Saturday, June 26, 2021

The secret in their eyes (2009)

" පිටත්වෙන්න සූදානම් වුණු දුම්රිය, වේදිකාවෙ නවත්වා තිබුණ. ගමන් බෑගය අතට ගත්ත ඔහු ගලා යන මිනිස් ගංගාව මැද්දෙන් පියවර තබමින් දුම්රියට ළඟාවුණා. මැදිරියේ දොර ළඟදී මොහොතක් නතරවෙලා ඔහු ආපසු හැරී බැලුවා. ඈතින් හිටිතැනම නොසෙල්වී ඈ තවමත් ඔහු දිහා බලා ඉන්නව. ඒ ඇස් බැල්මෙන් මිදෙන එක කොයිතරම් අමාරුයිද. නමුත් දැන් ආපසු හැරෙන්න පුලුවන්කමක් නැහැ. පිටත්වෙන බවට දැනුම්දුන් දුම්රිය ගමන ආරම්භ කලා. දීර්ඝ ගමනකට සූදානම් වෙලා මැදිරිය ඇතුළේ ජනේලය ලඟ ආසනයෙ ඔහු වාඩිවුණා. නමුත් එකවරම ජනේලය අසල මැවුණේ ඇගේ රුව. ඇයට උවමනා වුණා තව වතාවක් ඔහුගේ අතින් අල්ලා ගන්න. එකම වතාවක් පමණක් ඔහු සෙවණේ රැඳෙන්න. නමුත් ජනෙල් වීදුරුව මහ බාධකයක් වගේ ඔවුන් දෙදෙනා මගින් නැගී හිටිය. ඇයට පුලුවන් වුණේ යන්තම් ජනෙල් වීදුරුව මත අත තබන්න පමණයි. ක්‍රමයෙන් දුම්රිය ගමන් වේගය වැඩිකලා. ඇයට තවදුරටත් ඒ වේගයෙන් ඇවිද එන්න බැරිවුණා. දුම්රිය නොනවත්වා ඉදිරියටම ගමන් කළා. වහාම නැගීහිටි ඔහු දිවගියේ අවසාන මැදිරියේ පිටුපස ජනේලය ලඟට. තමන්ගේ ජීවිතයේ සතුට උදුරාගෙන යන දුම්රිය පිටුපස පොඩි එකෙකු වගේ දුවමින් එන ඇය දිහා ඔහු බලා සිටියා. හදවතින් මතුවුණු සියුම් වේදනාත්මක හැඟීමක් තමන්ගේ දෑස කෙළවරින් ගලා යන ආකාරය ඔහුට දැනෙන්න පටන් ගෙන තිබුණා"

.
නෑහ්... අපරාධමය නවකතාවක් පටන් ගන්න ඒක ඒ තරම් හොඳ විදිහක් නෙමේ. බෙන්ජමින් එස්පසීටෝ මෙතෙක් දුර ලියපු කඩදාසිය කුරුටුගාල විසිකරල අලුතෙන් පිටුවක් අරගෙන ආයෙ ලියන්න පටන්ගත්ත. සිද්දිය වෙච්ච දිනවකවානු ඔහුට තවමත් මතකයි. 

"1974 ජූනි මාසෙ 21 වෙනිදා, රිකාඩෝ මොරාලේස් තමන්ගේ බිරිඳ ලිලිනා සමඟ අවසන්වරට උදෑසන ආහාරය ගත්තා...."
.
.
නැහැ එහෙම හරියන්නෙත් නෑ. එස්පොසිටෝ ඒ කඩදාසියත් ඉරා විසිකර දැම්ම. ඔහු කල්පනා කරන්න පටන්ගත්ත ඒ අපරාධය කොහොම සිද්දවුණාද කියන කාරණය. ඒ එක්කම තවදුරටත් කිසිවක් ලියාගන්න බැරි හැඟීමකුයි ඔහුට දැනුණේ. අලුත් කඩදාසියක එක වචනයක් පමණක් ලියාතබල එස්පොසිටෝ නින්දට වැටුණ.
.
.
"ලෝකයෙ භාෂාව කියල දෙයක් නැතිවුණු දවසට මිනිස්සු ඇස්වලින් කතා කරන්න පටන් ගනීවි" මේ සුප්‍රසිද්ධ කියමන කාගෙද කියන කරණාව නම් දැන් මගෙ මතකයෙ නෑ. නමුත් 2010 අවුරුද්දේ පැවති 82  වන ඔස්කාර් සම්මාන උළලේදි, හොඳම විදෙස් භාෂා චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත් "The secret in their eyes" ආර්ජන්ටීනියානු චිත්‍රපටය නැරඹුවොත් ඔබට ඇස්වලින් සිදුවෙන සියුම් හැඟීම් ප්‍රකාශනයන්ට කොයිතරම් පරාසයක විහිදී යන්න පුලුවන්ද කියන කාරණය හොඳින්ම වටහා ගන්න ලැබේවි.

