Tuesday, June 1, 2021

ලෝකය කුඩාවෙන්න පටන් අරගෙන..

මීට හරියට දින තුනකට කලින්
නගරේ එක කොණක
මං වාඩිවී උන්නා අවන්හලේ
සුවිසාල නුග ගහක් ලඟ තිබුණ...
මට පුලුවන් කම තිබුණා ඇවිද එන්න
ගෙදරට එන පාරේ..
අතපය හොඳට දිග ඇර
හුස්ම ගන්න ඉඩ තිබුණා මගෙ කුටියේ
ඒත් දැන් ඒ තැන්වල මට ඉඩ නෑ..

අහසත් ළං වෙලා..
හිස කෙස්වල පැටලි පැටලී යනවා කලු වලාකුළු
එතකොට තරු?
එකක්වත් නෑ ඉතුරු
එළිය නිවුන කණාමැදිරි 
ගලවගෙන ගිහින් ඔක්කොම....

ඒ අතර පැමිණුනා සුළිකුණාටුව
ඉන්දියානු සාගරේ ඊසාන දිසාවෙන්..
අපි විසිරුණා එකවරම..
දන්න නාඳුනන මිනිස්සු 
පාවෙවී පාවෙවී වරාමල් වගේ
සමහර රැඳුණා ගස් අතු උඩ සමහරු බිම..
අඩක් ඇරුණු කවුළුවෙන් මට පෙනෙනවා
මගේ අසල්වැසියා
පුංචි තිතක් වගේ දුරට...

මහ වැස්සක් වැටුණා
ගෙවත්තේ වැහි දිය පිරුණා 
දැන් එතන දියවන්නාව වගෙයි හරියට...
කොහෙන්දෝ එතනට පැමිණි 
මැඩි රැළක්
කෑගහනවා මහ සද්දෙන්...
"අපි වගේ පොඩියට 
උන්න නම් ඉතින් උඹලට
නෑ නෙ ඔය තරම් කරදර..."
මැඩි රැළ සද්ද ගෝසාව මැද්දේ
ඒ වැනි යමක් කියමින් හිනාවෙන බව
මට නිකමට වගේ හිතෙනවා...



No comments:

Post a Comment