුත්තන් හට
අතට අත දෙන නව යුවළ

ඒ පන්සිය තිස් එක් වෙනි වර ය..
.................................

පියාඹායයි බස් රථය
එක්තරා උයනක් පසු කර
සේපාලිකා ගසක හෙවණේ
මිටි බංකුව
පෙනී නොපෙනී යයි 
ඈතට
....................................................

හොඳින් නේද? 
අසමි
එක්දාස් එකසිය විසි අට වෙනි වරට...




Wednesday, February 12, 2020

වෛරයේ රත් ඵලය -‍ A Poison Tree

කෝපයෙන් පසු වුණෙමි මම
මගේ මිතුරෙකු සමග
පැවසුවෙමි ඔහුට ඒ බැව්
නිමාවුණි ඉන් මගේ වෛරය...

කෝපයෙන් පසුවුණෙමි මම
මගේ සතුරෙකු සමග
නොකීවෙමි ඔහුට ඒ ගැන
වැඩුණි දින දින මගේ වෛරය...

පොහොණි කර බියෙන්, සැකයෙන්
තෙමාලූයෙමි කඳුළැලි දියෙන්
විසිතුරුව සැරසුවෙමි එය මම
සටකපට සිනා මුදු වදන් වලින්...

දලු දමා වැඩුණි  දිවා රෑ
මගේ වෛරය නොනැවතී
බිහිව එන තුරු ඉන් දිනක්
රත් පැහැති ඵලයක් දිදුළන..

හසුවුණි ඒ රත් ඵලය
මගේ සතුරාගෙ දෑසට
හඳුනගත්තා ඔහු සැණෙකින්
එය අයිති මට වග..

රාත්‍රී අඳුරු සළුවේ
වෙළී සැඟවී ගිය කල මුලු ලොව
රහසේම පැමිණී ඔහු
සොරාගත්තා මගෙන් එය..

උදෑසනින් අවදිව පසුදින
තුටු පහටු වීමි දසුනින් මා දුටුව
දෑත් විදහා මගේ සතුරා
මැරී සිටියා ගස යට.

(William Blake ගේ Poison Tree කවිය ඇසුරෙනි. සිංහල පරිවර්තනය මගෙනි)



Tuesday, February 11, 2020

Jojo Rabbit (2019)

අද මව්බිම young .. හොඳම අනුවර්තිත තිරපිටපතට හිමි ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලද Jojo Rabbit ගැන..

ඇඩොල්ෆ් හිට්ලර් කියන චරිතය පදනම් කරගෙන චිත්‍රපට සෑහෙන ගණනක් මේ වෙද්දී නිර්මාණය වෙලා තියෙනවා. ඒවායින් බොහෝමයක ම සිදු වෙන්නේ හිට්ලර් නම් පුද්ගලයාගේ ජීවිතය ඒ ආකාරයෙන් ම ප්‍රතිනිර්මාණය කරන්න උත්සාහ කිරීමයි. ගිය අවුරුද්දේදී තිරගත වුණු "Jojo Rabbit" චිත්‍රපටයෙත් අපිට හිට්ලර් කෙනෙක් දකින්න ලැබෙනවා. නමුත් මෙයා වෙන කොහෙදීවත් අපට දකින්න නොලැබෙනු අමුතු ම ආකාරයේ හිට්ලර් කෙනෙක්. මේ හිට්ලර්ගේ විශේෂත්වය තමයි මෙයා ජීවත් වෙන්නේ මිනිස්සුන්ගේ  ඔළු  ඇතුළේ වීම. තමන් පමණක්  පිරිසිදු ආර්‍ය ජාතියට අයිති බව කියමින් ජාතිවාදී අදහස් වපුරන, දත්කූරු කමින්, හිනා වෙමින්, උඩ පනිමින්, මිනිස් මනස ආක්‍රමණය කරන්න වෙර දරන අරුම පුදුම හිට්ලර් සහ හිට්ලර් අනුගාමික, නාසි හමුදාවට හිත ඇති පුංචි කොල්ලෙක් වුණ Johannes නැත්නම් Jojoගේ කතාව තමා "Jojo Rabbit" චිත්‍රපටයෙන් දිගහැරෙන්නේ

