Wednesday, July 7, 2021

The Danish girl (2015)

පහුගිය ජුනි මාසයත් එක්ක මුහුණුපොතේ බොහොමයක් ප්‍රොෆයිල් පින්තූර දේදුණු පාටින් වැසී ගියා ඔබට මතක ඇති. මේ දේදුණු වර්ණ කොඩියත් සමග ජුනි මාසයේ සිදුවෙන සැමරුම මොකක්ද කියන කරණය බොහෝවිට ඔබ දැනටමත් දන්නවා ඇති. නැත්නම් නොදන්නවා ඇති. දේදුණු වර්ණ කොඩිය ලොව පුරා වෙසෙන LGBTQ ප්‍රජාව නියෝජනය කරන්න යොදාගනු ලබනව. LGBTQ නමින් හැඳිනවෙන්නෙ සුවිශේෂ ලිංගික නැඹුරුතාවන් සහිත කණ්ඩායම්, එනම් Lesbian - ගැහැනුන්ට පමණක් ලිංගිකව ආකර්ෂණය වන ගැහැනු, Gay - පිරිමින්ට පමණක් ලිංගිකව ආකර්ෂණය වන පිරිමි, Bisexual - ගැහැනු සහ පිරිමි දෙපාර්ශවයටම ලිංගිකව ආකර්ෂණයවන ගැහැනු සහ පිරිමි, Transgender - උපතේදි ලබන ලිංගික අනන්‍යතාව එනම් ගැහැනු/ පිරිමි බව පසුව වෙනස් කරගන්නන්, Queer - එනම් මේ කාණ්ඩ හතරට අමතරව සිටින සියගණනක් පමණ වුණු අනෙකුත් සුවිශේෂ ලිංගික නැඹුරුතාවක් දක්වන කණ්ඩායම් හඳුන්වන පොදු යෙදුමක් (umbrella term - එනම් විශාල විශය පරාසයක් හඳුන්වන්නට යොදාගන්නා තනි වචනයක්). Queer යෙදුමෙන් heterosexual - විරුද්ධ ලිංගියන්ට පමණක් ආකර්ෂණය වෙන්නන් සහ Cisgender - උපතේදි හඳුනාගන්න අනන්‍යතාව ජිවිත කාලය පුරා පවත්වාගන්නන් හැර අනෙක් සියලු දෙනා ආවරණය වෙනවා.

