- රාජු හැමදාම උදේපාන්දර අවදිවුණා. ඉන්පස්සෙ පාරට ඇවිල්ල කිලෝමීටරයක් දෙකක් පයින් ඇවිදල අන්තිමට සූර්‍ය නමස්කාරය කලා. අවුරුදු හතලිස් නමයක් වයස වුණත් එයාට ඉහෙන් බහින රෝගයක් තිබුණෙ නෑ. තමන්ගෙ වයසෙ අනික් අය නොයෙක් ලෙඩ රෝග වලින් දුක් විඳිනකොට රාජු තවමන් හොඳ ෆිට් එකට ඉන්න එක ගැන එයා නිතරම ආඩම්බර වුණා. හැබැයි එක කාරණාවක් තිබ්බ රාජු ගේ හිත හොඳටම රිදෙව්ව. ඒ තමා එයා තවම විවාහයක් කරගෙන නොතිබීම. තනියම ඉන්න එක ගැටලුවක් නොවෙයි. ඒත් මිනිස්සු ඒ ගැන කියන කතන්දර...රාජුට තිබුණෙ ඒ ගැන දුකට වඩා කේන්තියක්. තමන්ගෙ තනිකඩකම ගැන කවුරු හරි කටකැඩිච්ච කතාවක් කිව්ව සැනින් ඒකට ප්‍රති පිළිතුරු දෙන්න එයා මොහොතක් වත් පසුබට වුණේ නෑ.
- සුන්දරම් ගේ තාත්තා වෘත්තියෙන් පිළිම අඹන්නෙක් විදිහටයි වැඩ කලේ. ඒත් මෙතෙක් කාලයක් වැඩකල තැන ලොක්කා සමග ප්‍රශ්නයක් ඇතිකරගන්න සුන්දරම්ගේ තාත්තා එතනින් අයින් වෙලා එන්නෙ තමන්ගේම ව්‍යාපාරයක් පටන් අරගෙන එය දියුණුකරගැනීමේ හීනය දකිමින්. ඒත් සුන්දරම් ගේ හිත නම් තිබුණෙ වෙන තැනක. ඒ ඉස්කෝලෙදි දකින ලස්සන හුරුබුහුටි දැරිවියක් වුණු සුනීතා ලඟ. සුනීතා හිටියේ සුන්දරම් ගේ පන්තියේම තමයි. සුනීතා දිහාම බලා ඉන්නව ඇරෙන්න ඉස්කෝලෙදි නම් එයාට වෙන වැඩක් නොතිබුණ ගාණයි. සුනීතාගේ යාලුවෙක් වෙන්නෙ කොහොමද.. එයාගෙ හිතදිනාගන්නෙ කොහොමද ... ඔන්න ඕවයි සුන්දරම්ට තිබුණ ප්‍රශ්න.
- ජෝශප් සහ භාගවී මුණගැහුණෙ හරි අහම්බයකින්. ඒ දෙන්න කවදාවත් පෙම් යුවළක් වෙන්න හීනෙකින්වත් හිතපු අය නෙමේ. රැවුලයි කොණ්ඩෙයි වවාගෙන රස්තියාදුකාර මැරවරයෙක් වගේ පාරදිගට චණ්ඩිකම් කර කර හිටිය ජෝශප් දැකපු මුල් දවසෙ නම් භාගවීට ඇතිවුණේ පුදුම කේන්තියක්. කොහොමත් අසාධාරණයක් දුටුවම තැන නොතැන නොබලා ඒ ගැන කතාකරන පුරුද්දක් එයාට තිබුණ. ඉතින් පාරෙ කොල්ලො තුන්දෙනෙක් එකතුවෙලා එක කොල්ලෙකුට හොඳටම තඩිබානව දැකපු එයා යන ගමනත් පැත්තකදාල ඇවිත් අර මැරයන්ට හොඳටම දෙහිකපන්න පටන් ගත්ත. ඕක තමා දෙන්නාගෙ මුල්ම මුණගැහීම. දැන් ජෝශප් සහ භාගවී දෙන්නාටම එකිනෙකා නැතිව බැරි තත්ත්වයට එකිනෙකාට සමීප වෙලා. ඉතින් මෙහෙම බැඳිමක් ඇතිවෙනව කියන්නෙ හිනයක් වගේ දෙයක් නේද...
- නගරයේ වහලවල් වලට උඩින් හමාගෙන ගිය සනීප හුළඟක් ඉහළ මාලයට ලඟාවුණා. විවෘත අවකාශයෙ මුළු අහසම තිරයක් දැම්ම වගේ පැහැදිලියි. රාත්‍රියෙ මේ නගරෙ වුණත් වැඩි සද්දයක් බද්දයක් නැහැ. නිහඬතාව මැද්දෙන් රත්තරන් පාට තිත් වගේ තාරකා එළි වෑස්සෙනව. තරු එළිය මැද්දෙ දිලිසෙන ඒ ඇස් දෙක, පාලු කාන්තාරයක් අතරමං වුණු තමන්ගෙ ජීවිතේ පාරාදීසයකට පාර කියන ඒ තරු එළි ඇස්දෙක දිහා ගෙඩ්ඩම් ආයෙත් වතාවක් බැලුව.. ඒ මුණෙන් හිනාවක් මතුවුණා. මෙච්චර ලස්සන හිනාවක් ෆර්දාවකින් වහල තියන්නෙ මොන අපරාදයක් ද.. හුළඟ ඇවිත් මුදාහැරපු ඇගේ කෙහෙරැළි අවුල් කරදැම්ම. අඩක් හිස්වුණ මධුවිත බඳුනත් අතකින් අරගෙන මේ විදිහට ඇය තමන් දිහා බලා ඉන්නකොට මධුවිතක් නැතුවම තමා මත්වෙලා යන බවක් ගෙඩ්ඩම් ට දැනෙනව.
