සිය මරණයට සිව් වසරකට පෙර, එනම් වර්ෂ 1990 දී, ලොස් ඇන්ජලීස් නගරයේ වාසය කළ, ජර්මන් සම්භවයක් ඇති ඇමරිකානු කවියෙකු වන Charles Bukowski තම ජීවිතය හා ලේඛනය පිළිබඳව ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකි මේ. Bukowski මාධ්‍ය වෙත ලබා දී ඇති සම්මුඛ සාකච්ඡා කිහිපයක් Sunlight, Here I Am නමින් ග්‍රන්ථයක් ලෙස 2003 වර්ෂයේදි ප්‍රකාශයට පත්විය. Poetic Outlaw අඩවියේ පළවූ, එහි උපුටාගත් එක් කොටසක පරිවර්තනයි පහත සංවාදය. Bukowski මෙහි පළකරන අදහස් විමසා බලන කළ ඔහුගේ අසම්මත, හිතුවක්කාරී ගති ස්වභාවය මැනවින් නිරාවරණය වේ. ඔබද මමද අනුගතව සිටින මේ දෛනික ඒකාකාරී නීරස ජීවිත රටාව දෙස ඔහු බලනුයේ සෝපහාසික ඇසකිනි. Bukowski ගේ කවිවලද බොහෝවිට ඇත්තේ දෛනික හිස් බව ඉක්මයා යන නිදහස් මිනිස් ආත්මයකි. එමෙන්ම ඒ කවිවලින් ඇමරිකානු සමාජයේ ආගමික අධිපතිත්වයටද වානිජ්‍යත්වය මුල්කරගෙන භෞතික දියුණුව හඹායන තරඟකාරීබවටද එරෙහි ඔහුගේ විරෝධාකල්පය හෙළිවෙයි. ඔහු පළ කර ඇති අදහස් සමග ඔබට එකඟ වීමට හැකි මෙන්ම නොහැකි කරුණු කාරණා තිබිය හැකිය. එහෙත් Bukowski ගේ ම කවියක කියවෙන ආකාරයට ඔහු මියගොස් වසර ගණනාවක් ගත වූවත් තවමත් අපි ඔහු ගේ ලේඛන කියවයි නම්, ඒවා ගැන කතා කරයි නම් ඔහු සාර්ථකත්වය ලබා ඇත.
****************************** *********
Reporter:
ලිවීම හරහා ඔබ පැහැදිලි කිරීමට උත්සාහ කළේ කුමක් ද?
Bukowski:
මගේ ලිවීම්වලින් මොකක් හෝ දෙයක් පැහැදිලි වෙනවද කියන්න මම නම් දන්නෙ නැහැ. ඒත්, ඒක මොකක් වුණත්, මට නිතරම දැනෙනව එය ලියා තැබීම වඩා හොඳ බව. මට අනුව, නිර්මාණකරණය කියන්නෙ පැවැත්මට දක්වන එක් ප්‍රතිචාරයක් පමණයි. එය තවත් ආකාරයකට වරක් ගත කළ ජීවිතය දිහා දෙවනි වතාවටත් හැරී බැලීමක්. ජීවිතේ ඇතුළෙ ඔයාට යමක් සිද්දවෙනව, ඉන්පස්සෙ මොකවත් නොවී හිස් කාලසීමාවක් ගතවෙනව. ඔයා ලියන කෙනෙක් නම් ,ඔයා ඒ දෙය දිහා නැවතත් බලල ඒක අකුරු බවට හරවනව. එයින් කිසිම දෙයක් වෙනස් වෙන්නෙවත්, අමුතුවෙන් විස්තර වෙන්නෙවත් නැහැ. ඒත් ලිවීමේ දැහැනට සමවැදුණාම සතුටුදායක අමුතු හැඟීමක් දැනෙන්න පටන් ගන්නව. ඒක එක්තරා ආකාරයක උණුහුමක්, සුවපත් වීමක්, නැත්නම් මේ හැමදෙයක්ම එකවර සිදුවීමක්. ගොඩක් වෙලාවට, මගෙ එහෙම අත්දැකීමක් මුල්කරගෙන ලියන්න පටන්ගන්න කොට මට බොහෝම යහපත්, හොඳ හැඟීමක් ප්‍රබලව දැනෙන්න පටන් ගන්නව. ඇත්තටම සම්පූර්ණ ප්‍රබන්ධයක් එක්ක වැඩරද්දී පවා ඒකට මුල් වෙන්නෙ නිශ්චිතවම කොහෙන් හරි ඇහුව දුටුව, හීනෙන් හරි හිතුව දෙයක් තමයි. යමක් අලුතෙන් නිර්මාණය කිරීම කියන්නෙ පුදුමාකාර ප්‍රාතිහාර්‍යයකට.
