Thursday, December 30, 2021

C'mon C'mon (2021)

"දැකගන්න නම් හොඳින්  මේ ලොව
සිදුවෙනවා ඔබට උපදින්න
මිනිස් දරුවෙක් ලෙසට...

දැනගත යුතුයි ඔබ
හැමදේටම කලින්
හසුරුවාගන්න ඔබෙ සිරුර..

ඔබ උගනිවි ඇවිදින්න..
ඉන්පසුව ක්‍රමයෙන්
දුවන්නට වඩා වේගයෙන්..
මතුකර ඔබේ හඬ
නගන්නට ශබ්ද
කතා කරන්න වචන...
සෙමෙන් ඔබ උගනීවි
සැලකිලිමත් වන්න ඔබ ගැනම...

සාමකාමී තැනකි මෙය
එහෙත් නෙක වර්ණ, ශබ්ද
නොයෙක් සංවේදන 
ගලායනු ඇත ඔබ වටා..
නිතරම මේ ලෙසයි 
පවතින්නේ ලෝකය.  
නමුත් වේගයෙන්
චලනය වෙමින් තිබේ සැමදේම..
වෙනස් වේ නිතරම
නොපවතී එක ලෙස..
ගිලී යනු ඇත ඔබ
කාලයේ ගංගාව තුළ...

බොහෝ දේ ඇත ඔබට
උගනින්න නම් මෙහි...
බොහෝ හැඟුමන් ඇත
විඳගන්නට..
සතුට, ප්‍රීතිය
බිය, කළකිරීම
දුක සහ විස්මය...
ඔබේ කැළඹීම සහ
මහා සතුට තුළ
අමතකව යනු ඇත
කොහෙන් පැමිණියෙද ඔබ..

ඔබ හැදී වැඩෙනු ඇත..
ඇවිද යනු ඇත.. වැඩ කරනු ඇත...
දරුවන්ද ලැබෙනු ඇත ඔබට
මුණුපුරන් සමහර විට...
ගතව යන විට කාලය
ඔබ සොයා යයි යමක්..
සතුට හෝ දුක අතර
ජීවිතයෙ යම් අරුතක්..

නමුත් ඔබහට
අපහසු වේවි බොහෝම
හැර දමා යන්නට
මේ අමුතු, ලස්සන ලෝකය..
කාලය පැමිණි පසුව
ආපසු යන්නට 
ඔබ පැමිණි ඒ 
තරුව වෙතට..."

Star Child - Claire A. Nivola
.
.
Johnny කියන්නෙ වෘත්තියෙන් ගුවන්විදුලි මාධ්‍යවේදියෙක්. Johnny තමන් ගේ මාධ්‍ය සගයන් දෙදෙනෙකුත් එක්ක ඇමරිකාවේ නගරයෙන් නගරයට යමින් පොඩි දරුවන් ගෙන් ප්‍රශ්න විමසනව. රටේ පවතින තත්ත්වය ගැන හිතෙන්නෙ මොනවද? අනාගතයේ මොකක් වේවිද? වැඩිහිටියන් ගැන හිතන්නෙ මොනවද? ඔබට සුපිරි බලයක් ලැබුණොත් කරන්නෙ මොකක්ද? ඔන්න ඔවැනි ප්‍රශ්න තමයි Johnny අහන්නෙ. මේවට සමහර දරුවො දෙන උත්තර ඇහුවම ඇස් උඩයන විදිහෙ ඒව. Johnny මේ හැම දෙයක්ම පටිගත කරනව. මේ අතරෙ Johnny ගෙ සහෝදරී විවියන් කාලෙකින් එයාට කතා කරනව. විවියන් Johnny ගෙන් බලාපොරොත්තු වෙනව එක් උදව්වක්. Bipolar disorder නම් රෝගී තත්ත්වයෙන් පීඩාවිඳින ඇගේ සැමියා ඉන්නෙ ඇමරිකාවේ ම වෙනත් ප්‍රාන්තයක ප්‍රතිකාර ලබමින්. ඈ ඔහු හමුවෙන්න යා යුතුයි. නමුත් ඒ අතරේ ඇගෙ පුංචි පුතා ජෙසීව බලාකියා ගැනීමයි ඈ Johnny ගෙන් බලාපොරොත්තු වෙන්නෙ. පොඩි දරුවන් එක්ක වැඩකරන තනිකඩයෙක් වුණු Johnny ට මේ අත්දැකීම කොහොම එකක් වේවිද.. අහිංසක පෙනුම තිබ්බට හිතුවක්කාර ගති පැවතුම් තියන ජෙසී තමන්ගේ මාමාව කොහොම බාර ගනීවිද..? Cmon Cmon චිත්‍රපටයෙන් කියවෙන්නෙ මේ දෙදෙනාගෙ අපූරු කතාව. Johnny ගේ චරිතය නිරූපණය කරන Joaquin Phoenix ගේ රඟපෑම් ගැන මම අමුතුවෙන් ඔබට කියන්න අවශ්‍ය නෑ. ඔබට දරුවන් ඉන්නව නම්, නැත්නම් පොඩි දරුවන් එක්ක වැඩකටයුතු කරන කෙනෙක් නම් මේ චිත්‍රපටය ඔබට ටිකක් වැඩිපුර දැනේවි. කොහොම වුණත් Cmon Cmon මේ අවුරුද්දේ නිකුත්වුණු චිත්‍රපට අතරේ සෑහෙන හදවතට දැනෙන ආදරණීය ම සිනමා අත්දැකීමක් බව කියන්නම්. 

Cmon Cmon

- Directed by

Mike Mills

- Written by

Mike Mills

- Starring

Joaquin Phoenix

Gaby Hoffmann

Scoot McNairy

Molly Webster

Jaboukie Young-White

Woody Norman



No comments:

Post a Comment