Monday, June 7, 2021

Nobody knows (2004)

අපිට බොහෝ වෙලාවට අහන්න ලැබිල තියෙන්නෙ දෙවන ලෝක යුද්ධයෙන් බිංදුවටම ඇද වැටුණු සහ යළි ස්වෝත්සාහයෙන් දියුණුවී ලෝකයේ දියුණුම රටක් බවට පත්වුණු ජපානයක් ගැන. හැම දෙයක්ම ඉතාම පිළිවෙළට සිද්දවෙන, නීතිය හොඳහැටි ක්‍රියාත්මක වෙන, විනයගරුක මිනිස්සු ඉන්නා ජපානයක් ගැන. නමුත් කිසිදාක දැකල තියනවද දෙමව්පියන් විසින් තමන්ගේ දරුවන්ව අතහැරදමා යන ජපානයක් ගැන. පාසල් ශිෂ්‍යාවන් මුදලට විකිණෙන, කඩවලින් යම් යම් දේවල් සොරාගන්න කුඩා දරුවන් ඉන්නා ජපානයක් ගැන. ජපන් ජාතික සිනමාකරු Hirokazu Kore-eda ගේ චිත්‍රපට නැරඹුවොත් ඔබට මේ දේවල් දැකගන්න ලැබේවි. සංවර්ධනයේ යෝධ සෙවණැල්ලේ සැඟවී නොපෙනී යන අඳුරු කුඩා මිනිස් ජීවිත ඔබට පෙනේවි. අනෙක් අතින් Kore-eda ගේ සිනමාවේ පහසුවෙන්ම නිරීක්ෂණය කරන්න ලැබෙන්න සාධකය නම් ඒ  චිත්‍රපට බොහෝවිට නිර්මාණය වෙන්නෙ පවුල මුල්කරගෙන වීම. පවුල කියන්නේ විශ්වීය සමාජ ඒකකයක්. ලෝකයෙ ඕනෑම තැනක ඕනෑම සංස්කෘතියක මේ පවුල තුල ඇතිවෙන ගැටලු සහ ඒ ඇතුලෙ ඇතිවෙන මානව සම්බන්ධතා සමූහය මූලික වශයෙන් අනෙක් සංස්කෘතීන් හා සමඟ බොහෝවිට එක සමානයි. ඒ නිසා කොයි යම් රටක වුණත් සිනමා රසිකයෙකුට ඔහුගේ චිත්‍රපට තමන්ගේ කරගෙන රසවිඳින්න හැකියි. 

Nobody knows, 2004 වසරේ Kore-eda නිර්මාණය කරන චිත්‍රපටයත් පවුල මූලික කරගත් එකක්. චිත්‍රපටයට මුල්වෙන්නෙ 1988 ටෝකියෝ නගරයේ සිදුවුණු සැබෑ සිදුවීමක් බවයි කියවෙන්නෙ. ඒ සිදුවීම වුණු කාලයේ පටන්ම එය මුල්කරගෙන චිත්‍රපටයක් නිර්මාණය කරන්න අවශ්‍ය වී තිබුණත් kore-eda ට තමන්ගේ අදහස ක්‍රියාත්මක කරගන්න ලැබෙන්නෙ වසර 15 කට පසුවයි. 

Keiko තරුණ මවක්. ඇය තමන්ගේ 12 හැවිරිදි පුත්‍රයා Akira සමග අලුත් වාසස්ථානයකට පැමිණෙනව. මහල් නිවාස පෙළක එක් නිවසකටයි මේ දෙදෙනා පැමිණෙන්නේ. ඇය Akira ව නිවාස අයිතිකරුට හඳුන්වාදෙන්නෙ තමන්ගේ එකම පුත්‍රයා විදිහට. තමුත් Keiko තමන්ගේ රහස් සැලසුම ක්‍රියාත්මක කරන්නෙ නිවාසයට ගියාට පසුවයි. ඇය තමන් ගේ අනෙක් දරුවන් තිදෙනාවත් රහසින්ම මේ නිවසට ගෙන්වාගන්නව. Kyoko අවුරුදු දහයක ගැහැණු ළමයෙක්. Shigeru අවුරුදු හතක පිරිමි ළමයෙක් සහ බාලයා yuki අවුරුදු හතරක හුරතල් කුඩා දැරිවියක්. මේ තමයි Keiko ගේ දරුවන් හතරදෙනා. නමුත් ඒ අය පියවරු හතරකට දාව උපතලැබූවන්. ඒ ඒ දරුවන් නිශ්චිතවම කාගේද යන කාරණය Keiko වත් නොදන්න බවයි පෙනෙන්නෙ. දරුවන් හතර දෙනාට උප්පැන්න සහතික නෑ. ඔවුන් ඉපදුන බවට කොහෙවත් නීත්‍යානුකූලව පිලිගතහැකි තැනක ලියවී නෑ. Akira හැර අනෙක් කාටවත් එළියට යන්න,  සද්ද කරන්න මේ කිසිදෙයකට Keiko ඉඩදෙන්නෙ නෑ. ඔවුන්ට පාසල් අධ්‍යාපනයක් ලැබෙන්නෙත් නෑ. ඔවුන් ඉන්නා බවට කිසිකෙනෙක් දන්නේ නෑ (nobody knows)

 Keiko දිනපතා උදේම රැකියාවට ගොස් රෑ බෝවී එන අතරේ යමක් වටහ ගත හැකි වයසෙ ඉන්න Akira සහ Kyoko ගේ දොර වැඩකටයුතු බලාකියාගෙන ඉන්නව. නිවසින් බැහැරව යාම අවශ්‍ය දේ කඩෙන් පොළෙන් අරගෙන ඒම කරන්නෙ Akira. ක්‍රමයෙන් Keiko තමන්ගෙ දරුවන්ට දක්වන අවධානය අඩුවී යනව. ඇය නිවසට එන්නේම නැතිවෙනව. නමුත් ගේ දොර වියදමට අවශ්‍ය මුදල් තැපැල් මාර්ගයෙන් ඇය එවනව. තමන්ගෙ අර්ධ සහෝදර සහෝදරියන් රැකබලාගැනීම තමන්ගේ වගකීම බවට පත් කරගන්න Akira පරිස්සමෙන් මුදල් වැය කරමින් පවුලේ අවශ්‍යතා සොයාබලමින් ඔවුන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය වැය කරනව. 

