Wednesday, May 18, 2022

Mandela (2021)

අපේ රටේ දැනටත් ඉන්න එක දේශපාලකයෙක්ව කාලයක් හැඳිනුවෙ "ඡන්ද මැෂිම" කියන අනවර්ථ නාමයෙන්. "ඡන්ද" කියන්නෙ මේ දේශපාලන ක්‍රමය ඇතුලෙ මොනදේ වුණ්ත් අවසානෙ වැදගත් වෙන එකම දේ. Game of thrones නෙමේ මේක Game of Votes. දේශපාලකයෙක් කතා කළත්, එෆ්බී පෝස්ට් එකක් දැම්මත්, පාරක් විවෘත කළත්, ගොඩනැගිල්ලක් හැදුවත්, යුද්දයක් කළත්, පන්සල් ගියත් ඒ හැම දෙයකම අවසාන අර්ථය තමන්ගේ ඡන්ද පදනම නොනැසී පවත්වාගැනීම සහ පුලුවන් තරම් වැඩි දියුණු කර ගැනීම. මිනිස් ජීවිතයක් කියන්නෙ ඡන්දයකට ඌනනය වීම මේ ක්‍රමයෙ තියන ඛේදවාචකය තේරුම් ගන්න හොඳටම ප්‍රමාණවත්. දේශපාලනය කියන්නෙ අවසානෙදි බලය පිළිබඳ ක්‍රීඩාවක් බව සඳහන් කළොත් ඒක බොරුවක් නොවෙයි. පාලකයෙක් මොන අරමුණෙන් ක්‍රියා කළත් යමක් කරන්න නම් බලයක් ඕන තමා. නමුත් මිනිස්සු විදිහට අපේ ජීවිත පැවැත්ම මේ බල ව්‍යාපෘති ඇතුළෙ දරාගත නොහැකි තරමෙන් අවභාවිත වීමේ ප්‍රතිඵල තමයි අපේ රට අද මුහුණපල තියන ආර්ථික ආර්ථික අර්බුදයෙන් පිළිබිඹු වෙන්නෙ. ප්‍රජාතන්ත්‍රික ක්‍රමය ඇතුළෙ, රටක පාලනයට සුදුස්සන් තෝරාපත්කර ගැනීමේ පරමාධිපත්‍ය ඒ රට මහජනතාවට ලැබෙනකොට තමන් තෝරා පත් කරගත් පාලකයන් "පිස්සු නටන" මොහොතක ඔවුන් නිවැරදි කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීමේ බලය සහ වගකීමත් අනෙක් අතෙන් මහජනතාවට නිසඟයෙන්ම උරුමවෙනව. අද ගෝල්ෆේස් එකේ සිද්දවෙන්නෙ අන්න ඒ දෙය. ගෝල්ෆේස් එක පමණක් නොවේ මේ මූලික අරමුණ එක්ක බැඳිල රටේ අනෙක් කලාප වලත් දියත් කරන අරගලවලින් සිද්දවෙන්නෙ ඒ දෙය. මේ පුරවැසියා සතු බලය ඔහු අනිවාර්යයෙන් වටහාගතයුතුයි. එක් අරමුණක් වෙනුවෙන් එකාවගේ එක්‍ රැස්වන පුරවැසි සමූහයකට අභියෝග කරන්න ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ඇතුළෙ කිසිම ජගතෙකුට පුලුවන්කමක් නෑ. අද රටේ මුල් පුටු හොබවන්නන්ට එළියට එන්න බැරුව තැන් තැන් වල මුළුගැන්විලා ඉන්න සිද්දවෙලා තියෙන්නෙ අන්න ඒ පුරවැසි බලයට ඔවුන් බය හින්ද. ඇත්තටම රටේ බහුතරයක් පුරවැසියන් තවමත් තමන්ගෙ බලය තේරුම් අරගෙන නැත්නම් කණට දෙකක් දීල "මේ බලපන් උඹලට කරන්න පුලුවන් දේ" කියල පෙන්නල දෙන අපූරු චිත්‍රපටයක් Mandela කියන්නෙ. 

