තවත් කෙනෙකුව හරියට තේරුම් ගන්න නම් අපි කියන්නෙ "එයාගෙ සපත්තුවට බැහැල බලන්න" කියල. ඒකෙන් අදහස් වෙන්නෙ අපිට තව කෙනෙකුව යම් මට්ටමකින් හරි තේරුම් ගන්න අවශ්‍ය නම් අපිට අපිවම අතහැරල ඒ අනෙක් මනුෂ්‍යයාගේ ඇස් දෙකෙන් ලෝකය දකින්න, ඒ ජීවිත අත්දැකීම අපේ කරගෙන, අපේම දෘෂ්ටිකෝණයෙන් මිදිලා අපිත් ඒ අනෙකාගෙ තැන හිටගෙන අවශ්‍ය බව. ඒවගේම තමා සමහර විටෙක මනුස්සයෙක් තේරුම්ගන්න නම් ඒ මනුස්සයගෙ වාහනේට ගොඩවෙන්න ඕන. ඒ විතරක් මදි ඒ වාහනේ ටික දුරක් ඔහු හෝ ඇය එක්ක යන්න ඕන. එක දවසක් ගිහින් බෑ දිනපතාම යන්නත් ඕන. ඒත් මදි විවෘත හදවතකින් කෙරෙන සංවාදයකුත් අවශ්‍යයි.
දැන් මෙතන මතුවෙනව තව ප්‍රශ්නයක්. මනුස්සයෙක්ව තේරුම්ගන්ව කියන්නෙ ඇත්තටම මොකක්ද? තේරුම්ගන්නව කියන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න අපිට සිද්දවෙනව ජීවිතේ දිහා වඩා සමීප ටිකක් සියුම් ඇහැකින් බලන්න. ජීවිතේ කියන දේ හැදිල තියෙන්නෙ මොනවයින් ද? ජීවිතේ හැදිල තියෙන්නෙ එකිනෙකට පරස්පර කාරණා ගණනාවක් එකට එක්වීමෙන්. සිහින, බලාපොරොත්තු, මතකයන්, අරමුණු, ලිංගිකත්වය, ආදරය, දුක, වේදනාව මේ හැම දේකින්ම. නමුත් මේ තැනුම් ඒකක මගින් ජීවිතේ ගොඩනැගෙන යම් රටාවක් තියනව. ඒ රටාව හැදෙන්නෙ ප්‍රබල විදිහට අපේ ඇතුළාන්තයට කාවදින අත්දැකීම්, අත්විඳීම් වලින්, අපි ආශා කරන දේවල් වලින්. කිසිම මනුස්සයෙකුගේ මේ ඇතුලාන්ත රටාව තවත් කෙනෙකුට හරියටම සමාන වෙන්නෙ නෑ. නමුත් අපිට අපේ රටාවට සමාන කෙනෙක් මුණගැහුණම ඒ අයව වෙනත් සාමාන්‍යයෙන් මුණගැහෙන කෙනෙකුට වඩා ටිකක් වැඩිපුර දැනෙනව. අපිට එහෙම අයව වටහගන්න ටිකක් පහසුයි. සරලවම කිව්වොත්, එකම විදිහේ දේවල්වලට ආශාකරන අයට, එකම ආකාරයේ දුක්වේදනාවන් ගෙන් ඇතුළාන්තයෙන්ම පීඩා විඳින අයට එකිනෙකා තේරුම් ගන්න ලේසියි. එහෙම මිනිස්සු එක්ක ඇතිවෙන බැඳීම්වල අපිට මේතරම් වටිනාකමක් ඇතිබව හිතෙන්නෙ, අපේම ජීවිතේ කොටසක් වගේ අපිට දැනෙන්නෙ අන්න ඒ නිසා.
