Monday, February 10, 2020

පර්සෝනා

පර්සෝනාව ගැන අදහස් මුල්වරට ඉදිරිපත් කරන්නේ ස්විස්ටර්ලන්ත ජාතික මනෝ චිකිත්සකවරයෙක් වුණු කාල් යුංග්. සිග්මන් ෆ්‍රොයිඩ් සමකාලීනව මනෝවිශ්ලේෂණ විෂයේ ප්‍රගමනයට පුරෝගාමී මෙහෙවරක් කළ කෙනෙක් යුංග්. පර්සෝනාව ගැන සරලව හඳුන්වා දෙන්න පුළුවන් මෙන්න මෙහෙම. හිතන්න ඔයා කිසි කෙනෙක් ඇස නොගැටෙන තැනක තනියම ඉන්නවා කියල. එතකොට ඔයාට නටන්න හිතුණොත් ඔයා නටනවා, සින්දු කියන්න හිතුණොත් සින්දු කියනවා, ඔලුවෙන් හිටගෙන ඉන්න හිතුණොත් ඔළුවෙන් හිටගෙන ඉන්නවා. මොකද එතන ඉන්නෙ ඔයා පමණයි. වෙන කිසිම කෙනෙක් නෑ. නමුත් පිරිසක් ඉන්න තැනක ඔයා එහෙම ඉන්නෙ නෑ. මොකද සමාජ ඉන්නව නම් මෙන්න මෙහෙම හැසිරෙන්න ඕන කියලා නියමයකට යටත්ව ඔයා කටයුතු කරන්නේ. අනිත් මිනිස්සු ඔයාව මෙන්න මේ ආකාරයට දැකිය යුතුයි කියල සමාජ ප්‍රතිරූපයක් එතනදි ඔයාට නඩත්තු කරන්න සිද්ධ වෙනවා. අන්න ඒ සමාජ පුද්ගල ප්‍රතිරූපයට තමා පර්සෝනාව කියන්නේ. මේක එක් ආකාරයකට ඔයාගේ සැබෑ ඇතුලාන්තය වසන් කර පිටතට පෙන්වන වෙස් මූණකට සමානයි ("පර්සෝනා" ලතින් වචනයක්. පර්සෝනා වචනයෙ අර්ථයත් "වෙස් මුහුණ" මයි). මවක්, පියෙක්, දරුවෙක්, ගුරුවරයෙක්, ඇමැතිවරයෙක්, කම්කරුවෙක් මේ විදිහට හැම කෙනෙක් ම තමන්ගෙ වෘත්තීය නැත්නම් පුද්ගල භූමිකාව මුල්කරගෙන සමාජ ඉදිරිපිට පෙනී ඉන්න යම් ආකාරයක පර්සෝනාවක් පවත්වාගෙන යනවා .

මේ පර්සෝනාවෙ අරමුණ මිනිස් සන්තානයෙ මතුවෙන, සමාජය විසින් අනුමත නොකරන ප්‍රාථමික හැඟීම්, ආවේගයන්, ආශාවන් පිටස්තරයට නොපෙනෙන්න ආවරණය කර තැබීම. හිතන්න මිනිස්සු තමන්ගේ ඇතුළාන්තයේ මතුවන හැඟීම් අනුව ඉවක් බවක් නැතිව හැසිරෙන්න පටන් ගත්තොත් තත්ත්වය කොහොම තියේවිද? ඉතින් අපි අපිට පැවරුණු සමාජ පුද්ගල භූමිකාව අනුව ඊට පැවරුණු යම් හැසිරීම් රටාවක් අනුව පොදු සමාජයක් හමුවේ හැසිරෙනව. සමාජය මේ පර්සෝනාව සම්මතයක් විදිහට බාරගෙන තිබෙන නිසා ගැටලුවක් නැතුව සමාජය දිගටම පවතිනවා. ගැටලුව මතු ඉන්න පුද්ගලයා තමන්ට පැවරුණ පර්සෝනාවට දැඩිව ආසක්ත වීමෙන්. එතකොට අදාල පුද්ගලයා අනික් මිනිස්සු "මං ගැන මොනවා හිතයිද" කියලා බියක් ඇති කර ගන්නවා . ඔහු සමාජ අවශ්‍යතාවයන් වෙනුවෙන් පුද්ගලයෙක් විදිහට තමන්වම අනවශ්‍ය විදිහට සීමා කර ගන්නවා. එවැනි තත්ත්වයක් තවත් ගැටලු රාශියකට මඟ පාදන බව කාල් යුංග් කියනවා.