කතාවක් විදිහට ගත්තොත් චිත්‍රපටය ඇතුලෙ සිදුවෙන දේ අපිට වටහ ගන්න පුලුවන් ඔය ආකාරයටයි. නමුත් චිත්‍රපටයෙ විශේෂම දෙය නම් එදිනෙදා ජීවිතේ  කුඩා සිදුවීම් පවා කැමරාවට හසු කරගන්නා ආකාරයයි. මේ ආකාරයට චිත්‍රපටයෙ චරිතවල ආර්ථික සමාජ පසුබිමත්, ඔවුන්ගේ හැඟීම් ප්‍රකාශනයත් බොහොම අපූරුට සිනමාවට අරගෙන එන්න Kore-eda සමත්වෙනව. මේ එදිනෙදා ජීවිතේ කැමරාවට හසුකරගැනීම Kore-eda ගෙ චිත්‍රපටවල බහුලව දකින්න ලැබෙන දෙයක්. එය ඔහුගේ අනන්‍යතාව කිව්වොත් වඩා නිවැරැදියි. විස්මය දනවන කතාපුවත් නිර්මාණය කිරීමට වඩා කුඩා සිදුවීම්වලින් ජීවිත යථාර්ථයන් නිරූපණය කිරීමයි ඔහුගේ සිනමාවේ සුවිශේෂීත්වය. 

චිත්‍රපටයෙ වැඩි බරක් දරා ඉන්න ළමා චරිත සඳහා Kore-eda විසින් තෝරාගෙන තිබෙන්නෙ රංගනය ගැන අත්දැකීම් නොලැබූ ළමුන් හතරදෙනෙක්ව. පුලුවන් තරම් ඔවුන්ගේ ස්වභාවික හැසිරීම් චිත්‍රපටයට හසුකරගන්න තමන් වෙහෙසුණු බවයි Kore-eda කියා තිබෙන්නෙ. කොහොම වුණත් මේ ළමුන් හතර දෙනා අතරින් වැඩිමල් දරුවා වුණු දොළොස් හැවිරිදි Akira වෙනුවෙනුයි චිත්‍රපටයෙ වැඩි ඉඩක් වෙන් වෙන්නෙ. ඒ නිසා රඟපෑම අතින් වැඩි බරක් ඔහු වෙත පැවරී තිබෙන්නට ඇති බව අපිට පැහැදිලි කරගත හැකියි. Akira ගේ චරිතය රඟදක්වන Yagira Yuya රඟපෑම ගැන පෙර ලැබූ අත්දැකීමකින් තොරව ම,  ඒ කාර්‍යය කොයිතරම් හොඳින් ඉටුකළා ද, Kore-eda අද්‍යක්ෂවරයෙක් විදිහට කොයිතරම් හොඳින් ඔහුව මෙහෙයවූයාද කියන කාරණය පසක්කර ගත හැකිවෙන්නෙ සුප්‍රසිද්ධ කාන්ස් සිනමා උළළේ හොඳම නළුවාට හිමි සම්මානය Yagira Yuya ට හිමිවීමෙන්.

(Akira ගේ චරිතය දකින මොහොතේ මට සිහියට එන්නෙ 2018 "කපර්ණාවුම්" නම් ලෙබනන් චිත්‍රපටයෙ Zain ගේ චරිතය. දෙදෙනාම කුඩා වයසෙම දෙමව්පියන් ගෙ ආදරය අහිමි වූවන්, ජීවිතේට තනියම මුහුණදෙන්න පුරුදු වූවන්, දෙදෙනාම ළමා වයසෙදි ළමාකම අහිමි වූවන්)

දෙමව්පියන් ගෙ නොසැලකිලිමත්කම් නිසා දරුවන් මුහුණපාන ගැටලු ගණනාවක් චිත්‍රපටය ඇතුලෙ පෙන්වාදෙනව. මොකද දරුවෙක් කියන්නෙ හරියට හැඩී වැඩෙන කුඩා පැලයක් වගේ. පැලයට වතුරත්, පොහොරත්, හිරුඑළියත්, රැකවරණයත් නිසි ආකාරයෙන් ලැබුණොත් තමයි  මහ ගසක්ව වර්ධනය වෙන්න අවශ්‍ය ශක්තිය එයට ලැබෙන්නෙ. චිත්‍රපටයෙ තැනක Akira ඇතුලු මේ පොඩි දරුවන් ඉන්නා ගෙදර තිබෙන මල්පැල ගණනාවකින් එක පැලයක් බිම වැටිල විනාශ වී යන ආකාරය පෙන්වන දර්ශනයක් තියනව. මම හිතනව ඒ මල් පැලයෙන් මේ දරුවන්ගේ ජිවිත ඉතාම සංකේතාත්මකව නිරූපණය වෙන බව. වැඩිහිටියන්ගේ ලෝකය තුළ ආදරය සෙනෙහස අහිමිව හැදී වැඩෙන ළමා පරපුරක දුක්බර සත්‍යයි nobody knows චිත්‍රපටයෙන් අපට දැකගතහැකි වෙන්නෙ.



No comments:

Post a Comment