The secret in their eyes චිත්‍රපටය වර්ගීකරණය වෙන්නෙ අපරාධ සහ අබිරහස්මය ගණයට වුණත් මෙය හුදු අපරාධමය චිත්‍රපටයක් විදිහට නම් කිරීම මම හිතනව එහි අන්තර්ගතය එක් සීමාවකට පටුකර දැක්වීමක් කියල.  අප්‍රකාශිත ප්‍රේමයක්, මිත්‍රත්වය පිලිබඳ කතාවක්, පළිගැනීමක්, සමකාලීන දේශපාලනය, නීතිය, යුක්තිය, අතීත මතකයන් ජීවතයට ඇතිකරන බලපෑම.. මේ වගේ තේමාවන් ගණනාවක්ම එකවිට වර නැඟෙන ආකාරය මේ චිත්‍රපටයට ඇතුළෙ දැකගන්න පුලුවන්. චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ Eduardo Sacheri නම් ආජෙන්ටිනියානු ලේඛකයාගෙ La pregunta de sus ojos (The Question in Their Eyes) නවකතාව පදනම් කරගෙන. (මේ නවකතාව  මුල් කරගෙන මේ නමින්ම 2015 දි හොලිවුඩ් සිනමාපටයකුත් නිර්මාණය වුණත් එය එතරම් සාර්ථක එකක් නොවෙන බවයි කියැවෙන්නෙ) සාහිත්‍යමය "පිරුණුබව" චිත්‍රපටය ඇතුළෙ ඉහළම මට්ටමකින් පවත්වාගන්න මෙහි නිර්මාණකරුවන් සමත්වී තිබෙන බව කිවයුතුයි. 

චිත්‍රපටයට පසුබිම් වෙන්නෙ 1970 සහ 90 දශකවල ආර්ජෙන්ටිනාව. බෙන්ජමින් එස්පසිටෝ (Ricardo Darín) අපරාධ පරීක්ෂකවරයෙක්. ඔහු වැඩකරමින් ඉන්න ආයතනයට අයරීන් (Soledad Villamil) නමින් නීති උපදේශකවරියක් සේවයට පැමිණෙනව. ඔහුට වැඩකරන්න නියමිත වෙන්නෙ ඇය යටතෙ. මේ අතර ලිලිනා නම් ගැහැණිය ඇයගේ නිවසේදීම කෲර ආකාරයට දූෂණය කර මරාදමා තිබෙද්දී සොයාගැනෙනව. එහි අපරාධකරුවන් සොයා යාමට භාරවෙන්නෙ එස්පසිටෝට. ලිලිනාගේ සැමියා රොකාඩෝ, අපරාධකරුවා සොයාගෙන හැකි උපරිම දඬුවම් ලබා දෙන්න එස්පොසිටෝගෙන් ඉල්ලාසිටිනව. ලිලිනාගේ කුඩා වයසේ පටන් මිතුරෙක්වන ගෝමෙස් නැමැත්තෙක් ගැන එස්පොසිටෝට සැකයක් ඇතිවෙනව. ඒත් ඔහු ඉන්නා තැනක් කිසි කෙනෙක් නිවැරදිව දන්නේ නැහැ. ගෝමෙස් පසුපස යන එස්පොසිටෝ අවසානෙ ඔහුව අල්ලාගන්න සමත්වෙනව. ඒවනවිට ආජෙන්ටිනාව ඒකාධිපති මිලිටරි පාලනයකට යටත්ව තිබුණා. මිලිටරි ආණ්ඩුව, එයට විරුද්ධ මත දරන්නන් දැඩිව මර්ධනය කලා. වෘත්තිය ජීවිතයේ එස්පොසිටෝගේ විරුද්ධවාදීන් ගෝමෙස් ඇප මත නිදහස් කරවාගෙන ආණ්ඩුවේ කුලී මැරයෙක් විදිහට බඳවාගෙන තිබුණා. ඒ අතර එස්පොසිටෝ ගෙ හොඳම මිත්‍රයා පැබ්ලෝවත් මරා දමා තිබුණා. 