බැඳීම් ගැන හරි එකිනෙකා තේරුම් ගැනීම ගැන හරි මේ තරම් කියන්න ඕන වුණේ 2021 අවුරුද්දේ තිරගත වුණු Drive my car චිත්‍රපටය නැරඹුවට පස්සෙ ඇතිවුණ කම්පනය හරි පෙළඹවීම හරි මොකක්දෝ හැඟීම නිසා. මට මේක තව කාලයක් යන තුරුම හිත හිතා ඉන්න පුලුවන් විදිහෙ දර්ශන බොහෝමයක් ඇතුළත් වෙලා තිබුණ චිත්‍රපටයක්. චිත්‍රපටය නරඹන ඔබටත් එහෙම දැනේවි. Drive my car මම දකින්නෙ ලෝක සාහිත්‍යයෙ මෑතකාලීන සහ පෙර යුගයේ පතාක චරිත දෙකක් එක් කල සිනමා කෘතියක් විදිහට. මෑත කාලීන චරිතය නම් ජපන් ජාතික ලේඛක "හරුකි මුරකමි". මෙ චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ මුරකමි 2014 අවුරුද්දේ පළකල "Men Without Women" නම් කෙටි කතා සංග්‍රහයේ එන එක් කතාවක් පදනම් කරගෙන. ඈත කාලීන චරිතය රුසියානු සාහිත්‍යධර "ඇන්ටන් චෙකොෆ්". චෙකොෆ් මේ කතාවට සම්බන්ධ වෙන්නේ ඔහුගේ සුප්‍රසිද්ධ "වන්‍යා මාමා" (Uncle Vanya) නාට්‍ය හරහා. චිත්‍රපටයෙ ප්‍රධාන චරිතය Yūsuke Kafuku, "වන්‍යා මාමා" නාටකයේ ජපන් අනුවර්තනයේ "වන්‍යා" ගෙ චරිතය රඟදක්වනව. පහුකාලීනව වන්‍යා නාට්‍යයේ අලුත් නිශ්පාදනයක අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කරනව. චෙකොෆ් ගේ වන්‍යාත් මුරකමිගේ කතාවෙ සෑහෙන ප්‍රබල භූමිකාවක් නිරූපණය කරනව. එක් සාහිත්‍ය කෘතියක් තවත් සාහිත්‍ය නිර්මාණකට අනුප්‍රාණය සපයමින් එහි කොටසක් බවට පත්වෙමින් ජීවිත විවරණයක යෙදෙන ආකාරය බලා ඉන්න අපූරු කාරණාවක්.
Drive my car , 2021 ජූලි 17 වනදා පැවැත්වුණු Cannes සම්මාන උළලේ හොඳම පිටපතට හිමි සම්මානය ඇතුළු තවත් සම්මාන දෙකකින් පිදුම් ලබනව වගේම 2022 දී පැවැත්වීමට නියමිත ඔස්කාර් සම්මාන උළෙළේ හොඳම විදෙස් භාෂා චිත්‍රපටය වෙනුවෙන් ඉදිරිපත් කරන්නත් ජපානය විසින් තෝරාගනු ලබනව. ඔස්කාර් උළලේ අවසාන නිර්දේශිත නාමයන් පහ අතරට එක්වෙන්න මේ චිත්‍රපටයට හැකි බව බොහෝම විචාරකයින් දැනටමත් කියා තිබෙනව. ඒ හැම දේටම වඩා දැනට 2021 අවුරුද්ද වෙනුවෙන් නැරඹූ චිත්‍රපට අතර මට වැඩිපුරම දැනුනේ Drive my car බව කියන්නම්. ඒවගේම මේ ප්‍රධාන චරිතය හෙවත් Yūsuke Kafuku ගේ චරිතය නිරූපණය කරන Hidetoshi Nishijima ගේ රංගනම මේ අවුරුදට මම දුටු මගේ සිත්ගත්ම රංගනයක්. ජීවිතය දිහා වඩා ගැඹුරින් දකින්න උත්සහ කරන Kafuku නම් මේ මිනිසාගෙ වාහනයේ නැගී යන ගමන ඔබට අමතක නොවෙන අත්දැකීමක් වේවි.
Drive my car (2021)
Directed by
Ryusuke Hamaguchi
Screenplay by
Ryusuke Hamaguchi
Takamasa Oe
Based on
"Drive My Car" by Haruki Murakami
Starring
Hidetoshi Nishijima as Yūsuke Kafuku
Tōko Miura as Misaki Watari
Masaki Okada as Kōji Takatsuki
Reika Kirishima as Kafuku's Wife, Oto
Park Yoo-rim
Jin Daeyeon
Sonia Yuan
Cinematography
Hidetoshi Shinomiya
Music by
Eiko Ishibashi
Country
Japan
Language
Japanese
මනුස්සයෙක්ව තේරුම් ගන්න තැන ඉදලා, බැදීම්, හැගීම් රටා, සමාන අදහස් තියන මිනිස්සු ගැන ලියවිල්ල ගලපලා තියන හැටි හරිම ලස්සනයි. කියවගෙන යද්දි මගේ අත්දැකීමුත් මනසේ ඇදුනා. චිත්‍රපටිය හොයාගෙන බලන්න ලොකු ආසාවක් ඇති වුණා. 💚
ReplyDeleteහ්ම්.......
ReplyDeleteමුරකමිගෙ කතා වලට කැමැත්තෙක් විදිහට මේ ෆිල්ම් එක බලල නැති එකත් අඩුවක් වගේ. බලන්නම ඕන.
ReplyDeleteස්තූතියි හශාන් සටහනට