ස්වීඩන් සිනමාකරු ඉන්ග්මාර් බර්ග්මාන් 1966 අවුරුද්දෙ දි පර්සෝනා චිත්‍රපටය නිර්මාණය කරන්නෙ මෙන්න මේ පර්සෝනා සංකල්පය පදනම් කරගෙන. හදිස්සියෙම කතා කිරීම තවත්වන නිළියක් සහ ඇයව රැකබලා ගන්නා හෙදියක් අතරෙ සිදුවීම් පෙළක් විදිහට චිත්‍රපටය ගලායන්නෙ. බර්ග්මාන්ට මේ චිත්‍රපටයට අදහස පහළ වෙන්නෙ වෙනත් නිර්මාණයකට අරගත්ත Bibi Anderson සහ Liu Ulman නිළියන් දෙදෙනාගෙ ඡායාරූප දෙකක් දැකීමෙන් බවයි කියන්නෙ. මේ චිත්‍රපටයෙ ප්‍රධාන චරිත රඟපාන්නෙ ඔවුන් දෙදෙනා. වඩාත් ගැඹුරු සහ කලාත්මක චිත්‍රපට නරඹන්නන් බොහෝදෙනා අතරෙ ප්‍රියතම සිනමා නිර්මාණයක් විදිහට පර්සෝනා හඳුනාගන්න පුලුවන්. ඒවගේ, සිනමා විචාරකයන්ට අනුව පැහැදිලි කරගන්න වඩා දුෂ්කරම චිත්‍රපට අතරින් එකක් පර්සෝනා. 

"සිනමා විචාරයේ එවරස්ට් ගිරි මුදුන"

විචාරකයන් පර්සෝනා චිත්‍රපටය හඳුන්වන්නෙ එහෙම. නමුත් විවිධාකාර අර්ථකථනයන් මේ චිත්‍රපටයට ලබා දෙන්න බොහෝ අය උත්සාහ කර තිබෙනව. සමහරු මෙය එකම පුද්ගලයෙකුගෙ පෞරුෂයේ ඇති ද්විත්ව රූපී ස්වරූපය නිරූපණය කරන බව කියනවා. සමහරු කියන්නෙ මේ චරිත දෙක මිනිස් මනසේ විඥානය සහ අවිඥානික අවස්ථා නිරූපණය කරන බව. ජීවිතයේ අර්ථශුන්‍ය භාවය බලාපොරොත්තු විරහිත සවභාවය මේ චිත්‍රපටයෙන් නිරූපිත බව තව කෙනෙක් කියනව. බර්ග්මාන් තමන් මේ චිත්‍රපටය ඇතුලෙ යම් නිශ්චිත අදහසක් මතු කර තිබෙන බව කියා තිබුණත් ඔහු ඒ ගැන වැඩිදුර පැහැදිලි කරන්නෙ නෑ. ඔහු එය නරඹන්නාට ම විවෘතව තබා තිබෙනව.
කොහොම නමුත් ඔබ චිත්‍රපටයෙන් මතුවෙන ඒ හැඟීමත් එක්ක සමපාතව චිත්‍රපටය නැරඹුවොතින්, ඒ සංකේත රූප දිහා තරමක් උවමනාවෙන් බැලුවොතින් ඔබට චිත්‍රපටය විඳගන්න පුලුවන් වේවි. සිනමා රූපයේ වංකගිරියක මැද්දෙ වුණත් ඇති සුන්දරත්වය අත්විඳින්න ලැබේවි..




Carl Jung



Ingmar Bergman



Liu Ulman and Bibi Anderson in Persona



No comments:

Post a Comment