Jojo (Roman Griffin Davis) එයාගේ අම්මා Rosie (Scarlett Johansson) එක්ක ජීවත් වෙන ජර්මන් ජාතික කොලුගැටයෙක්. Jojoගේ තාත්තා දෙවැනි ලෝක යුද්ධයේදී ජර්මනිය වෙනුවෙන් සටන් කරන්නට යනවා. Jojoගේ වැඩිමහල් සහෝදරිය Inge, Jojo බොහෝ ම පුංචි වයසේදී  මියගිහින්. Jojoගේ හොඳ ම යාළුවා තමා Yorki ( Archie Yates) . ඊට අමරව Jojoට තව යාළුවෙක් ඉන්නවා. ඒ තමා ඇඩොල්ෆ්....ඇඩෝල්ෆ් හිට්ලර්...! කවුරුවත් ළඟ පාතක නැතිව තනියම ඉන්න වෙලාවට Jojo  ළඟට එන ඇඩොල්ෆ්  කරන්නේ පුළුවන් තරම් ජාතිවාදී අදහස්  Jojoගේ ඔළුවට දාල නාසිවාදය වෙනුවෙන් වැඩ කරන්න එයාව ධෛර්යමත් කරන එකයි.

නාසිවාදය වෙනුවෙන් පුංචි ළමුන් සහ තරුණයන් පුහුණු කරන කඳවුරකට Jojo  සහ Yorki සහභාගී වෙන්නේ ඔය අතරෙදීයි. කඳවුර මෙහෙය වන්නේ රට වෙනුවෙන් ඇහැකුත් අහිමි කරගත්ත Captain Klenzendorf (Sam Rockwell) මේ කඳවුරේදී ළමයින්ට සිද්ධ වෙනවා තමන්ට රට වෙනුවෙන්  ඕනෑ ම දෙයක් කළ හැකියි කියලා ඔප්පු කරලා පෙන්වන්න. ඉතින් මෙතනදී Jojoට කරන්න  නියමිත වෙන වැඩේ තමා පුංචි හාවෙක්ව තමන්ගේ අත් දෙකෙන් ම මරා දැමීම. ඔන්න ඔතනදියි Jojo තමයි  අමාරුවේ වැටෙන්නේ.  තමන් කොයි තරම් නිර්භීතයි කියලා හිතුවත් හාවෙක් මරන්න කිව්ව ගමන් Jojo  බය වෙනවා. මොන තරම් අන්තවාදී අදහස්වලින් ඔළුව පිරුණත් හදවත ඇතුළේ තියෙන මනුෂ්‍යත්වය එයාට මේ වැඩේ කරන්න ඉඩ දෙන්නේ නෑ. ඉතින්  Jojoට හාවා මරන්න බැරි වෙනවා. එතන ඉඳන් Jojo හාවෙක්වත් මරා ගන්න බැරි බයගුල්ලෙක් විදිහට  හංවඩු ගැහෙනවා. Jojoව විහිළුවට ලක් කරන්න එයාගෙ යාළුවෝ එයාට කියන නම තමා Jojo Rabbit. 