Pride month නැත්නම් අභිමානයේ මාසය නමින් ජුනි මාසය නම් වෙන්නේ 1969 ජුනි 28 වෙනිදා ඇමරිකාවේ  නිව්‍ යෝක් නගරයේ Stonewall inn අවන්හලේ වුණු සිද්ධියක් මුල් කරගෙන. එදා උදෑසනින්ම Stonewall අවන්හල වටලන පොලීසිය, එතුල සිටි පිරිස අත් අඩංගුවට ගන්න පටන්ගත්තා. මේ ස්ථානය සමරිසි (Gay/ Lesbian) කණ්ඩායම් නිදහසේ මුණගැහෙන්න යොදාගත් තැනක් වුණා. ඒ යුගයේදී සමරිසිභාවය නීතියෙන් පවා වරදක් ලෙස සැලකුවා. සමාජයෙන් ඔවුන් හැඳින්වුනේ පාපිෂ්ට මිනිසුන් විදිහට. මේ හේතු නිසා Gay, Lesbian පුද්ගලයන්ට තමන්ගෙ සැබෑ අනන්‍යතාව සඟවාගන්න සිදුවුණා. Stonewall වටලෑමෙදි පොලීසිය ඔවුන්ට එරෙහිව ප්‍රචණ්ඩකාරී ආකාරයෙන් හැසිරෙන්න පටන් ගත් නිසා එතැන සිටි පිරිස පොලීසියට එරෙහිව ප්‍රතිප්‍රහාර දෙන්න වුණා. ප්‍රදේශය පුරා සිටි සමරිසියන් Stonewall වෙත රැස් වෙන්නට පටන්ගත්තා. ක්‍රමයෙන් තත්ත්වය දරුණු අතට හැරුණා. ඉන්පසුව රට පුරාම සමරිසි සහ වෙනත් සුවිශේෂ ලිංගික අනන්‍යතාවක් සහිත පිරිස් වීදිබසිම්න් තමන්ට එරෙහිව ක්‍රියාත්මක වෙන ප්‍රචණ්ඩත්වයට විරුද්ධව හඬනැගුවා. මේ සිදුවීම එක්ක තමන් වෙනුවෙන් සමාජයෙ රැල්ලක් නිර්මාණය කරන්න ඔවුන්ට පුලුවන් වුණා. ලෝකයෙම ඇස් ඔවුන් වෙත හැරෙන්න ගත්තෙ ඉන් පසුවයි. සුවිශේෂ ලිංගික නම්‍යතාවන් තිබීම පාපයක් නොව එය අතීශ්‍ය ස්වභාවික කාරණයක් බව සමාජගත වෙන්නත් ඔවුන් වෙනුවෙන් සැකසී තිබුණු නීති රීති වෙනස් වෙන්නත් මුල් ගිනිපුපුර දැල්වුයේ 1969 Stonewall සිදුවීම. එයින් වසරක් සම්පූර්ණ වෙන 1970 ජුනි මාසයෙදි මේ සිදුවීම සමරන්න විශාල රැලියක් පවත්වා ආඩම්බරයෙන් එය සමරන්න LGBT පිරිසට හැකිවෙනව. එම රැලිය සංවිධානය කරන බ්‍රෙන්ඩා හොවාර්ඩ් ජුනි මාසය pride month හෙවත් අභිමානයේ මාසය විදිහට හඳුන්වාදෙනව. එයින් පසු හැම වසරකම ජුනි මාසයෙදි LGBT ප්‍රජාව ඔවුන්ගේ අභිමානය සමරනව. 1978 ඇමරිකානු චිත්‍ර ශිල්පියෙකු වෙන ගිල්බර්ට් බේකර්ස් අතිනුයි අභිමානයේ සංකේතය වන දේදුණු කොඩිය නිර්මාණය වෙන්නෙ. මෙහි රතු පැහැයෙන් ජීවිතයත්, තැඹිලි පැහැයෙන් සුවපත්වීමත්, කහ පැහැයෙන් සූර්‍යාලෝකයත්, කොළ පැහැයෙන් සොබාදහමත්, නිල් පැහැයෙන් සාමයත් සහ දම් පැහැයෙන් ආත්මයත් සංකේතවත් කෙරෙනවා.

මේ LGBTQ නාමකරණයෙදි Transgender/ Trance, සිංහල භාෂාවෙන් නම් සංක්‍රාන්ති ලිංගිකයින් විදිහට හඳුන්වන්නෙ උපතේදි තහවුරු කරනලද ලිංගික අනන්‍යතාව පසුව වෙනස් කරගන්නා පුද්ගලයින් බව කලිනුත් සඳහන් කලා. ලාංකික සමාජයෙ ජීවත්වන එවැනි ප්‍රසිද්ධ චරිත කීපයක්ම ඔබට මතකයට නැඟෙන්න ඇති. එයින් අදහස් වෙන්නෙ ඔවුන්ගෙ භෞතික ශරීරයෙන් ඔවුන්ට හිමිවන අනන්‍යතාවට සහමුලින් වෙනස් ආකාරයට ඔවුන්ගේ මානසික නැඹුරුතාවන් ක්‍රියාත්මක වෙන බවයි. හිතන්න ශාරීරිකව පිරිමි බව ලැබුවත් මනසින් සිතිවිලි වලින් ගැහැණු ස්වරූපයට සමාන කෙනෙකුට ජීවිතය පුරා දරාගන්න සිදුවෙන පීඩනය කොයිතරම් ද. මෙවැනි පුද්ගලයන් වෙනුවෙන් ලිංගිකත්වය ප්‍රතිස්ථාපනය කිරීමේ සැත්කම් සිදුකිරීම ආරම්භ වෙන්නෙ 1920 යුගයේ පටන්. නමුත් වෛද්‍ය විද්‍යාව අද තරම් දියුණු මට්ටමක නොතිබ්බ එවැනි යුගයක මේ වැනි ඉතා අවදානම් සහගත සැත්කමකට මුහුණදීම කෙනෙකුට ජීවිතයත් මරණයත් අතරින් සිදුකරන තෝරාගැනීමක් වුණා. මුල්ම සාර්ථක ලිංගික ප්‍රතිස්ථාපන සැත්කම වාර්තා වෙන්නෙ 1931දි. සැත්කම සිදුකරන්නේ මේ විශය ක්ෂේත්‍රයේ පුරෝගාමි ජර්මානු ජාතිකයෙක් වුණු වෛද්‍ය Magnus Hirschfeld විසින්. සැත්කමට මුහුණදෙන පිරිමියා ඉන් පසුව ඩෝරා රිචර් නම් ගැහැනියක් බවට පත්වෙනව. මේ ආරංචිය ලැබුණු පසු ඩෙන්මාර්ක් ජාතික චිත්‍ර ශිල්පීන් යුවළක් වන Gerda Wegener සහ Einar Wegener වෛද්‍යවරයා හමුවට පැමිණෙනව. ඔහු Einar තමන්‍ට ලිංග විපර්‍යාස සැත්කමකට මුහුණදෙන්න අවශ්‍ය බව වෛද්‍යවරයාට කියනව. එහි ඇති බරපතළ කම වෛද්‍යවරයා ඔහුට පැහැදිලි කර දුන්නත් කොයි ආකාරයෙන් හෝ අවදානමක් දරමින් සැත්කම සිදුකරගැනීමට අවශ්‍ය බවයි ඔහු කියන්නෙ. Gerda සහ Einar  චරිත මුල් කරගනිමින් 2000 වසරේදී ඇමරිකානු ලේඛක David Ebershoff විසින් The Danish girl නමින් නවකතාවක් රචනා කරනව. ඒ නවකතාව පදනම් කරගනිමිනුයි 2015 දි Tom Hooper ගේ අධ්‍යක්ෂණයෙන් The Danish girl චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ.