ඉන්දියාවත්, ලංකාවත් අපූරුවට සමාන වෙන තැනක් චිත්‍රපටය ඇතුළෙ ඔබට මුණගැහේවි. ග්‍රාමීයත්වය, නිසි අධ්‍යාපනයක් නොමැතිකම, තමන් ජිවත්වෙන්නෙ කොයිවගේ සමාජ දේශපාලන ක්‍රමයක් ඇතුළෙද කියල නොදන්නාකම වගේ කාරණා නිසා සමහර මිනිස් කණ්ඩායම් බොහෝම පහසුවෙන්ම දේශපාලන බල ව්‍යාපෘති ඇතුළෙ පාවිච්චියට ගන්න පුලුවන්. අපේ රටෙත් එහෙමයි. ගෝල්ෆේස් අරගල භූමියට පහරදෙන්න කොළඹට බස් වලින් අරන් ඇවිත් තිබුණෙ බහුතරය එහෙම කණ්ඩායමක්. තමන්ට ලැබෙන සහනාධාර කැපෙයි, කරදරවිඳින්න වෙයි කියන බයට සමහරු ඇවිත් තිබුණෙ. නැත්නම් තමන්ට මොකක් හෝ ආකාරයකට වාසි ලබාගන්න පුලුවන් වෙන කවුරුහෝ දේශපාලකයෙක් වෙනුවෙන් ගැතිකම් කිරීම දේශපාලනය බව ඔවුන් හිතන්නෙ. බත් පැකට් එකට රුපියල් පන්දහට ගේන්න පුලුවන් එහෙම සෙනගක්. වහල් දේශපාලනය සහ පුරවැසි දේශපාලනය වෙන් වෙන සීමා ඉර වැටෙන්නෙ එතනින්. පුරවැසියා පක්ෂයක් වෙනුවෙන් ගැතිකම් කරන්නෙක් නොවෙයි. පක්ෂ පාට කුමක් වුණත් දූෂිත දේශපාලනයට විරුද්ධව හිටගැනීම පුරවැසි දේශපාලනය. අයුක්තිය අසාධාරණය වෙනුවෙන් හඬ නැගීම පුරවැසි දේශපාලනය. ව්‍යවස්ථනුකූලවම ජනතාව වෙත පැවරී ඇති පරමාධිපත්‍ය ක්‍රියාත්මක වෙන්න ඕන අන්න එහෙම. ජනතාව ඒ වෙනුවෙන් පෙළගස්වන්න නම් සිදුවෙන්නෙ මොකක්ද සහ කළ යුත්තෙ මොකක්ද කියන දේ ගැන කතිකාවක් ඇතිවීම අත්‍යවශ්‍යයි. Mandela ඒ වෙනුවෙන් යොදාගන්න පුලුවන් හොඳ තෝරාගැනීමක්. චිත්‍රපටය ගැන වැඩි යමක් කියන්නෙ නෑ. දෙමළ චිත්‍රපට නරඹා තියන කෙනෙක් නම් ඒ රිද්මය ඔබ දන්නව. ඇත්තටම හිනා යන උපහාසයක් එක්ක කිසිම කම්මැලි කමකින් තොරව බලා ඉන්න පුලුවන් පැය දෙකක් බව සහතික වෙන්න පුලුවන්.

ගෝල්ෆේස් පිටියෙ ගෝටාගෝගම  චිත්‍රපට ප්‍රදර්ශනය කරන්න පුලුවන් ආකාරයෙ "Teargas cinema" නමින් ස්ථානයක් වෙන් කර ඇති බව දැනගන්න ලැබුණ. කවුරුහරි පුලුවන් කමක් තියනව නම් මේ චිත්‍රපටය එතැන ප්‍රදර්ශනය කරන්න. මේ චිත්‍රපටයෙ ඇතුළත් දේශපාලන කියවීම මේ මොහොතේ ඉතාම වැදගත්. පුලුවන් හැම කෙනෙක්ම මේ චිත්‍රපටය බලන්න. 

********************************************

Written & Directed by
Madonne Ashwin

Starring
Yogi Babu
Sheela Rajkumar

Cinematography
Vidhu Ayyanna

Music by
Bharath Sankar

Country of origin
India

Original language
Tamil

Distributor
Netflix





No comments:

Post a Comment