Tuesday, December 28, 2021

Belfast (2021)

ඕනෑම ගමක වෙන සිද්ධියකින් මුළු මිනිස් සමාජයම නියෝජනය කරන්න පුලුවන්. මේ කතාව මට මතක විදිහට කියා තිබෙන්නෙ ලියෝ ටෝල්ස්ටෝයි. මෙයින් අදහස් වෙන්නෙ බොහෝවිට  ලෝකයෙ කොතැනක වුණත් ජීවිතය සම්බන්ධයෙන් ඇති මූලික කොන්දේසි ටික කාටත් පොදු බව. උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නගරයත් ඒ නිසා මීට වැඩි වෙනසක් වෙන්නෙ නැහැ. බෙල්ෆාස්ට් නගරෙ 1969 දශකය පසුබිම් කරගෙන වුණු සිදුවීම් කිහිපයක් මුල් කරගෙනයි Belfast චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ. 2022 Golden globe සම්මාන උළලේ වසරේ හොඳම චිත්‍රපට 5 අතරට එන්න Belfast සමත්වෙලා තියනව වගේම බොහෝම දෙනෙක් මේ වසරේ හොඳම චිත්‍රපට ලයිස්තුවට Belfast ඉහළින්ම ඇතුළත් කරනව.

Belfast අධ්‍යක්ෂ Kenneth Branagh ගේ කුඩා කාලයේ අත්දැකීම් කිහිපයක් මුල්කරගෙනයි ඔහු මෙය නිර්මාණය කර තිබෙන්නෙ. Kenneth වෙනුවට මෙතනදි අපිට කතාව කියන්න ඉදිරිපත් වෙන්නෙ Buddy. Buddy තවම අවුරුදු නමයක කුඩා කොලුගැටයෙක්. Buddy තමන්ගේ ඇස් දෙකෙන් දකින ලෝකයයි Belfast ඇතුළෙ මැවෙන්නෙ. Buddy ප්‍රොතෙස්තන්ත ආගමික පවුලකට අයිති දරුවෙක්. උතුරු අයර්ලන්තය මේ වෙද්දි බ්‍රිතාන්‍යයේ කොටසක්වයි පැවතුනේ. අයර්ලන්තයේ  ප්‍රොතෙස්තන්ත ආගමිකයන් මේ කොටස දිගටම බ්‍රිතාන්‍යයට අයත්ව පැවතිය යුතු බව විශ්වාස කල අතරේ කතෝලිකයන් තර්ක කලේ එය බ්‍රිතාන්‍යයෙන් වෙන්වී අයර්ලන්තය නම් තනි රාජ්‍යයට එක්විය යුතු වග.  1969 කියන්නෙ මේ දෙපාර්ශවය අතරේ යුධගිනි ඇවිලී ගිය කාල වකවානුවක්. Buddy ජීවත් වුණේ උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නගරෙ කම්කරුවන් ජීවත්වුණු නිවාස සංකීර්ණයක මැද්දේ. ඔවුන් හැම කෙනෙක්ම හැකි තරමට හොඳට කාල බීල බොහොම සතුටින් නිදහසේ ජීවත් වුණු පිරිසක්. නමුත් එකවරම මේ සාමකාමී වටපිටාවට කඩාවදින කැරළිකාරී ප්‍රොතෙස්තන්ත ආගමිකයන් කණ්ඩායමක් කතෝලිකයන්ට පහරදෙමින් ඔවුන්ගේ නිවාස ගිනිබත් කරන්න පටන් ගන්නව. කිසිදෙයක් නොදන්න Buddy මේ සටනට මැදි වුණත් එයාගෙ අම්මා එයාව එතනින් ගලවාගන්නව. ඉක්මණින්ම නගරෙ මැද ආරක්ෂක පවුරක් බැඳිලා කතෝලිකයන් එක පැත්තකටත් ප්‍රොතෙස්තන්ත ආගමිකයන් තව පැත්තකටත් වෙන් වෙනව. 

Belfast නිර්මාණය කරල තියෙන්නෙ කලු සුදු මාධ්‍යයෙන්. ඒ නිසා චිත්‍රපටය ඇතුළෙ වඩා භාවපූර්ණ රූපරාමු අපිට හමුවෙනව. Buddy ගේ තාත්තාට වුණු Paට ප්‍රොතෙස්තන්ත පාක්ශිකයන්ගෙන් ලොකු බලපෑමක් එනව. මොකද එයා කතෝලිකයන්ට විරෝධය දක්වන කණ්ඩායමට කිසිම සහයෝගයක් නොදෙන නිසා. නමුත් එතනදි Pa මේ ආගම්වාදී අදහස් වලින් තමන්ගේ පුතාගේ මනස දූෂණය නොවෙන්න වැඩකරන හැටි අති විශිෂ්ටයි. මුලු සමාජයම එරෙහි වුණත් නිවැරදි අදහස් මතම රැඳී ඉන්න උත්සාහ කරන Buddy ගේ පියා, සුප්‍රසිද්ධ To kill the moking bird නවකතාවේ "ඇටිකස් ෆින්ච්" ගේ චරිතය සිහිගන්වනව. පියා පමණක් නොවෙයි Buddy ගෙ අම්මත් එයාට වඩා නිවැරදි දේ මොකක්ද යන දේ කියාදෙන්න උත්සාහ කරන ආකාරය අපූරුයි. ඒ විතරක් නෙමෙයි Buddy ගෙ ආච්චියි සීයයිත් එයාට ගොඩක් ආදරෙයි. ඒ හින්ද මොන ප්‍රශ්න ඇති වුණත් බෙල්ෆාස්ට් නගරෙ දාල යනව කියන එක නම් Buddy ට හිතාගන්න වත් බැරි දෙයක්. පවුල ඇතුලෙ ආදරය, බැඳීම වගේම ආගම ඇතුළෙ තියන සැබෑම වටිනාකම මොකක්ද, මනුෂ්‍යත්වය අපි හඳුනාගන්නෙ කොහොමද, දරුවෙක්ට හොඳ දෙමව්පියන් වෙනව කියන එකේ තේරුම මොකක්.... Belfast මේ හැමදෙයක්ම බොහෝම අපූරුවට පෙන්වා දෙන චිත්‍රපටයක් විදිහට හඳුන්වාදිය හැකියි.

Belfast

Directed by - Kenneth Branagh

Written by -  Kenneth Branagh

Produced by

- Laura Berwick

- Kenneth Branagh

- Becca Kovacik

- Tamar Thomas

Starring

- Caitríona Balfe

- Judi Dench

- Jamie Dornan

- Ciarán Hinds

- Colin Morgan

- Jude Hill



No comments:

Post a Comment