Gerda සහ Einar ඩෙන්මාර්කයේ කොපන්හේගන් නගරයේ වාසය කරන චිත්‍ර ශිල්පි යුවළක්. පොඩි පොඩි හිත්‍ රිදවීම් ඉඳහිට වුණත් වසර ගණනක ඔවුන්ගේ විවාහය සතුටින් පිරුණු එකක්. දවසක් ගර්ඩාගේ සිතුවමකට ආදර්ශයට ගන්නා නිරූපණ ශිල්පිනිය නොපැමිණෙන බව දන්වනව. සිතුවම ඉක්මනින්ම අවසන් කරගත යුතු නිසා නිරූපණ ශිල්පිනිය වෙනුවට ඇය වගේ සැරසිලා පෙනී ඉන්න Gerda විසින් Einar ගෙන් ඉල්ලා සිටිනව. එයට එකඟ වෙන ඔහු ගැහැනියකගෙ ඇඳුමෙන් සැරසිලා සිතුවමට පෙනී ඉන්නව. මේ අතර තමන් තුළ  යම් දෙයක් සිදුවෙන බව ඔහුට වැටහෙනව. Einar ගැහැනියක ස්වරූපයෙන් ඇඳපැළඳගෙන ඇයට Lili Elbe නමින් නමකුත් තබල තමන්ගේ බිරිඳ එක්ක ප්‍රසිද්ධියේ උත්සව වලට සහභාගි වෙනව. Lili ව හඳුන්වාදෙන්නෙ Einar ගෙ ඥාති සහෝදරියක් විදිහට. ඔවුන් දෙදෙනා මෙය කරන්නේ විනෝදයට වුණත් ක්‍රමයෙන් Einar ට තමා තුළ සැබවින්ම තිබුණු සහ යටපත් කරනු ලැබූ යමක් යළි මතුව එන බව වටහගන්නව. ගැහැනියක ලෙස Lili Elbe යනු තමාගෙ සැබෑ අනන්‍යතාව බවත් Einar යන පිරිමි ස්වරූපය වැරදීමකින් තමාට හිමිවූ යමක් බවත් ඔහුට දැනෙනව. සාර්ථකව ලිංගිකත්වය ප්‍රතිස්ථාපනය කරන්න සමත් වුණු වෛද්‍ය Magnus Hirschfeld  ඔහුට දැනගන්න ලැබෙන්නෙ ඔය අතරෙ. Gerda මෙවැනි තත්ත්වයක් කොයි ආකාරයෙන් බාරගනීවිද. ඔහුට ඇය බවට පත්වෙන්න දරන උත්සාහය අවසානෙ සාර්ථක වේවිද..

