Thursday, December 22, 2022

Argentina 1985 (2022)

ආජෙන්ටිනාව ගැන මේ social media ඇතුළෙ යම් කතාබහක් ඇතිවෙලා තියන බව පෙනෙනව FIFA ජයග්‍රහණයත් එක්ක. ඒක රටකට ලබන්න පුලුවන් ඉහළම වටිනාකමක් බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ වගේම ඉඩක් තියන තවත් ලෝක මට්ටමේ ජයක් සමහර විට ලබන අවුරුද්දේ ආජෙන්ටිනාව නමින් ලියවෙන්න. ඒ මේ අවුරුද්දේ තිරගත වුණු Argentina1985 චිත්‍රපටය නිසා. 2023 පවත්වන 95 වෙනි ඔස්කාර් සම්මාන උළෙල වෙනුවෙන් විදෙස් භාෂා අංශයෙන් ආජෙන්ටිනියානු නියෝජනය විදිහට තෝරාගැනෙන්නෙ Argentina 1985 චිත්‍රපටය. ඒ වගේම ඇමරිකානු සිනමා විචාරකයන් ගේ සංගමය මේ අවුරුද්දේ හොඳම චිත්‍රපට පහ අතරට Argentina 1985 ඇතුළත් කරල තියනව. ආජෙන්ටිනාව ගැන උනන්දු කෙනෙකුට වගේම ලෝක දේශපාලන ඉතිහාසයෙ වැදගත් සිදුවීම් ගැන සොයාබලන කෙනෙකුටත් අනිවාර්යයෙන් මගහැර නොගතයුතු චිත්‍රපටයක් මේක. ඒ වගේම අපේ රටේ දේශපාලනික වටපිටාව එක්ක සංසන්දනය කරල බලනකොට සෑහෙන වැදගත් දේවල් ටිකක් අපිට මේ චිත්‍රපටයෙන් ඉගෙනගන්න පුලුවන්.

1985 අවුරුද්දේ සැබෑවටම ආජෙන්ටිනාවේ වුණු වැදගත් ඓතිහාසික සිදුවීමක් චිත්‍රපටයට පාදක වෙන්නෙ. 1976 අවුරුද්දේ එතෙක් පැවති ඉසබෙල් පෙරෝන් රජය කුමන්ත්‍රණයකින් පෙරළා දමන එවකට ආජෙන්ටිනාවේ හමුදාපති ජෝර්ජ් රේෆියල් විඩේලා එතැන් පටන් එරට මිලිටරි රාජ්‍යයක් බවට පත් කරමින් ඒකාධිපති පාලනයක් ගෙන යනවා. (ඉසබෙල් පෙරොන්, ජනපති තනතුරට පත්වූ ලොව මුල්ම කාන්තාවන් අතර ඉන්නා තැනැත්තියක්. ඇය ජනපති තනතුරට පත්වෙන්නෙ 1974 එතෙක් ආජෙන්ටිනාව පාලනය කළ ඇගේ සැමියා වුණු ජුවාන් පෙරොන් ජනාධිපතිවරයා ගේ මරණින් පසුව පැවැත්වුණු මැතිවරණයකින් ජය ලැබීමෙන් පසුවයි. ඉසබෙල් පෙරෝන්, ජුවාන් පෙරොන් ගේ තුන්වෙනි බිරිඳ. ජුවාන් ගේ දෙවන බිරිඳ ආජෙන්ටිනියානු නිළියක වුණු ඊවා පෙරෝන්. ඇය ආජෙන්ටිනියානු සමාජයෙ සෑහෙන ජනප්‍රියත්වයක් දිනාගත්ත සමාජ ක්‍රියාකාරීනියක් වුණා. නමුත් පිළිකා රෝගයට ගොදුරු වීම නිසා වැඩි කාලයක් ජීවත්වෙන්න ඇයට වරම් ලැබෙන්නෙ නෑ. Evita නම් සුප්‍රකට හොළිවුඩ් චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ ඊවා පෙරෝන් ගේ ජීවිත කතාව ඇසුරෙන්. මැඩෝනා ගයන Dont cry for me Argentina ගීය ඇතුළත් වෙන්නෙ මේ චිත්‍රපටයෙ)