"සලීමා.. සලීමා.. මට කියන්න..මං මේ දකින්නෙ හීනයක් ද!"
.
.
.
චරිත හතරක්.. ඒ චරිත හතරට අනන්‍යවුණු ප්‍රේම වෘතාන්ත හතරක්.. මේ හැම කෙනෙක්ම ඔබට හමුවෙන්නෙ 2018 වසරේ තිරගත වුණු Care of Kancharapalem තෙළිඟු භාෂිත චිත්‍රපටයෙන්. සාමාන්‍යයෙන් අපේ ලාංකික ප්‍රේක්ෂකාගාරයට තෙළිඟු සිනමාව ගැන ඒ තරම් පැහැදීමක් නොවෙයි තිබෙන්නෙ. නමුත් මේ චිත්‍රපටයට නම් බොහෝම හොඳ ප්‍රතිචාර ලැබෙන බව දැකගන්න ලැබුණා. තෙළිඟු සිනමාව ඇතුළෙත් මෑතකාලීනව නිර්මාණය වුණු ඉහලම ගණයේ චිත්‍රපටයක් විදිහට මෙය හැඳින්වෙනව.
Care of Kancharapalem එහි තිරරචක සහ අධ්‍යක්ෂ Venkatesh Maha ගේ පළමු චිත්‍රපටය. මෙහි සලීමාගේ චරිතය රඟදක්වන්නෙ චිත්‍රපටයෙ ප්‍රධාන නිෂ්පාදකවරිය Praveena Paruchuri. ඒ වගේම මෙහි රඟදක්වන බොහෝම දෙනා වෘත්තිය නළුනිලියන් නොවන, පෙනුමෙන් පවා ඉතාම සාමාන්‍ය අය වීම විශේෂත්වයක්. නමුත් ඒ හැමකෙනෙකුගෙන්ම කිසිම ආධුනික බවක් නොපෙන්වා හොඳ රංගනයක් මතුකරගන්න අධ්‍යක්ෂවරයා සමත්වෙලා තිබෙනව.
කතා තේමාත්මක වශයෙන් සමානකම් තිබුණන් එකිනෙකට සමාන්තරව වෙනස් කතා හතරක් එකවර නරඹන්න ලැබීම යම් අපහසු බවක් දැනෙනව නම් විශ්වාස කරන්න, චිත්‍රපටයෙ අවසාන විනාඩි කිහිපය ඇතුලෙ ඔලුවට හරි සනීපදායක බවක් දැනේවි!
චිත්‍රපටයෙ බැලූබැල්මට කතාකරන්නෙ ප්‍රේමය ගැන වුණත් තව බොහෝදේවල් මෙහි ඇතුලත් බව චිත්‍රපටය නැරඹුවොත් ඔබට දැකගන්න ලැබේවි. ආගමික ශාස්තෲවරු කාලෙන් කාලෙට ලෝකෙට බිහිවෙලා මිනිස්සුන්ට එකිනෙකාට ප්‍රේමකරපල්ලායි කිව්වත් පසුකාලීනව ඔවුන් ගේ මේ ආගම ම මානව ප්‍රේමයට හරස් කපන්න ඉදිරිපත් වෙන්නෙ කොහොමද කියන දෙය මේ චිත්‍රපටයේ දැකගන්න පුලුවන්. චිත්‍රපටයෙ එක දෙබස් ඛණ්ඩයකින්ම මේ කෙටි සටහන අවසන් කරන්නම්. මේ වචන වලින් ගම්‍යවෙන අදහස චිත්‍රපටයෙ තේමාව සමග විශේෂයෙන් අවසාන සිදුවීම් කීපය සමඟ කොයිතරම් හොඳට ගැලපෙනවද කියන කාරණය චිත්‍රපටය නරඹන ඔබට වටහාගන්න හැකිවේවි. පුලුවන් හැමකෙනෙක්ම මේ චිත්‍රපටය බලන්න..
.
.
"- ඇයි කෝවිල ඇතුළට ආවෙ නැත්තෙ?
- මට ඇත්තටම දෙවියො විශ්වාස නෑ. මම විශ්වාස කරන්නෙ මිනිස්සුන්ව. මොනදේ වුණත් අන්තිමට ලඟ ඉන්නෙ තවත් මනුස්සයෙක් නෙ.
- ඉතින් ඔයා මිනිස්සුන්ටද වඳින්නෙ?
- එහෙම මොකවත් ඕනවෙන්නෙ නෑ. අපි මිනිස්සුන්ට හොඳින් සැලකුවොත් ඒ අය අපිට හොඳින් සලකනව. උදාහරණයක් විදිහට බාබර් මගෙ යාලුව මම හදිස්සියකට කීහක් හරි ඉල්ලුවම එයා මට දෙනව. මම ඉන්න ගෙදර අයිති මනුස්සය කුලිය ඉල්ලල මට කරදර කරන්නෙ නෑ. මොකද ඒ අයට මම උදව් කරල තියනව. මගෙ ජීවිතේ මට මුණගැහුණ ගොඩක් මිනිස්සු නොයෙක් විදිවලින් මට උදව් කරල තියනව. දෙවියො එයාලට වඩා ලොකුයි ද?"
+++++
ReplyDelete