The Danish girl කතා පුවත නිර්මාණය වෙන්නෙ සැබෑ සිදුවීමක් මුල් කරගනිමින්. වෛද්‍ය Magnus Hirschfeld, Gerda, Einar, Lile මේ හැමකෙනෙකුම සැබෑවට ජීවත්වුණු චරිත. තමන්ගේ පිරිමි ශරීරය තුලින් ගැහැනියකගේ ලාලිත්‍යවත් බව මතු කරගනිමින් ඉතාම සියුම් අංගචලනයන්ගෙන්, මුහුණේ හැඟුම් ප්‍රකාශනයන්ගෙන් Einar සහ Lile යන මේ දෙදෙනාවම තමන් තුළින් ජීවමාන කරවන්න එම චරිත රඟදක්වන Eddie Redmayne දක්වන නම්‍යශීලීත්වය පුදුමාකාර එකක්. ඔහු තමන්ගේ පරම්පරාවෙ අතිදක්ෂයෙක් බව දැනටම ඔප්පු කර හමාරයි. හොඳ නිර්මාණ තෝරාගෙන තමන්ගේ රංගනකාර්‍ය පවත්වාගන්න සමත් වුණොත් හොලිවුඩයේ දැවැන්තයින් අතර ඔහුගේ නමත් කියැවෙන්න ඉඩ ඇති බව නොඅනුමානයි. ඒ වගේම Gerda ගේ චරිතය රඟදක්වන Alicia Vikander ගේ නිරූපණයත් ඉහළම ගණයේ එකක්. දෙදෙනාම තමන්ගේ රංගනයන් වෙනුවෙන් ඔස්කාර් නිර්දේශ ලබනව.

සංක්‍රාන්තික ලිංගිකත්වයට අමතරව The Danish girl චිත්‍රපටයෙ තවත් වැදගත්, අනුවේදනීය කාරණාවක් මතුකරගත හැකියි. ඒ බිරිඳක් විදිහට Gerda තමන්ගේ ස්වාමියාට දක්වන නොවෙනස් ආදරයයි. කෙනෙකුට ආදරය කිරීම ඇතුලෙ තියන සැබෑ අර්ථය ඒ පුද්ගලයාව ඒ අයුරින්ම බාරගැනීම, කවර තත්ත්වයක් යටතේ වුණත් හැරනොයාම. එය පහසු නෑ. හිතන්න, ගැහැනියකට තමන් මෙලොව ආදරය කරන පිරිමියා, ගැහැනියක් බවට පත්වෙන්න සූදානම් වෙනව නම් ඇය එය දරාගන්නෙ කොහොමද! ආදරය නම් මෙය නොවෙයිද. තමන් ආදරය කරන තැනැත්තාට  ඔහුම හෝ ඇයම බවට පත්වෙන්න ඉඩහැරීම නොවෙයිද. The Danish girl චිත්‍රපටය ඒ අතින් ලෝකයේ වෙනත් කිසිම ප්‍රේම කතාවකට සමාන නොවන අසම සම ප්‍රේම කාව්‍යයක් බවයි මම හිතන්නෙ.

කොහොම වුණත්, නීතිමය වශයෙන් මේ LGBTQ ප්‍රජාව මිනිසුන් විදිහට  තමන්ට උරුම අයිතිවාසිකම් ක්‍රමයෙන් දිනාගනිමින් සිටියත් තවමත් සමාජය ඔවුන් දිහා වපර ඇහින් බැලීම නම් අඩුවක් නැහැ. ඔවුන් පාපිෂ්ට පිරිසක්වත්, අස්වාභාවික ජීවීන් කොටසක් වත් නොවෙයි. ඔබ මම වගේම ඔවුනුත් මනුශ්‍යයන්. වෙනසකට තිබෙන්නෙ ඔවුන්ගේ ලිංගික අනන්‍යතාව පමණයි. එය අතිශ්‍යයින්ම ස්වභාවික කාරණාවක්. ඔබ තවමත් ඔවුන් අස්වාභාවික පහත් මිනිසුන් පිරිසක් විදිහට කල්පනා කරනවා නම් මේ චිත්‍රපටය නරඹන්න. ඔබේ ඒ ආකල්ප සහමුලින් වෙනස් වෙන බව නිසැකයි.



1 comment:

  1. හිත හිත හිටියා මිසක් ඕක බලන්න හිතුනේ නැහැ... බලනවද මන්ද..

    ස්තුතියි පෝස්ට් එකට හැමදාමත් වගේ

    ReplyDelete