Reporter:
ඔබේ බොහෝම ලිවීම් අඳුරුයි. ඒත් ඒව ඍණාත්මකයි කියල මම කියන්නෙ නෑ. ඔබේ අම්මා වරක කියල තිබුණ "මිනිස්සු කැමති සතුටු දායක දේවල් කියවන්න" කියල. මේ ගැන ඔබ හිතන්නෙ මොකක් ද?
Bukowski:
මගෙ ලිවීම්වල මොකක් හරි අඳුරක් තියනව නම් ඒ මම ආලෝකය බවට හරවන්න උත්සාහ කළ අඳුරක්. මට ඒක ආලෝකය බවට පත්කරන්න බැරි වුණා නම් ඒක කොහොම හරි කොතන හරි නිතරම අපිත් එක්කම තියන අඳුරක්.
මගෙ අම්ම ගැන කියනව නම්, එයා එයාට උගන්වා තිබුණ හැම දෙයක්ම එහෙමම විශ්වාස කළා. ඊට විරුද්ධව තියන කිසිම දෙයක් ගැන හොයා බලන්න එයාට ඕන වුණේ නැහැ. සහතිකවම එයාට මේ විශ්වාසයන් ගෙන් ගැලවිලා යන්න අරමුණක් තිබුණෙ නෑ. එයා බොහොම සාමාන්‍ය විදිහට හිතපු කෙනෙක්. මගෙ ළමා කාලෙ පුරාම එයා මට කිව්ව "හිනාවෙන්න, හෙන්රි. සතුටින් ඉන්න" කියල. මම කියන්නෙ, එයා හිතුව මම හිනාවෙනව නම් මට සතුටින් ඉන්න පුලුවන් වෙයි කියල. තරුණ කාලෙ මම සමහර දේවල් ලියල ලාච්චුවේ හංගල තිබ්බ. මගෙ තාත්තට ඒව අහුවුණා. "මේ විකාර කවුද කියවන්නෙ" කියල එයා කිව්ව. හැබැයි එයා කිව්වෙ ඇත්ත. අවුරුදු පනහ වෙනකම් මට එහෙම ලොකු වාසනාවක් තිබ්බෙ නෑ. එයාට මං ගැන තියන අන්තිම මතකය, ලාබ නවාතැන්වලට වෙලා ඉඳගෙන පිස්සු ගෑනුත් එක්ක බොන එකෙක් ය කියල.
Reporter:
"ඔබ සෑහෙන විශාලව වැඩෙන්න ඕන. කොයි ක්‍රමයෙන් වත් දිනන්න බැරි ක්‍රීඩාවක යෙදෙන අතරේ අත්වැරදි ටිකකුත් කරන්න පුළුවන් කම තියෙන්න ඕන"
ඔබ වතාවක් මෙහෙම කිව්ව. ලේඛනය කියන සන්දර්භයෙන් එළියට අරගෙන පොදුවෙ හිතල බැලුවොත් ඔබ මෙයින් අදහස් කලේ මොකක්ද ?
Bukowski:
පොදුවෙ මිනිස්සු අතරට දාල මේ ගැන හිතුවොත් දකින්න ලැබෙන්නෙ ලොකු විනාසයක්. එහෙම හිතුවොත් එයාල බාරගන්නෙ නෑ පැය අටක රස්සාවක්, යාන වාහන, රූපවාහිනී වැඩසටහන්, අමාරුවෙන් ගොඩගහගත්තු සල්ලි, ඔක්කොම එයාල කරන මෝඩ වැඩ. එහෙනම් ඔයාට දකින්න ලැබෙන්නෙ හිස් වෙච්ච බැංකු, ගිනිගන්න ජනාධිපති මන්දිරේ, හිස් වෙච්ච දේවස්ථාන, පාර පුරා වැටිල ඉන්න බේබද්දො වගේ දේවල්. සාමාන්‍ය මිනිස්සුන්ට විශාලව වැඩෙන්න බැහැ. ඒ අය අත්වැරදි කරනව තමයි ඒත් ලොකුම වැරද්ද එයාලමයි. සාමාන්‍ය මිනිස්සුන්ට එයින් ගැලවෙන්න ඕන නෑ. ක්‍රෙඩිට් කාඩ් බිලක් ගෙවන එක වගේ දෙයක් තමා එයාලට ලබන්න පුලුවන් ජයග්‍රහණ. එයාලට පමණට වඩා වැරද්ද පටවන්නත් බෑ, මොකද එයාලට විකල්ප නෑ. මේ ජීවිතේ කඩා බිඳගෙන ගිහින් නිදහස් වෙන්න පුලුවන් ඇත්තටම මොකකටවත් බය නැති ආත්මයකට විතරයි.
