ඇමරිකාවේ නැගෙනහිර වෙරළ ඉවුරේ උතුරු කැරොලිනා ප්‍රාන්තයෙ පිහිටා තියන වගුරුබිම් කියන්නෙ සුවිසාලව පැතිරුණු නිහඬබවත්, හුදෙකලාවත් එක්ක අමුතුම අභිරහස් ගුප්ත ස්වභාවයකින් නිතරම පිරිලා තියන සහ මේ කලාපයටම ආවේණික ජලාශ්‍රිත ජීවී සමූහයකින් පිරුණු අපූරු බිම්කඩක්. ලුණු මිශ්‍රිත කලපු වතුරේ කෙළවරක් නැතිව වැඩිලා තියෙන්නෙ සිහින් තෘණපඳුරු. ඒ එක්කම ගංගාවේ මිරිදියේ හැදිලා තියන දැවැන්ත සයිප්‍රස් ගස් පෙනෙනේ වතුරේ තැන් තැන්වල, පෙඳ පාසිවර්ග අතු ඉති අගින් එල්ලා ගෙන හිටගෙන ඉන්න යෝධයින් වගේ. මේ සියලු දෙයින් මැවෙන්නෙ වගුරටම අනන්‍ය රූපමය සෞන්දර්යක්. කැරොලිනා වගුරුබිම්වල වැඩිලා තියන Bald cypress ගස් දැනට හඳුනාගන්න පුලුවන් ඉපැරණිම ගස් වර්ගයක් බව ස්වභාවධර්ම විද්‍යාඥයින් කියනව. මේ එක ගහක් අවුරුදු දෙදහක් පමණ පැරණි බවයි ඔවුන් කියන්නෙ. ස්වභාවධර්ම විද්‍යාඥයින්ට අනුව කැරොලිනාවේ වගුරුබිම් කියන්නෙ මිහිමත වෙනත් කොහේවත් දක්නට නොලැබෙන අසමසම පරිසර පද්ධතියකට.
ඒ අතර අපේ කතාව ලියවෙන්නෙ 1950 යුගය පසුබිම් කරගෙන. අපේ කතා නායිකාව, තරුණ ගැහැනු ලමයෙක් වුණු Catherine Clark නැත්නම් කවුරුත් කියන විදිහට Kya. ඇයත් හැදී වැඩෙන්නෙ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ මේ වගුරුබිමේ. Kya ගෙ ගෙදර තියන්නෙ වගුර මැද්දෙමයි. ගෙදරට අවශ්‍ය දේවල් අරගෙන එන්න නම් බෝට්ටුවක නැගිල නගරයට යන්න ඕන. Kya සහ එයාගෙ අම්මයි තාත්තයි සහෝදර සහෝදරියනුයි හැමෝම හිටියෙ මේ ගෙදර. නමුත් ගෙදර ජීවිතේ නම් සාමකාමී එකක් වුණේ නෑ. Kya ගෙ අම්මයි තාත්තයි නිතරම රණ්ඩු වුණා. තාත්තා ගොඩක් දවස්වල බීගෙන ඇවිත් දරුවන්ටයි බිරිඳටයි හොඳටම පහර දුන්නා. බැරිම තැන අම්මා මේ ගෙදර අතහැර දාල යනව. ඉන්පස්සෙ සහෝදරියන් දෙන්නාත්, එකම සහෝදරයාත් අවසානෙ තාත්තත් හැමෝම වගුරේ නිවස අතහැරල පළායනව. අවසානෙ ගෙදර ඉතුරු වෙන්නෙ, එතකොට පුංචි ළමයෙක් වුණු Kya පමණයි. දැන් ඉතින් කොහොම හරි තනියම ජීවිතේ ගැටගහගන්න ඕනෙ. Kya මේ හැමදේකටම ඉක්මණින් හුරුවෙනව. ඇගේ හොඳම මිත්‍රයා වෙන්න වගුරුබිම. ඈ බොහොම උනන්දුවෙන් වගුරේ තියන ගස්වැල් සත්තු කුරුල්ලන් ගැන ඔවුන් අතරම හැදී වැඩෙමින් ඉගෙන ගන්නව. ඈ ටිකෙන් ටික අපූරු තරුණියක් විදිහට වැඩෙනව. නගරේ අය මේ වගුරේ හුදෙකලා ගෑනුලමය ගැන නොයෙක් කයිකතන්දර කියන්න පටන් ගන්නව. ඈ මිනිස් වෙස් ගත්ත, වගුරට අධිපති යක්ෂණියක් බව මිනිස්සු කතාවෙනව. සමහරු