කුමන්ත්‍රණයෙන් බලය අල්ලාගන්න විඩේලා ඉන්පසුව ගෙන යන්න අතිශ්‍ය මර්ධනකාරී, දක්ශිනාංශික පාලනයක්. මේ අධිපතිවාදයට එරෙහිව ක්‍රියාත්මක වුණු ප්‍රජාතන්ත්‍රවාදය අගය කළ කණ්ඩායම් වාමාංශික කැරළි කරුවන් විදිහට නම් කරල ඔවුන්ව අමානුෂික විදිහට මර්ධනයට ලක්කලා. මානව හිමිකම් සංවිධාන පසුව සොයාගත් ආකාරයට, මේ මර්ධනය වෙනුවෙන්ම රට පුරා වධකාගාර 500 කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කළ බව කියවෙනව. ඒ වගේම මේ පාලන සමයේදී පොලිස් සහ හමුදා අත්අඩංගුවේ සිටිද්දී අතුරුදහන් වූවන් විදිහට හඳුනාගත් පිරිස 30, 000 කට ආසන්න බවයි කියවෙන්නෙ. මේ අය අතර නොයෙක් සමාජ තරාතිරම්වලට අයත් පිරිසක් ඉන්නව. 4000 කට ආසන්න පිරිසක් ගුවන් හමුදාවට අයත් ගුවන්‍ යානාවලට නංවාගෙන ගොසින් නිරුවත් කර ගුවනේ සිට රියෝ දෙ ලා ප්ලාතා ගඟට අතහැරිය බව කියවෙනව. විඩේලා සමඟ පසුකාලීනව කල සම්මුඛ සාකච්ඡාවක් ඇසුරෙන් ආජෙන්ටිනියානු මාධ්‍යවේදී Ceferino Reato රචනා කළ Disposicion Final ග්‍රන්ථයේ ඔහු සඳහන් කරන විදිහට හමුදා පාලනය විසින් 8000 ක් පමණ දෙනා නිශ්චිත වශයෙන් මරාදැමුණු බවට විඩේලා සහතික කරනව. මේ ලේ වැකුණු භීෂණයේ පාලන සමය ගැන අහන්න ලැබෙන කතා මීටත් වඩා දරුණුයි. 

දවසින් දවස කඩා වැටෙන ආජෙන්ටිනියානු ආර්ථික පීඩනය සහ රජයෙ බල වියරුවෙන් පීඩනය එක්ක රජයට විරුද්ධ ජනතා නැගීසිටීම් ක්‍රමයෙන් උත්සන්න වෙනව. ඒ අතරෙ මිලිටරි රජය, බ්‍රිතාන්‍යට අයත් සහ ආජෙන්ටිනාව ආසන්නයේ තිබෙන ෆෝක්ලන්ඩ් දූපත ආක්‍රමණය කරනව. මීට බ්‍රිතාන්‍යයෙන් ලැබෙන ප්‍රතිප්‍රහාර හමුවේ ආජෙන්ටිනා හමුදාව දරුණු පරාජයක් ලබනව. මේ හැමදෙයක්ම එක්ක 1983 දී එරටේ මිලිටරි ආණ්ඩුව බලය අතහරිනව. ඒත් සමඟම පැවැත්වුණු ජනාධිපතිවරණයකින් අපේක්ෂක Raul Alfonsin ජනපති විදිහට  පත්වෙනව. පසුගිය මිලිටරි රජය විසින් සිදුකළ අපරාධ සහ මානව හිමිකම් කඩකිරීම් වෙනුවෙන් ආණ්ඩුවේ හිටපු ප්‍රබලයන් වුණු ඉහළම හමුදා නිලධාරින් කිහිප දෙනෙකුට එරෙහිව නඩු පවරන්න නව ජනපති ක්‍රියාකරන්නෙ ඉන් පසුව. පැමිණිල්ල මෙහෙයවන්න රජය විසින් තෝරා ගනුලබන්නෙ එරට ප්‍රමුඛ පෙළේ නීතීඥවරයෙකු වුණු Julio César Strassera ව. චිත්‍රපටය මූලික වශයෙන්ම ගොඩනැගෙන්නෙ Strassera ගෙ චරිතය මුල්කරගෙන. (Strassera ගේ චරිතය නිරූපණය කරන ලෝප්‍රකට ආජෙන්ටිනියානු රංගවේදී Ricardo Darin සුපුරුදු පරිදි අති විශිෂ්ට රංගනයක යෙදෙන බව නොකියා බැහැ) කාරණාව ඉතා බරපතළ සහ ඓතිහාසික වශයෙන් වැදගත් එකක් නිසා විත්තිකරුවන්ට එරෙහිව ගොඩනගන චෝදනාව ඉතා ප්‍රබල සහ නොසෙල්විය හැකි ආකාරයෙන් ඉදිරිපත් කළ යුතු යි. Strassera ඒ වෙනුවෙන් ගන්න උපාය මාර්ගය චිත්‍රපටය නැරඹුවොත් ඔබට දැකගන්න පුලුවන්. මේ සිදුවීම දෙවනි ලෝක යුද්ධය වෙනුවෙන් ජර්මනියේ නියුරම්බර්ග් නුවර පැවති නඩු විභාගයට පසුව පැවති විශාලම යුධ අපරාධ නඩුව විදිහට සැලකෙනව.