එක දවසක් අම්මා ගෙදර නැති වෙලාවක Jojoට ගෙදර එක කාමරයක අමුතු වෙනසක් දකින්න ලැබෙනවා. මේ ගැන වැඩි දුර හොයා බලන Jojo දකින්නේ කාමරය ඇතුළේ තව රහස් දොරක් ඇති බවයි. රහස් දොරෙන් ඇතුළට යන එයා දකින්නේ මොකක් ද? Jojoට මුණගැහෙනවා තමන්ගේ ගෙදර ඇතුළෙ ම හැංගිලා ඉන්න යුදෙව් ගෑනු ළමයෙක්ව. එයාගේ නම  Elsa  (Thomasin McKenzie) යුදෙව්වෝ කියන්නේ මහ නපුරු, දුෂ්ට ගතිගුණ තියෙන ජාතියක් කියලයි Jojo ඉගෙන ගෙන තියෙන්නේ. යුදෙව්වෙක් දැක්ක ගමන් කරන්න ඕන වැඩේ තමා පුළුවන් තරම් ඉක්මණට හිට්ලරේගේ රහස් පොලීසිය Gestapo එකට දැනුම් දෙන එක. නාසින්ට අහුවෙන යුදෙව්වන්ට වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඉතින්  Jojo සූදානම් වෙන්නේ මේ යුදෙව් ගෑනු ළමයාටත් ඒ ඉරණම අත්කරලා දෙන්න. ඉතින් Elsaව Gestapo එකෙන් අල්ලා ගනීද? ඊටපස්සේ   Jojoට මොකක්ද වෙන්නේ ?

Jojo Rabbit තිරපිටපත ලියැවෙන්නේ  Christine Leunens නම් ලේඛිකාවගේ "Caging Skies"  කියන නවකතාව පදනම් කරගෙනයි. මේ චිත්‍රපටයේ පිටපත ලියමින්, අධ්‍යක්ෂණය කරමින්, හිට්ලර්ගේ චරිතයත් රඟදක්වන්නේ නවසීලන්ත ජාතික සිනමාකරුවෙක් වුණ Taika Waititi විසිනුයි. ඔහු  මඕරි ජාතිකයෙක් වගේ ම අර්ධ යුදෙව්වෙක්. තමන් ම හිට්ලර් චරිතය රගපෑවේ ඇයි කියන ලෝකයා අහපු ප්‍රශ්නයට ඔහු දුන්න පිළිතුර තමා හිට්ලර්ට තමන්ගේ අප්‍රසාදය පළ කරන්න තිබුණ හොඳ ම විදිහ එය බව. Taika, Jojo Rabbit චිත්‍රපටයේදී හිට්ලර්, නාසි හමුදාව සහ ඔවුන්ගේ ඇවතුම් පැවතුම් බොහෝ ම තදබල විදිහට උපහාසයට ලක් කරනවා.

සාමාන්‍යයන් දෙවනි ලෝක යුද්ධය මුල් කරගෙන නිමැවුණු චිත්‍රපටිවල දකින්න ලැබෙන්නේ අඳුරු, දුක්බර ස්වරූපයක් වුණත් Jojo Rabbit චිත්‍රපටය පුරා දකින්න ලැබෙන්නේ සැහැල්ලු, විනෝදාත්මක ස්වරූපයක්. තමන්ගේ සිනමාපටයේ  පසුතල සහ ඇඳුම් නිර්මාණ ඉතා ම අලංකාරවත්ව තිබිමට තමාට අවශ්‍ය වු බව මේ අධ්‍යක්ෂවරයා පවසා තිබෙනවා. ඔහු කියන්නේ ඒ මිනිසුන්ගේ ජීවිතවල ප්‍රීතිමත් බව යටින් දිවෙනා අන්ධකාරය තමන්ට චිත්‍රපටයෙන් පෙන්වාදීමට අවශ්‍ය වුණු බවයි. ඒ නිසා Jojo Rabbit නරඹන කෙනෙකුට විඳගන්න ලැබෙන්නේ බොහෝ ම වර්ණවත් සහ විනෝදවත් නමුත් ජාතිවාදයේ අඳුර නිසා මිනිස්සුන් තුළ මනුෂ්‍යත්වය  කොයි තරම් පරිහානියකට ලක් වෙනවද කියා පෙන්වා දෙන සිනමා අත්දැකීමකුයි.







Taika Waititi හොඳම අනුවර්තිත තිරපිටපතට හිමි ඔස්කාර් සම්මානය අතැතිව