Reporter:
- තවත් ඒවගේම ප්‍රශ්නයක්
"මේ පොළවේ අපේ කාලය තමයි මේ. ඇයි ඉක්මණින්ම ජීවිතේ අතහැරල පහුබහින්නෙ?"
ඔබට මේ වාක්‍ය තව දුරටත් විස්තර කරන්න පුලුවන් ද ?
Bukowski:
මිනිහෙක් පසුබැහැල ඉන්නකොට එයාට මොකක්වත් හරියට කරගන්න බෑ. අඩුගානෙ හරියට ඇවිදගන්නවත් බෑ. ගොඩක් මිනිස්සු වළලන්න සෑහෙන කාලෙකට කලින් මැරෙන්නෙ. ඒකයි මළගෙවල් මේ තරම් දුක. මිනිස්සු හරි ඉක්මණ්ට හැම දෙයක්ම අතහැරදානව. ඉක්මණින්ම පරාජය පිළිගන්නව. එයාල කිසිම වටිනකමක් නැති දේවල් වෙනුවෙන් සටන් කරල වටිනාකමක් නැති ජීවිත බවටම පත්වෙනව. හැම කෙනෙක්ම විශේෂ වෙන්න ඕන නෑ. ඒත් වැඩි දෙනා මෝඩකම වෙනුවෙන්, හරි ආත්මවිශ්වාසයකින් තරඟෙට දුවනව.
Reporter:
ගොඩක් මිනිස්සු මඟහැරගෙන තියන මොකක් හරි දෙයක් තියනව ද? දෙවියන් විශ්වාස නොකරන කෙනෙකුට නම් ජීවිතේ කියන්නෙ මහ භයංකාර අත්දැකීමක් වෙන්න පුලුවන්. ඔබට තවමත් තියනවද බලාපොරොත්තුවක්, නැත්නම් ඔබ ජීවිතේ අතහැරල ද? පිහිටක් වෙන්න පුලුවන් කිසි දෙයක් නැත් ද? ජීවිතේ කිසි අර්ථයක් නැත්නම් සතුටක් වගේ යමක් අපි අත්පත් කරගන්නෙ කොහොමද?
Bukowski:
මිනිස්සුන්ට හැමදෙයක්ම මගහැරිල. හොඳ සිතුවම්, පොතපත, සම්භාව්‍ය සංගීතය වගේ ගොඩක් දේවල්. මූල්‍යමය වශයෙන් සාර්ථක වෙන එක ජීවිතේ ජයගැනීම බවයි ඒ අය හිතන්නෙ. ගොඩක් වෙලාවට දෙවියන් අදහන අයට තමයි ජීවිතේ භයංකාර අත්දැකීමක් වෙන්නෙ. එයාලගෙ ඔලුගෙඩි ඇතුළෙ පිරිල තියෙන්නෙ අවුරුදු දහස් ගණනක් පරණ මතවාද.
ජීවිතේ මම බාරගන්නෙ ඒ අයුරින්ම. මම හොඳටම බංකොලොත් වෙලා ඉන්නකොට ඒක දෙවියන්ගෙ කැමැත්ත බව කියන්නෙ නෑ. ඒවගේම මම මොකක් හරි විශේෂ සාර්ථකත්වයක් ලබනකොට උඩ බලල ඒකට ස්තුතියි කියන්නෙ නෑ. මම මේ ලෝක සම්මුති වලින්, විශ්වාසයන්ගෙන් නිදහස්වයි පුලුවන් තරම් මගෙ මනස මෙහෙයවන්නෙ. මරණය ගැන කිව්වොත්, මම ලෑස්තියි මරණෙට, මම මගෙ ජීවිතේ ගතකලා වගේ මගේම විදිහකට මම ඒක වැළඳගනීවි. සතුට සහ අර්ථය ගැන කිව්වොතින්, කවුරුන් හරි කලින් හදල දීල තියන නීති රීති අනුගමනය කරනවට වඩා, ඇත්තටම අපි කැමති දේ අපිට උවමනා විදිහට නිදහසේ කරන්න පුලුවන් තත්ත්වයක් හදා ගන්න හැකි නම් ඔය දෙකම අපිට අත්පත් කරගන්න පුළුවන් කියල මම හිතනව. ඒක සරල වගේම සටන් කරන්න වටින යමක් තමා. බොරු දේවල් ඉස්සරහ දණ නමස්කාර කරන කාටත් අන්තිමට උරුම වෙන්නෙ නාස්ති කරල දැම්ම ජීවිතයක වේදනාව විතරයි.
🤗👌
ReplyDelete