හමුදාව විසින් සිදුකළ අපරාධවලට  එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙද්දි ආරක්ෂක අංශ කියන්නෙ කොයි ආකාරයෙන් වත් චෝදනාවට ලක්නොකළ යුතු ජාතියේ මුරදේවතාවුන් කියල හිතා ඉන්න කණ්ඩායම් ඊට එරෙහි වුණා. මොකද තමන්ගේ ලේ වැකුණු මර්ධනකාරී වැඩපිළිවෙළ සාධාරණීකරනය කරන්න මිලිටරි ආණ්ඩුව ගෙන ගිය ප්‍රචාරණය තමා මේ වාමාංශික විප්ලවකාරයින් මැඩපැවැත්වීමෙන් තොරව රට දියුණු කල නොහැකියි කියන කරුණ. මේව පිළිගත්ත මිනිස්සු ඒ රටේ හිටිය. නමුත් ඒ අපරාධකාරයින් ගේ සෑබෑ මුහුණු පෙනෙන්නට පටන් ගන්න මොහොතේ එහෙම මිලිටරිවාදී අදහස් දැරුවන්ට පවා තමන්ගේ මතය වෙනස් කරගන්න වුණු හැටි ඔබට දැකගන්න පුලුවන්. Argentina 1985 අවසන් වෙන්නෙ, නීතියෙ ආධිපත්‍යය වචනයට පමණක් සීමාවුණු රටක, මිලිටරිය දේවත්වයෙන් පුදන අන්ධභක්තික බහුතර ජනතාවක් ඉන්න රටක කොහොමද කවදාකවත් මේ වැනි දෙයක් බලාපොරොත්තු වෙන්නෙ කියන ප්‍රශ්නය අපිට අපෙන්ම විමසාගන්න ඉඩක් තබමින්. (යුධ අපරාධ වලට ගොදුරු වී තවමන් යුක්තිය ඉටුනොවුණු උතුරේ ජනතාව වෙනුවෙන් නීතිය? පාස්කු ප්‍රහාරය වෙනුවෙන් නීතිය?) වර්ගවාදයෙන් සහ නොදැනුවත් භාවයෙන් දෑස අඳ කරල තියන සමාජයක් අඩුවෙශයෙන් තමන්ගේ ජීවිත අගාධයට ඇදදමමින් ඉන්න මේ පාලකයින්ට එරෙහිව (ආයෙම වතාවක්?) නැගීහිටින්නෙ, මේ අසාධාරණයට ලක් වූවන් වෙනුවෙන් යුක්තිය ඉටු වෙන්නෙ කවදාද කියන තැන ප්‍රශ්නාර්ථයක් පමණයි අවසානෙ ඉතුරු වෙන්නෙ..



No comments:

Post a Comment