කියන්නෙ ඇය නොදියුණු මානව විශේෂයකට අයිති කෙනෙක් බව. නගරේ සමාජය ඇයව මනුස්ස දියණියක් විදිහට පිළිගන්නෙ නෑ. ඒ හින්ද ඇයත් නගරෙ මිනිස්සු එක්ක වැඩි කතාබහකට යන්නෙ නෑ. නගරේ පිරිමි ළමයි දෙන්නෙක් එකවර ඈත් එක්ක ප්‍රේමයෙන් බැඳෙන්නේ ඔය අතරෙයි. Kya ගේ නිදහස් නිවහල් ජීවිතේ තවත් අමාරු සහ දුක් වේදනාවන්ගෙන් පිරුණු එකක් බවට පත්වෙන්න පටන් ගන්නෙ ඉන්පස්සෙයි. ඔය අතරෙ වගුරේ අබිරහස් මරණයක් සිද්දවෙනව. ඒ මරණය ගැන චෝදනාව එල්ල වෙන්නෙත් Kya ට. නීතිය ඉදිරිපිටට යන සහ හිතවත් කිහිප දෙනෙක් ඇරෙන්න වෙන කා එක්කවත් කතා නොකරන ඈ වෙනුවෙන් කතා කරන්න ඉදිරිපත් වෙන්නෙ කවුද? සමාජයෙන් සම්පූර්ණයෙන් බැහැර කරල තියන ඈ වගේ කෙනෙකු කියන දෙයක් ඇත්තටම කවුරුත් විශ්වාසකරාවි ද? මේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න නම් බලන්න Where the crawdads sing.
Where the crawdads sing කියන්නෙ මේ අවුරුද්දට මම දැක්ක visually ලස්සනම වැඩක්. වගුරු බිමේ ස්වභාවය සෞන්දර්ය දිය සායම් සිතුවමක වගේ උපරිමයෙන් මතුවෙන විදිහට කැමරාව මෙහෙයවිලා තිබුණා. කතාව කියවෙන 1950 යුගයත් වගේම ප්‍රේමණීයබවටත්, ශෝකය මුහුවෙන අඳුරු ගුප්ත ස්වභාවයටත් ගැලපෙන වර්ණ භාවිත කරල තිබුණ. චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ 2018 අවුරුද්දේ Delia Owens නම් ලේඛිකාව මේ නමින්ම ලියා පළකල නවකතාව ආශ්‍රයෙන්. ඒ හින්ද ඉතාම දීර්ඝව විස්තර වියයුතු දේවල් රූපමය භාෂාවෙන් සංක්ෂිප්තව ඉදිරිපත් කරල තියන ආකාරය නරඹන්නන් වටහාගන්න ඕන. මේ අධ්‍යක්ෂවරිය වුණු Olivia Newman ගේ දෙවන චිත්‍රපටය. රංගනයේ යෙදෙන පිරිසත් අපි වැඩිපුර දැකපුරුදු අය නොවෙයි. නමුත් Kya ගෙ චරිතය නිරූපණය කරන Daisy Edgar-Jones ගේ රඟපෑම සෑහෙන හොඳ මට්ටමක තිබුණු බව කියන්න ඕන. ඒ රඟපෑම මේ අවුරුද්දේ දැක්ක female performance for leading role අතරෙ අමතක නොවෙන තැනක තියන්න පුලුවන්. Taylor Swift මේ චිත්‍රපටය වෙනුවෙන්ම ලියල ගායනා කරන Carolina නම් ගීය අහන්න ලැබෙනව චිත්‍රපටය අවසානෙ දි. බොහෝම විචාරකයන් අතින් ධනාත්මක වගේම ඍණාත්මක ප්‍රතිචාර වැඩිපුර ලැබුණත් චිත්‍රපටය ආදායම් අතින් සෑහෙන සාර්ථක වුණා. ඒ දේවල් කොහොම වුණත් Where the crawdads sing කියන්නෙ නවකතාවක් වගේ හෙමින් කියවාගත හැකි, පරිසරය ගැන ඇඳුණු දියසායම් චිත්‍රයක් වගේ ඇස් දෙකට සනීප සිනමා අත්දැකීමක් බව කියන්න කැමතියි.
No comments:
Post a Comment