මේ සැම දෙයක්ම අතරේ අයිරින් ගැන එස්පොසිටෝ තුළ යම් පැහැදීමක් ඇතිවෙනව. ඒවගේම ඇයත් ඔහු ගැන ඒ ආකාරයෙන්ම සිතනව. ක්‍රමයෙන් දෙදෙනා අතරෙ යම් කිට්ටු සම්බන්ධතාවක් ඇතිවෙනව. නමුත් ඇය නුදුරේදිම විවාහවෙන්න නියමිතයි. වෘත්තිය ඇතුලෙ ඔහු ඇය යටතේයි වැඩ කරන්නෙ. ඒ වගේම  ආර්ථිකමය සමාජමය තත්ත්වය අතින් ඇය ඉන්නෙ ඔහුට වඩා ඉහළ තැනක. මේ නිසා ඇය ගැන ඇතිවෙන ප්‍රේමණීය හැඟීම් යටපත් කරගන්නයි ඔහු උත්සාහය දරමින් ඉන්නෙ. මිත්‍රයාගේ ඝාතනය සමඟ තමන්ගේ ජීවිතයත් අනතුරක ඇති බව වටහගෙන එස්පොසිටෝ තමන්ගේ වෘත්තියත් ඇයත් අතහැර යනව. හුදකලාවේ අවුරුදු විස්සක් පමණ ගතකරන එස්පසිටෝ නැවත ඇය හමුවෙන්න පැමිණෙනව. ඔහු අදහස් කරගෙන ඉන්නව ලිලිනාගේ ඝාතන සිදුවීම ගැන නැවත වරක් සොයාබලන්න. ඔහු මේ සිදුවීම මුල්කරගෙන දැනටමත් නවකතාවක දළ සටහනක් ලියා අවසන්. අසම්පූර්ණ කතාවක් පරිපූර්ණව ලියා අවසන් කරන්න ඔහුට හැකිවේවි ද?

The secret in their eyes චිත්‍රපටයෙ නිරීක්ෂණය කරගන්න පුලුවන් කාරණයක් තමා ඒ ඒ අවස්ථාවන්වල අරුත් මතුවන ආකාරයට ඉතාම හොඳ දෙබස් භාවිත කර තිබීම. නවකතාවක් මුල්කරගෙන ගොඩනැගුණු චිත්‍රපටයක් නිසා කලිනුත් සඳහන් කල ආකාරයට ඒ සාහිත්‍යමය බලපෑම චිත්‍රපටයට ලැබෙන්න ඇති. ඒ වගේම කලිනුත් සඳහන් කලා ඇස්වලින් සිදුකරන හැඟුම් ප්‍රකාශනයන් මේ චිත්‍රපටයෙ බහුලව භාවිත කර ඇති බව. බොහෝ විට චිත්‍රපටය ඇතුලෙ වචනවල සීමාවන් අතික්‍රමණය කරමින් සියුම් ඉඟියෙන් නමුත් ප්‍රබලව අරුත් දනවන ස්වභාවය දැකගන්න පුලුවන්.

The secret in their eyes මෑත යුගයෙ බිහිවුණු විශිෂ්ටතම චිත්‍රපට අතරට ගැනෙන සිනමාපටයක්. අපරාධ පරීක්ෂණයක් මුල් කරගෙන කතාව නිර්මාණය වුණත් එයින් එහා සමාජ දේශපාලනික තේමාවන්ට වගේම ප්‍රේමය පිලිබඳවත් ජීවිත කියවීමක් නිරූපණය වෙන  අපූර්වම චිත්‍රපටයක්. චිත්‍රපටයෙ දෙබස් ගැන කලිනුත් සඳහන් කලා. චිත්‍රපටයෙ මම කැමති දෙබස් ඛණ්ඩයකින් මේ සටහන අවසන් කරන්නම්..
.
.
.
- මට එයාට ආදරේ කරන්න බැරිවුණා. ඒක එයාගෙ වරදක් නෙමේ. 

- එක හරි දුර්වල අවසානයක් කතාවකට නම්. 

- ඔයාට පේනවනෙ. මට තව අවස්ථාවක් නිකම් නාස්ති කරගන්න ඕන නෑ. මම කොහොමද ඒ ගැන කිසිදෙයක් නොකර ඉන්නෙ? මම ඇහුව මගෙන්ම. මේ අවුරුදු විසිපහටම මට එක උත්තරයයි හම්බවුණේ. "ඒක අමතක කරන්න. ඒක ජීවිතේ තව එක යුගයක් විතරයි. ඒක දැන් ඉවරයි. ආයෙ මතක් කරන්න එපා" කියන දෙය පමණයි. ඒත් ඒක වෙනම යුගයක් නෙමේ. ඒ වෙන ජීවිතයක් නෙමේ. ඒක මේ ජීවිතේම තමයි. මෙන්න මේ ජීවිතේම තමයි ඒ. මට දැන් තේරුම්ගන්න ඕන. කොහොමද කෙනෙක් හිස් ජීවිතයක් ගෙවාදමන්නෙ. මොකවත්ම නැති නිකම්ම හිස් ජීවිතයක්? ඔයා මොකක්ද එහෙම වුණොත් කරන්නෙ?"

-hAsH-

..................................................

The secret in their eyes (2009)

Directed byJuan José Campanella 

Written by Juan José Campanella, Eduardo Sacheri

Based onLa pregunta de sus ojos by Eduardo Sacheri

Starring

Ricardo Darín
Soledad Villamil
Pablo Rago
Javier Godino
Guillermo Francella



No comments:

Post a Comment